වර්ෂ 2023 ක්වූ December 09 වැනිදා Saturday
දඩඉම දඩයමෙන් මුදවා බලමු

‘දඩඉම’ විවරණයේ දී ‘දඩයම’ සසඳා බැලීමේ වුවමනා පෙරට එන්නට ඕනෑ තරම් ඉඩ තිබේ. කෙසේ වෙතත් ‘දඩඉම’ , ‘දඩයම’ හා නො සසඳමින් අදාළ විමර්ශන ආදියෙහි නිරත වීම උචිත ය. ‘දඩඉම’ නිසා ‘දඩයම’ කෙසේවත් යටපත් නො වනු ඇත.
දශක සතරකට පෙරාතුව ප්‍රවීණ සිනමාකරු වසන්ත ඔබේසේකර , සිය වඩාත්ම බලපෑම් සහගත සිනමාපටය වූ 'දඩයම' සිනමාශාලා කරා මුදා හරින්නේ ලාංකේය සිනමා සමාජයේ සියලු ප්‍රදේශ නො පමාව ම තැති ගන්වමිනි. 'දඩයම' හි යථාව නිවැරදි ව හසු කර ගත්තවුන් ද, වැරදි කොනින් අල්ලා ගත්තවුන් ද, මතුපිටින් දකින්නට මනාප වූවන් ද එක්ව හා වෙන් වෙන්ව ගෙන හැර පෑ කතිකා අතිශය තියුණු ලක්ෂණ ප්‍රකට කළ වග සත්‍යයකි. ප්‍රියංකර ජයනාත් නැමැති වංචනික, රැවටිලිකාර හා ස්ත්‍රී දුෂක පුද්ගලයා, අවිහිංසක රත්මලීව ඝාතනය කොට පළා යන්නේ යුක්තිය හා සාධාරණත්වය පිළිබඳ අපමණ ප්‍රශ්න මතුකරන පසුබිමක ය. මේ පළා යාමෙන් ඔහු නිරුපද්‍රිත වේ. බිහිසුණු අපරාධකරුවකුට සමාජය විෂයෙහි නිදැල්ලේ සරන්නට ඇති හැකියාව පිළිබඳ නිසැක අදහසක් 'දඩයම' ගෙන ආවේ උක්ත සිදුවීම මුල් කොට ගෙන ය. මේ ජයනාත් හදිසි රිය අනතුරකින් රත්මලී සමඟ මිය ගිය බව අදාළ සියලු පාර්ශ්ව පිළිගන්නා බව සිය පළමු සිනමාපටය වන 'දඩඉම' වෙතින් පවසන වෛද්‍ය නියෝමාල් පෙරේරා , කපිල ගජනායක නැමැති පුද්ගලයකු ජයනාත් වෙනුවට ප්‍රාදූර්භුත කරන්නේ පෙර කී ඉටු නොවූ යුක්තියට පිළිතුරු සැපයීමේ අරමුණ සහිතව යි. මෙයින් ඔහු පවසන්නේ නීතිය හමුවේ නිසි දඬුවම් නො ලැබුව ද, හෘද සාක්ෂිය හමුවේ නිදොස් වන්නට කිසිදු අපරාධකරුවකුට නුපුළුවන් ය යන්න ය.
මෙය වසන්ත ඔබේසේකරගේ දැක්ම නො වන බව 'දඩයම' අවලෝකනයේදී පසක් කර ගැනීම අපහසු නො වේ. මෙතැනදී ප්‍රකට වන්නේ හතළිස් වසරකට පසුව සිනමාකරුවකු සේ සිනමා සමාජය අබියසට පැමිණෙන්නකුගේ දැක්ම යි. වසන්තගේ 'දඩයම' ඔහුට අනගි නිමිත්තකි. එහි වර්තමාන පුවත ප්‍රති නිර්මාණයේ දී ස්වීයත්වයක් සාක්ෂාත් කර ගැනීමේ අයිතිය හා ඕනෑකම ඔහු නිර්බාධිතව භුක්ති විඳීයි. මෙහෙයින් දත හැකි වන්නේ 'දඩඉම' සපුරා ම 'දඩයම' හි දෙවැන්න නො වන්නට ඉඩ ඇති බව ය. 'දඩයම' නො නැරඹුවන්ට ද 'දඩඉම' කිසිදු අවහිරයකින් හෝ පටලැවිල්ලකින් තොරව නැරඹීමේ අවකාශය තිබෙන බව ය. කෙසේ නමුත් බිහිසුණු අපරාධකරුවනට තව දුරටත් සමාජයේ සරන්නට නීතියෙන් ඉඩක් නො මැතිය යන යථාර්ථය හා ගැටෙන ආකල්පය යටපත් නො කරන්නට ද ඔහු කටයුතු කරයි.
වසන්ත ඔබේසේකරගේ 'දඩයම' හි ඇතැම් රූප රාමු 'දඩඉම' ට රැගෙන ඒම තුළ 'දඩයම' – 'දඩඉම' ඥාති සම්බන්ධතා තීව්ර කිරීමේ පිළිවෙතක් ජනිත නො වීම සිනමාකරු නියෝමාල් පෙරේරා ජය ගත් අවස්ථාවකි. එසේම ඔහු 'දඩයම' සිහි ගන්වන අභිනව රූප රාමු සමුච්චයක් ද 'දඩඉම' ට එක් කරයි. ඉන් වර්තමාන පුවත හා බැඳුණු අතීත පුවත පිළිබඳ කරුණු පැවසීමට ලැබෙන ඉඩ කඩ අරභයා ඔහු සතුව පැවති වැටහීමේ ප්‍රමාණය දැක ගත හැකි ය.
'දඩඉම' හි කේන්ද්‍රය බවට පත් වන්නේ මිය ගිය බව සහතික කළ ප්‍රියංකර ජයනාත් ය. ඔහුගේ වර්තමාන රූපය වන කීර්ති ගජනායක ය. උත්ප්රාසාත්මක තත්ත්වය වනුයේ කීර්ති ගජනායක කීර්තිමත් ජනාධිපති නීතීඥයකු සේ හඳුන්වා දීමට සිනමාකරු නියෝමාල් උත්සුක වීම යි. නීතියෙන් ගැලවුණු පුද්ගලයාම නීතිය රකින්නකු බවට පත්වන්නේ හාත්පස රජයන පිළිගත් පිළිවෙත් නිසාම ය. එක අතකින් මේ සදය උපහාසය දනවන්නක් ද වේ.
කීර්ති ගජනායකගේ සාමකාමී දිවි සැරිය පුපුරා යන්නේ අමිහිරි අතීතය ගෙයි දොරකඩට ම පැමිණි පසුව ය. ඉහළ පෙළේ සම්බන්ධතා ද සහිත ව ඔහු කුමාර ජීවිතයක් ගත කරයි. රුවැති දියණිය නුදුරේදී ම නීතීඥ වෘත්තියට එක් කර ලීම ඔහුගේ එක් අපේක්ෂාවකි. කෙසේ නමුදු ෆ්යෝදර් දොස්තයෙව්ස්කිගේ 'අපරාධය හා දඬුවම' නවකතාවේ ඉංග්‍රීසි පරිවර්තනය ඔහු වෙතින් දුරස් නො වේ. ඔහුගේ අතීතය රඳවා ඇත්තේ එ තුළ ය. එහි සැඟවී ඇති පැරණි ඡායාරූප එය පිළිබිඹු කරයි.
මේ අනුව කීර්ති ගජනායක චරිතයේ ගැඹුර හා විස්තෘත බව පිළිබඳ නිසැක අදහසක් සරි කර ගත හැකි ය. ජැක්සන් ඇන්තනි මෙහිලා සිය රූපණ සමත්කම පසක් කරන්නේ සෙසු රූපණ කාර්යයන් අබිබවා යමිනි. සිනමාකරු නියෝමාල්ගේ තිරනාටකයෙන් වඩා වැඩි ඉඩක් ලැබුනේ නම් ජැක්සන්ගේ සමත්කම ඉහළ යනු ඇති බවට කිසිදු සැකයක් නැත. ඉන් අදහස් කෙරෙන්නේ ජැක්සන්, කීර්ති ගජනායකගේ චරිතය එක්තරා අදියරක දී නවතාලන නිසාවෙනි. මෙය සිනමපටයේ ඒකග්‍රතාව කෙරෙහි සාධනීය අන්දමින් බලපා යි. ඒ සෙසු චරිත නිරූපණ කීර්ති ගජනායක අසලට ම පැමිණෙන හෙයිනි. ස්වර්ණා මල්ලවාරච්චි මෙතැන ප්රමුඛ ය. ඇය නිරූපණය කරන්නේ මියගිය රත්මලීගේ චරිතය නො වේ. එහෙත් රත්මලී පිළිබඳ 'දඩයම' මතකය අවුස්සන්නට ඇය සූදානම් ය. 'දඩයම' නො දුටු ප්‍රේක්ෂකයකුට එවැනි මතකයක් නොමැති වීමේ වාසිය වහාම අත්පත් කර ගන්නේ සිනමාකරු නියෝමාල් ය. මෙතැන දී ස්වර්ණා ලබා දෙන ඉඩ කඩ පිළිබඳ සිනමකාරු නියෝමාල් යම් වැටහීමකින් පසු වූයේ යැයි සිතේ.
'දඩඉම' ගලා යන්නේ පූර්ව සැලසුමකට යටත් කළ සිදුවීම් කිහිපයක් සමඟිනි. නමුත් මේවා කිසි විටෙකත් නො සිදුවිය හැකි දෑ නො වන බව අමතක නො කළ යුතු ය. හතළිස් වසරකට පෙර මරා දැමුණු රත්මලීගේ පුත්‍රයා සංගීත ශිල්පියකු ව මෙරටට පැමිණීම, සෙනෙහසින් බැඳෙන යුවතිය කීර්ති ගජනායකගේ දියණිය වීම, ඔහු සතු දොස්තයොව්ස්කිගේ 'අපරාධය හා දඬුවම' ඉංග්‍රීසි පරිවර්තන ග්‍රන්ථය හා එහි කවරයේ රඳවා තිබූ පැරණි ඡායාරූප හමුවීම මෙම සිදුවීම් වේ.ඉනික්බිතිව එතෙර වෙසෙන රත්මලීගේ වැඩිමහලු සොයුරිය - රෝහිණිගේ පැමිණීමත් සමඟම සිනමාපටය නව අදියරකට අවතීර්ණ වන අන්දම පෙනේ. මේ සම්බන්ධයෙන් සිනමාකරු නියෝමාල් දක්වන සැලකිල්ල ප්‍රශ්න කරන්නට නො හැකිම නො වේ. එනම් රෝහිණි , රත්මලීගේ පුත්‍රයාටත් වඩා වේගයෙන් කීර්ති ගජනායක හඹා යාමට උනන්දු වන නිසාවෙනි. එතෙක් ඇය විසුවේ සොයුරිය රත්මලී පිළිබඳ අතීත මතකය යටපත් කර ගෙන ය. පුත්‍රයා මෙරට දී ඒ පිළිබඳ කරුණු සොයා බැලීම දෙස ඇය බැලුවේ නො සතුටිනි. නමුත් අධිකරණ භූමියේ දී කීර්ති ගජනායක දුටු සැණින් ම වාගේ ඇය නිරායාසයෙන්ම පුත්‍රයා ඉක්මවා යන්නට තීරණය කරයි. මේ අතර දැක්වෙන පරතරය සහේතුක පදනමකින් පියවා දැමීමේ වගකීම පැවරෙන්නේ තිරනාටක රචකයාට ය. අනතුරුව සිනමාකරුට ය. මේ දෙදෙනා ම නියෝජනය කරන්නේ නියෝමාල් ය. සිය තිරනාටකය සිනමාකරුවා ලෙසින් පොහොසත් කරලීමට ඔහු තවදුරටත් කටයුතු කළේ නම් 'දඩඉම' හි මේ අදියර මෙලෙස ප්‍රකාශයට පත් නො වන්නට ඉඩ තිබිණි.
සිය පළමු සිනමා අධ්‍යක්ෂණයෙන් ම අපරිණත ලක්ෂණ පළවා හරිමින් විචාරක හා විද්වත් ප්‍රේක්ෂක අවධානයට ලක් වන්නට සමත්වීම නියෝමාල් ලබා ගත් ඉහළ ම ජයග්‍රහණය යි. සිනමාපටය තුළ ඇත්තේ අවශ්‍යම අවස්ථා පමණි. ප්‍රධාන චරිත සතර සමබරව හසුරුවා ලන්නට අවශ්‍ය පසුබිම ඔහු තිරනාටකයෙන්ම නිර්මාණය කරන්නේ තමා තිරනාටක රචනයට ද සමතකු බව ඉඟි කරන අතරතුර ය. 'දඩයම' හා 'දඩයම' සිහිගන්වන රූප රාමු එක් නො කොට අතීතය දැක්වෙන රූපරාමු 'දඩඉම' සඳහා ම නිර්මාණය කළේ නම් සිනමාපටයේ සමස්තය වඩා ආකර්ෂණීය වන්නට ඉඩ තිබුණේ යැයි සිතේ. එතැන දී ඔහුගේ ස්වීයත්වය මනාව ප්‍රකට කරන්නට අවස්ථාව සැලසෙනු ඇත.
'දඩඉම' විවරණයේ දී 'දඩයම' සසඳා බැලීමේ වුවමනා පෙරට එන්නට ඕනෑ තරම් ඉඩ තිබේ. කෙසේ වෙතත් 'දඩඉම' , 'දඩයම' හා නො සසඳමින් අදාළ විමර්ශන ආදියෙහි නිරත වීම උචිත ය. 'දඩඉම' නිසා 'දඩයම' කෙසේවත් යටපත් නො වනු ඇත. එනමුදු 'දඩඉම' අභිනව සිනමාපටයක් සේ හඳුනා ගැනීමට 'දඩයම' බාධාවක් නො විය යුතු ය.