වර්ෂ 2023 ක්වූ December 04 වැනිදා Monday
විශ්වසනීයත්වය සමඟ පොරබදන විසංගමනය

මුහුදු වෙරළ ඔස්සේ අසිහියෙන් මෙන් ඇවිද යන තරුණ පුරුෂයෙකි. මැදිවියේ පසුවුව ද කඩවසම් ය. කිසියම් චිත්ත පීඩාවකට ලක්ව ඇති සැටියකි. ඉහළ පෙළේ වෘත්තියක නිරත අයකු විය යුතු ය. නො එසේ නම් ධනවත් ව්‍යාපාරිකයකු විය යුතු ය. ප්‍රේක්ෂකයා සිය නෙත් යොමා සිටින්නේ ඔහුට පසු පසිනි. ඉදිරියේ ඇත්තේ මහා සාගරය යි. කිසිවකු ඔහුගේ ගෙල ප්‍රදේශයට ගිනි අවියකින් තට්ටු කරන බව පෙනේ. අනතුරුව ඔහු අතට පත් කරන්නේ ජංගම දුරකතනයකි. ඉන් ඔහු තැති ගත් බවක් නොපෙනේ. එසේ නම් මේ ඔහු අපේක්ෂා කළ අත්දැකීමක් විය යුතු ය. අපහසුවෙන් වුව ඔහු දුරකථනයෙන් යම් බලවතකු අමත යි.
සිනමා අධ්යක්ෂණයට අදාළ දෑ පිළිබඳ ප්‍රයෝගික අත්දැකීම සහිත රන්ජන් ප්‍රසන්න මෙසේ සිය කුලුඳුල් සිනමාපටය - ‘විසංගමනය’ ආරම්භ කරන්නේ අද දවසේ අප දකින සිත් කම්පා කරවන මාදිලියේ සිදුවීම් හා අවස්ථා කරා යාමේ හැකියාව මැන බලමිනි. මේ වෙනුවෙන් ඔහු සිත් සසල කරන පුවතක් භාවිතයට ගන්නේ ඉන් තමාගේ ගැලවීම සහතික කර ගත හැකි ය යන විශ්වාසය සහිතව ය. සිනමාවට නවකයකු නො වුව ද තමා සිනමා අධ්යක්ෂණයට නවකයකු වන වග ඔහු හොඳීන්ම දනී. පළමු සිනමාපටයෙන්ම සාර්ථක වීමට සෑම සිනමාකරුවකු ම උත්සුක වන බව රහසක් නො වේ. සාර්ථකත්වය යනු කවරක් ද යන ප්‍රශ්නයත් ඒ සමඟ ම ඉස්මතු වන්නේ අභියෝග නො පතන සිනමාකරුවන් දුර්මුඛ කරමිනි.
සංකීර්ණ හා තල කිහිපයකින් දිවෙන ප්‍රකාශන විලාසයක් කෙරෙහි රන්ජන් කිසිදු අවධානයක් යොමු නො කරයි. ඒ වෙනුවට ඔහු කිසිදු අපහසුවකින් තොරව සියලු ප්‍රේක්ෂකයන් සංජානනය කර ගත හැකි ප්‍රකාශන විලාසයක් කෙරෙහි අපමණ විශ්වාසයක් පළ කරයි. ප්රේක්ෂකයනට සිදුවන්නේ සිය අසුනේ ම රැඳී සිටිමින් තිරය මත පතිත වන රූප රාමු සමඟ ම කාලය ගෙවා දමන්නට ය. ප්‍රශ්න කිරීම් වේ නම් ඒවා යටපත් කර ගන්නට ය.කෙසේ නමුදු මේ තත්ත්වය විෂයෙහි එන රන්ජන්ගේ පුවත සුළු කොට තැකීමේ අදියරක් කරා පැමිණීමට ඔවුහු සූදානම් නො වෙති. අද දවසේදී සියලු ලාංකිකයන් අඩු වැඩි වශයෙන් මුහුණ දෙන ප්රශ්නකාරී තත්ත්වයක් මෙතැනින් ගම්‍ය කෙරේ.
මේ කුප්‍රකට ඖෂධ ජාවාරම යි. ශරීරාංග අනවසරයෙන් අලෙවි කිරීම යි. ඊට සෞඛ්‍ය කාර්යමණ්ඩල දායකත්වය අනිවාර්ය ය යන්න අමුතුවෙන් සඳහන් කළ යුත්තක් නො වේ. පීඩාවට පත්වන්නේ දිළිඳු රෝගීන් පමණක් ම නො වන බව රන්ජන් ඉඟි කරයි. සුපිරි පෞද්ගලික රෝහල් කරා ඇදෙන ධනහිමි පාර්ශ්ව ද මේ අනතුරේ වින්දිතයන් බවට පත් වන්නේ නිරායාසයෙනි. සිනමාකරු රන්ජන් මේ ඖෂධ හා ශරීරාංග වෙළෙන්දාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරන්නේ ප්‍රේක්ෂක සිත් තැති ගන්වමිනි. එනම් ඔහුගේ දියණියගේ ශරීරාංගයක් ඔහුගේ ම රෝහලේදී විදේශිකයකුට අලෙවි කිරීම ය. එය බිරිඳ හමුවේ අනාවරණය වීමත් සමඟ ය. අනතුරුව රන්ජන් සිය ප්රේක්ෂකයනට ඉඟි කරන්නේ තමාට ඉහළින් යම් දේශපාලන හස්තයක් සක්‍රිය ව පවත්නා වග ය. දෙමාපියන්ගේ අකල් වියෝවත්, බිරිඳ හැර යාමත්, දියණියගේ සෙනෙහස අහිමි වීමත් නිසා පීඩාවට පත් වූ ඔහු යළිත් සිය ප්‍රධානියා හමුවට යාම සඳහා එකඟ වන්නේ හුදෙක් ගිනි අවි තර්ජනය නිසා ම නො වේ. අන් හව්හරණක් නොමැති නිසාවෙනි.
මේ සිදුවීම් හා අවස්ථා සතු ඇතුළාන්තය හසු කර ගැනීම සඳහා රන්ජන් වැර නො දරනවා ම නො වේ. නමුත් ඊට වුවමනා සම්පත් මුළුමනින්ම සපුරා ගැනීමට ඔහු සමත් නො වන අවස්ථා බහුල ය. ඔහු සාර්ථක වන හොඳම අවස්ථාව වන්නේ නිවස ඇතුළත ශ්වේත වර්ණය වැඩිපුර උපයෝගී කර ගැනීම යි. ඉන් පවිත්‍ර බව සේම මරණය ද සංකේතවත් කෙරේ. රන්ජන්ගේ අභිප්‍රාය මරණය ම සංකේතවත් කිරීම යි. මරණ කිහිපයක් ම නිවසට අදාළ ව සිදුවෙයි. පෞද්ගලික රෝහල හිමි වියපත් වෛද්‍යවරයාගේ මරණය සැක කටයුතු ය. ඔහුගේ පුත්‍රයාගේ මරණය ද එසේම ය. වත්මන් හිමිකරුගේ එකම දියණිය අනිවාරතේ ශරීරාංගයක් අහිමි කර ගනී. එසේම ඈ දෙමාපිය රැකවරණයකින් තොරව පෙම්වතකු හා සුරා පානය කරමින් රාත්‍රී සාද ඇසුරු කරන්නියකි. දුර බැහැරක විසූ රෝහල් හිමිකරුගේ දෙමාපියෝ ද එකම දිනෙක ජීවිතය හැර යති. බිරිඳ ඔහුගෙන් වෙන්ව වෙසෙන්නට ඉටා ගනී. අවසන මේ ධනහිමි කුටුම්භය ව්‍යසනයේ සංකේතයක් සේ පෙනී යයි.
අනවසර හා අනතුරුදායක සෞඛ්‍ය පිළිවෙත් ද, ශරීරාංග අලෙවිය ද, ඖෂධ ජාවාරම ද සතු අභ්‍යන්තරික පෙළ ගැසීම් පිළිබඳ විවරණයකට තිබු අනගි අවස්ථාවකු යි රන්ජන් මෙසේ මඟ හැර යන්නේ. විශේෂයෙන්ම මෙහි ඇති දේශපාලනික බව යථා පරිදි හසුකර ගන්නටත්, ප්‍රදර්ශනයටත් ඉන් අවස්ථාව නො ලැබෙන තරම් ය. ඉතා පහසුවෙන් ඔහු ජාවාරමට අවකාශ සලසා දෙන දේශපාලන චරිතය අබිරහසක් බවට පත් කරයි. එම දේශපාලන චරිතය අරභයා කරුණු විමසීමක නිරත වූ පමණින් රන්ජන්ගේ සමත්කම් අවධාරණය නො වන බව ද කිව යුතු ය. සිදු විය යුත්තේ එබඳු චරිත සතු දේශපාලනික සම්බන්ධතා විවරණය යි.
කුතුහලය මුල් තැනක් දෙමින් ‘විසංගමනය’ ගලා යාමට රන්ජන් සලස්වන්නේ ඇතැම් අත්වැරදීම් යටතේ ය. ඉන් මුල් තැනක් ගන්නේ සංස්කරණ පාර්ශවය යි. එය නිශ්චිත අවස්ථා කිහිපයදී ම සිනමාපටයේ රිද්මය නො තකා හරින බව පෙනේ. ඉන් මුල් තැනක් ගන්නේ ධනවත් ව්‍යාපාරිකයාගේ වියපත් දෙමාපියන් පිළිබඳ සඳහන යි.
කෙසේ වෙතත් රන්ජන් ‘විසංගමනය’ පුරා ම පොර බදන්නේ විශ්වසනීයත්වය සමඟ ය.ඇත්ත වශයෙන්ම මෙය රූප රචනයේදී ම නිවැරදි කර ගත හැකි වූවකි. මන්ද දෙවැනි හා තෙවැනි විමසුම් වෙතින් පළමු විමසුමේ දැක්වෙන විශ්වසනීයත්වය ප්‍රශ්න කරන අවස්ථා ප්රබලකාරයෙන් දක්නට නො ලැබෙන හෙයිනි. පෙර කි පරිදි ම රන්ජන් අතට පත්වන තිරනාටකය මෙම තත්ත්වයට අවශ්‍ය පසුබිම සකස් කර දී ඇති බව පෙනේ.
චරිත හුදෙකලාව හඳුන්වා දීම ද රන්ජන්ගේ අවධානයට ලක් විය යුත්තකි. වරෙක හැඟෙන්නේ ඔවුන් ආකස්මිකව පහළ වූවන් මෙනි. රෝහල් හිමිකරු යම් අනවසර ගිවිසුමකට විදේශික නියෝජිතයකු හා එළැඹෙන අවස්ථාව එවැන්නකි. මේවායේ එන කෘත්‍රිම මුහුණුවර නො කියා පවසන්නේ රන්ජන්ගේ සිනමා ආගමනය කෙසේවත් මෙතැනින් නතර නො විය යුතු බව යි.
රූපණ පාර්ශ්වය හැර අන් කිසිදු අනුශාංගික අංගයක් නො පමාව දැක ගත නො හැකි වීම කනගාටුදායක ය එය තීව්ර වන්නේ රූපණ පාර්ශ්වය ද විශේෂ සමත්කම් නො පෙන්වන නිසාවෙනි. වඩාත්ම කැපී පෙනෙන්නේ සේමිනි ඉද්දමල්ගොඩ යි. අශාන් ඩයස් හා සමනලී ෆොන්සේකා ඇයට පිටුපසිනි. අශාන් සිය නිල සීමා නො තකා හැරීමට සූදානම් අයකු බව පෙන්නුම් කරයි. සමනලී සමත්කම් පෙන්නුම් කිරීමේ නිශ්චිත අවස්ථා ප්‍රමාණවත්ව නො ලැබීමේ ඛේදය භුක්ති විදියි. මේ දෙයාකාරය ම සේමිනි සඳහා අදාළ නො වේ.