කන්දක් සේ මා නවකතාවම සිනමාගත කිරීමක්

නොවැම්බර් 23, 2023

සම්මාන සේම දිරිගන්වන සුලු පාඨක ප්‍රතිචාරද හිමි කරගත් නවකතාවක් එහි කතුවරයා හෝ කතුවරිය විසින්ම රචනා කරන ලද තිරනාටකයක් ඔස්සේ සිනමාගත කිරීම නවකතා ප්‍රේමී සිනමා රසිකයන්ගේ අවධානයට හා සැලකිල්ලට ලක් වන්නකි. ඉන් කියවෙන්නේ මෙබඳු සිනමාපටයක් සඳහා මනා ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි වීමට ඉඩ ඇති බවය. කෙසේ වුවද නවකතාකරුවා හෝ නවකතාකාරිය විසින්ම සිනමා තිරනාටකය රචනා කිරීමේදී නවකතාව හා සිනමාව අතර පවතින පරතරය හා ඒ ඒ අනන්‍යතා කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වේ. නවකතාකාරිනී සුමිත්‍රා රාහුබද්ධ මෙසමයේදී මුහුණ දෙමින් සිටින්නේ මෙකරුණු අන්තර්ගත තත්ත්වයකටයි. වර්ෂ 2010 දී ඇගේ නමින් ප්‍රකාශිත ‘කන්දක් සේමා’ නවකතාවේ මූලිකාංග රැගෙන ඇය විසින්ම රචනා කරන ලද සිනමා තිරනාටකය අසෝක අතාවුදහෙට්ටි හා සම අධ්‍යක්ෂ ටාඕ නෂිමෝටෝ විසින් සිනමාගත කරනු ලබන්නේ පාඨක ප්‍රතිචාරද සහිතව පැමිණෙන සැලකිය යුතු ප්‍රේක්ෂක සහභාගීත්වයක් පිළිබඳ විශ්වාසයකිනි.

‘කන්දක් සේමා’ සිනමාපටය මෙදවස සිනමාශාලා ගතව පවතින්නේ සිනමාපට නිෂ්පාදනය හා ප්‍රදර්ශනය අතර ඒකාකාර හා තාර්කික සම්බන්ධතාවක් නොපවතින අවස්ථා තවදුරටත් හමුවන පසුබිමකය. විශේෂයෙන්ම හොලිවුඩ්, බොලිවුඩ් හා කොලිවුඩ් සිනමාපට උණු උණුවේම නරඹන්නට හැකි මෙසමයේ වර්ෂ නවයකට පෙරාතුව නිර්මිත ‘කන්දක් සේමා’ නවතම සිනමාපටයක් සේ නැරඹීම ප්‍රශ්නකාරී ප්‍රවේශයක් වන්නට ඉඩ කඩ තිබේ. මේ වග සිහිගන්වන අන්තර්ජාතික උදාහරණද තව දුරටත් වාර්තා වන බව සත්‍යයකි. යම් සිනමා කලාපයක හෝ සිනමාකරුවකුගේ චර්යා පිළිබඳ විශ්ලේෂණයකට මෙවැනි සිදුවීම් බාධාකාරී වන්නට වුව ඉඩ තිබේ.

මෙවැනි විටෙක සිනමාකරුවා වඩාත්ම අගතියට පත් විය හැකි පුද්ගලයා වෙයි. ඔහු සමඟ සිනමාපටයේ ප්‍රමුඛ අනුශාංගික අංග නියෝජනය කරන්නවුන්ද අගතියට පත් වනු ඇත. ඇතැම් විට ඔවුනගේ සමත්කම් නිර්ණය කරනු ඇත්තේ නිරපේක්ෂ පදනමකින් වන්නටද ඉඩ තිබේ. මන්ද සාපේක්ෂ පදනමක් මත රැඳී සිටින්නේ නම් සමකාලීනව ප්‍රදර්ශිත නවතම සිනමාපට බැහැර වන්නට වුව ඉඩ ඇති නිසාවෙනි.

මේ අනුව මෙසමයේ ප්‍රර්ශනය කෙරෙන ‘කන්දක් සේමා’ සිනමාපටය විවරණයට අවතීර්ණ විය යුත්තේ එය ඇත්ත වශයෙන්ම නවතම සිනමාපටයක්ද, නොඑසේ නම් වර්ෂ නවයකට පෙරාතුව නිර්මිත සිනමාපටයක්ද යන ප්‍රශ්න ද්විත්වයට පිළිගත හැකි පිළිතුරක් සපයා ගැනීමෙන් අනතුරුවය. කෙසේ වුවද ‘කන්දක් සේමා’ තවත් එක් සිනමාපටයක් සේ සලකා බලමින් විවරණයෙහි නිරතවීම වඩා තර්කානුකූල වන බව පෙනේ. උක්ත ප්‍රශ්න ද්විත්වයට එක් පිළිතුරක් සපයා ගැනීම පහසු කරලන්නට ඉන් ලැබෙන පිටිවහල වැදගත්ය.

එක අතකින් සුමිත්‍රා රාහුබද්ධ සේම අසෝක අතාවුදහෙට්ටිද පීඩිත ස්ත්‍රිය පිළිබඳ සුලබ කියවීමකට සූදානම් වන සැටියකි. අනෙක් අතට ඔවුනට වුවමනා වී ඇත්තේ මේ සඳහා නුපුරුදු හා වෙනස් ආකාරයක මනුෂ්‍ය සම්බන්ධතාවක් ගොඩ නඟා ගන්නටය. අසෝක මෙතැනදී අමතර අභියෝගයකටද මුණ දෙන බව පෙනේ. එනම් නවකතා ආධිපත්‍යයෙන් මිදී සිනමා අනන්‍යතාව රැක ගැනීමය. නවකතාකාරියම සිනමා තිරනාටකය රචනා කිරීම මෙම අභියෝගය තීව්‍ර කරන්නේ යැයි සිතේ. මෙහෙයින් අසෝක , සුමිත්‍රාගේ සිනමා තිරනාටකය සේම ඇගේ නවකතාවද සිනමාවට උචිත පරිදි ගළපා ගැනීමේ ප්‍රයත්නයක නිරත වීම සිය වගකීමක් මෙන්ම උරුමයක් බවටද පත්කර ගනියි. ‘කන්දක් සේමා’ සිනමාපටය විවරණයේ එක් වැදගත් අභිලාසයක් වන්නේ අසෝක මෙහිලා කවර සමත්කමක් පෙන්නුම් කරන්නේ දැයි යන්න සැක හැර දැන ගැනීමය.

සිනමාපටය ආරම්භ වන්නේ විවාහ මංගල්‍යයකට සහභාගී වීම පිණිස වෑන් රථයකින් ගමන් කරන වැඩිහිටි පිරිසකගේ සමීප රූප සමඟිනි.මනාලියද එහි සිටින වග පෙනේ. මේ කවරාකාරයේ විවාහ මංගල්‍යයක්දැයි යන්න ප්‍රේක්ෂකයාට රහසකි. එනමුදු නවකතාව කියවූ හා ඒ ගැන යමක් දන්නා ප්‍රේක්ෂකයාට නම් මේ රහසක් නොවේ. මෙහෙයින්ම කුතුහලය යන්න මුල් පියවරේදීම ඉවතලන්නට සිනමාකරු අසෝක සූදානම් වන බව පෙනී යයි.

පළමු විනාඩි කිහිපයේදීම සිනමාකරු අසෝක සිය ප්‍රේක්ෂකයා ඇඳ බැඳ තබා ගන්නට සූදානම් වන්නේ මෙහි එන මනාලියගේ මුහුණ හා දෙඇස් සියුම්ව අවධාරණය කරමිනි. නිරෝෂා පෙරේරා , සිනමාකරු අසෝකගේ මෙම වුවමනාව වටහා ගත් වග තවදුරටත් පසක් වන්නේ සිනමාපටය ගලා යන අතරතුරය.සෑම විටම සිය දෙඇස් හා ආගන්තුක හැඟීම් දනවන මුහුණ ඇගේ සමත්කම් වෙනුවෙන් පෙනී සිටින බව පැහැදිලිය. නිරෝෂා පෙරේරා යනු පිළිගත් හා මුල් පෙළේ සිනමා රූපණවේදිනියක් නොවේ. එසේ වුවද ඇය සිනමාකරු අසෝකගේ මෙහෙයවීමෙන් ඔබ්බට යාමෙන් වැළකෙන්නට හැම විටෙකම උත්සුක වෙයි.

කෙසේ වුවද ‘කන්දක් සේමා’ හි රූපණය විෂයෙහි මුල්තැනක් ගන්නේ නිරෝෂා පමණක්ම නොවේ. වරෙක ඇය පසුකර යාමේ සමත්කමක්ද පෙන්නුම් කරමින් ජුන් එටොහ් ‘කන්දක් සේමා’ හි රූපණ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින්නේ සිනමාකරු අසෝකගේ මෙහෙයවීම යටතේය. ඔහු හා නිරෝෂාගේ රූපණ දායකත්වය නියත වශයෙන්ම සිනමාකරු අසෝකගේ ආත්මාරක්ෂාව වෙනුවෙන්ම වන බව හොඳීන්ම වැටහෙන්නේ සිනමාපටය නිමා වීමෙන් අනතුරුවයි.

නූපා නමැති රුවැති යුවතිය පෙම්වතා නිසා විවාහයක් කර ගත නොහැකි තැනකට පත්වූ බව කියැවේ. පසුව ඇය එකඟ වන්නේ වියපත් ජපන් ජාතිකයකු හා විවාහ වී ජපන් දේශයේ දිවි ගෙවන්නටය. ජපානය පිළිබඳ මෙබඳු යුවතියන්ගේ දැක්ම සුනු විසුනු කොට දමන සිනමාකරු අසෝක, ප්‍රේක්ෂකයනට පෙන්නුම් කරන්නේ අඩු පහසුකම් සහිත වෙහෙසකාරී ජපාන ජීවිතයකි. ජපානය යනු සියලු යස ඉසුරෙන් පිරුණු ටෝකියෝවය යන ප්‍රවාදය බරපතළ මිථ්‍යාවක් බව සිනමාකරු අසෝක පවසන්නේ ප්‍රේක්ෂකයා තැති ගන්වමිනි.

මෙනිසා නූපාගේ ජපාන බලාපොරොත්තු නොපමාවම කඩා වැටෙන්නේ ප්‍රේක්ෂක බලාපොරොත්තුද සමඟය. කෙසේ නමුත් සිනමාකරු අසෝක මෙතැනින් ඉදිරියට නූපාගේ ජීවිතය විදාරණය කරමින් විවාහයෙන් අනතුරුව ජනිත වන ස්ත්‍රී - පුරුෂ ප්‍රේමය පිළිබඳ කතිකාවක් නිර්මාණය කරන්නේ ප්‍රේක්ෂකයාට විඩාවක් ගෙන නොදෙමිනි. මේ අතරට එක් කරලන නොගැළපෙන දෑ සමහරක් නිසා නූපාගේ හා සැමියාගේ බැඳීමත්, එයින් උපදින සානුකම්පිත ආදරණීය සිතුවිලිත් යටපත් වන සෙයකි. තිරනාටක රචිකාවට සිය නවකතාවේ එන බොහෝ දෑ සිනමාපටයට එක්කරලීමේ වුවමනාව තිබෙන්නට ඇතිය යන සැකය මෝදු වන්නේ මෙතැනදීය. නූපාගේ ජීවිතය ගලා යන ආකාරය හසුකර ගැනීමට දරන ඇගේ වෑයමත්, සිනමාකරු අසෝකගේ වෑයමත් මෙහිලා ව්‍යාකූල වන්නේ තරමක ඛේදයක්ද මතු කරමිනි. මෙතැන ඇත්තේ නවකතාව හා සිනමාව අතර පවතින මාධ්‍යයීය වෙනස පමණක්ම නොවේ. එය තුලනාත්මකව පරිපාලනය කිරීමේ වුවමනාව නිසි පරිදි වටහා නොගැනීමද මෙතැනට අදාළ වෙයි.

නූපා වියපත් ජපන් ජාතිකයකු හා විවාහ වී ජපන්ගතවන්නට තුඩු දුන් හේතුව හෝ හේතු සතු ප්‍රබලතා සනිටුහන් නොකිරීමට තිරනාටක රචිකා සුමිත්‍රා හා සිනමාකරු අසෝක කටයුතු කොට ඇතැයි වැටහෙන්නේ සිනමාපටය නරඹන අතරවාරයේය. නූපා පෙම්වතා නිසා අගතියට පත්වූ බව සඳහන් වුවද එය ජපන් ගතවීමට තරම් ප්‍රබල හේතුවක්ද යන්න ප්‍රශ්නයකි. ඇගේ පවුල තුළ අර්බුද රැසක් තිබෙන බව පැවසීමද ප්‍රබල හේතුවක් සේ නොපෙනේ. මේවා වෙනත් පවුල් ඒකක වෙතින් පවා දැක ගත හැකි දෑය.

නූපාගේ ජපාන ජීවිතය තුළැති ශෝචනීය අත්දැකීම් නිරූපණයේදී සුමිත්‍රා පසුකර යන්නට සිනමාකරු අසෝක උනන්දු වන බව පෙනේ. මෙහිලා ඔහුට පිහිට වන්නේ සිනමාවේ රූපමය සාධකයයි. පුරුෂ පහසකින් තොරව ගෙවී යන රාත්‍රිය, ඒකාකාර දහවල, හාත්පස නිහඬතාව, හිමෙන් වැසුණු පරිසරය පවසන්නේ ඈ තුළ පවතින හුදෙකලාවයි. මව්බිමේදී ඇය පුරුෂ පහසකට යම් පමණකින් හෝ කැමැත්තක් දක්වන්නියක ලෙසිනුයි පෙන්නුම් කරන්නේ. හැට දෙහැවිරිදි ජපාන සැමියා ස්ත්‍රී පහසකට දක්වන නොකැමැත්ත ඇගේ හුදෙකලාව දෙගුණ තෙගුණ කරයි. මෙතැනදී කැමරා අධ්‍යක්ෂ රුවන් කොස්තාගේ දායකත්වයද තීරණාත්මක වී තිබේ. ඔහු මල්බර ජපාන ගැමි සිරිය සිය කැමරාවට හසු කර ගන්නේ පූර්වයෙහි සනිටුහන් කළ නූපාගේ හුදෙකලාව පුපුරා යාමට ඉඩ ඇති බව ඉඟි කරමිනි.

‘කන්දක් සේමා’ ගලා යන්නේ නූපාගේ දිවි සැරිය විනිවිද දකින අරමුණ සහිතවය. කෙසේ නමුත් ඊට සානුබල නොසපයන දෑද සිනමාකරු අසෝක ප්‍රේක්ෂකයන් වෙත ඉදිරිපත් කරයි. නූපාගේ ජපාන සැමියාගේ අතීත පෙම් පුවත හා එහි වර්තමාන කියවීම, පෙම්බරා නමැති අදිසි පෙම්වතා සමඟ වන නූපාගේ සම්බන්ධතාව උදාහරණ ද්විත්වයකි. මේවා හා නූපාගේ දිවි සැරිය අතර තාර්කික සම්බන්ධයක් ගොඩනැංවිය නොහැකි නොවේ. නමුත් භාවමය සම්බන්ධයක් නම් ගොඩනැංවීම අතිශයින්ම අසීරුය.

නූපගේ ජපාන ගමන සඳහා පවුලේ ව්‍යාකුල බව හේතු වන්නට ඇති බව සනාථ කිරීමට සිනමාකරු අසෝක උත්සුක නොවූවද අභිනව කියවීමක් වෙනුවෙන් එය භාවිත කරලීමේ හැකියාවක් පවතී. සිනමාකරු අසෝක හඬ නොනඟා පවසන්නේ මේ මෙරට අර්ධ නාගරික මැද පන්තික පවුල පිළිබඳ විමසුමකට අවකාශ සලසන්නක් වන බවයි. එක් ජවනිකාවකින් මෙම අදහස තහවුරු කරලීමට අසෝක සමත් වන බව පෙනේ. ඒ සොහොයුරියගේ සැමියා ත්‍රී රෝද රථයක් තුළදී නූපාගේ සිරුර යාන්තමින් ස්පර්ෂ කරලන ජවනිකාවයි.

‘කන්දක් සේමා’ මෙසේ හඳුනා ගනිද්දී ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව මතුවන්නේ නිරායාසයෙනි. ඒ පෙරදීද සඳහන් කළ පරිදි අතුරු කතා හා අතුරු සිදුවීම් ප්‍රමුඛ කර ගන්නා පිළිවෙත සිනමාපටයේ හැඩය විකෘත කරන්නට වුව සූදානම් බව පෙන්නුම් කරන නිසාය. තිරනාටකය මත මුළුමනින්ම වාගේ රැඳී සිටින්නට සංස්කරණ ශිල්පියාට සිදුව තිබීම අභාග්‍යයකි. සංස්කරණය සිනමාකරුවාගේ අධීක්ෂණයට ප්‍රමාණවත්ව ලක් නොවීම සිනමාපටයේ ප්‍රමිතිය අභියෝගයට ලක් කිරීමක් වේ.

සුරේෂ් මාලියද්දගේ පසුබිම් සංගීතය හා අවස්ථා ද්විත්වයකදී පැමිණෙන ගීත සිනමාපටයේ බොහෝ පසුබෑම් මඟ හරවා ගැනීමටම නොව සැඟවීමට සමත් වන වග සඳහන් කළ යුතුය. සිනමාකරු අසෝක සිනමා භාෂාව හඳුනා ගන්නා ප්‍රමාණය සම්බන්ධයෙන් රෝහණ වීරසිංහ තුළ මනා වැටහීමක් තිබුණේ යැයි සිතේ.

මේ අනුව ‘කන්දක් සේමා’ යනු කවර තැනක තැබිය යුතු සිනමාපටයක්දයි යන ප්‍රශ්නයට වඩා නිවැරදි පිළිතුරක් හෝ පිළිතුරු සැපයීම පහසුය. එක් පිළිතුරක් වන්නේ ‘කන්දක් සේමා’ , ඊට පාදක වූ නවකතාවම සිනමාගත කරන්නට උත්සුක වූ සිනමාපටයක් වන බවයි. තවත් පිළිතුරක් වනුයේ වියපත් ජපාන ජාතිකයන් හා විවාහ වන මෙරට තරුණියන් පිළිබඳ කරුණු කාරණා සාකච්ඡා කිරීමට තැත් කළ සිනමාපටයක් වන බවයි. එහෙත් වඩාත්ම නිවැරදි පිළිතුරක් විය යුත්තේ ‘කන්දක් සේමා’ යනු දුරු රටක තනිවන තරුණ ස්ත්‍රියකගේ සිතුම් පැතුම් ගැඹුරින්ම විදාරණයට අවකාශ සලසා ගත් සිනමාපටයක්ය යන්නය. ජපාන සම්බන්ධතා හුදු ආභරණයක් නොව මෙකරුණ නවතාවකින් යුතුව සඳහන් කරන්නට භාවිත කළ නිර්මාණශීලි උපක්‍රමයක්ය යන්නය.

 

 

[email protected]