සිත් මල විකසිත සිතුවිලි නර්තනය සූවිසි විවරණ

පෙබරවාරි 1, 2024

සාම්ප්‍රදායික නර්තන ගුරුවරයකු වන ගනිතසාර, සූවිසි විවරණ නම් වූ නර්තන අංගය සඳහා වන නැටුම් කණ්ඩායමක් පවත්වාගෙන යනු ලබන්නෙකි. එනමුදු ඔහු ආර්ථික වශයෙන් අස්ථාවරය. නිවසේ විය හියදම් සඳහා වැඩි දායකත්වයක් දක්වනු ලබන්නේ ඔහුගේ බිරිඳ වන පුන්නි විසිනි. ඇය ද නර්තන ශිල්පිනියකි. එසේම ඇය ඇදුම රෝගයෙන් ද පෙලෙනු ලබයි. ඔවුන් දෙපොළගේ එකම දරුවා වූ ජයපාල ආබාධිතයෙකි. මේ අතරවාරයේ දී විදේශ සංචාරයක් සඳහා වන නර්තන ප්‍රසංගයකට ගණිතසාර වෙත ආරාධනයක් ලැබෙයි. ගණිතසාර නව ජවයකින් පුහුණුවීම් කටයුතු වල නිරත වෙයි. තම කලායතනයේ සිටින සුරූපී ජයනි ගණිතසාරගේ අති දක්ෂතම සිසුවියයි. එයට අමතරව ඔහු ඇය කෙරෙහි විශේෂ ඇල්මක් දක්වයි. ගුරුගෝල ගෞරවය නිසි සේ ආරක්ෂා කළද ඇය නාන විට ඔහු හොරෙන් බලා සිටින යුරු දිනක් ජයනි දකී. ජයනි වෙත ගනිතසාර සමීපවීම පුන්නිට මහත් ගැටලුවකි. ඇය සිය සැමියට එළිපිටම විරෝධය පළ කරයි. ගණිතසාරගේ නවතම නාට්‍ය සංදර්ශනය සඳහා ජයනි සම්බන්ධ කර නොගන්නා ලෙසත්, ඒ සඳහා තමන් ඉදිරිපත් වන බවත් පුන්නි පවසයි. ඇය එම සංදර්ශනය ඉතාමත් ආකර්ෂණීය අන්දමින් ඉදිරිපත් කර ප්‍රේක්ෂක ආචාරයට ලක් වෙයි. එය අවසානයේ දැඩි ලෙස මහන්සි වී සිටීමත් රාත්‍රියේ නෑම නිසාත් රෝගාතුර වූ පුන්නි අනපේක්ෂිත ලෙස මියයයි. මෙයින් දැඩි ලෙස කම්පනයටත් අසරණභාවයටත් පත් වන ගනිතසාර සියලුම නර්තන කටයුතු අත හැර රා බීමට ඇබ්බැහි වෙයි. බීමත්ව ගමේ රුවැති මැක්කිව ඔහු සොයා යයි. ජයනි ගණිතසාර සමඟ ජීවත්වීමට කැමැත්ත පළ කළත් ඔහු එයට අකමැති වෙයි. ජයනි ගමේ පුවත් වෙළෙන්දෙකු සමඟින් පළා යයි. ගනිතසාරගේ හෙට දවස කෙලෙස විසදෙයි ද?

කෘතහස්ත සාහිත්‍යධරයකුසේම ප්‍රවීණ නිර්මාණවේදියකු ද වන සරත් ධර්මසිරි විසින් රිදී තිරයට ගෙන එනු ලබන තෙවන සිනමා නිර්මාණයයි සූවිසි විවරණ. ඔහු විසින් මෙයට ප්‍රථම ගිනි කිරිල්ලි (2004) සහ භේරුණ්ඩ පක්ෂියා (2006) යන සිනමා නිර්මාණ ද්විත්වය ප්‍රේක්ෂකයා හමුවට ඉදිරිපත් කර ඇත. ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙසින් විවිධ ඇගයීම් සහ සම්මානයන්ට පාත්‍ර වූ නිර්මාණ රැසක් පුංචි තිරය ඔස්සේ ප්‍රේක්ෂක ආලින්දයට ගෙන ආ අතර, සිසිර තරණය, මහේෂිකා, සත්‍යා, බණ්ඩාර දෙයියෝ, ඇත්කඳ ලිහිණියා, සුජාත පුත්‍ර, මුරුගසන් වරුසා, මල් පිපිදැයි බලන්න, ඉන් කිහිපයක් පමණි. සාහිත්‍යකරණය සඳහා පිදෙන සුවිශේෂී සම්මාන රැසකට හිමිකම් කී ඔහු විසින් රචිත කෘති අතර, සැඩ සුළඟ, කටු ඉඹුල, භේරුණ්ඩ පක්ෂියා, බෝගල සවුන්දිරිස් හා ගුඩු පැමිණෙනු ඇත යන කෘති වීශේෂිත වේ. ටෙලි නාට්‍ය හා චිත්‍රපට තිර පිටපත් විශාල ප්‍රමාණයක් රචනා කර ඇති සරත් ධර්මසිරි එම විෂය සම්බන්ධ උපදේශකවරයෙකු ද වේ.

සූවිසි විවරණ රංගන දායකත්වය

ආචාර්ය ජයලත් මනෝරත්න, චාන්දනී සෙනෙවිරත්න, ඉන්දිකා උපමාලි, ඩබ්. ජයසිරි, සනත් ගුණතිලක, දමිතා අබේරත්න, වසන්ති රන්වල, අජිත් ලොකුගේ, බර්ටි නිහාල් සුසිරිපාල, මුදියන්සෙ දිසානායක, ජී.ආර්. පෙරේරා, සෝමසිරි කොළඹගේ, රිචඩ් මානමුදලි, ගිරිරාජ් කෞශල්‍ය, මලින්ද පෙරේරා, සමන් ප්‍රියන්ත බණ්ඩාරනායක, ජයන්ත ෆොන්සේකා, ආන්යා මනෝදි, උපුල් නිශාන්ත, විජේසිරි මල්ලිකාආරච්චි, යූ.ජී. පුංචිමැණිකා, ඉසුරු සඳකැළුම්, චානක ශ්‍රීනාත් ඇතුළු පිරිසකි.

 

සූවිසි විවරණ කාර්මික දායකත්වය

කතාව, දෙබස්, තිර රචනය සහ

අධ්‍යක්ෂණය - සරත් ධර්මසිරි

නිෂ්පාදනය - විෂන් ලින්ක් මීඩියා

සහය අධ්‍යක්ෂණය - ප්‍රසන්න ඉත්තෑපාන, ජානක ආදාසූරිය, සුසන්ත හේමචන්ද්‍ර, රසිඳු යශෝධ මාරගල

කැමරා අධ්‍යක්ෂණය - සුමේධ ලියනගේ

කැමරා සහය - කන්නන් මුර්ති, මහේෂ් රාජු

සංස්කරණය - රවින්ද්‍ර ගුරුගේ

සංස්කරණ සහය - අජිත් රාමනායක,

මාධව විමුක්ති ගුණසේකර

අංග රචනය - සංජය නිපුණ ආරච්චි

අංග රචනා සහය - සංජිත් රත්නසාර

කලා අධ්‍යක්ෂණය - නාලක කුරුප්පුආරච්චි

කලා සහය - ප්‍රියන්ත චන්ද්‍රකුමාර, බිමල් රෝයි

නැටුම් නිර්මාණය හා පුහුණුව - මහාචාර්ය මුදියන්සෙ දිසානායක, නිෂාදි රත්නාවලී

ශබ්ද පරිපාලනය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි

නිෂ්පාදන කළමනාකරණය - බුද්ධික කැලුම්, ප්‍රගීත් මීගලෑව

නිෂ්පාදක විධායක - ප්‍රසාද් විතානගේ

නිෂ්පාදන සම්බන්ධීකරණය - ලීසා සිරිමාන්න

නිශ්චල ඡායාරූප - ජනක මායාදුන්නෙ

පරිගණක නාමාවලිය - රුසිරු පන්නිල

සංගීත අධ්‍යක්ෂණය - ජානක ෆොන්සේකා

ගීත ගායනය - ශ්‍රියා කාරියවසම්, ඉන්දිකා උපමාලි

ගීත රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න

විශේෂ ශබ්ද ප්‍රයෝග - ඩබ්.ජී. පොඩිරත්න

කොණ්ඩා සැකසුම - රුචිර දිනෙස්ක කහඳ

ඇඳුම් නිර්මාණය - විජයසිරි මල්ලිකා ආරච්චි

 

 

[email protected]