නිල බලයට නතු නොවූ මිත්‍රත්වය නිර්වස්ත්‍ර

පෙබරවාරි 8, 2024

අඩුම කුඩුම අඩු නොමැතිව සකල කලාව ශරීරගතව උපන් ශෝන් මැක්ස්මස් දිසානායක සාහිත්‍යවේදියකු, මාධ්‍යවේදියකු, ගී තනු නිර්මාපකයකු හා ගී පද රචකයකු මෙන්ම ගායන ශිල්පියෙකු ද වෙයි, වෙඩින් කාඩ් සිනමාපටය තිර රචනය කරමින් අධ්‍යක්ෂණය කර සිනමා ක්ෂේත්‍රය ජය ගැනීමට ද ඔහුට හැකියාව ලැබී ඇත, ඔහුගේ දෙවන සිනමා නිර්මාණයයි නිර්වස්ත්‍ර, මෙම චිත්‍රපට ද්විත්වය තිරගත කිරීම පිණිස පෝලිම්ගතව පවතී, ඇල්ප්‍රඩ් නම් සූරයා, හෙළ සිනමා සරසවිය, හද ඇදි තිලකය යන කෘති ත්‍රිත්වය ඔහු විසින් රචිතව එළි දක්වා ඇත, මේ වන විට ඔහුගේ තෙවන සිනමා නිර්මාණය ලෙසින් වර්ණ සර්ප සිනමා පටයෙහි පෙර නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇත. 

සහෝදරත්වයට සම වූ මිත්‍රත්වය දේශපාලන බලයට යට කළ නොහැකි බව පසක් කර දෙන මෙහිදී හමුවන, ශාවින්, රොමේන්, මෙනුක, දිලංග සහ කාව්‍ය උසස් පෙළ අවසන් කළ මිතුරන් පස් දෙනෙකි. මෙයින් ශාවින්, පවතින රජයේ ප්‍රබල කැබිනට් ඇමතිවරයෙකු වන සන්තුක ඉද්දමල්ගොඩගේ එකම පුත්‍රයා වන අතර, දිලංග හැර අනෙක් මිතුරන් ද සමාජයේ උසස් පවුල්වල දරුවන් විය. දිලංගගේ පියා විශ්‍රාමික ගුරුවරයෙකි. උසස් පෙළ විභාගයෙන් අනතුරුව මිතුරන් පස්දෙනා විනෝදය සඳහා සංචාරක හෝටලයක් වෙත යන්නේ, ආතතිය නිමවා සතුටුවීමේ අරමුණෙනි. මොවුන් පස්දෙනා එක රෑනේ කුරුල්ලන් මෙන් විය. එම හෝටලයේ ඇති පිහිනුම් තටාකයක මොවුන් ගී ගයමින් නටමින් විනෝද වන අවස්ථාවක, ගොඩ සිටි කාව්‍ය ව ශාවින් විසින් තටාකයට තල්ලු කරන්නේ විනෝදය පිණිස වුව ද, කාව්‍යගේ හිස තටාක බැම්මේ වැදී ඔහු මරණයට පත් වේ. අවසානයේ එකී වරද පැටවෙන්නේ දිලංග මතය. මෙය ශාවින්ගේ පියා විසින් කරවන ලද්දෙකි. වරදකරු වන දිලංග රිමාන්ඩ් සිරභාරයට පත් වේ. 

සත්‍ය කුමක් දැයි හොඳින්ම දන්නා ශාවින් තම අතිජාත මිතුරා නීතියෙන් ගලවා ගැනීමට නොයෙක් උත්සාහයෙන් ගත්ත ද, පියාගේ නිල බලය මත සියලු උත්සාහයන් ව්‍යාකූලතාවයට පත් වේ. ශාවින්, තම පෙම්වතියගේ පියා වූ අධිනීතිඥ රමේෂ් පීටර්ස් හා එක්ව තම අහිංසක මිතුරා වූ දිලංගව බේරා ගැනීමට ගන්නා උත්සාහය සාර්ථක වේවි ද? යන පැනයට පිළිතුර දේශපාලන මැර බලය නිරුවත් කරන නිර්වස්ත්‍ර තුළින් මතු දවසක ඔබට පවසනු ඇත.

නිර්වස්ත්‍ර රංගන දායකත්වය
විල්මන් සිරිමාන්න, ප්‍රීති රන්දෙණිය, රාජිත රොද්ද්‍රිගු, කිංස්ලි ලෝස්, රියන්සි ප්‍රෙසර්, ඩි.බි. ගංගොඩතැන්න , සංජීව බෝගහවත්ත, රොහාන් ඇන්තනීස්, ලලිත් පිටවෙල, ගුණසිරි සිල්වා, විහඟ නදිත්, රංජිත් කිරිඇල්ල, ලලිත් අබේසූරිය, තරු අබේරත්න, සමීර ප්‍රනාන්දු, නදීර හිරුෂාන්, යශෝධ රවිහාර, සොහාන් විමුක්ති, ප්‍රසාද් මංජුල ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වී ඇත.

නිර්වස්ත්‍ර කාර්මික දායකත්වය
කතාව, තිර රචනය සහ අධ්‍යක්ෂණය - ශෝන් මැක්ස්මස් දිසානායක
නිෂ්පාදනය - රොහාන් කිංස්ලි ප්‍රනාන්දු, බන්දුල කොඩිතුවක්කු, 
ලලිත් පිටවෙල
නිෂ්පාදන සහය - තරංග ප්‍රනාන්දු
සහය අධ්‍යක්ෂණය - රොහාන් ඇන්තනීස්, තරංග ප්‍රනාන්දු
කැමරා අධ්‍යක්ෂණය - ඉසුරු ප්‍රනාන්දු
කැමරා සහය - දනුෂ ප්‍රනාන්දු, වසන්ත හීනැටිගල, තරිඳු ජයශාන්ත
වර්ණ සංයෝජනය - සදේශ් ග්‍රේරෝ
සංස්කරණය සහ දෙබස් පටිගත කිරීම - ඉසුරු ප්‍රනාන්දු
හඬ සැලසුම් හා නාද නිර්මාණය - සි කූල් ශබ්දාගාරය
කලා අධ්‍යක්ෂණය සහ පසුතල නිර්මාණය - රොහාන් ඇන්තනීස්, ලලිත් පිටවෙල, තරංග ප්‍රනාන්දු
නර්තන අධ්‍යක්ෂණය - ශෝන් මැක්ස්මස් දිසානායක
නිශ්චල ඡායාරූප - ශිතන් ගුණවර්ධන
පරිගණක සජීවීකරණය - ධනුෂ ප්‍රනාන්දු, සදේශ් ග්‍රේරෝ
නාමාවලිය - ඉසුරු ප්‍රනාන්දු, ධනුෂ ප්‍රනාන්දු 
සංගීත අධ්‍යක්ෂණය - ප්‍රදීප් ග්‍රේරෝ
ගී පද රචනය - ශෝන් මැක්ස්මස් දිසානායක, ශෂිකලා වීරසිංහ
ගීත ගායනය - දිනිත බස්නායක, ශෂිකලා වීරසිංහ
නිෂ්පාදන කළමනාකරණය - ලලිත් පිටවෙල
ආලෝකකරණය - ධනුෂ ප්‍රනාන්දු, ඉසුරු ප්‍රනාන්දු
සංස්කරණය සහය - ධනූෂ ප්‍රනාන්දු
ඉදිරිපත් කිරීම - රොමැක්ස් මූවිස්