අපේ කථානාද ඉතිහාසයේ හොඳම චිත්‍රපට 10 මොනවාද?

දෙසැම්බර් 9, 2021

සිංහල කථානාද සිනමාවට එළඹෙන ජනාවරි මස 21 වැනිදාට වසර හැත්තෑ පහකි. එනම් දියමන්ති ජුබිලියයි. ශ්‍රී ලංකාවේ ජාතික කලා පුවත්පත ලෙස සරසවිය අපේ කාර්යභාර්ය ඉටු කරමින් හෙළ සිනමාවේ වජ්‍ර ජයන්තිය වෙනුවෙන් මෙතැන් සිට විශේෂාංගයක් පළ කිරීමට තීරණය කළෙමු. එනම් කඩවුණු පොරොන්දුවේ සිට මේ දක්වා මෙරට කථානාද සිනමාවේ තිරගත වුණු සිනමාපට අතරින් හොඳම සිනමාපට 10 පිළිබඳව සිනමාවේ දැවැන්තයන්ගෙන් මත විමසීමක් කිරීමට තීරණය කළෙමු. මෙම මත විමසීම සඳහා විශේෂ තෝරාගැනීමක් යටතේ සිනමා අධ්‍යක්ෂවරුන්, සිනමා විචාරකයන් සහ සිනමා පුවත්පත්කලාවේදීන් ඇතුළත් වේ. බ්‍රිතාන්‍ය සිනමා ආයතනය (BFI) "Sight & Sound" සඟරාව මඟින් ලොව හොඳම චිත්‍රපට තෝරන සම්මත ක්‍රමවේදය මෙයයි. මෙහිදී දැනට ජීවතුන් අතර සිටින චිත්‍රපට තුනක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂවරුන් හෝ ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් හොඳම චිත්‍රපටයට සම්මාන දිනා ඇති අධ්‍යක්ෂවරුන් මෙම මත විමසීමට ඇතුළත් වන අතර සම්මත සිනමා විචාරකයන් සහ වෘත්තිමය සිනමා පුවත්පත්කලාවේදීන්ද මෙම මත විමසීමට ඇතුළත් වේ. මෙම මත විමසීම සඳහා අධ්‍යක්ෂවරුන් චිත්‍රපට අධ්‍යක්ෂණය කර ඇති ජ්‍යෙෂ්ඨත්වයේ අනුපිළිවෙළ යටතේ සම්බන්ධ කර ගැනේ.

සුමිත් කුමාර



ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක් ලෙස ක්ෂේත්‍රයට එන සුමිත් කුමාර පසුකාලීනව තරුණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් ලෙසද කටයුතු කළේය. ඔහුගේ නිර්මාණවලින් එකිනෙකට වෙනස් වස්තුවිෂයන් කතාබහට ලක් කිරීම විශේෂය. කුරුලු පිහාටු, ඇලඩින්ගේ පුදුම පහන, සුබා තෙරණියෝ යන චිත්‍රපට ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලදී 

1. බඹරු ඇවිත් - ධර්මසේන පතිරාජ
2. ගඟ අද්දර - සුමිත්‍රා පීරිස්
3. නිධානය - ලෙස්ටර් ජේම්ස් පීරිස්
4. හංසවිලක් - ධර්මසිරි බණ්ඩාරනායක
5. පළගැටියෝ - වසන්ත ඔබේසේකර
6. සරුංගලය - සුනිල් ආර්යරත්න
7. ගම්පෙරළිය - ලෙස්ටර් ජේම්ස් පීරිස්
8. පරසතුමල් - ගාමිණී ෆොන්සේකා
9. පුරහඳ කළුවර - ප්‍රසන්න විතානගේ
10. වැලිකතර - ඩී.බී. නිහාල්සිංහ

ප්‍රසන්න ජයකොඩි



සෙවනැලි සහ මිනිස්සු වේදිකා නාට්‍ය ඔස්සේ ක්ෂේත්‍රයට පිවිසෙන ප්‍රසන්න ජයකොඩි තරුණ වේදිකා නාට්‍යකරුවෙකු ලෙස මෙන්ම සම්මානනීය ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස තම දක්ෂතා පෙන්වා ඇත. නව මානයකින් සිනමා ප්‍රකාශන ඉදිරිපත් කරන සිනමාකරුවෙකු ලෙස ප්‍රකට ප්‍රසන්න ජයකොඩිගේ ප්‍රථම චිත්‍රපටය වන සංකාරා ජාතික සහ අන්තර් ජාතික වශයෙන් සම්මාන රැසක් දිනා ගැනීමට සමත් විය. පසුව ඔහු අධ්‍යක්ෂණය කළ කර්ම, 28, සංසාරේ දඩයක්කාරයා යන චිත්‍රපටද විචාරක අවධානයට ලක්වුණු ආන්දෝලනාත්මක චිත්‍රපට විය. 

1. බඹරු ඇවිත් - ධර්මසේන පතිරාජ
2. හංසවිලක් -
ධර්මසිරි බණ්ඩාරනායක
3. නිධානය - ලෙස්ටර් ජේම්ස් පීරිස්
4. සංකාරා - ප්‍රසන්න ජයකොඩි
5. සංසාරේ දඩයක්කාරයා -
ප්‍රසන්න ජයකොඩි
6. මේ මගේ සඳයි - අශෝක හඳගම
7. පවුරු වළලු - ප්‍රසන්න විතානගේ
8. වැලිකතර - ඩී.බී. නිහාල්සිංහ
9. දඩයම - වසන්ත ඔබේසේකර
10. විරාගය - තිස්ස අබේසේකර

මේ සතියේ හොඳම චිත්‍රපටය ලෙස ලැබී ඇති වැඩි ඡන්ද සංඛ්‍යාව මෙසේයි.

නිධානය - 02 බඹරු ඇවිත් - 02
හංස විලක් - 02 වැලිකතර - 02