වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
මධුවිතක් ද මේ තරම් මධුර වූ ඔබේ ආදරේ...
අනන්තයක් වී ඔබේ ආදරේ...
ඔබේ ආදරේ...
මේ සුරම්‍ය පාරාදීසේ
හදවතින් උමතු වූ
සදානන්ද කළ සරාග
සුවඳ විජිතයේ
නිල්ල නිලන නිම්නයේ
සුමුදු සයනයේ
නෙතු පියන් වැසී... වැසී...වැසී
ස්වප්නයක් ද මේ තරම් උදුළ වූ
ඔබේ ආදරේ... ඔබේ ආදරේ
මේ සුරම්‍ය පාරාදීසේ
හදවතින් උමතු වූ
සදානන්ද කළ සරාග
සුවඳ විජිතයේ
කැකුළු වසින සිරිපොදේ පිරුණු සීතලේ
දෙතොල් පෙති ලිහී ලිහී ලිහී
මධුවිතක් ද මේ තරම් මධුර වූ
ඔබේ ආදරේ... ඔබේ ආදරේ
මේ සුරම්‍ය පාරාදීසේ
හදවතින්ම උමතු වූ
සදානන්ද කළ සරාග
සුවඳ විජිතයේ...//
ගී පද - මහාචාර්ය සමන්ත හේරත්
ගී නද - ආචාර්ය රෝහණ වීරසිංහ
ගී හඬ - චන්ද්‍රලේඛා පෙරේරා /
රූකාන්ත ගුණතිලක
චිත්‍රපටය - පොරොන්දුව
පේ‍්‍රමය තරම් සුන්දර හැඟීමක්, දැනීමක් ලොව නැති තරම්ය. පේ‍්‍රමය ඒ තරම්ම පේ්රමනීයයි. පේ‍්‍රමයෙන් බැඳුණු හදවත් පේ‍්‍රමය විඳිනවිට ඔවුනගේ ලෝකයම පේ‍්‍රම පාරාදීසයක් බවට පත් වේ. එයයි ප්‍රේමයේ ස්වභාවය. එහි සීමාවක් මායිමක් නොදැනෙන, අනන්ත වූ ආදරයක මිහිර විඳීම ප්‍රේමයේ අයිතියකි.
ගීතයෙන් කියැවෙන්නේ එවන් අනන්ත වූ ආදරයකින් බැඳුණු පෙම් යුවළකගේ ආදරණීය හමුවක සොඳුරු මොහොතක් ගැනයි. මුළු ලොවෙන්ම වහන් වී පෙම් සුව විඳින මොහොතක ඔවුනොවුන් කෙරෙහි ඇතිවන ස්නේහයේ සුවය විඳගන්නා අයුරුය.
එකිනෙකා කෙරෙහි සීමාවක් නොමැති අනන්ත වූත් අසීමිත වූත් ආදරයක් හිමි වුණු තැන පෙම් යුවළක් කොතරම් නම් වාසනාවන්ත ද? ඔවුනගේ හදවත්වලට දැනෙන්නේ මේ මුළු ලොවට සොඳුරු පාරාදීසයක් ලෙසිනි. ගහකොල පරිසරය පවා ඔවුනගේ පේ‍්‍රමයට ආශිර්වාදයක්.
ගහකොළින් වට වුණු ලස්සන පරිසරයකට සිහින් සිරි පොද වැටෙන විට මොනතරම් නම් ලස්සනක් විඳගන්න පුළුවන් ද? සොබාදහම විටෙක පෙම්වතුන්ට ආශීර්වාදයක් වන්නේ එවැනි සොඳුරු මොහොතකය.
තමන්ගේ ආදරවන්තයා. ආදරවන්තිය ළඟ සිටින විට දැනෙන සැනසීම තරම් සුවයක්, පෙම්වතුන්ට තවත් නැති තරම්ය. මුළු ලොවම අමතකව ඔවුනගේ ලොව තුළ තනිවීම ප්‍රේමයේ ස්වභාවයයි. මේ පෙම් යුවළක් එසේ පේ‍්‍රමයේ රස සුවය විඳියි. කවදාවත්ම ඔවුනොවුන්ගෙන් වෙන් නොවන බව තරයේ විශ්වාස කරයි. ඒ පේ‍්‍රම විජිතයේ උරුමය සදාතනික බව ඔවුන්ගේ විශ්වාසයි. ඒ විශ්වාසය ඔවුන්ගේ සෙනෙහස වඩාත් ශක්තිමත් කරයි.
මෙම ගීතය, සිංහල සිනමා වංශකතාවේ 938 වන සිනමාපටය ලෙස 2001 අගෝස්තු මස 08 දින තිරගත කෙරුණු ‘පොරොන්දුව’ චිත්‍රපටයේ ඇතුළත් වුවකි.
රවීන්ද්‍ර රන්දෙණිය හා වසන්ති චතුරාණී ප්‍රධාන චරිත නිරූපණයෙන් දායක වූ මෙහි, අශෝක පීරිස්, අයිරංගනී සේරසිංහ, තලතා ගුණසේකර, චන්න විජේවර්ධන, අචලා අලස්, මානෙල් ජයසේන, සුනීතා විමලසිරි, සොමි රත්නායක ඇතුළු රංගන ශිල්පීන් සෙසු චරිත සඳහා රංගනයෙන් දායක වූහ.
මෙහි කතා තේමාව වූ ලස්සන ආදර කතාවක් දෙමව්පියන්ගේ විරෝධය හා අකාරුණික බව හමුවේ බිඳී වෙන් වී යයි. එසේ බාධක අවහිරතා දුක් සුසුම් මැද කාලයක් ගත වී ගියත් නැවත අහඹු ලෙස වෙන් වුණු පෙම්වතුන් දෛවයෙන් යළි මුණගැසේ. ඔවුනගේ ජීවිතවලට නැවත වසන්තය උදාකරමින් ඔවුනගේ ප්‍රේමය ජයගනියි.
සරල ආදර කතාවක් ඇසුරින් සෞන්දර්යාත්මක සිනමා සිත්තමක් ඇඳීමට මෙහි අධ්‍යක්ෂක, චන්ද්‍රන් රත්නම් සමත් වේ. චිත්‍රපටයේ නිෂ්පාදන දායකත්වය අශෝක පෙරේරා වන අතර කැමරාකරණය ප්‍රවීණ කැමරාශිල්පී ඩොනල්ඩ් කරුණාරත්නයන් ගෙනි.
ගීතයේ පද පෙළට වඩාත් සාධාරණයක් සංගීතය හා තනුව මෙන්ම, ගායනයෙන් මනා ලෙස ඉටු වී තිබේ. චන්ද්‍රලේඛා හා රූකාන්තයන්ගේ මධුර මනෝහර ළයාන්විත හඬ මුසුව ගීතයේ රසය මෙන්ම ජනපි‍්‍රයතාවයට ද ඉවහල් වී තිබේ.
අචලා මුතුතන්ත්රි