මීරා නයාර් තැනූ අපූරු ටෙලි වෘත්තාන්තය

A Suitable Boy
ජුනි 24, 2021

හින්දු විවාහය ආගමික සංකල්පයක් මත පිහිටා දෙවියන් ඉදිරියේ ඉටු කරනු ලබන පූජනීයත්වයෙන් අනූනවූවකි. හින්දු විවාහයේදී කුලය, ජන වර්ගය, ආගම වැනි කාරණා දැඩි ලෙස විශේෂිත වේ. සාවිතා මෙහ්රා සහ ප්‍රාන් කපූර්ගේ විවාහය උත්වශ්‍රීයෙන් පැවැත්වෙන හින්දු විවාහයකි. 19 හැවිරිදි ලතා මෙහ්රා සිය වැඩිමහල් සොහොයුරිය වන සාවිතාගේ විවාහ මංගල්‍යයේ කැපී පෙනෙන චරිතයකි. ලතාගේ මව රූපා මෙහ්රාගේ අදහස ලතා විවාහ වීමටද කාලය පැමිණ ඇති බවයි. ඉංග්‍රීසි සාහිත්‍යය පිළිබඳ අධ්‍යයන කටයුතු කෙරෙහි අවධානය යොමු කිරීමට අදහස් කරන බැවින් ලතා එය ප්‍රතික්ෂේප කරයි. කෙසේ වෙතත්, රූපා මෙහ්රා ලතාට සුදුසු මනාලයෙකු සෙවීම සඳහා තම මිතුරන් සහ පවුලේ අයගේ උපකාර ඉල්ලා සිටී.

ලතාගේ සිත ගන්නේ ඇයගේම සම වයසේ තරුණයෙකු වන කබීර් දුර්රානිය. තමාට ගැළපෙන අපූරු තරුණයෙකු වුවද ලතාගේ සිතෙහි ඇති වන්නේ අප්‍රමාණ වූ දුකකි. මන්ද කබීර් මුස්ලිම් ජාතිකයෙකු බව දැන ගැනීමෙනි. මේ අතර ලතා, කල්කටාවේ වෙසෙන වැඩිමහල් සහෝදරයා වන අරුන් මෙහ්රාගේ නිවෙසට යා යුතුව ඇත. උසස් අධ්‍යාපනයත්, ආදරයත්, විවාහයත් සේම තම පවුලේ ගෞරවයත් අතර අතරමං වන ලතාගේ කතාව ඉදිරියට ඇදෙන්නේ ඉන්දීය ලේඛක වික්‍රම් සෙත්ගේ 'අ සූටබල් බෝයි' නවකතාව (1993) සමඟිනි.

1992 වසරේදී සිදු වූ, 16 වැනි සියවසට අයත් අයෝධ්‍යාවේ මුස්ලිම් පල්ලියක විනාශය සහ ප්‍රචණ්ඩ ගැටුම්වලින් පසු හින්දු ජාතිකවාදී දේශපාලනය ඉන්දියාවේ කේන්ද්‍රීය වේදිකාවක් බවට පත්වීමත් සමඟ 'අ සූටබල් බෝයි' නවකතාව ඉස්මතු විය. වික්‍රම් සෙත් හට මෙම නවකතාව සකස් කිරීමට පසුබිම සකස් වී තිබෙන්නේ 1947 වසරේදී ඉන්දියාව බෙදීමෙන් පසුව බ්‍රිතාන්‍යයන් විසින් ආගම මූලික කොටගනිමින් පාකිස්තානය නිර්මාණය කිරීමයි. ඔහුගේ ප්‍රවේශය වී තිබෙන්නේ චමත්කාරජනක හාස්‍ය ජනක කතාවකි. ඔහු එය ඉන්දියානු මවකගේ උත්සාහය, ඉහළ පංතියේ පවුල්, පෙම්වතුන්, ආගමික සහජීවනය සහ පශ්චාත් බෙදුම් දේශපාලනය යන අංශ ඔස්සේ විහිදෙන හෘදයාංගම කතාන්දරයක් බවට පත් කළේය.

'අ සූටබල් බෝයි' නවකතාව, ඇන්ඩෲ ඩේවීස්ගේ අනුවර්තනයට අනුව බීබීසී රූපවාහිනී කෙටි නාට්‍ය කතාමාලාවක් ලෙස දිගහැරුණේ පසුගිය 2020 වසරේදීය. එය අධ්‍යක්ෂණය කරන ලද්දේ මීරා නායර් විසිනි. නිදහස ලැබීමෙන් පසු ඉන්දියාව පසුබිම් කරගත් මෙම කතාව ඔස්සේ උතුරු ඉන්දියාවේ එකිනෙකට සම්බන්ධ පවුල් හතරක සිදුවීම් මාලාවක් නිරූපණය වෙයි. ලතා මෙහ්රා ලෙස මෙහි චරිතය නිරූපණය කරන්නේ ටාන්යා මාණික්තාලා ය. ඇය සමඟ සමඟ තාබූ, ඉෂාන් ඛාතර්, රසිකා දුගාල්, මාහිරා කක්කර්, දනේෂ් රාසවි, රාම් කපූර්, නමිත් දාස්, විවේක් ගෝම්බර්, විවියන් ෂා, රන්දීප් හූදා ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වී සිටිති. මෙම කතා මාලාවේ පළමු කතාංගය එක්සත් රාජධානියේ 2020 ජූලි 26 වැනි දින බීබීසී වන් හි විකාශය වූ අතර එය 2020 අගෝස්තු 24 වැනි දින අවසන් විය. උතුරු ඇමරිකාව සහ චීනය හැර එහි ගෝලීය බෙදා හැරීමේ අයිතිය නෙට්ෆ්ලික්ස් වෙත හිමි වූ අතර 2020 ඔක්තෝබර් 23 වැනි දින නිකුත් කරන ලදී.

මෙම කතාමාලාවට විචාරකයන්ගෙන් මිශ්‍ර ප්‍රතිචාර ලැබී ඇත.

රොට්න් ටොමැටෝස් අඩවියේ එයට ලකුණු 68%ක් හිමි විය. ටයිම් සඟරාවේ විචාරක ජූඩි බර්මන් පවසන්නේ, නයාර් තරම් ආක්‍රමණශීලී ලෙස වර්ණ භාවිත කරන සජීව සිනමාකරුවන් සිටින්නේ ස්වල්පයක් සේම සෙත්ගේ නවකතාව ඇයට ලබා දුන් ලෝකයක් ගොඩනැඟීමේ ව්‍යායාමයෙන් ඇය සතුටට පත්වූ බව ප්‍රතික්ෂේප කළ නොහැකි බවයි.

තවද ආගමික පරිශ්‍රයක් තුළ ලතා සහ කබීර් යන චරිත එකිනෙකා සිප ගන්නා අයුරු දැක්වෙන දර්ශනයක් ඇතුළත් වීම සමඟ මෙම කතා මාලාව ඉන්දියාවේදී මහත් ආන්දෝලනයකට ලක්විය. භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකයන් එහි අන්තර් ආගමික ප්‍රේමය නිරූපණය කිරීම වර්ජනය කරන ලෙස ඉල්ලා සිටි අතර නිෂ්පාදකයන්ට එරෙහිව පැමිණිල්ලක් ද ගොනු කෙරුණි. ඒ අනුව පොලීසිය විසින් ඉන්දියාවේ නෙට්ෆ්ලික්ස් විධායක නිලධාරින් පිළිබඳ පරීක්ෂණයක් ද ආරම්භ කරන ලදී.

මෙහිදී අධ්‍යක්ෂිකා මීරා නායර් පිළිබඳවද සටහනක් තැබිය යුතු වන්නේය. සමාජ කාරණා කතාබහට ගනිමින් නිර්මාණ බිහි කිරීම සම්බන්ධයෙන් ඇය විශේෂත්වයක් උසුලන්නීය. ඇයගේ පළමු වෘත්තාන්ත සිනමාපටය වන්නේ 'සලාම් බොම්බේ' චිත්‍රපටයයි. එය මුම්බායි වීදී දරුවන්ගේ ජිවිත දෙස බැලීමක් විය. ඇය විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපට අතර 'මිසිසිපි මසාලා', කාම සූත්‍ර : අ ටේල් ඔෆ් ලව්', 'ද රිලක්‌ටන්ට් ෆන්ඩමෙන්ටලිස්‌ට්'‌, 'මොන්සූන් වෙඩින්' වැනි චිත්‍රපට විශේෂ වේ. 'කාම සූත්‍ර' චිත්‍රපටය නිකුත් වන අවස්ථාවේදී ද මතභේදයට තුඩු දුන් අතර එහි කාමුක තේමාව සහ ලිංගික අන්තර්ගතය හේතුවෙන් ඉන්දියාවේ තහනමට ලක් විය. 'මොන්සූන් වෙඩින්' චිත්‍රපටයෙන් නිරූපණය වූයේ දිල්ලියේ පැවති සාම්ප්‍රදායික පන්ජාබි හින්දු විවාහ මංගල්‍යයකදී ඇති වූ ආදර හැඟීම්ය.

මීරාගේ 'සලාම් බොම්බේ' චිත්‍රපටයට ඉන්දීය ජාතික සම්මානය සමඟින් මොන්ට්‍රියල් ජාත්‍යන්තර සිනමා උලෙළේ ජූරි සම්මානය සහ ජනප්‍රියම චිත්‍රපටයට හිමි සම්මානය යන සම්මාන ද්විත්වය හිමි විය. එය 1989 වසරේ ඔස්කාර් සම්මාන උලෙළේ හොඳම විදෙස් චිත්‍රපටය වෙනුවෙන් වූ නිර්දේශ නාම අතරට ද ඇතුළත් විය. 'සලාම් බොම්බේ', 'මිසිසිපි මසාලා' චිත්‍රපට වැනිස්, කාන් වැනි ජාත්‍යන්තර සිනමා උලෙළවල සම්මාන රැසක් හිමිකර ගැනීමට සමත් විය. 2012 වසරේදී ඇය ඉන්දීය රජය විසින් පිරිනමන පද්ම භූෂණ සම්මානයෙන් පිදුම් ලැබුවාය. 'අ සූටබල් බෝයි' මීරා මෑතකදී නිර්මාණය කළ රූපවාහිනි කෙටි නාට්‍ය කතාමාලාව වන අතර එය යුරෝපීය නොවන ප්‍රධාන රංගන ශිල්පීන් පිරිසක් දායක වූ ප්‍රථම බීබීසී ඓතිහාසික මාලා නාට්‍යය ද වේ.