අලුත් සින්දු ගැන කියන අලුත් සින්දුවක්

උත්පලාගෙන්
පෙබරවාරි 28, 2019

ගීතයේ පදමාලාව:

ඉස්සර නුඹෙ ලස්සන හිත මියැදුණා ද

මල්සර ගැඹුරුම ගී හඬ ගොළු වුණා ද
පෙම්වතියන් හද ඇනගෙන මියැදුණාද
පෙම්වතුන්ගේ ලෝකය දෙදරා ගියාද

එකම වචන එකම තනුවට කිය කිය
ගැහැනු හඬින් කෑ මොර දී පෙම් අයදිමින්
තිස්සෙම ඇයි රූප පෙට්ටියෙන් අඬ අඬ
අනේ පෞරුෂය බිඳගත් පෙම්වත් කැල

ලස්සන විරහෙන් ආදර කවි ගොත ගොත
ඉස්සර පෙම්වතියගේ හිත ලස්සන කෙරු
සුන්ද ඒ පෙම්වත් හිත් මියැදුණ ලොව
පෙම්වතියන් උපදින්නේ යළි කොහොමද

 

එල්විස්ලා වික්ටර් හාරලා කොපි කළ
තෝල්ස්තෝයි මැක්සිම් ගෝර්කිලා මඟ ගිය
රොක් ඇන් රෝල් කැලැසිකල් ජෑස් රොක් රස විඳි
සුපෙම්වතුන් හිටියලු ඉස්සර හරියට

 

මොනවද අද කාලෙ හැදෙන සිංදු ගැන කියන්න තියෙන්නේ?

ඔබගෙන් කිසියම් කෙනෙකු එම ප්‍රශ්නය ඇසුවහොත් . . . ඔබ ඊට ලබාදෙන පිළිතුර මම අනුමාන කරමි. එය මෙසේ වන්නට ඉඩ ඇත.

අපෝ . . . අද තියෙන්නේ සින්දු ද . . . අඬන එකනෙ කරන්නේ. තනුවකට වචන ටිකක් දාලා අඬනවා. ඕවද සිංදු.

බහුතරයකගේ මතය වන්නේද එයයි.

අලුත් සිංදුවක් අහන්නට කලින් ලේන්සුවකුත් අතේ තියාගෙන ඉන්න ඕන ගායකයාගේ කඳුළු පිහදාන්න.

මා මිත්‍රයකු කී වදනක් එලෙස සිහි විය. තරමක උපහාසාත්මක ප්‍රකාශයක් වුව ද එහි යම් සත්‍යයක් ඇත්තේය. අපේ ගීතවල විරහව කොතරම් මුසුව ඇතිද. මිල්ටන් මල්ලවාරච්චි, මිල්ටන් පෙරේරා වැනි ගායකයින් එකල හැඳින්වූයේ විරහ ගී උල්පත් හැටියටය. නමුත් අද සිදු වී ඇති දෙය කුමක්ද? මෙම ඛේදවාචකය නෙත ගැටුණු නව පරපුරේ ගායිකා උත්පලා සුමුදුමාලි ඒ අදහස ඔස්සේ ගීතයක් නිර්මාණය කිරීමට උත්සුක වූවාය. යෞවනයන් ගමන් ගන්නා මඟ දෙස විමසිලිමත්ව බලා සිටි ඇය එම ගීතයට ඒවා අන්තර්ගත කළාය. එකී අදහස් කැටිව එම ගීය රචනා කරන ලද්දේ සම්මානනීය සංගීත අධ්‍යක්ෂවරයකු වන දර්ශන රුවන් දිසානායකයි. ඔහු ඕනෑ තරම් සංගීතයෙන් පෙළහර පා තිබේ. එහෙත් පද රචකයකු වශයෙන් අප ඔහු හැඳින තිබුණේ නැත.

දර්ශන තුළ සිටින ඒ අපූරු පද රචකයාගේ නිර්මාණශීලී පරාසය කොතෙක්දැයි උත්පලාගේ මෙම ගීතය රස විඳිද්දී ඔබට පසක් වනු ඇත. ඉස්සර නුඹෙ ලස්සන හිත යනුවෙන් නම තබා ඇති එයට රූප රචනයක් සිදු කරන ලද්දේ ටෙලි සිනමා අධ්‍යක්ෂවරයකු වශයෙන් නමක් දිනා සිටින නාලක විතානගේ විසින්. එම රූප රචනය ද වෙනස් මඟක් ගත් එකකි. උත්පලා ගී ගයන අතරතුරදී පසෙකින් මාලිනී ෆොන්සේකාගේ රුව රැගත් චිත්‍රපට දර්ශනයකි. තවත් වරෙක ටයිටැනික් හි අමරණීය සුපෙම්වතුන් පෙන්වයි. රොක් ඇන්ඩ් රෝල් නර්තන දර්ශනයක් ද තවත් මොහොතකදී දිස් වෙයි. ඒවාට අමතරව පෙම්වතුන් යුවළක් ද වෙති. ඉන්දික දේශප්‍රිය සහ ටිෂානි සිල්වා එම චරිතයන් නිරූපණය කොට තිබේ. කොළඹ සහ යාගොඩ පාලම අවට රූපගත කළ මෙම වීඩියෝව සඳහා ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙන බව උත්පලා පවසන්නීය.