කූඩැල්ලෝ නැද්ද?

පෙබරවාරි 7, 2019

ටිකිරි රත්නායකගේ කුසුමාසන දේවි ටෙලි සිතුවම ජන ආකර්ෂණය දිනාගෙන මේ දිනවලදී විකාශය වෙනවා. එහි කුසුමාසන දේවිය හැටියට රඟපාන්නේ විදුෂි උත්තරා. ඇය පිළිබඳ ලිපියක් ඉකුත්දා සරසවියේ පළ වුණා ඔබට මතක ඇති. විදුෂි හරි බයයිලු කූඩැල්ලන්ට. කූඩැල්ලෝ දැක්කම උන් හිටි තැන් අමතක වන ඇයට තරු විසිවෙන සිදුවීමක් වෙලා. කුසුමාසන දේවි ටෙලි සිතුවමේ රූගත කිරීමක් තිබිලා තියෙනවා නුවර උඩවත්ත කැලේ. එතැනට ගියාම තමයි විදූෂිට තරු පෙනිලා තියෙන්නේ. රූපගත කිිරීම තිබුණු තැන බහුල වශයෙන් කූඩැල්ලෝ ඉන්නවලු. විදූෂිගේ ඇඟ කිලිපොළා ගිහින්. රඟපාන්න බැහැ කියන්නත් බැහැනෙ. තමන්ගේ හිතේ තියෙන බය අනෙක් අයත් එක්ක කිව්වට පස්සේ නිෂ්පාදන කණ්ඩායමේ කිහිප දෙනෙක් එකතු වෙලා එතැන හොඳට සුද්ධ පවිත්‍ර කළාලු. පැහැදිලිවම කූඩැල්ලන් නැති බව පසක් කරගත් පසුවයි විදූෂි සැනසීමේ එදා රඟපාලා තියෙන්නේ. හවස සෑහෙන වෙලාවක් නැවත නැවතත් දෙපා පරික්ෂා කරලා බැලුවලු කූඩැල්ලො එහෙම ඉන්නවද කියලා.

නිශ්ශංක විජේරත්න