සෞන්දර්යා රජිනිකාන්ත් යළි යුගදිවියට

පෙබරවාරි 14, 2019

දකුණු ඉන්දීය සුපිරි නළු රජිනිකාන්ත්ගේ දෙවැනි දියණිය සෞන්දර්යා රජිනිකාන්ත් පසුගිය 11 වැනිදා යළි විවාහ දිවියට පිවිසියා. ඉන්දීය සිනමා ක්ෂේත්‍රයේ චිත්‍රපට අධ්‍යක්ෂවරියක, නිෂ්පාදකවරියක, පරිගණක නිර්මාණ ශිල්පිනියක ලෙසින් නමක් දිනා සිටින සෞන්දර්යා අතිනත ගත්තේ කෝටිපති ව්‍යාපාරිකයකු වන විශාගන් වනංගමුඩි සමඟින්. ඔවුන්ගේ විවාහ උත්සවය චෙන්නායිහිදී පැවැත් වූ අතර එයට ජනප්‍රිය කලාකරුවන් සහ දේශපාලනඥයින් රැසක් සහභාගි වී සිටියහ.

සෞන්දර්යා මීට පෙර අශ්වින් රාම්කුමාර් නම් ව්‍යාපාරිකයකු සමඟින් විවාහ වී සිටි අතර දෙදෙනා අතර යම් යම් නොගැළපීම් හේතුවෙන් පසුගිය වසරේ වසරේදී එම විවාහයට තිත තැබිණි. ඔවුන් දෙදෙනාගේ පුතු වේද් තුන්හැවිරිදිය. පරිගණක නිර්මාණ ශිල්පිනියක ලෙසින් සිනමාවට පිවිසි සෞන්දර්යා සිය පළමු වෘත්තාන්ත සිනමා අධ්‍යක්ෂණය ලෙසින් Kochadaiiyaan  රිදි තිරයට ගෙන ආවේ ඉන්දීය සිනමාවේ චලන ග්‍රහණ තාක්ෂණයෙන් (Motion Capture) නිර්මිත පළමු දෙමළ චිත්‍රපටය ලෙසින්. එහි ප්‍රධාන චරිතය නිරූපණය කළේ ඇයගේ පියා රජිනිකාන්ත් වීමත් විශේෂයි.