අමීර්ටත් කොරෝනා

අප්‍රේල් 1, 2021

 

කොරෝනා වෛරසය පැතිර යාම තවමත් නතර වී නොමැත. එය ලොවපුරා දහස් ගණනින් ආසාදනය කරමින් බොහෝ කටයුතු අඩාල කරමින් සිටී. මාස ගණනක් සියලු රාජකාරි කටයුතු නවතා දමා මිනිසුන් තම නිවෙස්වලට වී සිටියේ එයින් ආරක්ෂා වීම පිණිසය. මේ වන විට බොහෝ දෙනා තම වැඩරාජකාරි ආරම්භ කරමින් සිටී. බොලිවුඩයද මාස ගණනක විවේකයකින් පසු නැවත ක්‍රියාත්මක වූයේ බොහොමයක් රූගත කිරීම් සඳහා විදෙස් රටවල් තෝරා ගනිමිනි.

නමුත් පසුගිය මාස කිහිපය තුළ බොලිවුඩයටද කොරෝනා බලපෑම එල්ල විය. අමිතාබ් බච්ච්න්, අභිෂේක් බච්චන්, ඓශ්වර්යා රායි, අර්ජුන් රාම්පාල්, සනී ඩියොල්, මනෝජ් බජ්පායි, රන්බීර් කපූර්, නිතු කපූර් වැනි තරුද කොරෝනා ආසාදනයට ලක් වූහ. අමීර් ඛාන්හටද කොරෝනා ආසාදනය වී ඇති බව බොලිවුඩ් පුවත් වාර්තා කර සිටී. ඔහු වෙනුවෙන් නියෝජිතයෙකු නිල ප්‍රකාශක් නිකුත් කරමින් කියා සිටියේ, අමීර් කොවිඩ් 19 ආසාදනය වූ බවට තහවුරු වූ බැවින් නිවසේ නිරෝධායනය වෙමින් සිටින බවයි. ඒ වෙනුවෙන් වූ උපදෙස් අනුගමනය කරමින් සිටින අතර මෑත කාලයේදී ඔහු සමඟ කටයුතු කළ සියලු දෙනා පූර්වාරක්ෂාවක් ලෙස පරීක්ෂා කර ගන්නා ලෙසත් එයින් දැනුම් දී ඇත.

 

ප්‍රීතිමත් නර්තනය

 

 

 

චිත්‍රපටයක රූගත කිරීම් සාර්ථකව අවසන් කිරීම් චිත්‍රපට කණ්ඩායම ලබන විශාල සතුටක්. විශාල පිරිසකගේ එකතුවෙන් සිදුවන ක්‍රියාදාමයක සාර්ථක නිමාව එහි ඉදිරිගමනට ගෙන එන්නේ සවියක්. අභිෂේක් බච්චන් සහ යමී ගෞතම් රංගනයෙන් දායක වූ 'දස්වි' චිත්‍රපටයේද රූගත කිරීම් පසුගියදා නිම කෙරුණේ මෙලෙසින්. 'දස්වි' චිත්‍රපටය ඉන්දියාවේ අධ්‍යාපන ක්‍රමය මත පදනම් වූවකි. එහි රූගත කිරීම් අවසන් වූ බව එහි ප්‍රධාන නිළි චරිතයට පණ පෙවූ යමී ගෞතම් සැමරුවේ චිත්‍රපටයේ රූගත කිරීම්වලින් වීඩියෝ කිහිපයක් ඉන්ස්ටග්‍රැම් වෙත නිකුත් කරමින්.

එපමණක් නොව ප්‍රීතිමත් නර්තනයක් ඉදිරිපත් කරමින් 'දස්වි' චිත්‍රපටයේ රූගත කිරීම් සාර්ථකව අවසන් වූ බව පවසන වීඩියෝවක්ද ඒ අතර වේ. තවද අමතක නොවන අත්දැකීමක් යනුවෙන් සටහන් කරමින් චිත්‍රපට කණ්ඩායමට ස්තූතිය ද පුද කළාය. "අමතක නොවන දේ සහ ආදරණීය කණ්ඩායම් නිසා ඇතැම් චිත්‍රපටවලින් සමුගැනීම දුෂ්කරයි" යනුවෙන්ද ඇයගේ සටහනේ වේ. යමී පවසන්නේ නව චිත්‍රපටයක් ආරම්භ කිරීමට පෙර තමාට නිතරම තරමක බියක් දැනෙන නමුත් පළමු දර්ශනය රූගත කළ සැණින් එය තුරන් වී යන බවයි. මීළඟට තමා පැමිණෙන්නේ ත්‍රාසජනක චිත්‍රපටයකින් බවත් ඇය පවසන්නීය.

 

සම්මානනීය උපන්දිනය

 

 

සමාජ මාධ්‍යවල ක්‍රියාකාරී වන නිළියක වන කන්ගනා රනාවුත් සිය 34 වන උපන්දිනය පසුගියදා සමරනු ලැබීය. එම උපන්දිනය ඇයට විශේෂ වූයේ සිය සිනමා දිවියේ සිව්වන ජාතික සම්මානය අතැතිව එය සැමරීමට ලැබීමයි. මෙවර උපන්දිනය ඇයට සිය මව සමඟින් සැමරීමට නොහැකි වූවද ඇගේ නිවසේ ඒ වෙනුවෙන් පැවති පූජාවක ඡායාරූපයක් සමඟින් සටහන් කර සිටියේ "මට ගෙදර නැතුව දුකයි, උපන්දිනය වෙනු‍වෙන් අම්මාගේ පූජා අපේ යහපැවැත්ම වෙනුවෙනි" එහි සඳහන් විය.

67 වැනි ජාතික චිත්‍රපට සම්මාන උලෙළේ හොඳම නිළියට හිමි සම්මානය ඇයට පිරිනැමුණේ 'මනිකර්නිකා: ද ක්වීන් ඔෆ් ජාන්සි' සහ 'පන්ගා' චිත්‍රපටවල රංගනයන් වෙනුවෙනි. තවද ඇයගේ රංගන දිවියේ සුවිශේෂ රංගනයක් ගෙන එන 'තලෙයිව්' චිත්‍රපටයේ පූර්වප්‍රචාරක පටයද එළිදැක්වීමට සූදානම්ව සිටී. එය ගෙන එන්නේ අභාවප්‍රාප්ත, තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම්ගේ චරිතාපදානයයි. ඉදිරියේදී ඇය 'ඩකාඩ්', 'තේජාස්' සහ 'මනිකර්නිකා රිටර්න්ස්' චිත්‍රපට ඔස්සේද දැකගත හැකි අතර හිටපු අගමැති ඉන්දිරා ගාන්ධිගේ චරිතය ද රඟපෑමට නියමිත බව ඇය මෑතකදී නිවේදනය කළාය.

 

 

 

සාර්ථකත්වයේ වට්ටෝරුව

 

 

විකී කෞෂාල් හැඳීන්වෙන්නේ මේ වන විට බොලිවුඩයේ සාර්ථක ගමනක නිරත වෙමින් සිටින නළුවකු ලෙසින්. ඔහුගේ රංගනයන් අතර 2019 වසරේ තිරගත කෙරුණු 'යූරි : ද සර්ජිකල් ස්ට්‍රයික්' චිත්‍රපටය විශේෂ අවධානයට ලක් වූවක්. 'සංජු', 'රාසි', 'මසාන්', වැනි ජනප්‍රිය චිත්‍රපට ඔහුගේ රංගනයෙන් ඔපවත් වූ තවත් චිත්‍රපට කිහිපයක්.

2012 වසරේදී සහාය අධ්‍යක්ෂවරයකු ලෙසින් බොලිවුඩයට පිවිස රංගනයෙන් ජාතික සම්මානයකට සහ ෆිල්ම්ෆෙයාර් සම්මානයකට හිමිකම් කියන ඔහු පසුගිය දිනෙක පවසා සිටියේ සිය සාර්ථකත්වය සඳහා වූ වට්ටෝරුවයි. විකී විසින් දුනු ශිල්පයේ යෙදෙන අයුරු දැක්වෙන පින්තූරයක් සමඟින් සටහන් කර තිබුණේ වෙහෙස මහන්සි වී වැඩ කිරීම කාලයත් සමඟ වර්ධනය වන්නක් බවයි. 'භූත් පාර්ට් වන්: ද හොන්ටඩ් ෂිප්' නම් ත්‍රාසජනක චිත්‍රපටයේ අවසන් වරට දැක ගත හැකි වූ ඔහුගේ මීළඟ සිනමා නිර්මාණය වන්නේ 'සර්දාර් උදම් සිං' චිත්‍රපටයයි. 'ද ග්‍රේට් ඉන්දියන් ෆැමිලි' සහ 'තක්ට්' චිත්‍රපටවලටද ඔහු දායකවීමට නියමිතයි.

 

 

 

 

හොඳම හින්දි චිත්‍රපටය

 

 

67 වැනි ඉන්දීය ජාතික චිත්‍රපට සම්මාන උලෙළ පසුගියදා පැවති අතර එහිදී හොඳම හින්දි චිත්‍රපටය ලෙසින් පිදුම් ලැබූයේ අධ්‍යක්‍ෂ නිතේෂ් තිවාරිගේ 'චිචෝර්' චිත්‍රපටයයි. මෙම චිත්‍රපටය විශ්වවිද්‍යාල මිතුරන් පිරිසක් පිළිබඳ කියන අතර ඛේදජනක සිදුවීමක් හේතුවෙන් ඔවුන් නැවත හමුවන අයුරු ගෙන එයි. සුෂාන්ත් සිං රාජ්පුත්, ශ්‍රද්ධා කපූර් සහ වරුන් ෂර්මා ඇතුළු පිරිසක් එහි ප්‍රධාන චරිත නිරූපණය කළහ. බොලිවුඩයට ආන්දෝලනාත්මක සිදුවීමක් වෙමින් සියදිවි නසා ගැනීමෙන් ලොවෙන් සමුගත් සුෂාන්ත්ගේ අවසන් චිත්‍රපටය වූයේද මෙයයි.

මෙවර සම්මාන උලෙළේ හොඳම නළුවාට හිමි සම්මානය මනෝජ් බජ්පායි ('බොන්ස්ලේ') සහ ධනුෂ් ('අසුරන්') වෙත සමව පිරිනැමුණු අතර 'සුපර් ඩිලුක්ස්' චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් දෙමළ සිනමාවේ හොඳම සහාය නළුවාට හිමි සම්මානය විජේ සේතුපති වෙත පිරිනැමුණි.