වර්ෂ 2023 ක්වූ December 11 වැනිදා Monday
මේ මැයි ගහ යට නොගැයීම ගැන අද මට සතුටුයි

කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන
ඉබි ගමනින් යන්නේ...
උදේම නාගෙන චීත්තේ ඇඳගෙන
ආච්චි මේ එන්නේ...
හැත්තෑව දශකයේ ඉතාමත් ජනප්‍රිය වූ මේ ගීතය මේ අද දිනය වන විටත් අපේ කුඩා දූ දරුවන් අතර ආදරය දිනාගත් ගීතයක් බව කාටත් නොරහසක්. වර්තමානයේ ජීවත් වන දූ පුතුන් මේ ගීතය ගායනා කළ ගායිකාව කවුරුන් දැයි නොහදුනන නමුත් මේ ගීතයට කෙතරම් ආදරය කරන්නේදැයි කවුරුනුත් දනී. මේ ගීතයේ හිමිකාරිණිය ශිරෝමි ප්‍රනාන්දුය. ඇය දැනට වසර ගණනාවකට පෙර සිට විදේශ ගතව සිටී. එහෙත් වසර කිහිපයකට වතාවක් ඇය සිය මවිබිම වෙත පැමිණීමට අමතක නොකරයි.පසු ගිය දිනක එසේ පැමිණි මොහොතක ඇය හමුවීමේ අවස්ථාව අපට හිමි වුණා.
“ මම සින්දු කියනකොට ඔයාලා ඉපදිලත් නැතුව ඇති..., එසේ පවසමින් ඇය අප පිළිගත්තේ මහත් ආදරයකින්.
ඇය කිව්ව කතාව ඇත්ත තමයි. ඈ සින්දු කියනකොට අපි ඉපදිලත් නෑ තමයි. ඒත් අපි ඇගේ සින්දු වලට කොයි තරම් ආදරය කළාද? අදටත් ඒ සින්දු අපේ හිත් වලින් ඈත් වෙලා නෑ. දැන් අපේ දූ දරුවනුත් මේ ගීත වලට ආදරය කරනවා. කාලය ඉගිල්ලිලා ගිහිල්ලා. ඇය වියපත් වෙලා. හුඟක් දේවල් වෙනස් වෙලා .ඒත් ඈ ගයපු සින්දු නම් තවමත් වෙනස් වෙලා නෑ. ඒවා අදටත් පෙරදා වගේම ජනප්‍රියයි.
“ඇත්තටම මටත් හරි පුදුමයි. තවමත් මගේ ගීත වලට ළමයින් මෙතරම් ඇලුම් කිරීම ගැන. අද ඉන්න කුඩා දරුවෝ මගේ නම කිව්වම දන්නේ නැති වුණාට මගේ සින්දුවක මුල් පදයක් කියලා ඇහුවොත් හැමෝම දන්නවා. ඒ ගැන මට හරි සතුටක් තියෙන්නේ . ඇත්තටම කිවුවොත් දැන්නම් මම සින්දු කියන්නේ නෑ. මම හුඟාක් කාලයක් සින්දු කියන්නේ නැතුව හිටියා. මම දෙසැරයක්ම පිළිකා රෝගයට ගොදුරු වුණා. දෙවැනි වතාවටත් මම සුවය ලබමින් තමයි පසු වෙන්නේ. මුලින්ම මහ ගර්භාෂ පිළිකාවකට තමයි ගොදුරු වුණේ. ඉන් සුවය ලබලා ඉන්නකොට මට තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා තත්ත්වයක් ආවා.ඒ සඳහා ශල්‍යකර්මයක් කරන්න සිදු වුණා. ඒකෙන් පස්සේ කාලයක් මට කතා කරන්න පවා බැරුව ගියා. ඇත්තටම ඒ මොහොතේ නම් මට දරා ගන්න බැරි දුකක් ඇති වුණා නමුත් කාලයක් සමඟ මම ටිකෙන් ටික සුවය ලබන්න පටන් ගත්තා. දැන් මට තරමක් දුරට ගීත ගායනා කරන්න පුළුවන්. නමුත් ඉහළ ස්වර ගායනා තරත්දි තවමත් මට අපහසුවක් දැනෙනවා.ඒත් මේ පාර ලංකාවට ආවා ට පස්සේ මම “හඳමාමා“ වැඩසටහනට සම්බන්ධ වුණා ඒ වෙලාවේ මම ‘ කොන්ද නමාගෙන ගීතය ගායනා කළා.“
ගායිකාවකට තම කටහඬ තරම් වස්තුවත් තවත් තිබිය නොහැකියි. ශිරෝමිටත් කතා කරගත නොහැකි වන විට කොයි තරම් වේදනාවක්දැනෙන්න ඇත්ද කියා අපට සිතා ගත හැකියි. එහෙත් ඈ ඒ සියල්ලටම ඉවසීමෙන් මුහුණ දුන්නා. ඒ නිසාම දැන් ඇය නැවත වතාවක් සින්දු කියනවා .
“ මම සින්දු කියන්න පටන් ගත්තේ මට අවුරුදු පහේදීයි. මට කතා කරගන්න බැරුව ගියාම මට හරියට දුක හිතුණා . නමුත් දෙවියන්ට පින්සිදු වෙන්නට මට ආයෙත් කටහඬ ලැබුණා. මම ලංකාවට ආවට පස්සේ මම ආ බව දැනගෙන ගුවන් විදුලියේ “ හඳමාමා“ වැඩසටහනට මට කතා තළා. මම කොන්ද නමාගෙන ගීතය ඉස්සරලාම ගායනා කළේ හඳමාමා වැඩසටහනට. එතකොට මට වයස අවුරුදු 10 යි. සුමනා ජයතිලකයි ලැම්බට් පෙම්මාවඩුයි තමයි කලේ. මට හරි පුදුමයි තාමත් ඒ දෙන්නා ඉඳ හිටලා මේ වැඩසටහන කරනවලු. දැන් අවුරුදු 59 ක් වෙනවලු මේ වැඩ සටහනට. මේ පාරත් ඒ ගොල්ල මට ආරාධනය කළා. මමත් හරිම ආසාවෙන් ගියා. “
වසර පනස් නමයකට පස්සේ ඇය ආයෙත් හඳමාමා වැඩ සටහනේ කොන්ද නමාගෙන ගීතය ගායනා කළා .කොයි තරම් අපූරුද ?එදා අද ගෙවුණු මතක අතර තොයි තරම් දේවල් සිදු වෙලාද? එදා ළමා ගායිකාවක් ලෙසින් ඈ ගැයූ මේ ගීත ඇසූ බොහෝ දෙනෙක් අද බොහෝ වියපත් වෙලා .ඇයත් එහෙමයි. වියපත් වෙලා . ආච්චි ගැන ගීත ගැයූ ඇය අද ඇත්තටම ආච්චි කෙනෙක්. ඒක තමයි ජීවිත ස්වභාවය. ඒත් පෙනුම නම් තාමත් තරුණයි.
ඇත්තටම මම ගායිකාවක් බවට පත් වුණේ මගේ අම්මගේ මල්ලිලා නිසයි.හැත්තෑව දශකයේ අතිශයින්ම ජනප්‍රිය වූණු ධර්මරත්න බ්‍රදර්ස් සංගීත කණ්ඩායම කළේ මගේ අම්මගේ අයියලා හා මල්ලිලායි.මම තමයි ඒ පවුලේ පළවැනි මිනිබිරී. මම ඉපදුණ දා ඉඳලම මට නිතර අහන්න දකින්න ලැබුණේ සංගීතයම තමයි. ඉතින් මට අවුරුදු පහත් විතර වෙනකොට මගේ මාමාලා දැන ගත්තා මට සින්දු කියන්න හැකියාව තියෙනවා කියලා. මගේ අම්මගේ බාලම මල්ලී තමයි මෙල්රෝයි ධර්මරත්න. එයා තමයි මට මුලින්ම ගීත දෙකක් හැදුවේ. ඒ තමයි කොන්ද නමාගෙන ගීතය හා අම්මා පෙම්බර අම්මා ගීතය.මේ සින්දු දෙකමඔවුන් මට පුරුදු කළා.ඊට පස්සේ මම මාමලාගේ සංගීත කණ්ඩායම එක්ක මේ ගීත දෙක ගයන්නත් පටන් ගත්තා.ඔය අතරේ දවසක මාමා මාව රෙකෝඩින් ස්ටුඩියෝ එකකට එක්කන් ගිහින් මේ ගීත දෙක කියලා පෙන්නන්න කිවුවා. ඒ ගොල්ල ගීත දෙක අහලාහොඳට කියනවා කියලා සතුටු වුණා .නමුත් ගීත දෙක පටිගත කරන්න කැමැති වුණේ නෑ ඒ අය බය වුණා රිස්ක් එක ගන්න මම පොඩි වැඩි නිසා. ඒ හින්ද මම මේ ගීත දෙක ‘ හඳ මාමා වැඩසටහනට කීවා . ඊට පස්සේ ඒ ගොල්ල මේ ගීත දෙක නිතරම ප්‍රචාරය කරන්න පටන් ගත්තා. ඒ හරහා තමයි සින්දු දෙකම ජනප්‍රිය වුණේ.ඊට පස්සේ ඒක ‘ ගීතධාරා වැඩසටහනේ ඉහළටම ආවා .ඒ වෙනකොට මුළු ලංකාවම මේ ගීත ගැන දැන ගත්තා.“
ශිරෝමි කියන්නේ අතීත ස්මරණයන් ආදරයෙන් සිහිපත් කරමින්. අවුරුදු 10 ක පුංචි ගැහැනු ළමයෙක් ඒ වන විට මුළු රටේම ආකර්ෂණය දිනා ගත්තා. මුලින් රෙකෝඩින් කරන්න පස්ස ගැහුව අයත් දැන් දැන් ශීරෝමි පස්සේ එන්න ගත්තා. ගීත රෙකෝඩ් කරන්න. අන්තිමේ මේ ගීත තැටිගත කිරීමේ අවස්ථාව හිමි වුණේ සූර්යයා ලේබලයටයි.මුලින්ම සූරියා ලේබලයෙන් ශිරෝමි ගේ ගීත 04 ත් තැටි ගත කළා.
පොඩි කාලේ දඟ කෙරුවාම
අඩමින් කරදර කෙරුවාම
ඔබේ දෝතට අරගෙන මාව
...............
අම්මා ...පෙම්බර අම්මා ....
තාත්තා පෙම්බර තාත්තා....
සූර්යයා ලේබලයෙන් ආව මේ ගීතයටත් ඒ කාලේ ලැබුණේ නොමද ප්‍රසාදයක්. ඒ විතරක්ද සකල බුජං කොට කලිසම් තමයි අඳීන්නේ සහ හඳහාමි ගීතයත් ඇතුළත් වුණේ මේ තැටියට.1971 තමයි ඇගේ මේ ගීත තැටිය එළි දැක්වුණේ.ළමා ගායිකාවක් වුණත් මේ වනවිට ඈ ඉහළම ගණනක් අය කරන ගායිකාවක් බවට පත් වුණා.
‘ ඇත්තටම මේ සින්දු ජනප්‍රිය වෙන්න පටන් ගත්තට පස්සේ මට ප්‍රසංග වේදිකාවලටත් ආරාධනා ලැබෙන්න පටන් ගත්තා.මගේආචිචියි මාමායි තමයි හැම වෙලේම මගේ තනියට මා පිටු පස්සෙන් හිටියේ. මම සින්දු කිව්ව කියලා ඉගෙනීම අතහැර ගත්තෙත් නෑ මම ඉස්කෝලෙ ගියේ යහපත් එඬේරාගේ කන්‍යාරාමයට. ඉගෙනීමත් හොඳීන් කළා.ඒ අතරම සූරියා ලේබලයටම තවත් ගී තැටි තුනක් කරා.ඒ ගී තැටි වල තමයි ‘ කවුද කවුද තට්ටු කළේ. කරුංකා ගෙඩියක්. බලල් හාමිනේ. වැනි ගීත අඩංගු වුණේ.
ශිරෝමි ළමා ගායිකාවක් විතරක් නොවෙයි. ළමා නිළියක් ද වුණා. ඈ නිළියක් වුණේ සින්දු කියන්නත් ඉස්සරින්මයි.ඇය ඉස්සරලම රඟපෑවේ “මහදැනමුත්තා‘‘ සහ සුදු දුව කියන චිත්‍රපටවල.සුදු දුව චිත්‍රපටයේ සන්ධ්‍යා තුමාරි . රෝයිද සිල්වා ඇතුළු පිරිසත් සමඟ ඇය රඟපෑවලු. මේ දිනවල ඇය සුදු දුව චිත්‍රපටයේකොපියක් සොයමින් සිටිනවා. ඇය නැවත යනවිට සිය දරුවන්ට පෙන්වන්න රැගෙන යන්නට.මේ චිත්‍රපට දෙකෙන් පස්සේ ඇය ළමා ගායිකාවක් විදියට රංගනයේ යෙදෙමින් කළ ආදරේ හිතෙනවා දැක්කම හා සිකුරුලියා වැනි චිත්‍රපට වල මතකය තවමත් ඇයට සොඳුරු මතක සැමරුම රුගෙන එනවා.
“ ආදරේ හිතෙනවා චිත්‍රපටයේ ගාමිණී මාලිනී සමඟ රඟපාමින් ආකාසේ රැස් විහිදා කියන ගීතය ගායනා කළා කරුණාරත්න අබේසේකර තමයි ගීතය රචනා කළේ. පී එල් ඒ සෝමපාල සංගීතවත් කළා. ඊට පස්සේ ‘ සිකුරුලියා චිත්‍රපටයේ‘හිම කන්දේ මනමාලි කියලා ගීතයක් ගායනා කළා ක්ලැරන්ස් විජේවර්ධන සංගීතවත් කළේ මට ක්ලැරන්ස් කරපු එකම එක ගීතය ඒක තමයි අනෙක් සියලුම ගීත කළේ මාමායි.තව මම හොඳට හොඳයි චිත්‍රපටයට මාමේ කියන්නකෝ කියලා ගීතයකුත් ගායනා කළා.මට කොහොමත් ළමා ගීත විතරක් තමයි ගායනා තරන්න අවස්ථාව ලැබුණේ. හුඟක් ඉස්සර ‘ මේ මැයි ගහ යට දවසක් දා‘ ගීතය මුලින්ම මට ගායනා කරන්න තමයි මාමා ලෑස්ති කලේ. නමුත් මගේ සුළු පියා ඒවගේ ආදර ගීතයක් ගයන්න තරම් මම සුදුසු නෑ කියලා ඒකට අකැමැති වුණා. ඒ නිසා ඒගීතය මිල්ටන් මල්ලවාරච්චි ගායනා කළා. අද මිල්ටන් ගේ ගීත අතරින් ඉහළින්ම තියෙන ගීතයක් ඒක. අද මම ගොඩාක් සතුටු වෙනවා එදා ඒක කියන්න නොලැබුණ එක ගැන. ඒක මම කිව්වා නම් ඔය තරම් ජනප්‍රිය වෙන්නේ නෑනේ.
ශිරෝමිට ආදර ගීත කියන්න ඇත්තටම වෙලාවක්ලැබුණේ නෑ .ඒකට හේතුව ඇයට අවුරුදු දහ නවය වනවිටම ඇය විවාහ දිවියට එළඹීමයි.
මගේ පවුලේ ළඟම හිතවතෙක් වුණු ,මගේ හොඳම රසිකයෙක් වුණු සුනිල් වැලිකල එක්ක මම විවාහ වුණා. එයා වැවිලි කරුවෙක්. ඊට පස්සේ මම එයත් එක්ක බණ්ඩාරවෙල වත්තට ගියා. එතැනින් පස්සේ මගේ ජීවිතේ වුණේ මහත්තයායි දරුවෝයි තමයි.කොළඹ හැදුණු මම ඒ ලස්සන පරිසරයේ නිස්කලංක බවට කැමති වුණා.මට දුවෙකුයි පුතෙකු ඉපදුණා.වත්තේ බොහොම නිස්කලංක ජීවිතයක් ගෙවන කොට තමයි 89 කලබල පටන් ගත්තේ ඒකෙන් මගේ මහත්තයාට ගොඩක් කරදර ආවා. ඊටපස්සේ අපි තීරණය කළා රටින් යන්න. මුලින්ම අපි එංගලන්තයට ගියා. ඊට පස්සේ අපි කැනඩාවට පදිංචියටම ගියා.
මට මුළින් එහේ යන එක හරිම හිතට අමාරු වූණා. ලංකාවේ ඉන්න කොට මම කවදාවත් රෑකියාවක් කළ කෙනෙක් නාවෙයි .නමුත් එහෙදි අපි දෙන්නම රැකියා කරන්න ඕන වුණා.පස්සේ ඉතින් හැම දේටම හුරු වුණා.2003 දී මගේ මහත්තයා කැන්සර් එහෙකින් හදිසියේම නැති වූණා ඒක මට හරියට දරා ගන්න බැරිවුණා.මොකද එයා තමයි මගේ ජීවිතේ හැමදේම වුණේ. මම අවුරුදු 19 ඉඳලම ජීවත් වූණේ එයත් එක්කයි.ඊට පස්සසේ මම මගේ දරුවෝ දෙන්නා වෙනුවෙන් තමයි කාලය කැප කළේ. මට ඕන වුණා දරුවෝ දෙන්නට හොඳට උගන්වන්න. දැන් ඒ ගොල්ල ඉගෙන ගෙන හොඳ රැකියාවල නියුතු වෙනවා. පුතා විවාහ වෙලා .දැන් මට මිනිබිරියකුත් ඉන්නවා.ඔය අතරෙදි තමයි මම කැන්සර් පේෂන්ට් කෙනෙක් වුණේ.ඒකටත්‍කොහොම හරි මම මුහුණ දුන්නා. දැන් මම නිදහස් ජීවිතයක් ගත කරනවා. මගේ මහත්තයා නමින් ගාල්ල කරාපිටිය රෝහලේ කැන්සර් රෝගීන්ට මම උදව් කරනවා.ඉදිරි කාලය නිදහසේ ගෙවන්න බලාපොරොත්තු වෙනවා.“