මේ TV එක බිත්තියේ එල්ලන්නේ නෑ.

-නිලේන්ද්‍ර දේශප්‍රිය
දෙසැම්බර් 2, 2021

 

ත්‍රිවිධ නාලිකාව ගැන මුල්ම අනාවරණය

 

වයස අවුරුදු දා හතක තරම් වූ කුඩා කාලයේදී 'රැජිණ' චිත්‍රපටයෙන් සිය වෘත්තීය දිවිය ඇරැඹි ඔහු, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, ගාමිණි ෆොන්සේකා, ඩී. බී. නිහාල් සිංහ, තිලක් ලක්ෂ්මන් සෙනෙවිරත්න ආදී දේශීය සිනමාවේ යුග පුරුෂයන්ගේ සිනමා කෘතින්හි සහාය අධ්‍යක්ෂකවරයා වෙමින් දේශීය සිනමා වංශකතාවේ එතෙක් බිහි වූ විශිෂ්ට සහය අධ්‍යක්ෂවරුන් අතර ඔහු එක් අයෙකි. පරිපාලනය හා නිර්මාණකරණය එක්ව ගෙන ටෙලිවිෂනයට අවතීර්ණ වන එතෙක් මෙතෙක් ලාංකේය ප්‍රේක්ෂකයාට උන්මාදයක් වූ සිරස සුපර්ස්ටාර්, ඔබද ලක්ෂපති මමද ලක්ෂපති, හිරු මෙගා ස්ටාර්, හිරු ස්ටර් රියැලිටිකරණයේ නව මානයන් ඔස්සේ දේශීය ප්‍රේක්ෂාගාරයට එක් කළ ඔහු, ලංකේය සිනමාවේ එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම අධ්‍යක්ෂවරු සමඟ ඔවුන්ගේ සිය කුලුඳුල් සිනමා අත්දැකීම් හරි හරියට ඔපදැමු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි. ටෙලිවිෂනයේ පෙරළිකාරයෙකි. ඔහු නමින් නිලේන්ද්‍ර දේශප්‍රිය වේ. සුවහසක් ලාංකේය ජන හදවත ආදරයෙන් වැලඳගත් නිර්මාණයන්හි නිමැවුම්කරුවාගේ ඊළඟ ටෙලිවිෂන් යුගප්‍රාප්තිය පිළිබඳ සරසවිය අපට දැනගන්නට ලැබුණි. ඒ පිළිබඳ ඔහු පළමුවරට අප සමඟ හඬ අවදි කළේ මෙලෙසිනි.

 

අලුත් වැඩේ ගැන කතාකරන්න කලින් අපි මුල මතක් කරගෙන ඉමු?

සක්‍රීය සිනමා කර්මාන්තයක් හා නාට්‍ය ක්ෂේත්‍රයක් යන දෙකම නැති රටක ප්‍රේක්ෂකයාට පහසුවෙන්ම ළං විය හැකි ගෘහස්ථ උපකරණය ටෙලිවිෂනය. මිලියන 22 ක ජනගහනයක් ඉන්න ලංකාවේ ටෙලිවිෂන් මිලියන 4.5 ක් තියෙනවා. ටෙලිවිෂන් නාළිකාවක අවශ්‍යතාවය මුලින්ම දැනෙන්නේ මම සිරස ටීවී ආරම්භයට අවුරුද්දකට පෙර. සිරස නාළිකාව මමත් නිමල් ලක්ෂපතිආරච්චිත් ප්‍රමුඛත්වය ගෙන ආරම්භ කළා. 1998 දී සිරස ආරම්භ කරන විට අප තේරුම් අරන් තිබුණා එවකට තිබුණ නාළිකාවල ආකෘතියට සම්පූර්ණයෙන්ම වෙනස් වූ ආකෘතියක වැඩසටහන් කළ යුතුයි කියලා. ඒ ඔස්සේ අත්හදා බැලූ ක්‍රමවේද ගණනාවක් සාර්ථක වුණා. ඒ වෙනසයි 1998 දී සිරස ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂකයා භාර ගත්තේ.

 

ආකෘතිය වෙනස් කළේ?

එවකට වැඩසටහන් ඉදිරිපත් කළ මාධ්‍ය තුළ සිටි ප්‍රවීණයින් වෙනුවට අපි හිතුවා තරුණ පරම්පරාවට මෙය විවෘත කළ යුතුයි කියලා. ඔවුන්ට හැකි වුණා ජන හදවත ස්පර්ශ කිරීමට. ඒ වගේම එවක ටෙලිවිෂනයේ හැරවුම් ලක්ෂ්‍යය බවට සිරස පත් කිරීමේ වුවමනාව සක්ෂාත් කරගැනීමට මා සිනමාවෙන් ආ කෙනෙක් වීම හා තිලක් ලක්ෂ්මන් සෙනෙවිරත්න, ගාමිණි ෆොන්සේකා, චන්ද්‍රරත්න මාපිටිගම, විජය ධර්ම ශ්‍රී, ඩී.බී. නිහාල්සිංහ වැනි අධ්‍යක්ෂවරුන් සමඟ වැඩකර ලබාගත් අත්දැකීම් ඉවහල් වුණා.

 

අද ලාංකේය සිනමාවේ දැවැන්ත සිනමාවේදීන්ගේ ප්‍රථම නිර්මාණාත්මක කෘතිය දොරට වඩින්නේ ඔබේ සහය අධ්‍යක්ෂණය සමඟ. සහය අධ්‍යක්ෂණය කියන කාර්යය ඔබට අනුව විස්තර කළොත්?

ජෝන් හූස්ටන් කියන ඇමෙරිකානු සුප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂවරයා ඔහුගේ  'An open book' කියන ස්වයං අපදානයේ වෙනම පරිච්ඡේදයක් වෙන් කරනවා සහය අධ්‍යක්ෂවරයා ගැන ලිවීමට. ඒ පරිච්ඡේදය ආරම්භ වන්නේම “assistant directors are the captains of the team”  කියලා. කැප්ටන් ලෙස කණ්ඩායම ගෙනගිය නිසාත් චිත්‍රපටවල වැඩ කළ නිසාත් මම ටෙලිවිෂන් දිහා බැලුවේ ටෙලිවිෂන් දිහා බලන විදිහට නොවේ. නිර්මාණකරුවන් අතර පරාක්‍රම නිරිඇල්ල, ප්‍රසන්න විතානගේ, සුදත් දේවප්‍රිය, ජයන්ත චන්ද්‍රසිරි, සුදත් මහදිවුල්වැව, ජැක්සන් ඇන්තනී, මේ අය මාව සොයාගෙනවිත් මා සමඟ වැඩ කළා. ඒ මා මගේ වෘත්තීය රාජකාරිය ඉක්මවා ගිය දේවකාරිය කොට සැලකීම නිසා. ඇතැම්විට අධ්‍යක්ෂවරයාට වඩා මූල්‍යමය ඉපැයීමක් මා කළා.

 

ඔබ චිත්‍රපට කලාව හා එහි සිනමාත්මක හැඩය ටෙලිවිෂනයට ගෙන ආ ආකාරය කතා කරමු?

අධ්‍යක්ෂවරයෙක් චිත්‍රපටයක් කළාම දවස් සියයක් පමණ නොකඩවා තිරගත කරලා, අවශ්‍යකරන ආදායමත් ලබලා, සම්මානත් ලබනවා. මේ සියල්ල කරන්නේ කතාන්දර කීමේ කලාව ඒ අය ප්‍රගුණ කරලා තිබුණ නිසා. එය මම දැනගෙන හිටියා. ටෙලිවිෂනයට ඇවිත් අල්ලාප ප්‍රලාප කියවීම අතර මගේ ඉන්සයිට් එක හම්බුණේ මම සිනමා කර්මාන්තයෙන් ආ නිසා .ඒ ඉන්සයිට් එකට පින්සිදුවෙන්න එතෙක් තිබූ ටෙලිවිෂන් ආකෘතිය දෙස බලන්න මට අවශ්‍ය වුණේ නෑ. මම කල්පනා කළේ ප්‍රේක්ෂකයා සිනමාහලට යනවා වගේම කතන්දර කීමේ කලාව ටෙලිවිෂනයට ගේන්න.

 

ඔබ සාර්ථක වුණා?

මිනිසුන්ට අවශ්‍ය කතාන්දර අහන්න. ඒ ගැන දුර අතීතයේ ගල් යුගයේ බිත්තිවල ඇඳපු චිත්‍රවලත්, ගිනිමැලය ළඟ සිට අභිනයෙන් කළ රංගනයේත් එතනින් මෙහාට ආච්චි- සීයා කියපු කතන්දරත්, අම්මා පොතක් බලන් කියන කතන්දරෙත් අහන්න අපි ආසයි. ඒ කතාන්දර කීමේ කලාව ටෙලිවිෂනයට ගෙන ඒම 'නෝනාවරුනේ මහත්වරුනේ', ලංකාවේ පළමු slapstick comedy  එක, කතුර, නිදි කුමාරි වැනි නිර්මාණ තුළින් ටෙලිවිෂනයට ගේන්න හැකි වුණා.

 

ලංකාවට මෙගා නාට්‍ය හඳුන්වාදීමෙත් පුරෝගාමියෙක් ඔබ. කාසියක දෙපැත්ත මෙන් ඕනෑම දෙයක හොඳ නරක දෙකම තියෙනවා. හොඳට වගේම එහි අනිසි ප්‍රතිඵලයක් වේ නම් එයටත් ඔබ වගකිවයුතුයි?

පළමු මෙගා නාට්‍යය ලංකාවට හඳුන්වාදීමේ ගෞරවය සහ එයින් ඇති වූ භයානක ප්‍රතිඵලයටත් වගකිවයුත්තෙක් මම. දාමිණි ලංකාවේ සතියේ දින පහේම දිනපතා විකාශය වූ නාට්‍යය. කොටස් 500ය ඉක්මවා විකාශය වුණා. ඊට කළින් අහලා තිබුණේ සතිඅන්තයේ විකාශය වූ දූ දරුවෝ නාට්‍යය විතරයි. එයත් කඩලා දාන්න “දාමිණි”ට හැකි වුණා. මේ කතාව ප්‍රේක්ෂකයා දවස් පහේම බලන්න පෙළඹුණා. මේ හරහා ටෙලිවිෂන් කර්මාන්තයේ නියැළෙන්නන්ට සංස්කෘතික බලපෑමක් ඇති වුණා. ටෙලිවිෂන් කර්මාන්තයේ විශාල රැකියා ප්‍රමාණයක් බිහි වුණා. මොකද මෙය හැමදාම රූ ගත කළ යුතුයි. මෙය කර්මාන්තට ලොකු අත්වැලක් වුණා. නළුවා නිළිය වගේම කාර්මික ශිල්පීන්, උපකරණ කුලියට දෙන අය, සංස්කරණ මැදිරි, මේ සියල්ලම වැඩ කරන්න පටන් ගත්තා. දාමිණි NLRB  රේටින්වලින් උඩට ආවයින් පසුව මෙගා නාට්‍ය සම්ප්‍රදාය ලංකාවේ ආරම්භ වුණා.

 

රියැලිටිකරණය නැත්නම් ‍රියැලිටි වැඩසටහන් කිරීම තුළින් ඔබ බලාපොරොත්තු වුණේ කුමක්ද?

සිරස තුළ මම කළ වැඩසටහන්වල කූටාප්‍රාප්තිය එලැඹෙන්නේ සිරස සුපර්ස්ටාර් ආරම්භ කිරීමත් සමඟ. යථාරූපී ටෙලිවිෂන් ශානරය තුළින් පැමිණි පුද්ගලයින්ගේ ජීවිත සදාකාලයටම වෙනස් කරනවා. වැඩසටහනට ආ පුද්ගලයා නොවෙයි වැඩසටහනින් පසු එළියට යන්නේ. ජීවිතය සුවපත් කිරීම සඳහා මාර්ගයක් ලබාදීම පින් කටයුත්තක්. සිරස සුපර්ස්ටාර් ලංකාවේ ටෙලිවිෂන් සංස්කෘතික උන්මාදය සහ පුනුරුදයක් බවට පත්වෙලා අනෙක් නාළිකා සියල්ලටම හොඳ අභිප්‍රේරණයක් හා අත්දැකීමක් වුණා. විශේෂයෙන්ම තරුණ පරම්පරාව වරප්‍රසාදිත සහ තහවුරු වුණ ශිල්පීන් ඉතා සුළු පිරිසක් සිටිය රටක තරුණ පරම්පරාවක් බිහිවෙලා ඔවුන්ගේ ගායනය මිනිසුන් වැලඳගත්තා පමණක් නොවේ රුපියල් 10 බැගින් වියදම්කර SMS ගහන්න ගත්තා. පසුව එය විදුලි සංදේශ නියාමන කොමිසමෙන් තහනම් කළා. අදවන විට නොමිලේ SMS යවන තැනට ඇවිත්. අද නාළිකා වියදම් කරලා SMS ගහගන්න තැනට ඇවිත්. SMS හිඟාකනවා.

 

හිරු ස්ටාර් තුළින් SMS නැති කළා?

ඉහත කී කාරණය තේරුම් ගත් නිසයි මම 'හිරු ස්ටාර්' ගෙනාවේ. ඉදිරිය පිළිබඳ සිතීමේ හැකියාව මට තියෙනවා කියලා මම විශ්වාස කරනවා. SMS වෙනුවට ප්‍රේක්ෂක මනාපය ලබාගැනීමට හිරු ස්ටර් සඳහා මම ඇප් එකක් නිර්මාණය කළා. එය සාර්ථක වෙයි කියලා ඒබීසී මාධ්‍යජාලයවත් විස්වාස කළේ නෑ. ඇනලොග්වලින් ඩිජිටල්වලට එය ගෙනාවා. තරුණ පරම්පරාව මෙය ඉතා ඉක්මනටම ග්‍රහණය කරගත්තා. SMS යල් පැන ගිය දෙයක් බවට පත්ව තිබූ අවධියක 2019 දී හිරු ස්ටාර් ආරම්භය ඩිජිටල් ඇප් එක හරහා සිදු වුණා. අනුරාධපුර චාවකච්චේරියේ හෝ කිරින්දේ සිට වගේම උතුරු ඇමෙරිකාවේ කැනඩාවේ හෝ දකුණු ඕස්ට්‍රේලියාවේ කැන්බරා සිට ස්වයිප් කරත් අර විශාල පුළුල් තිරය මත ඔබේ රූපය වැටෙනවා. ප්‍රේක්ෂකයා ඇප් එක ස්වයිප් කරලා බලන්නේ මාව තිරයේ පේනවද කියලා. අනෙක් අතට විශාල යකඩ ගොඩක් වූ වීඩීයෝ තිරය ප්‍රේක්ෂක මනාපය මත ශබ්දය සමඟ ඉහළට එසවෙද්දි අම්පාරේ ඈත ගමකින් ජීවිතය වෙනස් කිරීමේ යතුර සොයාගෙන ආ කෙනාට දැනෙන හැඟීම යාවත්කාලීන කිරීම. ඒ තමයි ඩිජිටල් ඇප් එකකින් ටෙලිවිෂන් කිරීම.

 

සිනමාවෙන් ක්ෂේත්‍රයට අත්පොත් තබන ඔබ ඔබේම කියලා එකම සිනමා පටයයි එළිදක්වන්නේ. සිනමාව එපා වෙලාද? නතර කළාද?

එපා වෙලත් නෑ. නතර කරලත් නෑ. එක නිර්මාණයකින් තවත් නිර්මාණයකට යෑම පාරමිතා පුරනවා වගේ වැඩක්. ඔබේ ප්‍රශ්නයට මගේ උත්තරය මම මෙහෙම දෙන්නම්. (කියා ඔහු ඇතැති රතුපාට තරමක් දිග බර පොතක් මේසය මත තැබුවේය. එහි 9 ව්ධ්ව්ඡ් යනුවෙන් සඳහන් කර තිබුණි. මම ඉතා ඕනෑකමින් පිටු එකිනෙක පෙරළා බැලූවෙමි. ඒ ඔහුගේ ඊළඟ සිනමා කෘතියයි. ඉතාම සියුම් තැන් පවා සැළසුම් සහගතව මුල සිට අගට පෙළගස්වා තිබිණි. පොත පෙරළා බැලූ මා වික්ෂිප්තව ඔහු දෙස නැවත බලනවිට ඔහු පැවසූවේ " තිළිණි මෙවැනි නිර්මාණයක් කිරීමට කාලය අසීමිතව අවශ්‍යයි. කාලය ගෙන නිර්මාණ කිරීමට මම කැමැතියි.

 

මොකද්ද මේ ත්‍රිවිධ ටීවී කියන්නේ?

මේක අපේ අතේ තියන් යන්න පුළුවන් ටෙලිවිෂනයක් කිව්වොත් හරි. ලංකාවේ ටෙලිවිෂනයේ ආපසු සැරයක් මම පෙරළියක් කරනවා. මීට අවුරුදු විසිතුනකට කළින් මම සිරස ඉද්දි තැනූ ආකෘතිය තමයි දැන් තියෙන ප්‍රධාන ධාරාවේ නාළිකා සියල්ලම අනුකරණය කරන්නේ. උදේ පිරිත් ඊළඟට පත්තරය, ඊළඟට කාන්තාව කේන්ද්‍රීය කරගත් වැඩසටහන් , ඉන්පසුව දහවල් එකට චිත්‍රපටයක්, ඒ චිත්‍රපට පෙන්වීමත් ලංකාවේ ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්ම කියලා ඒ සිනමාවේදින්ට කරන ගෞරවයක් ලෙස කරපු එක අද ආකෘතියක් කරගෙන. ඉන්පසුව කාටූන් 7.00 ට ප්‍රවෘත්ති කියලා මම හදපු රන්දෙපැය පටන්ගන්නවා. ඒකටත් මම වගකියන්න ඕන. අදටත් සිදු වෙන්නේ ඒක. පසුව ආයෙත් ප්‍රවෘත්ති කියලා පොරකුකුළො කොටවගන්නවා වගේ දේශපාලන කෑ ගසීම්. මේ ඔබටයි මටයි කටපාඩම් ටෙලිවිෂන් ආකෘතිය. මීට එහා ටෙලිවිෂන් තියෙන බව ලංකාවට මම පෙන්වනවා. එය මගේ දක්ෂතාවය මතම පදනම් වූවක් නොවේ. එහෙම දේවල් ලෝකයේ තියෙනවා. මම කරන්නේ එයින් බිඳක් ගෙන ඒම.

 

මොකද්ද ත්‍රිවිධ ආකෘතිය?

එයට ව්‍යවස්ථාවක් තියෙනවා. කොපි කරන සංස්කෘතියට අවශ්‍ය තොරතුරු ලබා දෙනවා. ඒ ආකෘතිය ටෙලිවිෂන් චැනල් එක දියත් කරන පළමු සතියෙන් දැකගත හැකි නොවේවී. නමුත් මම කරන දේ කියන්නේ නැතුව කරන්න කැමැතියි. මම නොකරපු ටෙලිවිෂන් ගොඩක් තියෙනවා. වසර විසිතුනකට කළින් මම කළ දේ අදටත් කරනවා වගේ ආයෙත් ඒ අයට මම කරන දේ දිහා බලාගෙන කරගන්න පුළුවන්.

 

ලෝකයේ ඇති දේ ලංකාවට කෙතරම් දුරට ගැළපෙනවාද?

මනුෂ්‍ය වර්ගයාගේ සිතුම් පැතුම් සියල්ල එකයි. ආදරය එකවගේ නම් ලෝකයේ තියෙන වටිනාම හැඟීම වූ ප්‍රේමය, දාරක ස්නේහය, විශ්වීය නම් විශ්වයේ එන මානූෂීය හැඟීම් එක නම්, ටෙලිවිෂන් පමණක් වෙනස් වෙන්නේ කොහොමද? අපි නියෝජනය කරන කලාව විසින් නිර්මාණය කරනුලබන කවිය,චිත්‍රය, සිනමාව, ටෙලිවිෂන් මේ සියල්ල විශ්වීය භාෂාවක්. ලෝකයේ විවිධ රටවලට ගිහින් ලබාගත් දේ මගේ ලගේජයේ තියෙනවා. මම එයින් එක එක එළියට ගැනීමයි කරන්නේ.

 

ත්‍රිවිධ නම හදන්නේ සහ හැදෙන්නේ කොහොමද?

හදන්නේ මම. හැදෙන්නේ ශ්‍රී ලාංකේය ටෙලිවිෂනයේ තුන්වෙනි ඇස කියන අදහසින්.

 

කවද්ද ත්‍රිවිධ ටීවී ප්‍රේක්ෂකයාට බලන්න පුළුවන්?

දළ වශයෙන් ජනවාරි මාසයේ අන්තිම වගේ.

 

සංඛ්‍යාත නැත්නම් frequency එකක් ලබාගැනිම උගහට වූ කාලයක නිලේන්ද්‍ර දේශප්‍රියට ටීවී පටන්ගන්න කොහෙන්ද frequency කියලා කවුරුහරි චෝදනා කළොත්?

කළින් විකාශන කටයුතු කළ නාළිකාවක විකාශන අයිතිය අප යටතට පවරගෙන මෙහි නම වෙනස් කොට ත්‍රිවිධ ටීවී ලෙසින් ලෙසින් ප්‍රේක්ෂකයා අතරට ගෙන යන්නේ. එයයි සත්‍යය.

 

ඇනලොග් ඩිජිටල් වන කාලයක ඔබ ඇනලොග් එකකින් ආරම්භය ගන්න තීරණය කළේ ඇයි?

මෙය තවදුරටත් ටෙලිවිෂන් චැනල් එකක් නොවේ. මගේ වැඩිපුර අවධානය තිබෙන්නේ ඇප් එකට. මෙය අතේ ගෙන යා හැකි ටෙලිවිෂනයක්. මෙය බස් එකේ කෝච්චියේ ‍යන ගමන් බලන්න පුළුවන් ටෙලිවිෂනයක්. මිලියන 4.5 කට තියෙන බිත්තියේ හයි කරන ටෙලිවිෂනය වෙනුවට මෙය මිලියන විසිදෙකක් වූ සියලු ලාංකිකයන්ට බලන්න පුළුවන් ටෙලිවිෂනයක්. මගේ ටෙලිවිෂනය තවදුරටත් බිත්තියේ එල්ලලා නෑ.

 

එන්ටර්ටේන්මන්ට් ඉන්ඩස්ට්‍රි එකේ නමක් සනිටුහන් කළ නිලේන්ද්‍ර දේශප්‍රිය ත්‍රිවිධ තුළින් ප්‍රේක්ෂකයාට දෙන්නේ මොනවද?

ඊළඟ රියැලටිය තුළින් ජීවිතය වෙනස් කරන යතුර හොයන අවුරුදු 18 ත් 35 ත් අතර ලාංකේය තරුණ ජීවිත සදාකාලයටම වෙනස් කරනවා. එයයි ත්‍රිවිධ ටීවී වෙතින් පළමුවෙන්ම ගෙන එන්නේ. එය අරන් එනකල් කෙටිකාලයක් ඉවසන්න වෙනවා.

 

ඔබේ සිහිනය?

මම day dreamer  කෙනෙක්. මම ඇවිදින ගමන් හීන දකිනවා. මේ දැන් ඔබ සමඟ කතා කරන ගමන් වුණත් මම හීන දකිනවා. ඒවා පියවිලෝකයේ සිට පාට කරනවා.

 

ඔබ සහ නිමල් ලක්ෂපතිආරච්චි එකතුව ගොඩනැඟූ පරම්පරාව අද ක්ෂේත්‍රයේ ඉහළම තැන්වල ඉන්නවිට ඊට පසු පරම්පරාවට අභියෝගයක් විය හැකි පරම්පරාවක් ගොඩනැඟී නැත්තේ ඇයි?

අපේ පරම්පරාව එක්ක ගැටෙන්න ලැබුණ අයට ඒ භාග්‍ය උදාවුණා. ඒ හැමෝටම වෘත්තීයට අදාළ අත්දැකීම් ලබන්න හැකි වුණා. අද වෙලා තියෙන්නේ මෙතැන කරන ප්‍රෝග්‍රෑම් එක දිහා බලගෙන ඒ විදිහටම වහසිබස් දොඩන ජ්ර් නාළිකාවල ගිරව් ටිකයි ඔවුන් මෙහෙයවන මිනිස්සු ටිකක් ඉන්නේ. අධ්‍යාපනයක් නැතුව කවුරුන් හෝ යොදාගෙන හායි කොහොමද? මම ප්‍රෝග්‍රෑම් එක හොඳට කරනවද? අනේ තෑන්ක් යූ... ඔයා කැමැතිම සිංදුව දෙන්න අපි ලෑස්තියි කියලා සින්දු 20 ක් තියෙන චාට් ෂෝ එකේ කිව්වම මේක අහන් ඉන්න ශ්‍රාවකයා හෝ ප්‍රේක්ෂකයා ප්‍රෝග්‍රෑම් එක යන්නේ වෙනත් නාළිකාවක නම් හිරු එකේ මංගල ඩෙනිස්ගේ සින්දුවක් ඉල්ලනවා. එවිට අර නිවේදිකාව අසරණව බලා ඉන්නවා. ඔබට ලෙඩක් තියෙනවානම් එයට බෙහෙත් ගන්නවා හැර වෙනත් ලෙඩකට බෙහෙත් අරන් වැඩක් නෑනේ. මුලින් අච්චුව හරියට හදාගන්න ඕන.

 

කොහොමද ඒක කළ යුත්තේ?

මේ රටේ නීතී විද්‍යාලයෙන් නීතීඥවරු බිහිවෙනවා. හෙද විදුහලෙන් හෙදියන් බිහිවෙනවා. වෛද්‍ය විද්‍යාලයෙන් දොස්තරවරු බිහිවෙනවා. මේ ඔක්කොම වෘත්තීයවේදීන්. අවුරුදු ගණනක් ඉගෙනගෙන ප්‍රතිඥාවක් දීලා එළියට එන්නේම වෘත්තීමය සුදුස්සෝ වෙලා. ටෙලිවිෂනයේ අයට සිනමාවේ අයට කෙහෙන්ද උගන්වන්නේ? සිනමාව හා ටෙලිවිෂන් පූර්ණකාලීනව උගන්වන විශ්වවිද්‍යාල මට්ටමේ මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍ය පූර්ණකාලීනව ඉගෙන ගැනීමට තැනක් බිහිවිය යුතුයි. එහෙම වුණොත් අවුරුදු හතරෙන් මෙය විසදෙනවා. සිනමාව කර්මාන්තයක් කිරීමේ පියවරත් සමඟින් එය ආරම්භයට මේ වන විටත් කතිකාවත අප ගොඩනඟමින් සිටිනවා.