දෙයියනේ කියලා නළුවෙක් හින්දා කාර්ය බහුලයි සින්දු කිය කියා හිටියා නම්?

- මංජු මුදලිගේ
ජුනි 24, 2021

 

 

විටෙක එකිනෙකට වෙනස්වූ චරිත ඔස්සේ පුංචි තිරයෙන් ඔබ හමු වන මේ අපූරු චරිතය සැඳෑ කාලයේ පැවැත් වූ එළිමහන් සංගීත ප්‍රසංගවලදී ඔබ නෙත ගැටෙන්නේ නිත්‍ය ගායකයෙකු මෙන්ම නිවේදකයෙකුද ලෙසිනි. ඔහු නමින් මංජු මුදලිගේය. දිගු කලක් රංගන චාරිකාවේ නියැළෙන ඔහු පොල්ගහවෙල ලයිව් හොරයිසන් සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායකයාය. එමෙන් ම මයික්‍රෆෝනය අතට ගෙන ඊට උචිත භාෂාව හසුරවමින් ප්‍රසංග වේදිකාව රස ගන්වන මංජු මේ දිනවලදී සියත නාලිකාවේ විකාශය වන රැහේ ටෙලි සිතුවමේ තවත් වෙනස්ම වූ චරිතයකට පණ පොවයි. කොරෝනා වසංගතය හේතුවෙන් සංගීත ප්‍රසංග නොපැවැත්වීම නිසා ප්‍රසංග වේදිකාවේ සක්‍රීයව සිටි කලා කරුවන්ට අත්වූ ඉරණමට මංජුද මුහුණදී සිටී. එහෙත් ඔහු රංගන ශිල්පියෙකු වූ බැවින් ඒ ක්ෂේත්‍රය තුළ ඔහු නිතර හමුවන චරිතයක් බවට පත් වී ඇත.

 

ඉතින් කොහොමද මංජු?

දෙයියනේ කියලා නාට්‍යයක් රඟපාගෙන ඉන්නවා. හැබැයි ප්‍රසංග වේදිකාවේ කිසිම ප්‍රසංගයක් මේ දිනවල පැවැත්වෙන්නේ නැහැ. එයින් ජීවත්ව සිටි කලාකරුවෝ ගෙවල්වලට වෙලා ඉන්නවා. නමුත් මම නළුවෙක් හින්දා ටිකක් කාර්යබහුල වුණා. හැබැයි වෘත්තිමය විදිහට ප්‍රසංග වේදිකාවේ වැඩ කළ මගේ මිත්‍රයෝ බොහෝ දෙනෙක්ට නම් රස්සාවල් නැති වෙලා.

 

මේ තත්ත්වය මත ඔබ වැඩිපුර රංගනයට යොමු වෙලා වගේ?

සාපේක්ෂව එහෙම වැඩිවීමක් නැහැ. ලැබෙන ආරාධනා බාරගෙන රඟපාන්න යනවා. අන්තිමේට මම රඟපෑවේ රන්තිලි වැව කියන නාට්‍යයේ. ඒකෙ රත්තේ කියලා හොඳ චරිතයක් කළා. ඊට පස්සේ තමයි මේ රැහේ නාට්‍යයට සම්බන්ධ වුණේ.

 

ඒකත් වෙනස්ම චරිතයක් නේද?

ඇත්තටම මම වාසනාවන්ත නළුවෙක් කියලා හිතනවා. මොකද මට විවිධාකාරයේ චරිත ලැබුණා නිරූපණය කරන්න. රැහේ නාට්‍යයේ මම රඟපාන්නේ රෙන්ගන් කියලා චරිතයක්. ඔහු ඉන්නේ අහිගුණ්ඨික කණ්ඩායමක. ඒ තත්ත්වය මත ඔහුට ගිහිල්ලා සාමාන්‍ය පුද්ගලයෙක් වගේ සමාජයේ ජීවත් වෙන්න බැහැ. නමුත් රෙන්ගන් උත්සාහ කරන්නේ අහිගුණ්ඨිකයන්ට ලැබෙන්නේ නැති වරප්‍රසාද හොයාගෙන යන්න. ඒ නිසා ඔහු බාහිර පෙනුම ඉඳලා වෙනස් වෙන්න උත්සහ කරනවා. අහිගුණ්ඨිකයන් කියන්නේ කේරළේ ඉඳලා පැවත එන ජාතියක් කියලා තමයි පතපොතෙන් සඳහන් වන්නේ. ඉතින් ඔවුනට සාමාන්‍ය පුද්ගලයින් වගේ ජීවත් වෙන්නට හැකියාවක් නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් කඩේකට ගිහිල්ලා ඉඳගෙන කෑම කන්න මට හැකියාවක් නැහැ. කතාවට අනුව රෙන්ගන් රැහේ ජොබ් එකක් ගන්න ආස නැහැ. මේ ටෙලි නාට්‍යය හැදෙන්නේ සත්වෙනි දවස කියන චිත්‍රපටය ඇසුරෙන්. මම ඒ චිත්‍රපටයත් බලලා තියනවා. ඉතින් මම විශ්වාස කරනවා මට මේ ලැබුණු චරිතයට මට හැකි අන්දමින් සාධාරණයක් ඉටු කරනවා කියලා.

 

රෙන්ගා කියන්නේ ප්‍රේමවන්තයෙක්? එක් අතකින් බලනකොට

ඔව්. ඔහුගේ ආදරය දිනා ගත්තේ නල්ලක්කා. බලමුකෝ ඒ ආදරය කොහොම කෙරවල වෙයිද කියලා.

රැහේ නාට්‍යයේ රඟපාන්න ගිහින් වෙච්ච අමතක නොවන අත්දැකීම් මොනවද තියෙන්නේ?

මෙහි මුල් කොටස් කිහිපය අප අප රූපගත කිරීම් කළේ කුරුණෑගල ප්‍රදේශයේ. එතකොට අපිට ඇත්තම අහිගුණ්ඨික කණ්ඩායමක් සමග ජීවත් වෙන්න සිදු වුණා. ඔවුන් කන බොන විදි, කතාබහ කරන විදිය, අපි එතනදි ඇත්තටම අධ්‍යයනය කළා.

මට ඒ කාල වකවානුව නම් ජීවිතයට අමතක වෙන්නේ නැහැ.

 

ප්‍රසංග වේදිකාවේ රැඳී සිටි කලාකරුවෝ නන්නත්තාර වෙලා නේද? ඔබේ මිත්‍රයින් ගැන හොයලා බැලුවේ නැද්ද?

ඇත්තටම මම කතා බහ කළා. මේ මේ වසංගත තත්ත්වයක් එක්ක මුලින්ම බඩේ පහර වැදුණු අය අතරේ මුලින්ම ඉන්නේ ඔවුන්. වසර තුනක් විතර කාලයක් අපිට හරියාකාරව ප්‍රසංග පවත්වන්න බැරි වුණා. වෘත්තිමය විදිහට ප්‍රසංග වේදිකාවෙන් හම්බ කරගත්තු කලාකරුවෝ බොහෝ දෙනෙක් මේ නන්නත්තාර වෙලා තමයි ඉන්නේ. නමුත් මට වාසනාවකට මවුපියන්ගෙන් ලැබුණු දායාදයන් තියෙනවා. ඒ නිසා මට ලොකු ප්‍රශ්න නැතිව ජීවත් වෙන්න පුළුවන්. එහෙම බාහිර ශක්තියක් තියෙන පිරිස මේ කාලයේ කොහොම හරි ජීවත් වෙනවා. මම කියන්නේ එහෙම කිසිදු හව්හරණක් නැති අපේ පිරිසට මොකද වෙන්නේ. ප්‍රශ්නයක් එතන ඉතුරු වෙලා තියනවා නේද.

 

කලාකරුවන්ට ගියවර ලෝන් එකක් දුන්නා. ඒක ඔබ ගත්තා ද?

මට ඒක ගන්න ලැබුණේ නැහැ. මොකද මගේ ගම නාවලපිටිය. තකහනියක්ම එහේ ගිහිල්ලා ඔය ලියකියවිලි හදා ගන්නවා කියලා කියන්නේ ඒක වෙනමම මහන්සි වෙන්න ඕනේ වැඩක්. ඒ නිසා මාව එහේ යැවුණේ නෑ ඔය ලෝන් එකේ වැඩ වලට.

 

ඔබ ගීත කිහිපයක්ම ගයලා තියෙනවා,නමුත් ඇයි රූප රචනා කරන්න උත්සාහ ගත්තේ නැත්තේ?

රූප රචනයත් කරන්න තමයි මම සැලසුම් කරගෙන ඉන්නේ රන්තිලි වැව නාට්‍යය ලියපු උදය ප්‍රියන්‍ත කන්කානම්ගේ මට ගීත කිහිපයක් ළඟදි ලියල දුන්නා. චුට්ට චුට්ට හිනා වෙලා කියන ගීතය එහෙම එකක්. මම හිතනවා තව ගීත කිහිපයක් නිර්මාණය කරන්න. ඒ වගේම රූප රචනයක් ඉදිරිපත් කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

 

නළුවෙකු විදිහට ලැබෙන මුදල ගැන ඔබ තෘප්තිමත්ද?

මගේ වටිනාකමට මම මුදලක් ගන්නවා කියලා හිතන්න. ඒක තීරණය කරන්නේ මම මම ගැනම කරගන්නාවූ තක්සේරුවක් මත. මට රඟපාන්න ගිහිල්ලා යම්කිසි මුදලක් ලැබෙනවා නම් ඒ මුදල මගේ වටිනාකමට සමානයි කියලා මම තක්සේරු කරගෙන ඉන්නේ. නමුත් ඒ වටිනාකම වෙන කෙනෙකුට හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඒ අය ගන්නෙ ඒ අයට සරිලන මුදල. මම හිතනවා මට ලැබෙන මුදල ප්‍රමාණවත් කියලා. ඒ නිසා මම ඒ ගැන තෘප්තියෙන් තමයි ඉන්නේ.

 

මොනවද ඔබේ පවුලේ විස්තර

පවුලේ විස්තර ගැන කිව්වොත්, මමයි වයිෆුයි බබාලා දෙන්නයි. මගේ නිර්මාණ වලට මුලින් ම ප්‍රතිචාර ලැබෙන්නේ මගේ පවුලේ උදවියගෙන්.