අපි ‘ලෙවි’ ගෙවන්නේ නෑ බුද්ධි කීර්තිසේන අවධාරණය කරයි

දෙසැම්බර් 9, 2021

ඔහු සිනමා නිෂ්පාදකයෙකි. ඔහු චිත්‍රපට ශාලා හිමිකරුවෙකි. ඔහු කලක් මාධ්‍යවේදියෙකි. ඔහු කලාකාමියෙකි. එමෙන්ම ඔහු ව්‍යාපාරිකයෙකි. සිනමාව කර්මාන්තයක් කිරීම වෙනුවෙන් හඬ නැගූවෙකි. විවිධ ආයතනයන් හි සභාපතිකම් හෙබ වූ ජ්‍යෙෂ්ඨයකි. ඔහු නමින් බුද්ධි කීර්තිසේන ය. සිනමාව කර්මාන්තයක් ලෙස රජය පිළිගැනීම පිළිබඳ ඔහුගේ අදහස දැනගන්න සරසවිය අප ඔහුගේ නිවසට ගොඩවුණෙමු. මේ ඔහු ඒ ගැන වගේම තවත් බොහෝ දේ පිළිබඳ අප වෙත දැක්වූ අදහසයි.

සිනමා කර්මාන්තය අදවන විට කර්මාන්තයක් බවට රජය විසින් පිළිගෙන තියෙනවා. ඔබත් කාලයක සිට මේ වෙනුවෙන් අරගල කරන්නෙක්?

සිනමාව කර්මාන්තයක් බවට පත් කරන්න කියලා සුනිල් සිරිවර්ධන මැතිතුමා චිත්‍රපට ප්‍රදර්ශකයින්ගේ සංගමයේ සභාපති වෙලා ඉන්න කාලයේ සිටම ඒ කියන්නේ මීට වසර පනහකට පෙර සිටම මේ සඳහා සටන් කළා. ඒ වගේම විනෝද බද්ද ඉවත් කිරීම ඇතුළු තවත් යෝජනා ගණනාවක් රජයට ඉදිරිපත් කළා. නමුත් ඒ කිසිම දේකට එවකට පැවැති රජයන් කිසිදු සැලකිල්ලක් කළේ නෑ. සිරිමා මැතිණිගේ කාලයේ හා චන්ද්‍රිකා මැතිණිගේ කාලවල විවිධ පහසුකම් ලබා දුන් බව කිව යුතුයි. ඉන්පසු මහින්ද රාජපක්ෂ මහත්මයා බලයට පත්වෙල ඉන්න කාලයේ විවිධ බදු සහන සහ සිනමාව කර්මාන්තයක් කළ යුතු බවට හඳුනාගෙන තිබුණා. මේ වෙනුවෙන් බරපැන ගෙනගිය ප්‍රධානම සාධකය වන්නේ චිත්‍රපට ප්‍රදර්ශකයින්ගේ සංගමය. ඔවුන් අවුරුදු 50ක් මේ සඳහා නොකඩවා සම්බන්ධ වුණා. අනෙක් සංගම් තිබුණත් ඒවා චිත්‍රපට ප්‍රදර්ශකයින්ගේ සංගමය මෙන් සක්‍රීයව ක්‍රියාත්මක වුණේ නෑ. එදා සිට අද වන තුරුම අප මෙය සටනක් කර ගත්තා. ඒ ඔස්සේ සමහර දෙය ඉටුවුණා. සමහර දේ මඟහැරුණා. වර්තමානයේ එදා අප කිරීමට උත්සාහ කළ දේ යථාර්ථයක් වීම පිළිබඳ මා අතිශය සතුටට පත් වෙනවා. චිත්‍රපට ප්‍රදර්ශකයො වෙනුවෙන් මා අගමැතිතුමාට හා විමල් වීරවංශ මහත්මයාට ස්තූතිවන්ත වෙනවා.

දැන් සිනමාව කර්මාන්තයක් විදිහට පිළිඅරගෙන තියෙන්නේ. මේ තුළ ඊළඟ පියවර විය යුතු යැයි ඔබ හිතන්නේ?

සිනමා කර්මාන්තයක් විදිහට කරගෙන යෑමේ පහසුව වෙනුවෙන් කටයුතු කිරීමයි කළ යුත්තේ. සමහර සිනමාහල්වලට විදුලිය ගෙවීම සඳහාවත් ආදායමක් නෑ.සිනමා ශාලාවල විදුලිය සඳහා අයකෙරෙන මුදලේ අඩුවීමක් වෙනවා කර්මාන්තයක් විදිහට මෙය පිළිගැනීම තුළ. ඊළඟට චිත්‍රපට නිෂ්පාදනය සඳහා ණය සැපයීමේදී කර්මාන්තයක් වෙනුවෙන් ලැබෙන ණය සහන සහ වෙනත් පහසුකම් ලැබිය යුතුයි. ඒ නිසා චිත්‍රපට නිෂ්පාදකයින්, ප්‍රදර්ශකයින්, අධ්‍යක්ෂවරුන් සඳහා ලැබෙන සහයෝගය ශක්තිමත් වෙනවා. රජයෙන් ලැබෙන්නා වූ පහසුකම් වැඩි වෙනවා. ඊට අමතරව මේ කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් අපගේ සංවිධාන සැලසුම් සකස් කළ යුතු වෙනවා. කර්මාන්තයක් විදිහට අනුමත වුණා කියලා අපි නිදාගෙන ඉඳලා වැඩක් නෑ. අපට තියෙන්නේ මේ කර්මාන්තය හා බැඳුණු අවශ්‍යතා ඉටුකර ගැනීම වෙනුවෙන් කටයුතු කිරීම. පසුගිය ආණ්ඩුව කාලේ සිනමාව වෙනුවෙන් දීලා තිබුණ බදු සහන ඉවත් කළා.

සිනමාවේ ප්‍රගතියට චිත්‍රපට සංස්ථාවේ දායකත්වය කොහොමද ලැබිය යුත්තේ?

චිත්‍රපට සංස්ථාවට ලොකු වගකීමක් තියෙනවා සිනමා කර්මාන්තය සංවර්ධනය කිරීමට. ඒ වෙනුවට මට නම් පේන්නේ ක්‍රියාත්මක කළ නොහැකි නීතී රීතී දාගෙන ක්‍රියාත්මක නොකරන නීතීරීතී දාගෙන සමගියකින් තොරව සාකච්ඡාවකින් තොරව චිත්‍රපට කර්මාන්තය පිළිබඳ අවබෝධයක් නැති අය සමඟ එකතුව ක්‍රියා කරනවා මිසක් සිනමා කර්මාන්තයට අදාළ පුද්ගලයින් සමඟ සාකච්ඡා කිරීමට සහභාගී වෙන්නේ නෑ. මේ කරන්නේ සටනක් නොවෙයි.

චිත්‍රපට සංස්ථාව පිහිටුවීමේ කාර්යයටද ඔබත් දායක වූවෙක්?

චිත්‍රපට සංස්ථාව පිහිටුවීම සඳහා අපි දැවැන්ත මෙහෙවරක් කළා. ගාමිණි ෆොන්සේකා විරුද්ධ වෙද්දි ඇල්ෆ්‍රඩ් එදිරිමාන්න, ස්ටැන්ලි පෙරේරා, ඩොමි ජයවර්ධන, ඇන්තනී සී පෙරේරා, ශේන් ගුණරත්න හා මම එවකට මාධ්‍යවේදියෙකු හැටියටත් අපි ගොඩක් උදව් කළා. අපි ගොඩක් සටන් කළා. නමුත් මම අද දුක් වෙනවා එදා තිබූ අරමුණ වෙනුවෙන් අද කටයුතු නොකිරීම ගැන. මම කියන්නේ නෑ මේක දැන් ඉන්න සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩලය කළ දෙයක් කියලා. මේක පහුගිය අවුරුදු ගණනාවක කතාන්දරයක්. අපේ අද යෝජනාව නම් චිත්‍රපට සංස්ථාව වෙනුවට චිත්‍රපට නියාමන මණ්ඩලයක් පත්කළ යුතුයි.

ඒ හරහා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ?

නියාමන කොමිසමක් පත් කළාම චිත්‍රපට සංස්ථාවේ වගකීම් එක්තරා ප්‍රමාණයකට අඩුවන බව ඇත්ත. ඊට වඩා බලවත් වෙන්න පුළුවන්. චිත්‍රපට සංස්ථාව නීතී රීතී දානවා විතරයි ඒවා ක්‍රියාත්මක වෙන්නේ නෑ. හැබැයි නියාමන මණ්ඩලයක් ලෙස ගෙනෙන අලුත් පනත හරහා දැනට තියෙන පරන සර්කියුලර්ස් සියල්ලම අහෝසි වෙනවා. එහෙම වුණාම මෙය ක්‍රියාත්මක කරගෙන යන්නට අලුත් පාරක් තැනෙනවා.

නියාමන අධිකාරියක් ආවම චිත්‍රපට ගෙන්නන්නන්ගේ සංවිධාන ගැන සැලසුම් ක්‍රියාත්මක වනවා. අනෙක් අතට චිත්‍රපට සංස්ථාවට අධික සේවක පිරිසක් සිටිය යුතු නොවේය යන්නයි මගේ හැඟීම.

පසුගිය කාලයේ සිනමාහල් එකදිගට වැහෙන්න ගත්තා. මෙයත් එක අතකට සිනමාවට වන බලපෑමක්?

පසුගිය මාස තුනට කොළඹ නගරයේ පමණක් අවට සිනමාහල් 6-7 ක් වැහුණා. දෙමළ චිත්‍රපට ශාලා 3ක් වැහිලා. ඉතින් කොහොමද මේ රටේ සිනමාව කරගෙන යන්නේ. මෙහෙම සිනමාහල් වැහුණම ඇයි මේවා වැහෙන්නේ ඒ වෙනුවෙන් අපි මොනවද ගන්න ක්‍රියාමාර්ග. ඒ වෙනුවෙන් අප ක්‍රියාමාර්ග ගත යුතුව තිබෙනවා.

කඩාදමන ලද කිංස්ලි සිනමාහල ගැන ඔබට ඇති මතය මොකද්ද?

මම දකින්නේ මෙහෙමයි. කිංස්ලි සිනමාහල රටේ ඓතිහාසික සිද්ධියකට මුල් වුණ සිනමාහලක්. මෙය ලංකාවේ පළවෙනි කථානාද චිත්‍රපටය පෙන්වන ලද සිනමාහල. එදාමෙදාතුර මෙය ආරක්ෂා කරගැනීමට තිබුණා. මම කියන්නේ නෑ සංස්ථාවට මෙය ගන්න කියලා. වෙනත් රජයේ ආයතනයකින් මිලදී ගත යුතුයි කියලා. නමුත් මේ සිනමාහල් හිමියන් සමඟ සකච්ඡාවක් ඇති කරලා එදා තිබුණ තත්ත්වයට සංරක්ෂණය කළ යුතුව තිබුණා. මේ සඳහා වන යෝජනාව චිත්‍රපට සංස්ථාව විසින් ඉතිරිපත් කළ යුතු වුවත් ඒ සඳහා දැනුම් දීමක් මේ වන තෙක් සිදුවෙලා නෑ. සංස්කෘතික අමාත්‍යාංශයට තිබුණා මේ සිනමාහල සඳහා වන්දියක් ගෙවලා හෝ මෙය සුරක්ෂිත කිරීමට.මේ රටේ නීතියක් තියෙනවා සිනමාහලක් කොයිම අවස්ථාවක හෝ කැඩුවොත් වැහුණොත් ඒ සිනමාහල නැවත අලුත්වැඩියා කිරීම සඳහා.

මුදලක් වියදම් කරලා සිනමාහලට එන ප්‍රේක්ෂකයාට ලංකාවේ සිනමාශාලාවල තියෙන පහසුකම ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්ද?

බාර් සහ බොක්ස් සිනමාහලෙන් ඉවත් කළ යුතුයි. බාර් එකට යන්නේ සිනමාව රසවිඳින්න නොවෙයිනේ. බොක්ස් තරුණ තරුණියන්ගේ විනෝද සාගරය වෙලා. සල්ලි වැඩි ගාණක් වියදම් කරලා කාමරයකට යනවා වෙනුවට අඩු වියදමින් සතුටු වෙන්න. මේ දෙකෙන්ම සිනමාව බලන්නේ නෑ. දැනට ඉදිවෙන අලුත් සිනමාශාලාවල නම් පහසුකම් තියෙනවා. නමුත් සිනමාහල් ඉදිවෙන්නේ නෑ. අලුත් සිනමාහල් ඉදිකරන විට ඒ සඳහා අවන්හලක්, ටොයිලට් පහසුකම් තිබිය යුතුයි. මගේ නම් සිනමාහල් එකකවත් බොක්ස් නෑ. බාර් නෑ.

සිනමාශාලාවට නැවත ප්‍රේක්ෂකයා ගෙන්වා ගන්න නම් කඩිනමින් කළ යුතු වන්නේ මොනවාද?

විඳින්න පුළුවන් හොඳ චිත්‍රපට හැදෙන්න ඕන. ඒ වගේම සිනමාහල් හිමියන් දැනගන්න ඕන ඉතාම හොඳ පිරිසුදු තත්ත්වයෙන් සිනමාහල් පවත්වාගෙන යන්න. සිනමාහල් පරණ වුණාට කමක් නෑ. ඒවා පිරිසිදුව ලස්සනට කළමනාකරණය කළ යුතුයි. පරණ ගෙයක් වුණත් කුණු එක්ක තියෙනවට වඩා පිරිසිදුව තියෙද්දි ලස්සනයිනේ. එය පරණ වුණාට ප්‍රශ්නයක් නෑ. සුන්දර විදිහට තියෙන්න ඕන.

සිනේ සිටි සිනමාහල හා බැඳුණු ගැටලුව?

සිනේ සිටි කියන්නේ බී ඕ අයි ව්‍යාපෘතියක්. එය පාර්ලිමේන්තුවේ අනුමත පනතකට අනුව ක්‍රියාත්මක වන දෙයක්. එදා අපිට මේ වෘපෘතිය සඳහා රුපියල් මිලියන 260 ක් වියදම් කරන්න වුණා. සිනමාහල් දෙකක් හදන්න අවසරය ගත් නමුදු මම සිනමාහල් හතරක් හැදුවා. එයට අවසරය දුන්නා. නාගරික සංවර්ධන අධිකාරියෙන් කළ මේ යෝජනාව මම පුළුල් කරලා බී ඕ අයි එකට ගෙනියලා වියදම් කළමණාකරණය කරමින් කළා. මේ සඳහා වාහන බදු සහන ලබා දුන්නද මට සල්ලි තිබුණේ නෑ වාහනයක් ගන්න. එයට හේතුව මට වියදමට හරියන ආදායමක් ලැබුණේ නෑ. සිනමාහල් හතරක් ඊට අමතරව ස්ටූඩියෝ එකක් සංචාරක ව්‍යාපාරය සඳහා අවශ්‍ය පහසුකම් චිත්‍රපට ඉගෙනීම සඳහා විද්‍යාලයක් ආදී නොයෙක් පහසුකම් සඳහා අපි බී ඕ අයි අවසරය ගත්තා.

පහුගිය දවසක වුණ කලබගෑනිය මොකද්ද?

චිත්‍රපට සංස්ථාවේ එක්තරා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් කියලා තියෙනවා චිත්‍රපට සංස්ථාවට ගෙවිය යුතු ලෙවි එක ගෙවලා නෑ කියලා. එහෙම සතපහකවත් ගෙවීමක් මම එතැනට කරන්න නෑ. නමුත් අපි බීඕඅයි එකට වාර්ෂිකව ගෙවිය යුතුයි. මේ අය එක්ක සම්බන්ධතාවයක් ව්‍යාපාරික වශයෙන් නැති වුණාට සුහද සම්බන්ධතාවයක් තියෙනවා. මොකද අපි හැමෝම කරන්නේ සිනමාව නිසා. අපට චිත්‍රපට ලබාදෙන්නට එපා කියලා තියෙනවා අපි ලෙ.වි ගෙවන්නේ නෑ කියලා. ඉන්කම් ටැක්ස් ඩිපාර්ට්මන්ට් එකට, චිත්‍රපට සංස්ථාවට හා ඉමිග්‍රේෂන් ඩිපාර්ට්මන්ට් එකට යම් යම් වාරණ පැනවෙනවා මෙය බීඕඅයි ප්‍රොජෙක්ට් එකක් නිසා. මේ නීතය තේරුම් නොගත් නිලධාරින් නොයෙක් විදිහට කරදර කරනවා. එය නොදන්නා කම නිසා සිදු වූවක්. මට තරහා වෙන්න අවශ්‍ය නෑ මා කරන්නේ නීතීය ක්‍රියාත්මක කිරීම.

ඔබ සහා ගාමිණි ෆොන්සේකා මහතා බොහොම හොඳ යහළුවෝ?

චිත්‍රපට ක්ෂේත්‍රයේ මා වැඩ ආරම්භ කළ මුල් කාලයේ සිටම මට නොයෙක් ආකාරයෙන් උදව් උපකාර කළ කෙනෙක් ඔහු. අපගේ මිත්‍රත්වය බොහෝ පරණයි. ඔහු සිනමාකරුවෙක් විදිහට සිනමාව වෙනුවෙනුත් එහි නියැළෙන්නන් වෙනුවෙනුත් බොහෝ දෑ කළ කී අයෙක්. මට මතක් වෙනවා බැංකුවෙන් මට ණය මුදලක් ලබා ගැනීමට අවශ්‍ය වූ මොහොතේ ඔහු යාපනේ ආණ්ඩුකාරවරයා විදිහට ලියුම් ගණනාවක් ලියා ඒ ණය මුදල මා හට ලබා ගැනීමට උපකාර කළ ආකාරය.එදා අපි චිත්‍රපට සංස්ථාව ආරම්භ කරන්න යද්දි ඔහු විරුද්ධ වුණා මම පක්ෂ වුණා. නමුත් අපේ යාළුකම දෙදරලා ගියේ නෑ.

සේයාරුව - නිශ්ශංක විජේරත්න