වර්ෂ 2023 ක්වූ December 05 වැනිදා Tuesday
මං යන්නේ තාත්තාගේ හීනය පසුපසයි

පසුගිය දා ඉන්දියාවේ පැවැති ndie Shorts film Festival ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේ පිරිමි අංශයේ දක්ෂතම නළුවාට හිමි සම්මානය දිනාගනු ලැබූ පැතුම් මහගම ඒ සම්මානයට පාත්‍ර වූයේ සිය පළමු නිර්මාණය වූ Face කෙටි චිත්‍රපටයේ රංගනය උදෙසාය. ලාංකේය කෙටි චිත්‍රපට ක්ෂේත්‍රයට අභිමානයක් ගෙන දෙමින් සචින් සෙන්දිල් කුමාරන් හා සම අධ්‍යක්ෂණයක් ලෙස ගොඩනැගු Face කෙටි චිත්‍රපටය පිළිබඳ එහි සම අධ්‍යක්ෂ පැතුම් මහගම හා කළ සාකච්ඡාවකි මේ.
මේ ගමනේ ප්‍රවේශය ගැන කතා කරමුද ?
මගේ පාසල් අධ්‍යාපන කටයුතු නිම වූ පසු රංගනය හැදෑරීම සඳහා යොමුවුණේ නුගේගොඩ Imapas ආයතනය වෙතයි. එහි රංගනය පිළිබඳ අධ්‍යයන කටයුතු කරන අතරතුරයි සිරස ෆිල්ම් ස්ටාර් කියන රියැලිටි වැඩසටහන පිළිබඳ දැනගන්න ලැබුණේ. එය පැවැත්වුණේ 2017 වසරේදීිය. එයට අයදුම් කළ පසු අවසන් තරගකරුවන් කිහිප දෙනා අතරට එන්න මට හැකි වුණත් හදිසියේ සිදු වූ අනතුරක් නිසා මට ඒ තරගයෙන් ඉවත්වන්න සිදු වුණා. කෙසේ වෙතත් ඉන් අනතුරුව ටෙලි නාට්‍ය කීපයකටම රංගනයෙන් දායක වන්න හැකි වුණා.
ඒ කාලය තුළ මං ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ අධ්‍යයන කටයුතුවල නියැළී සිටි නිසා තීරණය කළේ අධ්‍යයන කටයුතු නිම කිරීමෙන් පසු නැවත රංගනයට පිවිසෙන්නයි. ඒ අනුව මගේ අධ්‍යයන කටයුතු නිම කළ පසු කළ පළමු නිර්මාණය තමයි ජ්චජඥ ලෙස නම් කළ මේ කෙටි චිත්‍රපටය.
එය සිරස ෆිල්ම් ස්ටාර් තරගාවලියේම මාත් සමඟ සිටි තරඟකරුවකු වන සචින් සෙන්දිල් කුමාරන් සමඟ එක් වී කළ සම අධ්‍යක්ෂණයක් ලෙසයි නිර්මාණය වුණේ. ඒවාගෙම මගේ පිටපතකට අනුවයි චිත්‍රපටය කළේ. චිත්‍රපටය නිෂ්පාදනය කර නිම කළ පසු එළි දැක්වීමට කලින් අන්තර්ජාතික සම්මාන උළෙල කීපයකට ඉදිරිපත් කරනු ලැබුවා. එහිදී ඉන්දියාවේ ඉන්දි ශෝර්ට්ස් ෆිල්ම් ෆෙස්ටිවල් 2022 තරගාවලියේ මේ චිත්‍රපටය වෙනුවෙන් මට එහි හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීමට හැකි වුණා.
ඉන්පසු සිනෙ වර්ල්ඩ් සිනමා උළෙලේ Best Sri Lankan Short Film මැයෙන් ප්‍රදානය කරනු ලැබු සම්මානය ද මේ චිත්‍රපටය වෙනුවෙන් හිමි කරගත හැකි වූවා.
ඉන්පසු රටවල් ගණනාවකම චිත්‍රපට උළෙල රැසක අවසන් චිත්‍රපට පහළොව හෝ විස්ස අතරටත් සුදුසුකම් ලැබුවා. ඒ අතර ශිෂ්‍යයන් සඳහා ලොව ප්‍රමුඛ වන සිනමා සම්මාන උළෙලක් වූ Student World Impact International Film Festival හිත් සම්මාන සඳහා එය නිර්දේශිත චිත්‍රපටයක් වී තියෙනවා.
එය ඔබට වඩා විශේෂ වන්නේ කොහොමද?
මෙය මගේ පළමුවැනි අධ්‍යක්ෂණය, පළමුවැනි තිර පිටපත සේම පළමුවැනි කෙටි චිත්‍රපට රංගනය ද වීම විශේෂයි.
මේ වෙද්දි ඔබ දායක වී සිටින නිර්මාණ මොනවාද?
නිර්මාණ කීපයකට දායක වී ඉන්නවා. ඒ සමහර නිර්මාණ රූපවාහිනී මාධ්‍යයේ විකාශය වී තිබෙන අතර සමහර නිර්මාණ ඉදිරියේදී විකාශය වෙන්න නියමිතයි. ඒ සියල්ල මා රංගනයෙන් දායක වූ නිර්මාණයි. මගේ මූලික බලාපොරොත්තුව සිනමාව මුලික කරගෙන රංගන ශිල්පියකු ලෙස කටයුතු කරන්නයි. ඒ වගේම තවත් ටික කාලෙකින් නැවත අප සියලු දෙනා කණ්ඩායමක් ලෙස කෙටි චිත්‍රපට කරන්නත් අපේක්ෂාවෙන් ඉන්නවා. මගේ අධ්‍යක්ෂවරයා කියන භූමිකාව තව කාලයකින් ඉදිරියට එන්න ඉඩක් තිබෙන අතරේ දැනට බලාපොරොත්තුව සිනමා ක්ෂේත්‍රය මූලික කරගෙන රංගන ශිල්පියකු ලෙස ඉදිරියට යෑමයි.
කෙටි චිත්‍රපටයක් කියන්නේ කුමක්දැයි ඇසුවොත් ඔබේ අදහස මොකක්ද? එහි විශේෂත්ව මොනවාද?
සාමාන්‍ය චිත්‍රපටයක වඩා වෙනස් ගුණාංග කීපයක් තියෙනවා. කෙටි චිත්‍රපටියකදී අපට ලැබෙන්නේ සීමිත කාල පරාසයක්. ඒ කාල පරාසයේ ජයගත යුතු අභියෝග රැසක් තියෙනවා. මුලිකවම අපට ලැබෙන සීමිත කාල පරාසයේ තමයි ලොකු චිත්‍රපටයක ලෙසම අපේ කතාව කියන්න වෙන්නේ. ඒ නිසා කෙටි චිත්‍රපටයක් කරන එක ගොඩාක් නිර්මාණශීලිව හා බුද්ධිමත්වයි කරන්න වෙන්නේ. ඉතින් කෙටි චිත්‍රපටයක් කරද්දී විෂය පිළිබඳ දැනුම, බුද්ධිය සේම විශාල නිර්මාණශිලිත්වයක් ද අවශ්‍යයි. එය අභියෝගාත්මකයි.
මේ වෑයමේදී මුහුණ දුන් අභියෝග මොනවාද?
මේ චිත්‍රපටය කරද්දී අපට ලොකු මුල්‍ය පිරිවැයක් දරන්න හැකියාවක් තිබුණේ නෑ. ඒ වගේම මේ සම්පුර්ණ නිර්මාණයම අපි කීප දෙනකුට පමණක් සීමා වී ගොඩනැඟී තිබුණේ. ඒ නිසා අපි එකිනෙකාට මේ නිර්මාණය කරද්දී දරන්න වූ වගකීම් ප්‍රමාණය ඉහළ මට්ටමක තිබුණේ. මේ කෙටි චිත්‍රපටය කළේ සැබෑ මානසික රෝහලක් තුළදීමයි. ඉතින් එවැනි තැනක ඒ පරිසරයටත් හානියක් නොවෙන්න අපේ නිර්මාණයත් හරියට කරගන්න එක තවත් අභියෝගයක් වුණා.
ඒ වගේම මේක සීමිත සම්පත් යොදාගෙන කළ නිර්මාණයක්. එය එක කැමරාවකින් අපි කළේ. සමහර රූප රාමු වෙන් නොකර එක පෙළට ගන්න වුණු අවස්ථා තිබුණා. ඒක අපි වෙනම සැලසුමකට අනුව කළේ. චිත්‍රපටයේ අපට තිබුණු සීමිත කාලය, පසුතලය භාවිත කරන්න ලැබී තිබුණු සීමිත කාලය වගේම සීමිත මුල්‍ය පිරිවැය ආදී කාරණා කීපයක් කළමනාකරණය කරගෙනයි අපට මෙය කරන්න සිදු වී තිබුණේ. මේ චිත්‍රපටයේ විශේෂත්වයක් තමයි කිසිදු දෙබසක් අඩංගු නොවීමත්. ඒ හින්දාම ඕනෑම රටක ඕනෑම භාෂාවක් කතා කරන අයකුට වුවත් රස විඳින්න හැකි නිර්මාණයක් විදියට හඳුනාගන්නත් පුළුවන්.
මෙහි අන්තර්ගතය පිළිබඳ ලැබුණු ප්‍රතිචාරය කොහොමද?
චිත්‍රපටය බලන කෙනාගේ මානසික මට්ටම අනුව ඒ ඒ පුද්ගලයාටම කතාවක් නිර්මාණය කරගන්න පුළුවන් විදියටයි මෙය ගොඩනැඟී තියෙන්නේ. එහිදී සම අධ්‍යක්ෂවරයකු විදියට මට ලැබුණු ප්‍රතිචාර අනුව මෙහි මූලික අදහස සමඟ අරුත් පහළොවක් විතර දැනටමත් ගළපාගෙන ඇති බව දැනගන්න ලැබුණා. ඒකත් මේ චිත්‍රපටයේ විශේෂත්වයක්. මුලික වශයෙන් අපි මේ චිත්‍රපටය කරන්න පෙලඹුණේ සිනමාව පිළිබඳ ඇති කැමැත්ත නිසා. හැබැයි පිටපත ගොඩනඟාගෙන යද්දී අදාළ තේමාව යටතේ ඊට පෙර අප එක් රැස්කර තිබු තොරතුරු හා දත්තත් ඇතුළත් කරගෙනයි මෙය වර්ධනය කළේ. මිනිස්සු මේක බැලුවට පස්සේ ඒ ගැන වැඩිදුරටත් හිතන විදියට, අපෙන් ප්‍රශ්න අහන විදියට කොහොමද මෙය ගොඩනඟන්නෙ කියල මුලිකව අපි කණ්ඩායමක් විදියට සාකච්ඡා කළා. ඒවාගෙම යමක් හරියට කරන්න ඕනෑයි කියන අදහස ඇතුළේ තමයි අපි හැමවිටම වැඩ කළේ. විශේෂයෙන් මනා හැදැරීමක් ඇතිවම එවැන්නක් කළ යුතුයි කියන අදහස හැමවිටම පෙරදැරී වුණා. මෙය විනාඩි දහයයි තත්පර පනස් පහක කාලයක් පුරා දිවෙන චිත්‍රපටයක්. දැනට මේ චිත්‍රපටය ලංකාවේ පැවැත්වෙන එක සිනමා උළෙලකට විතරයි ඉදිරිපත් කර තිබෙන්නේ. ඒ තමයි සිනෙ වර්ල්ඩ් ශෝර්ට් ෆිල්ම් ෆෙස්ටිවල් කියන සිනමා උළෙල හැබැයි එයත් ලංකාවේ පැවැත්වෙන අන්තර්ජාතික සිනමා උළෙලක්. එහිදී අපට ශී‍්‍ර ලංකාවේ හොඳම කෙටි චිත්‍රපටයට හිමි සම්මානය අපේ ටචජඥ කෙටි චිත්‍රපටය වෙනුවෙන් හිමිවුණා.
ප්‍රේක්ෂකයන්ට දැන් මේ කෙටි චිත්‍රපටය බලන්න අවස්ථාවක් තිබෙනවාද?
ඔව් දැන් යු ටියුබය ඔස්සේ මේ චිත්‍රපටය නැරඹිය හැකියි.
ඔබේ පවුලේ තොරතුරු දැනගන්න කැමැතියි
මගේ තාත්තත් මාධ්‍යවේදියක්. ඔහු චිත්‍ර කතා ශිල්පියකු ලෙස කටයුතු කළ චන්ද්‍රසිරි මහගම. තාත්තාගේ හීනයක් පසුපස තමයි මං මේ යන්නේ. පවුල් සහය නොලැබුණා නම් මට මේ කෙටි චිත්‍රපටය කරන්න අපහසු වෙන්නත් තිබුණා. මේ චිත්‍රපටයේ කටයුතු ආරම්භ වූ අවස්ථාවේ ඉඳන්ම ඔවුන් තමයි මාත් එක්ක හිටියේ. ඉතින් ඔවුන්ට මං ස්තූතියි කියන්න ඕනේ. ඒ වාගෙම මගේ කෙටි චිත්‍රපටය සමඟ සිටි කණ්ඩායම ගැනත් කියන්න ඕනේ.
එහි සම අධ්‍යක්ෂවරයා සචින් සෙන්දිල් කුමාරන්, කැමරා අධ්‍යක්ෂවරයා ශේන්, එහි සංගීත අධ්‍යක්ෂවරයා අජිත් සහ මෙහි සංස්කරණ කටයුතු කළ තරුෂ ආදි හැමෝමත් මේ වෙලාවෙ සිහිපත් කරනවා.
ඔබේ අනාගත අරමුණු කොහොමද සැලසුම් වී තියෙන්නේ?
කලින් සඳහන් කළා වගේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ මගේ අධ්‍යයන කටයුතු අවසන් කර උපාධිය ලබාගත්තා . ඊට අමතරව නීති විද්‍යාලයට ඇතුළත් වී නීතිඥයකු වීමේ අරමුණින් අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂාවෙන් සිටිනවා. ඊට අමතරව කෙටි චිත්‍රපට නිර්මාණකරණයේ දිගටම කටයුතු කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ සමඟ ටෙලි නිර්මාණ හා චිත්‍රපට අංශයටත් නිර්මාණකරුවෙක් විදියට යොමු වෙන්න අදහසක් තියෙනවා. සිනමා අංශයෙන් රංගන ශිල්පියකු ලෙස කටයුතු කිරීම මගේ මුලිකම අරමුණයි.