මම සිනමාව වෙනුවෙන්ම කැපවෙන්න සූදානම්

යොවුන් රංගන ශිල්පී උදාර චින්තක රාජපක්ෂ
නොවැම්බර් 3, 2022

මට රංගනය කියාදුන්නේ ජීවිතයෙන් සමුගත් පරාක්‍රම ජයසිංහයන්

ටෙලි විෂන් වෙළෙඳ දැන්වීම් හැත්තෑවකට වැඩි ප්‍රමාණයක් වෙනුවෙන් නිරූපණයේ දායක වූ උදාර චින්තක රාජපක්ෂ මේ වන විට වේදිකා නාට්‍ය ටෙලි නාට්‍ය, චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වී සිටී. කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ අධ්‍යාපනය ලැබු උදාර කිසිදිනෙක කලාකරුවකු වීමේ සිහිනයෙන් පසු නොවිණි. අහම්බෙන් දැන්වීම් කලාවේ නිරූපණ ශිල්පියකු වීමේ භාග්‍ය උදාකරගත් උදාර චින්තක මේ වන විට ටෙලිවිෂන් දැන්වීම් කලාවේ ජනපි‍්‍රය චරිතයක් වී හමාරය. 

ක්‍රිකට් ක්‍රීඩාවට මෙන්ම මලල ක්‍රීඩාවට වඩාත් ඇලුම් කළ පුද්ගලයකු වූ උදාර පාසල් ශිෂ්‍යයකුªව හිඳිනා අවධියේ ජාතික මට්ටමේ ජයග්‍රහණ රැසක් දිනූ ක්‍රීඩකයෙක් ද විය. විද්‍යා අංශයෙන් අධ්‍යාපනය ලැබු ඔහු පාසල් අධ්‍යාපනය අවසන් කිරීමත් සමඟ 2010 වසරේ හා පුරා කියා ටෙලි විෂන් වෙළෙදැන්වීම් නිරූපණය සඳහා එක් වුයේ තමන් කිසිදා එවැන්නක් අපේක්ෂා නොකළ මොහොතකය.

වෙළෙඳ දැන්වීම් කලාවේ නම ගිය ආයතනයක ආරාධනයෙන් ස්ක්‍රීන් ටෙස්ට් එකකට යන උදාරට රූපවාහිනි වෙළෙඳ දැන්වීමක් සඳහා ආරාධනා ලැබෙනුයේ තමන් කිසි දිනෙක අපේක්ෂා නොකළ එවැන්නක නිරූපණයක් සඳහා කැමැත්තක්වත් සිතෙහි නොතිබු අවධියකය. තාරුණ්‍යයෙන් පිරි පුන් දේහයකින් මෙන්ම කඩවසම් බටහිර පන්නයේ රූපකායකට හිමිකම් පාන රූ ස්භාවයකින් පිරී සිටි උදාරගේ පෙනුම දැන්වීම් කලාවේ ආකර්ෂණය සඳහා මැනවින් ගැලපීම නිසාවෙන් ඔහුට වෙළඳ දැන්වීම් ආයතනයේ ආරාධනය නිරන්තරයෙන් සිහි ගන්වන්නට විය. එම සිහි කැඳවීම් ප්‍රමාණයේ වැඩිවීමක් නිසාවෙන් උදාර අවසානයේ දැන්වීම් සඳහා පෙනී සිටින්නට තීරණය කරනු ලැබීය. වෙළෙඳ පොළේ නම ගිය මෝටර්සයිකල් දැන්වීමක් සඳහා ඔහු මුලින්ම නිරූපණ කාර්යයෙන් එක් විය. දැන්වීමේ සාර්ථකත්වයක් නිසාවෙන් එක් එක් වෙළෙඳ දැන්වීම් නිර්මාණකරණයේ නියුතු ආයතනයන්ගෙන් ඔහුට ආරාධනාවක් ගලාඑනු ලැබීය. එතැන් පටන් අද දක්වාම උදාරට ලැබෙන ආරාධනයත් පරිදි ටෙලි විෂන් වෙළෙඳ දැන්වීම් සඳහා නිරූපණ කාර්යයේ නියැළේ.

වෙළෙඳ දැන්වීම් කලාවේ ජනපි‍්‍රය චරිතයක් බවට පත්වන උදාර මේ වන විට වේදිකා නාට්‍ය ටෙලි නාට්‍ය මෙන්ම චිත්‍රපට නළුවකු වී හමාරය. 2014 වසරේ දමයන්ති ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ ගාස්තුව වේදිකා නාට්‍යයේ බියුකිං නැමැති චරිතය රඟමින් හා පුරා කියා ප්‍රසිද්ධ වේදිකා රංගනයට එක්විය. ඉන්පසු කුසුම් චන්ද්‍ර අධ්‍යක්ෂණය කළ එලීසා වේදිකා නාට්‍යයේ බෲනෝ නැමැති චරිතය රඟපානු ලැබීය. ලුවී වැන්ඩ්‍රස්ටාටන් තිරපිටපත ලියූ අජිත් ශ්‍රී පෙරේරා නිෂ්පාදනය කළ ලුවී වැන්ඩ්‍රස්ටාටන් හා දිනේෂ් සංජීව සම අධ්‍යක්ෂණයෙන් නිර්මාණය කළ සුරයා වීරයා චිත්‍රපටයෙන් උදාර හා පුරා කියා සිනමා රංගනයට අවතීර්ණ විය. එළැඹෙන දෙසැම්බර් මස තිරගත වීමට නියමිත සුරයා වීරයා චිත්‍රපටයේ රවී නැමැති චරිතය රඟමින් උදාර මෙරට සිනමා පේ‍්‍රක්ෂකයන් අතරට ඒමට නියමිතය.

උදාර මේ වන විට නවක අධ්‍යක්ෂවරුන් තිදෙනෙකුගේ චිත්‍රපට තුනක් සඳහා රංගනයෙන් දායක වී ඇති අතර ඒවායේ නම් ඉදිරියේදී වෙනස් වී තිරගත වීමට නියමිතය.

ටෙලි නාට්‍ය රංගනයට එක් වූ උදාර මේ වන විට ටෙලි නාට්‍ය නිර්මාණ දෙකක් සඳහා සිය රංගනයෙන් දායක වී ඇත. දෙරණ නාළිකාවේ විකාශය වී අවසන් වූ පාවෙලා වලාකුළේ ටෙලි නාට්‍යයේ ඩොක්ටර් සජිතගේ චරිතය රඟමින් පුංචි තිරයේ පේ‍්‍රක්ෂකයන් අතර ජනපි‍්‍රය වූ උදාර මේ වන විට සුමිත් කුමාරගේ ‘හිතුමතේ’ ටෙලි නාට්‍යයේ රංගනයට දායක වී ඇත. එය නුදුරේදී විකාශය වීමට නියමිතය.

2017 - 2018 වසරවලදී තාරුණ්‍ය අතර වඩාත් ජනපි‍්‍රය වී තිබු සනූක වික්‍රමසිංහ ගේ සරාගයේ මියුසික් වීඩියෝවේ ප්‍රධාන චරිතය රඟපෑමත් සමඟ උදාර කාගෙත් කතා බහට ලක්විය.

මට බෝල්රූම් ඩාන්ස් කරන්න පුළුවන් ඒ පිළිබඳ මම හැදෑරීමක් කළා. මේ නිසාම තමයි මට දමයන්ති ෆොන්සේකාගේ ගාස්තුව වේදිකා නාට්‍යයේ රඟපාන්නත් ලැබෙන්නේ. එලීසා නාට්‍යයේ මම රඟපාන රිහසල් දකින ලුවී වැන්ඩ්‍රස්ට්‍රාටන් මාව ඔහුගේ සුරයා වීරයා චිත්‍රපටයේ රඟපෑමට ආරාධනා කරනවා.

ටී.වී කොමෂල් තුළ වැඩකරන කොට ඒ හඳුනාගත් කණ්ඩායම් එක්ක වැඩ කරන කොට එක එක අයගෙන් යෝජනා ආවා. මගේ පෙනුම මත චිත්‍රපට සඳහා ගමනක් යන්න මට හැකියාව තියනවා කියලා රාජ් රණසිංහ, නැසී ගිය පරාක්‍රම ජයසිංහ දෙපළ මට ගොඩක් උදව් කළා. චිත්‍රපට රංගනය ගැන අවබෝධයක් ලබාගන්න මේ දෙපළ විශේෂයෙන් මේ අවස්ථාවේදී කෘතවේදිව සිහිපත් කරනවා.

රංගනය කියන දේ මම කීප ඉසව්වක් සඳහා යෙදෙව්වත් මම වඩාත් කැමති චිත්‍රපට රංගනයට. ටී.වී කමර්ෂල් එකකින් කරන්නේ කුමක් හෝ භාණ්ඩයක් අලෙවි කරන එක. හැබැයි චිත්‍රපට හරහා අපිට සමාජයට ලොකු පණිවිඩයක් ගෙනියන්න පුළුවන්. චිත්‍රපටයක රඟපාන කොට මගේ බොඩියට වගේම මනසට පුදුම සැහැල්ලුවක් දැනෙනවා. ඒ දේ මට ටෙලි නාට්‍යයක වේදිකා නාට්‍යයක රඟපාන කොට නෑ. මම හොයන කලාව තියෙන්නේ චිත්‍රපට වල චිත්‍රපටයක රඟපාන්න ගියහම. හරියට නිවාඩුවක් ගත කරන්න ගියාම දැනෙන නිදහසක් මට මනසට දැනෙනවා. ඉදිරියේ දී මම ටී.වී කමර්ෂල් කරනවා. නමුත් මං පෞද්ගලිකව කැමති චිත්‍රපට නළුවෙක් වෙන්න. මම මුදල් ගැන හිතල මේ කර්මාන්තයේ රැඳෙන්න බලාපොරොත්තුවක් නෑ. අද වෙනකොට සිනමා කර්මාන්තයේ සුබවාදී මුහුණුවරක් දකින්න නොමැති වුවත් මගෙන් ඉටුවිය යුතු දෙයක් කරන්නට මම මගේ තාරුණ්‍ය සිනමාව වෙනුවෙන් කැප කරනවා. 

ටෙලි නාට්‍ය වගේම වේදිකා නාට්‍ය සඳහා මට රංගනයේ නියැළෙන්න නව හැදෑරිමක් දීර්ඝ වශයෙන් කළ යුතුයි කියන තැන මම ඉන්නවා. ඉක්මනින් තිරපිටපත කියවල චරිතයක් අවබෝධ කරගැනීමේ ආධුනික බවක් තවම මා තුළ තියෙනවා. ඉදිරියේදී මේ අපහසුතාව මගෙන් මඟ හැරිල යයි. අත්දැකීම් ලැබීමත් සමඟ.

මගේ පවුලේ කවුරුවත් කලාවට සම්බන්ධ නෑ. ඔවුන් සියලුදෙනා නීති ක්ෂේත්‍රයට සම්බන්ධ උදවිය ඔවුන්ගේ සිතුම් පැතුම් එහෙමත් කලාවට වඩා නීතිය පැත්තට. නමුත් මට ටී.වී කොමර්ෂල් සමඟ විවිධ වූ අධ්‍යක්ෂවරු ඇසුරු කරන්න ලැබුණා. ඔවුන් එකිනෙකාට අදහස් අතින් විවිධයි. ඒ විවිධ අත්දැකීම් ඔවුන්ගේ මෙහෙවීම් මට කලාව තුළ ආශාවක් ඇති කරලන්නට හොඳ තක්ෂිලාවක් වුණා. ඔවුන් පාවිච්චි කරන කැමරා කෝණ පාවිච්චි කරන කැමරා වර්ග ලයිටින් මේ හැමදෙයක් ගැනම මට පුළුල් දැනුමක් ලැබුණා. රඟපෑම කියන දේ පිළිබඳ මම දැනුම ගත්තේ මේ එකිනෙකාට වෙනස් වූ අධ්‍යක්ෂවරුන්ගේ මෙහෙයවීම තුළ. මට ඇක්ටින් මෙතඩ් එක ඇගට කවපු පරාක්‍රම ජයසිංහ සමඟ චිත්‍රපට පහක් කරන්න සැලසුම් කරලා තිබුණා. ඒත් අවාසනාවකට ඔහු හදිසියේ අපි අතරින් වෙන් වෙලා ගියා.

මම රඟපෑ සුරයා වීරයා චිත්‍රපටය නළුවෙක් වශයෙන් මට අභියෝගයක්. මේ චිත්‍රපටයේ වුණත් බොළඳ පේ‍්‍රමවන්තයාට එහා ගිය දෙයක් මට කරන්න ලැබුණා. සමාජයට පණිවිඩයක් දෙන නිර්මාණයක් විධියට මට මේ සඳහා දායක වන්න ලැබීම මම භාග්‍යයක් කොට සලකනවා. මේ චිත්‍රපටයේ රවී කියන චරිතය තමයි මම කරන්නේ. මට හිතුණා චිත්‍රපටයට දායක වූ රංග ශිල්පියෙක් වශයෙන් ඒ චිත්‍රපටයේ මාකටින් පැත්තට මට යම් අයුරකින් දායක වෙන්න පුළුවන් නම් ඒක මම කරන හොඳ වැඩක් කියලා. චිත්‍රපටය එන්න කලින් ඒ පිළිබඳ කතිකාවතක් සමාජයේ ඇති වුණොත් චිත්‍රපටය නරඹන්න එන පේ‍්‍රක්ෂකයන්ගෙන් ඒ සඳහා හොඳ ප්‍රතිචාරයක් ඒ වෙනකොට ලැබෙයි කියන විශ්වාසය මට තියෙනවා. කාන්තාවන්ට ළමයින්ට විශේෂයෙන් ආරක්ෂා වෙන්න හොඳ පණිවිඩයක් දෙන පවුලේ කාටත් එක්ව නැරඹිය හැකි චිත්‍රපටයක් හැටියට මම සුරයා වීරයා සිනමා නිර්මාණය දකිනවා.

මම ටෙලි විෂන් දැන්වීම්වල රඟපානවට දෙමාපියන්ගේ අකමැත්තක් නෑ. නමුත් චිත්‍රපට ටෙලි නාට්‍යවල රඟපානවට නම් ඒ අය එච්චර කැමති නෑ. එයාලට ඕනෙ මම විවාහයක් කරගෙන දරුමල්ලෝ හදාගෙන ගෙවන ජීව්ිතයක් දකින්න. ඒත් මට කලාවේ ස්ථාවර වෙන්න ඕනෙ නිසාවෙන් තවදුරටත් වසර පහ හයක් තනිකඩ ජීවිතයක් ගත කරන්න තමයි මගේ කැමැත්ත. රංග ශිල්පියෙකුට හොඳ තක්ෂලාව වේදිකාව බව ඇත්ත. ඒත් තවම මම රංගනය හදාරන කෙනෙක්. තව අවුරුදු දහයක් විතර ගිහින් මට චරිතාංග නළුවෙක් වෙන්න පුළුවන්. නමුත් රංගනයේ මුලික දේවත් නොදැන ඒ දේ කඩාගෙන ගිහින් අතර මං වෙනවට වඩා මට කළ හැකි දේ පමණක් අවබෝධ කරගෙන මම ගමනක් ගියොත් මටත් මේ කලා ක්ෂේත්‍රයේ හොඳ ගමනක් නිර්මාණය වෙයි.

නොම්මර් 13, විමලවත්ත පාර, මිරිහාන, නුගේගොඩ උදාර චින්තක රාජපක්ෂගේ ලිපිනයයි.

චන්දන දයාසිරිවර්ධන 
සේයාරූ - නිශ්ශංක විජේරත්න