මිනිතියෙටර් විස්සක් හැදුණොත් සිනමාව ගොඩ දැමිය හැකියි

නොවැම්බර් 4, 2021

 

සිනමාවේ අවුරුදු 50 සමරන ලුවී වෑන්ඩර්ස්ට්‍රාට්න්

 

කොරෝනා අතර ලැබුණු හැම අවස්ථාවකම අපි හොරෙන් හෝ ෂූටිං කළා

 

සිනමාවට ඇවිත් අවුරුදු පනහක්! මොකද හිතෙන්නේ?

මට ලොකු සතුටක් දැනෙනවා. වැඩ කරන්න වාසනාව තිබෙන නිසා කවුරු හෝ ඇවිත් පිටපතක් ලියලා දෙන්න, චිත්‍රපටයක් කරමු එහෙම කියන නිසා අදටත් මම නිතරම වැඩක නිරතව ඉන්නෙ. ඒ වගේම මේ අවුරුදු පනහ පුරා චිත්‍රපට 34ක් වෙනුවෙන් මම රූගත කිරීම් සඳහා දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා නොගිය තැනක් නැති තරම්. මේ රට ඉතාම සුන්දර ලස්සන රටක්. ඒ රමණීයත්වය මම චිත්‍රපට පසුබිම් ගීත සහ දර්ශනවලට යොදාගෙන තිබෙනවා. ඒ වාසනාව මට ලැබුණේ සිනමාව නිසායි.

ඒ වගේම ඔබ පොත්පත් එහෙමත් ලියනවා?

මට 2012 සාහිත්‍ය සම්මාන උලෙළේ හොඳම ඉංග්‍රීසි යොවුන් නවකතාවට සම්මානය ලැබුණානේ. මම දැන් නවකතාවක් ලියා තිබෙනවා, එල්ටීටීඊය යළිත් හිස ඔසවන බවට.

 

ඇයි ඔබ එහෙම ලියන්නේ?

ඒක මගේ සිතිවිල්ලක් විතරයි. ඒත් මට ඒ ලකුණු පේනවා. මට අවශ්‍ය පාලකයන් මේ තත්ත්වයට මුහුණ දෙන්න සූදානම් විය යුතු බවට අනතුරු ඇඟවීමක් කිරීමටයි. අපට විජාතික වගේම වාර්ගික බලවේගවල බලපෑම තිබෙනවා. මේ සියල්ල ත්‍රස්තවාදීන්ගේ පීඩනය. පැලැස්තරවලින් මේ ප්‍රශ්නය විසඳන්න බෑ.

 

එතකොට සිනමාවේ පැලැස්තර?

සුරංග අල්විස් කීවා කොරෝනාවලට කලින් ගොඩ්සිලා චිත්‍රපටය පෙන්වද්දි ඉතා විශාල අදායමක් ලැබුවාලු. සිනමාවට සෙනඟ එන වෙලාවෙයි ශාලා වැහුණේ. දැන් හරියට ක්‍රියාත්මක වන ශාලා 58යි තිබෙන්නේ. ඒ සංඛ්‍යාව රටට මදි. මාස දෙකකට චිත්‍රපට තුනක්වත් නිදහස් කිරීමේ හැකියාව අපට ඕනෙ. ලොකු සිනමාහල් ඕනෙ නෑ. ප්‍රේක්ෂකයන් 75-100ක් ඇතුළු කරන්න පුළුවන් තරමේ 'මිනිසිනමාස්' පහළොවක් විස්සක් ආවොත් මේ අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන්. බොහෝ සිනමා ශාලා හිමිකරුවන් කියනවා ප්‍රක්ෂේපණ යන්ත්‍ර අලුත්වැඩියා කරන්න ඕනෙ, ටූ කේ ප්‍රොජෙක්ටරේක බල්බ් එකක් හැත්තෑපන්දාහක් විතර වෙනවා කියලා. අපි කොච්චර හොඳට ෂූට් එක කරගෙන ආවත් වැඩක් නෑ, ප්‍රක්ෂේපණය හරි නැත්නම් 'මඩගැහුවා' වගේ චිත්‍රපටය පේන්නෙ. අපේ එකම පැතුම සිනමා ශාලා විවෘත කර යළි යථා තත්ත්වයට ගෙනෙන්න ලැබේවා! කියන එකයි. නැත්නම් චිත්‍රපට හදලා වැඩකුත් නෑනෙ.

 

සංස්ථාවේ චිත්‍රපට එකසිය ගාණක් තිබෙනවාලුනේ?

මම කියන්නේ ඔතැන පෙන්වන්න සුදුසු නැති චිත්‍රපට හතළිහක් පනහක් විතර තිබෙනවා. ටෙලිනාට්‍යකාරයෝ ඩීවීඩීවලට කතා හදලා රැඟුම් පාලක මණ්ඩලයට පෙන්වූ ගමන් චිත්‍රපටයක් වෙනවා. මටත් කීවා කීපයක් විකුණලා දෙන්න කියලා. ඒ නිසා ගියාට බලාගෙන ඉන්න බෑ. හරිම පහත්. කිසිම තේමාවක්, සංකල්පයක් නෑ. මේ අය අඩු වියදම් කියලා කොහේ හරි කැලේකට හරි ගමකට හරි රිංගගෙන ෂූට් කරනවා. අධ්‍යක්ෂ මෙලෝ දෙයක් දන්නේ නෑ. කැමරාකරුගේ පිහිටෙන් තමයි දර්ශන ටික ගන්නේ. ඒවා ශාලාවට ආවොත් අපට දැනට ඉන්න ප්‍රේක්ෂකයනුත් ඈත් වෙයි.

මොකක්ද විසඳුම?

ඉස්සර අපේ සිනමාවේ අධ්‍යක්ෂවරයෙක් වෙන්න හරි අමාරුයි. හොඳ අධ්‍යක්ෂවරු යටතේ බොහෝ කාලයක් වැඩ කළ අය තමයි පසුව අධ්‍යක්ෂවරු වුණේ. කැමරාකරුවකු වන්නත් අවුරුදු දහයක් පහළොවක් සහාය කැමරා ශිල්පියෙකු ලෙස කටයුතු කළ යුතුයි. ඔවුන් සිනමා රසය ගැන දැනගෙන හිටියා. ධර්ම ශ්‍රී කල්දේරා, කේ.ඒ. ඩබ්ලිව්. පෙරේරා ගැන දැන් වැඩිය කතා නොකළාට ජනප්‍රිය චිත්‍රපට රැසක් කළ අය. හින්දි, දෙමළ චිත්‍රපට කොපි කළත් ඒ කොපිය සමහර වෙලාවට මුල් චිත්‍රපටයට වඩා ලස්සනයි. මම ඉන්දියාවේ ප්‍රසාද් චිත්‍රාගාරයට ගිය වෙලාවක, අපේ ජෝතිපාලගේ සින්දු අහලා ඉන්දියන් අය කියනවා මොහොමඩි රාෆිට වඩා හොඳයි කියලා.

අනෙක ලංකාවේ විතරයි සිනමාව කර්මාන්තයක් වෙලා නැත්තෙ. චිත්‍රපට සංස්ථාවෙන් වුණත් හොඳයි කියන ලේබලේ ගහන්නේ බලන් ඉන්න බැරි චිත්‍රපටවලට. මම නොබියව කියන්නේ ඒ අය අවස්ථාව දෙන්නේ දුවන්න බැරි චිත්‍රපටවලට. හොඳ වාණිජ චිත්‍රපටවලට කුඩම්මාගේ සැලකිලි.

ලෝක සිනමාව ගත්තොත් ඒවායේ ආර්ට් හවුස් කියලා වෙනම සිනමා හල් තිබෙනවා කලාත්මක කියන චිත්‍රපට පෙන්වන්න. සිනමා ශිෂ්‍යයන් වගේ අය මිසක වැඩිය සෙනඟ යන්නේ නෑ.

අනෙක සංස්ථාවට චිත්‍රපටයක් බාර දෙන්න ගියාම අධෛර්යමත් කරනවා, වෙන මණ්ඩලයකට ගියා නම් ඉවරනේ කියලා. මේ සහතික ඇත්ත මම කියන්නේ. ඒ අය හිතවත්කම්වලට හෝ මොනවට හරි අවස්ථාව දෙන්නේ. මුලින්ම සංස්ථාව ශුද්ධ කරන්න ඕනෙ. ඒ අයට මානසික අවුලක් ඇති එක්කෝ. ඒ නිසා ඒවා 'ඩ්‍රයි ක්ලීන්' කරලා ඉන්න වෙනවා. සිනමාව කර්මාන්තයක්නේ... හැමෝටම වැඩ ලැබෙන්නේ, සිනමා ශාලා පවත්වගෙන යන්න පුළුවන් වන්නේ කර්මාන්තය පැවතුණොත් විතරයි.

 

ඔබ සිනමාකරුවකු ලෙස සිනමාව පවත්වාගෙන යන්න දායක වන්නේ කොහොමද?

මම ඇගේ වෛරය චිත්‍රපටය මුදා හරිනකොට සිනමා ශාලා වහන්න ඔන්න මෙන්න තිබුණේ. ඇගේ වෛරය චිත්‍රපටය දිව්වේ සිනමා ශාලාවල තිබුණු දූවිලි මකුළු දැල් සේරමත් සුද්ධ කරගෙන. ඒකට සරසවිය සම්මානයත් ලැබුණා සිංහල සිනමා ඉතිහාසයේ වැඩිම ආදායම් වාර්තා තැබූ චිත්‍රපටය වෙනුවෙන්.

බෝනික්කා චිත්‍රපටය මුදාහරිද්දිත් සංස්ථාව පවා කතා කරමින් හිටියේ සිනමාව දුවන්නේ නැති අර්බුදයට හේතුව මොකක්ද කියලා. බෝනික්කා බටහිර ආභාසයට කළේ. විශාල සාර්ථකත්වයක් ලැබුණා. මම වණිජමය පැත්ත බලලා තමයි චිත්‍රපටයක් හැම වෙලේම කරන්නෙ. සම්මාන ගන්න මම චිත්‍රපට හදලත් නෑ හදන්නෙත් නෑ. ඒක බොරු වැඩක්. නිෂ්පාදකවරයාට සල්ලි නැතුව හිඟාකන්න වෙනවා. එයාගේ බිරිඳයි දරුවොයි දොස් කියනාවා අපේ තාත්තාගේ සල්ලි කෑවා කියලා.

ප්‍රේක්ෂකයන් ශාලාවකට යන්නේ විනෝදාස්වාදයක් ලබන්නනේ. මුල් අවධියේ නම් මටත් සෑහෙන අපහසු වුණා නිෂ්පාදකයන් අල්ලා ගන්න මොකද බොහෝ දෙනෙක් කීවා "මේකා 'ලන්සියෙක්', සිංහල චිත්‍රපට හදන්න දන්නේ නෑ, සල්ලි දෙන්න එපා" කියලා. ඒත් මා ගැන විශ්වාසයක් තියලා කවුරුහරි ඉදිරිපත් වෙනවා නම් ඒ කෙනාගේ සල්ලි බේරලා දෙන එක මගේ යුතුකමක් කියලා මම හිතුවා. සම්භාව්‍ය ගායක ගායිකාවන් එහෙම දාලා චිත්‍රපට හදලා නිෂ්පාදක අන්තිමට මොනවද ලුවී කෙරුවේ කියලා අහනවාට වඩා හොඳයි, සම්මාන ගැන නොහිතා නිෂ්පාදකයන් බේරා ගන්න එක. අද වන තුරු මගේ චිත්‍රපට එකක්වත් පාඩු වෙලා නෑ. අඩුම ගාණෙ ගිය වියදම හෝ බේරෙනවා. මගේ නමටත් චිත්‍රපටය බලන්න එන පිරිසකුත් ඉන්නවා. ඒ නිසා කලාත්මක චිත්‍රපට ගැන මම හිතන්නෙම නෑ. ඒත් කවුරුහරි මට ලාභ එපා මේ වියදම කරලා කතාවක් හදන්න කීවොත් නම් කලාක්මක චිත්‍රපටයක් හදනවා. නැතත්, ලංකාවේ වැඩිම ආදායම් වාර්තාව තැබූ කෙනා කියන නම මට හොඳටම ඇති.

 

ඔබට 'කාම චිත්‍රපට රැල්ල' පිළිබඳ චෝදනාවක් තිබෙනවා?

ඉස්සෙල්ලාම කියන්න ඕනෙ ඇගේ වෛරය 1 චිත්‍රපටය ලංකාවේ විශාල ආදායම් වාර්තාවක් තබන්න තරම් නැරඹුවේ මේ රටේ ගැහැනු අය. ගාමන්ට් ෆැක්ට්‍රිවල ගෑනු ළමයි උදේ 10 ෂෝ එකට අටේ ඉඳන් පෝලිමේ හිටගෙන ඉන්න ගමන් බත් පාර්සලේ අතේ තියාගෙන කනවා මගේ ඇස් දෙකට දැක්කා. ආයේ ඒ වගේ යුගයක් එන්නේ නෑ.

ඔය චිත්‍රපටයට කාම රැල්ලක් කියලා හංවඩු ගැහුවේ නටන්න බැරි පොළව ඇදයි කියන චිත්‍රපට හදන්න බැරි සිනමාවේ ඉන්න එවුන්ගේ කල්ලිය. කාම චිත්‍රපටයක් නම් ගෑනු යනවාද බලන්න? ඒ අය හැංගෙනවානේ හපෝ ඒක වල් කුපාඩි චිත්‍රපටයක් කියලා? ගෑනු අය කිසිදාක ඒකට දොස් කීවෙ නෑ, හොඳ කතාවක් තිබුණ නිසා. ඇගේ වෛරය තුන් හතර වතාව බැලූ පිරිමි අයත් ඉන්නවා.

ඇගේ වෛරය හොඳට දුවන කාලේ එක්කෙනෙක් ගිහින් ගාමිණි ෆොන්සේකාගෙන් අහලා තියෙනවා මොනවාද මේ චිත්‍රපට කියලා. ඔහු ඒ වෙලාවේ කියලා තියෙන්නේ 'චිත්‍රපටය සුදු වුණත් කළු වුණත් නිල් වුණත් කමක් නෑ හොඳට දුවනවා නම්, සිනමාවට වෙන්න ඕනෙ එච්චරයි' කියලා. මොකද ඇහුව කෙනාට ඕනෙ වෙලා තිබුණේ ගාමිණි ෆොන්සේකා ලවා චිත්‍රපටයට බණින්න.

ඇගේ වෛරය කියන්නේ කනාපල්ලම් චිත්‍රපටයක්. මගේ මස්සිනා තමයි කීවේ ලුවී හොඳ චිත්‍රපටයක් තියෙනවා, සිංහලෙන් හැදුවොත් දුවයි කියලා. නිෂ්පාදකවරයා මුස්ලිම් කෙනෙක්. අහම්බෙන් සංස්ථාවෙදි හමුවෙලා සුනිල් ටී, සෝනියා දිසා සහ සෝනියාගේ මහත්තයා චිත්‍රපටය බලපු ගමන් සෝනියා කීවා 'අනේ සුනිල් අපි මේක ගමු මේක දුවනවාමයි' කියලා. ඉංග්‍රීසි කතාවේ නැති චරිත වන කෙල්ලගේ මවුපියන්, පෙම්වතා ආදිය එකතු කරලා මම කතාව සිංහලකරණය කළා. චිත්‍රපටය ප්‍රදර්ශනය කළාට පස්සේ ගෑනු ළමයි මට ලියුම් එවන්න ගත්තා. අනේ අය්යේ, අනේ ස'ර්, අපටත් මෙහෙම අසාධාරණකම් වෙනවා ඒත් අපට ඒවා ජයගන්න ශක්තියක් නෑ හැබැයි චන්දි අක්කගේ ‌හිතේ ධෛර්යය දැක්කාම අපට හරි ආඩම්බරයි කියලා. ඒ වගේ මතයක් ගොඩනැඟුණා සමාජයේ. කාන්තා විමුක්තියේ දෝංකාරය කියලනේ අපි චිත්‍රපටය ප්‍රචාරය කළේ.

මට නිෂ්පාදකවරු කියලා තියෙනවා ' ලුවී ඔයාගේ චිත්‍රපටවලට කුණුහරුප කියලා කියුවට සල්ලි හම්බ කරනවා. මිනිස්සුන්ට ඕනෙ දේ ඔයාගේ චිත්‍රපටවලින් දෙනවා' කියලා. අනෙක අපි කවදාවත් කුණුහරුප චිත්‍රපට හදලා නෑ. රැඟුම් පාලක මණ්ඩලයෙන් අනුමැතිය අරගෙනයි අපි චිත්‍රපට කරන්නේ.

ඇගේ වෛරය 2, 3, 4ත් කළා ඒවාත් හොඳට දිවුවා. ගර්ල් ෆ්‍රෙන්ඩ් චිත්‍රපටයත් හොඳට දිවුවා. ඒ වගේම අපි බය නෑ වගේ චිත්‍රපටත් ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කළා.

 

ඒ කියන්නේ චෝදනාව ප්‍රතික්ෂේප කරනවා?

මම දෙයක් කියන්නද? මම සෙක්ස් චිත්‍රපටවල ගෝලයෙක් විතරයි. මට කලින් ඒකේ ගුරුවරු හිටියා. ධර්මසිරි බණ්ඩාරනායකගේ හංස විලක්... මොනවාද තියෙන්නේ? තිස්ස අබේසේකරගේ මහගෙදර සෙක්ස් සීන්ස් අමු අමුවේනේ. දැන් ටීවී එකේ ඒවා කපලා පෙන්නුවාට. එතකොට සුද්දිලාගේ කතාව? කළු දිය දහර? හැබැයි ප්‍රසිද්ධියේ කිව යුතුයි ඒවා හොඳ චිත්‍රපට. ඒත් කතාවට නොගැළපෙන ලිංගික දර්ශන බලෙන් ඔබන්න ගිය නිසා තමයි වාණිජ වශයෙන් අසාර්ථක වුණේ.

මම 1971 බිඳුණු හදවත් කියන මගේ මුල්ම චිත්‍රපටය කළේ අවුරුදු 21දි. ඒක ගුවන් නියමුවන් දෙදෙනෙකු වටා ගෙතුණු කතාවක්. මම ප්ලේන් දෙකක් හයර් කරන්න රත්මලාන ගුවන් තොටුපොළට ගියාම එතැන ප්‍රධානියා කීවා 'ඇයි මෙයා ආවේ තාත්තාව එවන්නැතුව' කියලා. මම කීවා නෑ, සර් මම තමයි අධ්‍යක්ෂ කියලා. පස්සේ මගේ පොඩිකමට අනුකම්පා කරලා ඉතා සුළු මුදලකට ප්ලේන් දෙක දුන්නා. ඒ චිත්‍රපටයෙන් තමයි මට ඉදිරියට එන්න මඟ හෙළි වුණේ.

විජය කුමාරණතුංග පළමුවෙනි චිත්‍රපට රංගනය කළේ මගේ බිඳුණු හදවත් වෙනුවෙන්. ඊට පස්සේ මම කළ 'පෙම් කුරුල්ලෝ' චිත්‍රපටයටත් විජයව ගත්තා. හැමෝම හිතන්නේ මම සිනමාවට ආවේ ඇගේ වෛරයෙන් කියලා. නෑ. මම හොඳ චිත්‍රපට කළ හොඳ අධ්‍යක්ෂවරයෙක්.

 

ඉතින් වෙනස් වුණේ?

ඇගේ වෛරය අති සාර්ථක වුණාම බොහෝ දෙනෙක් මට ඇවිත් ඇරියුම් කළා, ලුවී ඒ වගේ චිත්‍රපට ටිකක් ලියලා දෙන්න කියලා. සරසවියට ඇත්ත කියන්න එපැයි. මම අවස්ථාවෙන් ප්‍රයෝජනය අරන් විශාල මුදල් අය කරලා කතා හදලා දුන්නා. මොකද මම හොඳටම දන්නවා මේ රැල්ල වැඩිකල් තියෙන්නේ නෑ අවුරුදු දෙකෙන් තුනෙන් ඉවර වෙනවා කියලා. කතා හතරක් පහක් කළාට පස්සේ මම තීරණය කළා ඒවාට නැවතුම් තිත තියන්න. මොකද වෙන අධ්‍යක්ෂවරුත් ඇවිත් නිරුවත ප්‍රදර්ශනය කරන විදිහේ... අපි කියන්නේ 'මස්කඩ' කියලා, ඒ වගේ අප්‍රසන්න චිත්‍රපට කරලා සිනමාව වැනසුවා. ඒවායේ විශේෂයෙන්ම කතන්දරයක් නෑ. ඊට පස්සේ මම පැරෂුට් කියලා ක්‍රියාදාම චිත්‍රපටයක් කළා.

 

වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට ගැන ඔබේ සැබෑම මතය?

අද මේ සිනමාවේ තිබෙන අර්බුදය යම් තරමකට හෝ බේරගන්න පුළුවන් වෙන්නෙත් හොඳ කලාත්මක වැඩිහිටයන්ට පමණයි චිත්‍රපටයක් කළොත් කියලා මම විශ්වාස කරනවා. ඒකෙන් ප්‍රේක්ෂකයන් සිනමාහල්වලට ඇදගන්න පුළුවන් ආයෙමත්.

මම කොහේ ගියත් මිනිසුන්ගේ හද ගැස්ම ගැන විපරමින් ඉන්නේ. තාම වීඩියෝ කඩේකට ගියත් වයසක අය පවා ඇවිත් වැඩිහිටියන්ට පමණයි ඩීවීඩී කෑලි ඉල්ලනවා. ප්‍රේක්ෂකයන් ඉන්නේ බඩු නැතිව. හොඳ බස් එකක් ආවොත් අනිවාර්යයෙන් ගොඩ වෙනවා. අපි ක්‍රියාදාම චිත්‍රපට කරන්න ගියොත් පිරිවැය වැඩියි. ඒත් එතරම් වියදමක් යන්නෙත් නෑ, චිත්‍රපටයේ නම ඕනෙත් නෑ වැඩිහිටියන්ට පමණයි කීවොත් මේ කාලේ දුවනවා. ඒ වගේම විවිධත්වයෙන් යුතු චිත්‍රපට අපට අවශ්‍යයි.

 

සිංහල සිනමාවේ විවිධත්වය ගැන ඔබ මොකද හිතන්නේ?

ත්‍රාසජනක චිත්‍රපට කරන අධ්‍යක්ෂවරු කිසිකෙනෙක් මම දැකලා නෑ තවම ලංකාවේ. හාස්‍යජනක චිත්‍රපට කරන්න නළුවො දැන් නෑ. ටෙලි නාට්‍යවල ජෝකර්ලා වගයක් දකිනවා තමයි. ඒත් හොඳම විකට නළුවා මම දකින විදිහට විජය නන්දසිරි. ෆ්‍රෙඩී සිල්වාත් ඒ වගේ වැඩිය දැඟලුවේ නෑ මිනිස්සු හිනස්වන්න. අනෙක් අය හරියට දඟලනවා විතරනේ.

ආනල්ඩ් ස්වෙසනෙගර්, ජෝන් සීනා කොමඩිවල රඟපානවා. හැබැයි ඒ පිටපත්වලම හාස්‍යය තිබෙන්න ඕනෙ. මට දවසක් ටෙනිසන් කුරේ කීවා සමහර අධ්‍යක්ෂවරු චිත්‍රපටය අතර කියනවාලු 'ටෙනි ඔය හිනායන්න මොනවා හරි කියපන්' කියලා. ඒක සාර්ථක නැහැ. මේ අවස්ථාවෙත් හාස්‍ය චිත්‍රපටයක් ආවොත් හොඳයි. හැබැයි ඉන්න කොමඩි නළුවන් නෙවෙයි හේමාල්, උද්දික වගේ අය දාලා ගැඹුරු හාස්‍යයක් මතු කළ යුතුයි.

 

 

බොහෝ විට ඔබ අලුත් නළු නිළයන් යොදා ගත්තා?

මම ආධුනික නළු නිළියන් අරගෙන තමයි බොහොමයක් චිත්‍රපට කළේ. අනූෂා දමයන්තිත් මගේ චිත්‍රපටවලින් ආව නිළියක්. රන්ජන් රාමනායක මුලින්ම ප්‍රධාන චරිතයක් කළේත් මගේ 'ජූරිය මමයි' චිත්‍රපටයේ. ඒ සියලු දෙනා මම ඉදිරියට ගෙනාවා. ඉදිරියේදීත් මම ඒ දේ කරනවා. ටෙලි නාට්‍යවලත් මට පේනවා හොඳ සිනමා නළුවන් විය හැකි අය ඉන්නවා. හැබැයි ටෙලිනාට්‍ය නිළියන්ට නම් සාර්ථක සිනමා නිළියන් වෙන්න බෑ. බහුතරයක් කොට මහත අය. කිසි හැඩයක් නෑ. මම විශේෂ දෙයක් කියන්නම්. සිංහල සිනමාවේ මගේ හිත්ගත් එකම චරිතය තමයි ගොළු හදවතේ අනුලා කරුණාතිලක. මට ඒ චිත්‍රපටයේ රූපරාමු තවම මැවිලා පේනවා. හැබැයි මට කවදාවත් ඇයට කතා කරන්න ලැබිලා නෑ.

අලුත් නළු නිළයන් අතර හේමාල්ට වාසනාව තිබෙනවා. හැබැයි මම බලාපොරොත්තු වන රංගනය ඔහුගෙන් දකින්න තරම් චිත්‍රපටයක් ආවෙ නෑ. ඒ මට්ටමට එක නිළියක්වත් තවම මම දැකලා නෑ. හොඳ නළු නිළියන් බිහිවෙයි චිත්‍රපට හැදෙනකොට. බලන්න මාලිනී ෆොන්සේකා සම්පූර්ණ වාණිජ නිළියක්. ලංකාවේ සිනමාව පවතින තුරු මම දකින හොඳම සහ එකම නිළිය මාලිනී වෙයි.

 

ටෙලි නාට්‍ය පැත්තට ගියේ නැත්තේ ඇයි?

බොරු කියන්න ඕනෙ නෑ, මම දැන් සිංහල ටෙලි නාට්‍ය බලන්නෙම නෑ. මොකද ඒවා නිකම්ම නිශ්චල ඡායාරූප ගන්නවා වගේ නළු නිළියන් හිටවලා තමයි රූපගත කරන්නේ. එපිසෝඩ් ගාණ වැඩි කරන්න චුයිංගම් හපනවා වගේ කිසි රහක් නැතුව එහෙට අදිනවා මෙහෙට අදිනවා. හින්දි ඒවාත් මළජරාවල්. අපේ දැනුමත් මොට්ට වෙනවා. හැබැයි ඉස්සර මම බැලුවා පළිඟු මැණිකේ වගේ නාට්‍ය. මමත් කවදා හරි කුතුහලය දනවන ඊළඟ කොටස බලන්න ඉවසිල්ලක් නැතුව ඉන්න ටෙලි නාට්‍යයක් කරයි කියලත් හිතෙනවා. ඒත් හොඳ පිටපතක් ලැබුණොත් විතරයි. නැත්නම් කාලය නාස්ති කරලා වැඩක් නෑ.

 

රංග පාසලක් පිළිබඳ ඔබේ මතය?

නළුවන් බිහි කරන්න පාසල් ඕනෙ නෑ. ගාමිණි, ටෝනි, ජෝ ලා, මාලිනී, ගීතා, ස්වර්ණලා පාසල්වලට ගිහින් ආ අය නෙවෙයිනේ. වැඩිම වුණොත් වේදිකා නාට්‍යයක ඉඳලා ඇති. නළුවන් බිහිවෙන්නේ ක්ෂණිකව ඉබේටමයි. අලුත් වුණත් හොඳ පෞරුෂයක් තිබෙනවා නම්, හොඳ තිරපිටපතක් ඇති චිත්‍රපටයක රඟපෑවොත් සාර්ථක ශිල්පියෙක් වෙනවා.

 

කොරෝනා සමය ගත වුණේ කොහොමද?

කොරෝනා නිසා අපි ඔක්කොම හිර වුණා. ඒත් ලොක්ඩවුන් කළ සති දෙක තුන හැර ලැබුණු හැම අවස්ථාවකම අපි හොරෙන් හෝ ගිහින් ෂූටිං කළා.

මම 'ධර්ම පුත්‍ර' කියලා බෞද්ධ චිත්‍රපටයක් කළා. මගේ අලුත්ම චිත්‍රපටය 'රාකියා' කියලා පොඩි දරුවකු පිළිබඳ චිත්‍රපටයක්. ත්‍රස්තවාදී කල්ලියක් අමරණීය පොඩි දරුවන් විද්‍යාත්මකව නිර්මාණය කරනවා. එක් දරුවකුගේ මවක් මේ බව දැනගෙන දරුවාත් රැගෙන කඳවුරෙන් පලා යනවා. ඔවුන් මුහුණ දෙන ත්‍රාසජනක අත්දැකීම් පිළිබඳවයි කතාව දිගහැරෙන්නේ. පිටපත සහ අධ්‍යක්ෂණය මගේ. අජිත් පී පෙරේරා තමයි එය නිෂ්පාදනය කළේ. ඊට පෙර කළ පැරෂූට්, බුද්ධි අලි ළමයා, රන් කිරුළ වගේ චිත්‍රපට කීපයකටම රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතියත් ලැබුණා. ලබන අවුරුද්දේ අපට වාසනා මහිමය ලැබෙයි කියලා විශ්වාස කරනවා මේවා ජනතාවට පෙන්වාගන්න.

තව අලුත් චිත්‍රපටයක් කරන්න සූදානම් කර තිබෙනවා බේරුවල ප්‍රදීපාගාරය පසුබිම් කරගෙන 'ලයිට් හවුස්' නමින්. ළඟදිම එන්නේ සූරයා වීරයා. මගේ නිෂ්පාදක සංස්ථාවටත් කීවා හෙට ශාලාවකට දාන්න කීවත් මේ චිත්‍රපට ප්‍රදර්ශනය කරන්න කැමැතියි කියලා.

 

පනස් වසරක අත්දැකීම් සමඟ රටට කියන්න තියෙන්නේ කුමක්ද?

සිංහල සිනමාවෙන් අපි ජීවිතේ ආස්වාදයක් ලැබුවා, විනෝද වුණා, යාළු මිත්‍රයන් පිරිසක් ඇසුරු කළා ඒ දේවල් ඉදිරියටත් පවත්වාගෙන යන්නයි මම බලාපොරොත්තු වෙන්නේ. අපි කාටවත් දොස් කියලා වැඩක් නෑ. චිත්‍රපටයක් හරියට හැදුවොත් අනිවාර්යයෙන් දුවයි. සංස්ථාවට මම දොස් කියන එකම කාරණය හරි ක්‍රමවේදයකට චිත්‍රපට නිදහස් කිරීමක් සිදු නොකිරීම පමණයි.

සිනමාවට සම්බන්ධ අයට කියන්නේ මේ විෂයය ගැන හොඳීන් හදාරන්න. අනෙක හොඳ තිර රචනයක් කියන්නේ නිර්මාණයේ පදනම. කතා තේමාව හොඳ නම් චිත්‍රපටය වැඩිය දිගු වෙන්න ඕනෙ නෑ. මිනිස්සු සිනමාවට යන්නේ විඳවන්න නෙවෙයි වින්දනයක් ලබන්න බව මතක තබා ගන්න. ඒ නිසා වාණිජ පැත්තට බරව චිත්‍රපට හැදුවොත් සිනමාවත් ගොඩ දාගෙන තමන්ටත් ගොඩ යන්න පුළුවන්.

රජය පැත්තෙන් අපට චිත්‍රපට ශාලා විස්සක් විසිපහක්වත් හැදෙන්න ඕනේ.

ප්‍රේක්ෂකයාට මෙය විනෝදාස්වාදය සඳහා වන මාධ්‍යයක්. ඉස්සර විනෝද බද්දක් කියලා ටිකට්පතේ තිබුණා. අද විනෝද බද්දත් නෑ චිත්‍රපටයේ විනෝදෙකුත් නෑ. හැබැයි ඉදිරියේ චිත්‍රපට හැදෙයි. ඒ නිසා බලාපොරොත්තු අතහැර ගන්න එපා. සිනමාව කියන්නේ ලෝකෙ කොහේවත් කඩා වැටෙන්නේ නැති මාධ්‍යයක්.

 

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න