මේ දිනවල නාට්‍ය තුනක ඉන්න, එස්.අයි. මහත්තයා

ඔක්තෝබර් 21, 2021

එස්.අයි.කියූ සැණින් මතක් වෙන්නේ පොලිසියෙ තනතුරකි. එහෙත් මේ එස්.අයි.එවැනි වූ තනතුරක් දරන අයෙකු නොවේ. ඔහු සිටින්නේ රංගන ක්ෂේත්‍රයේය. එස්.අයි. කියූ සැණින් කලා ලොවේ කාටත් මතක් වෙන්නේ ඔහුය. ඔබටද ඔහුගේ රුව නිරන්තරයෙන්ම පුංචි තිරයේදී හමු වී ඇති බවට නොඅනුමානය. ඔහුගේ නම එස්.අයි. සමරක්කොඩි වේ. මේ දිනවල විකාශය වන සකර්ම, පෝර්ක් වීදිය, සහ අඳුන්ගිර යන නාට්‍ය ත්‍රිත්වයේම එකිනෙකට වෙනස්වූ චරිත ඔහු රඟපායි.

 

එස්.අයි. කිව්වට ඔබ පොලිසියේ නෙමෙයි නේද?

ගොඩක් අය හිතනවා එස්. අයි. කියපුවහම මම පොලිසියේ කෙනෙක් කියලා. ඒත් මේ අකුරු දෙකෙන් තමයි මාව කලා ක්ෂේත්‍රයේ හැමෝම වගේ අඳුරන්නෙ. සාමාන්‍ය ජීවිතයේ ගෙවන කොට නම් කාට හරි කිව්වම මම එස්.අයි. කියලා, ඔවුන් හිතනවා මම පොලිස් නිලධාරියෙක් කියලා. ඒ වගේම කොහේ හරි යන ගමන් පොලිසියෙන් නැවැත්තුවොත් මම එස්. අයි. සමරක්කොඩි කියලා කියපු ගමන් මගේ මුහුණේ හුරුවටද මම දන්නෑ ඒ අය ඉක්මනට මාව පිටත් පිටත් කර හරිනවා. එස්.අයි. කියලා කියන්නේ සමන්ත ඉඳුනිල් කියන එක. සමන්ත ඉඳුනිල් සමරක්කොඩි කියපුවම කව්රුත් දන්නෙ නෑ. ඒත් එස්.අයි. සමරක්කොඩි කියලා කියපුවාම හැමෝම දන්නවා.

 

මේ දිනවල ඔබ රංගනයෙන් දායක වන නාට්‍යය ත්‍රිත්වයක් විකාශය වෙනවා?

චරිත තුන ගැන වෙන වෙනම කතා කළොත්, සකර්ම නාට්‍යයේ මම රඟපාන්නෙ අදෘශ්‍යමාන චරිතයක්. ඒක නුග ගහකට අරක්ගෙන සිටින බහිරවයෙක්ගේ චරිතයක් කියලා කිව්වොත් නිවැරැදියි. ඒත් ඉදිරියේදී ඒ චරිතය වයසක අයකු විදිහට ටෙලිනාට්‍යයට පැමිණීමට නියමිතයි. එකේ පළමුවෙනි කොටසේ විතරයි මට ඩයලොග් තිබුණේ. ඊට පස්සේ හැම දර්ශනයකට මට තිබුණේ වර වර කියන වචන දෙක දිගටම කියන්න විතරයි. මේ නිසා මට බොහෝ දෙනෙකු වර වර කියලා තමයි මේ දවස් වල කතා කරන්නේ. ඒ වගේම මගේ මූණ දාලා වර වර කියලා වචන දෙකක් ඇතුළත් කරලා ෆේස්බුක් එකේ අනන්තවත් පෝස්ට් හැදුණා. මම රඟපාන අනිත් නාට්‍ය දෙක තමයි පෝර්ක් වීදිය සහ අඳුන් ගිර. පෝර්ක් වීදිය නාට්‍යයේ මම පොඩ්ඩෙ. හිත හොඳ චරිතයක්. ඔහු හැමෝටම උදව් කරන චරිතයක්. අඳුන්ගිරේ මම කරන්නේ ඔය චරිත දෙකටම පරිබාහිර වූ වෙනස් ගැමි චරිතයක්.

ඔබේ රංගන ජීවිතයේ මුල මතක් කළොත්?

මම රඟපාන්න ඇවිල්ලා අවුරුදු විසි එකක් වෙනවා. රත්මල්ගොඩ සංස්කෘතික මධ්‍යස්ථානයේ ප්‍රේමකුමාර කරුණාරත්න කියන සර් යටතේ මම රංගනයේ හැදෑරුවා. ඊට පස්සේ ජනකලා කේන්ද්‍රයේ පූර්ණකාලීනව නාට්‍ය පාඨමාලාවට එකතු වෙලා හිටියා. බණ්ඩාර ඇහැළියගොඩ මහත්මයා තමයි ඒක මෙහෙයුවේ. ඔය අතරතුරදී අපිට ආරංචි වුණා හෙන්රි ජයසේන මහත්මයාගේ හුණුවටයේ කතාවේ තෙවැනි නිෂ්පාදනය වේදිකාගත කරන්නට සූදානම් වෙනවා කියලා. බණ්ඩාර ඇහැළියගොඩ මහත්මයා අපේ නාට්‍ය කණ්ඩායමෙන් පිරිසක් යවලා හෙන්රි මහත්මයාට කිව්වා මේ පිරිසව හැකි නම් නාට්‍යයට සම්බන්ධ කරගන්න කියලා. එතකොට මගේ හැකියාව දැකලා හෙන්රි ජයසේන මහත්මයා ඒ නාට්‍යයේ යුවරජ සහ ගිලන් මිනිසා කියන චරිත දෙක මට ලබා දුන්නා. ඊට පස්සේ දිගින් දිගටම වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. කුවේණි, කැලණි පාලම, මාරක ළිඳේ සවාරියක්, මකරට, හරි අපූරු දවසක්, මායා බන්ධන ඇතුළු වේදිකා නාට්‍ය 25ක විතර මම රඟපෑවා. ටෙලි නාට්‍යවලට මම අවතීර්ණ වෙන්නේ අන්දර වැට නාට්‍යයෙන්. ඊට පස්සේ සිහිනපුරය, මම නොවේ මම, ඉසුරු භවන, එක රෑනේ කුරුල්ලෝ, ඉඳුවරි, අමා, ඉටිමල්, පාරමී ඇතුළු නාට්‍ය රැසක එකිනෙකට වෙනස් චරිත රඟපෑවා. මට ලැබුණු අවස්ථාවන් ගැන සලකලා බලද්දී, එකම කාලෙක මම ඉන්න නාට්‍ය තුනක් විකාශය වෙනවා නම් ඒ නාට්‍ය තුනේම මම රඟපෑවේ එකිනෙකට වෙනස් චරිත. ඒක මම ලබපු භාග්‍යක්.

 

ඔබ මේ වන විට වෘත්තීය නළුවෙක්ද?

ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් මම ටිකක් අතීත කතාවකුත් එක්ක කියාගෙන එන්නම්. මම අ.පො.ස උසස් පෙළ කළේ දෙදහවර්ෂයේදී ඒ වාණිජ්‍ය විෂයයන්ගෙන්. මට එය සාර්ථක නොවූ හින්දා ඊට අවුරුදු එකොළහකට පස්සේ ඒ කියන්නේ දෙදහස් එකොළහේ මම කලා අංශයෙන් උසස් පෙළ ලිව්වා. එතනින් මට සෞන්දර්ය කැම්පස් යන්න වරම් හමුවුණා. 2018දී තමයි මම කැම්පස් එකෙන් අවුට් වෙන්නේ. කැම්පස් එකේ ඉන්න කොටත් මම නාට්‍ය හා රංග කලාව කළේ. වෘත්තිමය නළුවෙක් විදියට දිගින් දිගටම රැඳුනා. ඊට පස්සේ උපාධිධාරීන්ට පත්වීම් ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ මටත් ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැකියාව ලැබුණා. දැන් මම රැකියාව කරන ගමන් තමයි රඟපාන්නේ.

ඔබේ පවුලේ විස්තර සඳහන් කළොත්?

මගේ ගම හඳපාන්ගොඩ. මම විවාහකයි. විවාහ වෙලා මාස දෙකක් විතර ඇති. මගේ බිරිඳගේ නම රවීන්ද්‍යා මධුෂානි. අම්මයි තාත්තයි මල්ලියි තමයි මගේ පවුලේ සාමාජිකයෝ.

 

තව මොනවා හරි විශේෂයෙන් සඳහන් කරන්න අවශ්‍යද?

මට මේ වන විට 16 දෙනෙකු කියලා තියෙනවා මම රඟපාද්දී ජෝ මහත්තයා මතක් වෙනවා කියලා. ඒක මම ලබන විශේෂ ඇගයීමක්. මම ආසම නළුවෝ තමයි ජෝ අබේවික්‍රම, සහ ඩී.ආර්.නානායක්කාර කියලා කියන්නේ. ඔවුන්ගේ රඟපෑම කැමරාව ඉදිරියේදී පමණයි. ඉන් පරිබාහිරව ඔවුන් හරිම සාමාන්‍ය සරල මිනිස්සු. ඉතින් මමත් ඒ විදිහට ජීවත් වෙන්න තමයි උත්සාහ කරන්නේ. කැමරාව ඉස්සරහ විතරයි මම නළුවෙක් වෙන්නේ. ඒ වගේම මට හරියට ජෝ මහත්තයා වගේ කියලා ඇගයීම් ලැබෙනවා. ඇත්තටම එහෙම අහද්දී සතුටක් හිතට දැනෙනවා.