මද්දලය වයන්න මං ඉගෙන ගත්තේ තනියම

යොවුන් නාට්‍යවේදී, වාදන ශිල්පී පැතුම් දනන්සූරිය
දෙසැම්බර් 7, 2023

වසර හතළිහක් වැනි දිගු කාලයකින් ශ්‍රී ලංකාවේ නාඩගම් ශෛලියෙන් නිර්මාණය වූ නාට්‍යයක් ලෙස රුචිරා දේවි නාඩගම හඳුන්වා දිය හැක.

රුචිරා දේවී නාඩගම අංශ කීපයකින් අපට සුවිශේෂිව අවධානයට ගත හැකි නිර්මාණයකි.

ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අත්තිඩියේ පුඤ්ඤාරතන හිමියන් විසින් රචිත රුචිරා දේවි නාඩගම සංගීත නිර්මාණය කර අධ්‍යක්ෂණය කරනු ලබනුයේ විශාරද පැතුම් දනන්සුරිය විසිනි.

නාඩගම් ශෛලියේ නාට්‍යයක නිර්මාණ කාර්යය සම්පුර්ණ කිරීම පහසු කටයුත්තක් නොවේ. එය අභියෝගාත්මකය. නාඩගම් ශෛලියේ නාට්‍යයක වැදගත්ම සාධකයක් වනුුයේ ඊට ආවේණික රිද්මයයි. ඒ රිද්මය රචනය පුරා, රංගනය පුරා, නර්තනය පුරා සංගීතය පුරා විහිදී යන කල මෙබඳු ශෛලියක නාට්‍යයක් පරිපුර්ණව ගොඩනැඟේ.

රුචිරා දේවි නාඩගමේ අධ්‍යක්ෂ, විශාරද පැතුම් දනන්සුරිය හැකියා පූර්ණ තරුණ නිර්මාණකරුවකු ලෙස හඳුන්වා දිය හැක. රංගන ශිල්පියකු, නර්තන ශිල්පියකු සංගීතවේදියකු ලෙස රුචිරා දේවි නාඩගමේ අධ්‍යක්ෂණ කාර්යභාරය ඉතා මැනවින් ඉටුකිරීමට උත්සුකව ඇති අයුරු හඳුනාගත හැකිය.

විශේෂයෙන් නාඩගම් ශෛලියේ නාට්‍යයක ප්‍රධානම සංගීත භාණ්ඩය වනුයේ මද්දලයයි. මද්දල වාදනය නාඩගම් ශෛලියේ නාට්‍යයක හදවත බඳු යයි කීම ද වරදක් නොවේ.

අප අවධානය යොමු කරන මේ රුචිරා දේවි නාඩගමේ මද්දල වාදනය ද මෙහි අධ්‍යක්ෂවරයා වූ විශාරද පැතුම් දනන්සුරිය ගෙනි. එය මෙම නාට්‍යය පුරා පැවැතිය යුතු සකලවිධ රිද්මයන් ඔසොවා තැබීම සඳහා උපකාරී වූ සුවිශේෂී වාදනයක් බව විචාරකයන්ගේ පිළිගැනීමයි. මේ ඒ පිළිබඳ ඔහු සමඟ කළ කතාබහකි.

රුචිරා දේවි නාඩගම නිර්මාණය වෙන්න මුල පිරෙන්නෙ කොහොමද?

ඒකට මුල පිරෙන්නේ රාජකීය පණ්ඩිත අත්තිඩියේ පුඤ්ඤරතන ස්වාමීන් වහන්සේ දැන හඳුනා ගැනීමත් එක්කයි.

උන් වහන්සේ වටිනා ධර්ම ප්‍රචාරකයකුට එහා ගිය සුවිශේෂ කලා හැකියාවන්ගෙන් පිරිපුන් ස්වාමීන් වහන්සේ නමක් බව මට දැනගන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ අමෙරිකා එක්සත් ජනපදයේ දී , උන්වහන්සේ වෙසෙන්නේ එක්සත් ජනපදයේ. මමත් වසර ගණනක් එහි ගත කර තිබෙනවා, විශේෂයෙන් මගෙ කලා කටයුතු වෙනුවෙන්. ඒ අතර දෙදහස් දහඅට වසරේ මම ලොස් ඇන්ජලීස් නුවර කලඑළිමංගල්‍ය උත්සව කටයුත්තක් සඳහා ප්‍රධාන බෙර වාදන ශිල්පියකු ලෙස සහභාගි වූ අවස්ථාවක තමයි උන්වහන්සේව හඳුනාගන්නෙ සහ උන්වහන්සේ චිත්‍ර, මූර්ති, ලේඛනය ආදි දේට පෙන්වන සුවිශේෂ වූ හැකියාත් හඳුනාගන්නෙ. කෙසේ හෝ දෙදහස් දහනවය වසරේ යළි වතාවක් වාද්‍ය ශිල්පියකු ලෙස මම කටාර් රාජ්‍යයට ගියා දික්තල කාලගෝල කියන වේදිකා නට්‍යයට සම්බන්ධ වෙන්න. මගේ මවත් පියාත් දීර්ඝ කාලයක් අවුරුදු විසිපහක් පමණ මේ නාට්‍යයට සම්බන්ධ වී සිටි අය. කටාර් හි ශ්‍රී ලාංකීක පාසල් ශිෂ්‍යයන් සම්බන්ධ කරගෙන මේ නාඩගම අප වේදිකාගත කළේ. ඒ අවස්ථාවට අදාළව එහි මද්දල වාද්‍ය ශිල්පියා විදියට කටයුතු කළ අවස්ථාවේ ගත් ඡායාරූපයක් මම මුහුණු පොතේ පළකර තිබුණා කොරෝනා අවධියේ. ඒත් එක්කම මම එහි පුංචි සටහනකුත් දාලා තිබුණා මද්දලෙන් තොර නාඩගමක් නොමැත කියලා.

මොකද මද්දල කියන වාද්‍ය භාණ්ඩය සැලකෙන්නෙම මෙබඳු ශෛලියේ නාට්‍ය කලාවක හදවත විදියටයි. ඉතින් මේ ඡායාරූපය මුහුණු පොතේ දාලා වැඩි වේලාවක් යන්න මත්තෙන් උන්වහන්සේ මට පණිවිඩයක් දාලා තිබුණා, තමන් වහන්සේ ළඟ නාඩගම් පිටපතක් ඇති බවත් එය මවිසින් නිර්මාණයක් විදියට ඉදිරිපත් කරනවා නම් කැමැති බවත්. ඒ වෙද්දි උන්වහන්සේ මා පිළිබඳත් යම් අධ්‍යයනයක නිරත වී තිබුණ බවත් මට පසුව දැනගන්න ලැබුණා. නමුත් මම නැටුම් සංගීතය නාට්‍ය වැනි අංශවලට යොමු වී කටයුතු කළත් මද්දල වාදනයට යොමුවී සිටින කෙනකු බව උන්වහන්සේට විශාල අවබෝධයක් තිබී නෑ. නමුත් මේ අවබෝධයෙන් පසුව උන්වහන්සේ මට ආරාධනා කළා, මේ නිර්මාණ කටයුත්ත සඳහා යොමුවන්න කියා. එහිදි මම මුලින්ම මඟ පෙන්වීම් ලබා ගත්තේ මගේ මව හා පියාගෙන්. මොකද මගේ නර්තන ගුරුවරිය වන්නේ මගේ මව. ඒ වගේම මගෙ රංගන ගුරුවරයා වුණේ මගේ පියා. ඉතින් ඔවුන් සමඟත් අදහස් හුවමාරු කරගත් පසු ඔවුන්ගේ මඟ පෙන්වීමත් එක්ක තමයි මම මේ නිර්මාණ කටයුත්තට යොමු වන්න තීරණය කළේ.

රුචිරා දේවි නාඩගම් පිටපතට පාදක වන්නෙ කුමනාකාර තේමාවක්ද?

ඇත්තටම හොඳ කතාවක්. මේ කතාවට පදනම් වෙන්නෙ බන්ධන මොක්ඛ කියන ජාතක කතාව. ‘රුචී’ කියන රජ බිසවක් වටා ගෙතෙන කතාවක් මෙහි තිබෙන්නෙ. ඇත්තටම මේ කටයුත්තට යොමුවන්න හේතුවන්නෙ අභියෝග දෙකක් නිසා. එකක්, වර්තමානයේ නාඩගමක් ඉදිරිපත් කිරීමේ අභියෝගය, අනික තමයි මේ කටයුත්ත වෙනුවෙන් මම සම්පුර්ණයෙන්ම තරුණ පිරිසක් සම්බන්ධ කරගනිමින් එය ඉදිරිපත් කරන්න තීරණය කිරීම.

මේ නිර්මාණ කාර්යයට රංගන ශිල්පීන් ලෙස සම්බන්ධ වන සියලු දෙනාම පාහේ කලාවට නැඹුරුවක් ඇති ඒ පිළිබඳ දැනුම සහිත, එහි නියැළෙන හා සෞන්දර්ය විෂයන් හදාරන කණ්ඩායම්. නමුත් මේ නාඩගම් ශෛලියේ නාට්‍යමය අත්දැකීම ඒ හැමදෙනාටම අලුත්. ඒ විදිහට මුල පිරූ කර්තව්‍යය මෙරට අවුරුදු හතළිහකට පසු ‘රුචිරා දේවි’ නාඩගම ලෙස නාඩගම් ශෛලියෙන් බිහිවන නාට්‍යයක් ලෙස එළිදැක්වීම සිදුවුණා. මේ නාඩගමේ ගීත විශාල ප්‍රමාණයක් තියෙනවා එනම් ගීත විසි හතරක්. ඒ සියල්ලක් පැරැණි නාඩගම් ගී ශෛලිය ඇසුරින්, ඒ සම්ප්‍රදායන්ට ගැළපෙන අයුරින් අලුත් කරගෙන නිර්මාණය කළේ. කිසිම අවස්ථාවක මා ඒ පැරැණි රහට හානි කළේ නෑ. එය සුවිශේෂි දෙයක් ලෙසයි මා දකින්නේ.

මෙහි විශේෂිතම සාධකයක් තමයි මද්දලය කියන වාද්‍ය භාණ්ඩය. එය මෙහි රිද්මය හා බැඳුණු ප්‍රාණය වගෙයි. මම මේ නාට්‍යයේ මද්දලය වාදනයට සම්බන්ධ වෙනවා. මද්දලය කියන වාද්‍ය භාණ්ඩය වාදනය කරන්න මා ඉගෙන ගත්තෙ තනියෙන්. ඒ සඳහා මට ගුරුවරයෙක් හිටියෙ නෑ. මා දන්නා තරමින් පාරම්පරික මද්දල වාද්‍ය ශිල්පීන් දෙදෙනකු විතරයි දැනට සිටින්නෙ.

මනමේ සිංහබාහු වගේම දික්තල කාලගෝල නාට්‍යවල මේ ආකාරයේ වාදනයන් දැකගන්න පුළුවන්. විශේෂයෙන් දික්තල කාලගෝල නාට්‍යයේ මගේ මවත් පියාත් දෙදෙනාම සිටි නිසා එය මගේ ජීවිතයට ගොඩක් සමීප වුණා. ඒ පද මගේ මනසේ හොඳින් සටහන් වුණා. ඒ අනුව මද්දල වාදනය මා විසින්ම ස්වෝත්සාහයෙන් ඉගෙනීමට පෙලඹුණා. ඒ වටිනාකම තමයි මට මේ නිර්මාණය කරන්න විශාල පිටිවහලක් වුණේ.

මොකද මේ නාඩගම් ශෛලියේ නිර්මාණයකට මද්දලය හැර වෙනත් ඒ හා සමාන වාද්‍ය භාණ්ඩයක් වැයීමෙන් ඒ නාදරටා හා බැඳුණු හැඟීම උද්දීපනය කරන්න බැහැ. විශේෂයෙන් මේ නිර්මාණ තුළ මම මද්දලය කියන වාද්‍ය භාණ්ඩය මඟින් ඊට සාධනීය බලපෑමක් කරන්න පෙලඹී තිබෙනවා කියා විශ්වාස කරනවා. නමුත් සාම්ප්‍රදායික තාල රටාවන්ට කෙසේවත් හානි නොකොට. ඒ අනුව වසර හතළිහකට පසුව බිහිවෙන, නාඩගම් ශෛලියේ නිර්මාණයක් විදියට ‘රුචිරා දේවි’ කියන නාඩගම් ශෛලියේ වේදිකා නාට්‍යය සාධක රැසකින් සුවිශේෂ වූ නාඩගමක් විදියටත් හඳුන්වා දෙන්න පුළුවන්. එහිදී සංගීතය, නර්තනය, රංගනය, ගායනය, ඇඳුම් නිර්මාණය, කලා අධ්‍යක්ෂණ ආදී වූ හැම කාරණාවක් පිළිබඳ මැනවින් සැලකිලිමත් වෙමින් එසේම නව මුහුණුවරකුත් දෙමින් කළ නිර්මාණයක් විදියට ‘රුචිරා දේවි’ නාඩගම හඳුන්වා දෙන්න කැමතියි.

මේ සියල්ලක් සමඟ නාඩගම නූතන සමාජයට පිළිගන්වන්න තරුණයකු විදියට ලැබුණ අවස්ථාව පිළිබඳ ගොඩක් සතුටුයි. මොකද නූතන අවධියේ මෙවැනි කටයුත්තක නියැළීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන නිසා. නමුත් මෙවැනි නිර්මාණ කටයුත්තක් සමඟ නිරන්තරයෙන් ඉදිරියේදීත් කටයුතු කරන්න ලොකු කැමැත්තක් තියෙනවා.

නවක නිර්මාණකරුවකු මෙබඳු නිර්මාණ කටයුත්තක නියැළීම නූතන යුගයේ අභියෝගාත්මක බව නේද බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ?

ඒක හරි. මෙය පහසු කටයුත්තක් නොවෙයි. අපේ දේ රැකගෙන ඉදිරියට ගෙන යෑමේ කටයුත්ත නිසියාකාරව සිදුවිය යුතුයි. හැබැයි එය එසේ වන්න නම් ඊට හොඳ පසුබිමකුත් නිර්මාණය විය යුතුමයි. පහසුවෙන් නවකයකුට මේ කාලයේ මෙවැනි බරපැනක් දරන්න බෑ. මෙවැනි දේට අවශ්‍ය සාධනීය වැඩ පිළිවෙළක් ඇති කිරීමට රජයේ මැදිහත් වීම වැදගත් වනවා. ඊළඟට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ අත්දැකීම් සහ උපදෙස් නවකයන්ට අවශ්‍යයි. දැන් මේ නාට්‍යය සාර්ථක වන්න ප්‍රධාන හේතුවක් තමයි මගේ අම්මගෙයි තාත්තාගෙයි අත්දැකීම් හා උපදෙස්. අනික තමයි මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වන්නා වූ පිරිසට නිරතුරුව තිබිය යුත්තේ න්‍යායාත්මක දැනුම පැත්තට එහා ගිය පුළුල් ප්‍රායෝගික දැනුම සහිත නැඹුරුවක්. එසේ වුණොත් තමයි මෙවැනි නිර්මාණයක් හරි ප්‍රමිතීන් සහිතව ජනගත කරන්න පුුළුවන් වෙන්නේ. මෙහි මුඛ්‍ය පරමාර්ථය මේ කලාව අනාගත පරපුරට දායාද කිරීම. මේ කලාවෙන් විශාල මුදල් හොයන්න බැහැ. නමුත් සතුටු වන්න පුළුවන් අපට හරි දෙයක් කළොත්,

ඇත්තටම නාඩගම් කලාව තමයි ලංකාවේ තිබෙන නාට්‍ය කලාවේ ලස්සනම කොටස. ඒ මද්දල හඬ ඇහෙද්දී ඒ ගමන් තාලෙන් ශිල්පීන් පැමිණේද්දි දැනෙන හැඟීම කියන්න මට නම් වචන නැහැ. ඒ නිසා එබඳු කලාවක් හරි ප්‍රමිතීන් ඔස්සේ ඉදිරියට ගෙන ගොස් ඉදිරි පරපුරට දෙන්න නම් මේ සාකච්ඡා කළ කාරණා සියල්ලක් හොඳින් කළමනාකරණය වීම වැදගත්. මම ඒ ගැන දැඩිව විශ්වාස කරනවා.

මේ ගමන් මඟේ ඔබේ ප්‍රණාමය පුද කරන්නේ කාටද?

මගේ මවටත් පියාටත් මුලින්ම. මගේ මව තමයි මගේ නර්තන ගුරුවරිය වන්නේ. එසේම මගේ මුල්ම බෙරවාදන ගුරුතුමිය වුයේත්, ඇයයි. ඇය ප්‍රවීණ නර්තනචාරිනි නාමලී දනන්සූරිය.

ඇය ප්‍රවීණ නර්තන ශිල්පිනියක් හා වේදිකා නාට්‍ය ශිල්පිනියක්. ඊළඟට මගේ පියාණන්. කලාභූෂණ රුවන් දනන්සුරිය ප්‍රවීණ වේදිකා නාට්‍ය ශිල්පියකු ලෙස මගේ රංගන හා ගායන දිවියට ඔහුගෙන් ලැබෙන දැනුමුතුකම් හා මඟපෙන්වීම මිල කළ නොහැකියි. ඊළඟට මේ කටයුත්තේ දී මට ඉමහත් ශක්තියක් වන මගේ බිරිඳ සඳුනි පිටිගලත් ඇයගේ මවුපියනුත් මේ මොහොතේ මා සිහිපත් කළ යුතුයි. එසේම කණ්ඩායමක් ලෙස මේ නිර්මාණ කටයුත්තට සම්බන්ධ වී සිටින සියලුම රංගන ශිල්පීන් සුවිශේෂයි. සෞන්දර්ය විෂයන් හදාරන විශ්වවිද්‍යාල සිසුන්ගේ සිට කථිකාචර්යවරු දක්වා වූ පිරිස් මේ කණ්ඩායම තුළ සිටිනවා. ඔවුන්ගේ හැකියා හා දායකත්වය අගය කළ යුතුයි. ඉතින් මේ සියලු ආකාර වූ පරිශ්‍රමයන් කැපකීරිම් තුළින් ගොඩනැඟුවා වූ රුචිරා දේවි නාඩගම මෑත කාලයේ බිහි කරන්න හැකි වූ සුවිශේෂ නාඩගම් ශෛලියේ නාට්‍යයක් ලෙස මම විශ්වාස කරන අතර එය නරඹා මේ සුවිශේෂ කාරණා වටහාගන්න කියා ආරධනා කරනවා. මෙහි ඊළඟ වේදිකාගත කිරීම එළැඹෙන දෙසැම්බර් 9 වැනි දින මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ශ්‍රවණා ගාරයේදී ඔබට නැරඹීය හැකියි.

පිටපත් රචනය සහ නිෂ්පාදනය - ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත

අත්තිඩියේ පුඤ්ඤරතන හිමියන්

සංගීත අධ්‍යක්ෂණය සහ නාට්‍ය අධ්‍යක්ෂණය - විශාරද පැතුම් දනන්සූරිය

කලා අධ්‍යක්ෂණය සහ උපදේශක - කලාභූෂණ රුවන් දනන්සූරිය

නර්තන අධ්‍යක්ෂණය - ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තනාචාරිනි නාමලි දනන්සූරිය

පොතේ ගුරු - සංඛ ජයලත්

බඹදත් රජු - ශ්‍රීනාත් ඉලේපෙරුම

රුචිරා දේවී - සඳුනි පිටිගල

පුරෝහිත පඬිතුමා - කලාභූෂණ රුවන් දනන්සූරිය

රාජ සේවිකාව - ශයනි භාග්‍යා

රාජපුරුෂයා - ඩිල්ෂාන් මිහිරංග

ගායන වෘන්දය - නාමලී දනන්සූරිය

තිළිණි මැණික්දිවෙල

හසිනි මැලෑගම

එරන්දි ඒකනායක

හර්ෂ ජාගොඩ

තාරුක මධුෂාන් වර්ණසූරිය

සසිත ඉමල්ක

හංසික ඉඳුනිල්

සංගීතය - විශාරද පැතුම් දනන්සූරිය

ප්‍රසාද් අරුණශාන්ත

විශාරද දිනංජන මධුශංක

වජිර ප්‍රේමතිලක

නලින් හේමන්ත

අංග රචනය - සමීර රත්නායක

විදුලි ආලෝක - මිහිඳු මධුශංක

වේදිකා පරිපාලනය - විල්ෆ‍්‍රඩ් පෙරේරා

 

[email protected]