ටෙලිනාට්‍ය නළුවෙක් වෙනවාට වඩා සිනමා නළුවෙක් වෙන්න කැමැතියි

“කියා දෙන්න ආදරේ තරම්” ටෙලිනාට්‍යයේ නිර්වාන්
ජුනි 24, 2021

- සචින් ලියනගේ

මේ දිනවල දිනපතා සිරස නාළිකාවේ විකාශය වන ධනුෂ්ක රත්නායකගේ අධ්‍යක්ෂණයක් වන "කියා දෙන්න ආදරේ තරම්" ටෙලිනාට්‍යය ඔබ නරඹනවා නම් එහි නිර්වාන්ගේ චරිතය ඔබට මතක ඇති. නාගරික ලුම්පන් වටපිටාවක හැදී වැඩී එම පීඩිත පරිසරයෙන් මිදී කෙසේ හෝ සාමාන්‍ය සමාජයට ගොස් වැදගත් ලෙස ජීවත් වෙන්න වැර දරන තරුණයෙකුගේ චරිතයක් ඒ. මේ චරිතයට පණ පෙවන්නේ නවක රංගන ශිල්පියෙක් වන සචින් ලියනගේ. මේ ඔහු පණ පොවන පළමු ප්‍රධාන චරිතය. ඒ අත්දැකීම ගැන සහ කලාවෙන් ඔහු යන්නට සැරසෙන ඉදිරි ගමන ගැන කතා කරන්න අපි ඔහුව සම්බන්ධ කරගත්තා.

සචින් කියන්නේ කවුද?

මගේ නම ලියනගේ දොන් සචින් සමීර. මට වයස අවුරුදු විසිහතරයි. මගේ පාසල වත්තල ශාන්ත අන්තෝනි ජාතික පාසල. මගේ පවුලේ අම්මායි, අක්කලා තුන්දෙනායි, මමයි ඉන්නේ.

 

කලා ක්ෂේත්‍රයට එන්නේ කොහොමද?

කලාවට එන්නේ අහඹු සිදුවීමකින්. මම ගොඩක්ම ආසා වුණේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්න. මම සාමාන්‍ය පෙළ කරද්දි මගේ තාත්තා නැති වුණා. ඒත් එක්කම මට ක්‍රිකට් මඟහැරුණා. මම ඉන්නේ පෑලියගොඩ මගේ අක්කලාගේ ගෙදර. ඒ ළඟ ඉන්නවා රසාංග ද සිල්වා කියලා මගේ ඥාති සහෝදරයෙක්. එයා ගායකයෙක්. මම එයා එක්ක එයාගේ වැඩකට චැනල් එකකට ගිහින් ඉන්නකොට සුජිත් රාජපක්ෂ අයියා මාව දැකලා ගීතයක රූපරචනයක දුෂ්ටයාගේ චරිතයට කතා කළා. ඒ වෙද්දි මම රඟපාලා තිබුණේ නැහැ. මගේ ඥාති සහෝදරයාත් කිව්වා ඒකට යන්න කියලා. ඊට පස්සේ මම ඒ ගීත රූප රචනයට හිටියා. ඒ ගීතය ගොඩක් ජනප්‍රිය වීමත් එක්කම මට තව රූපරචනාවලට ආරාධනා ආවා. ඊටපස්සේ මට වෙළෙඳ දැන්වීම්වලත් රඟපාන්න ආරාධනා ආවා.

 

රංගනය ගැන හැදෑරීමක් කරලා තියෙනවාද?

ඇත්තටම නැහැ. ඒත් මම රංගනය ගැන හදාරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් හඬ පුහුණුව කරන්න බලාපොරොත්තු වෙනවා. මේ කොරෝනා ප්‍රශ්නය නිසා කිසිම රංගන පාඨමාලාවක් මේ දවස්වල පැවැත්වෙන්නේ නැහැ. මම ඉක්මන්ටම රංගනය ගැන හදාරන්න හිතාගෙන ඉන්නවා. ඒ වගේම කලින් වෙළෙඳ දැන්වීම්වල සහ ගීත රූප රචනාවල රඟපාපු නිසා රංගනය ගැන පොඩි අවබෝධයක් තියෙනවා. ඒත් ක්ෂේත්‍රයේ ඉන්න නම් ඊට වඩා ලොකු දැනුමක් තියෙන්න ඕනේ.

 

"කියා දෙන්න ආදරේ තරම්" ටෙලිනාට්‍යයේ නිර්වාන්ගේ චරිතය ලැබෙන්නේ කොහොමද?

මගේ පළවෙනි ටෙලිනාට්‍ය හිරු නාළිකාවේ විකාශය වුණු "අහස් මාළිඟා". එහි චමත්ගේ චරිතයට මම පණ පෙව්වා. ඒක ඉවරවෙලා වසර දෙකහමාරක් විතර මට නිර්මාණවලට ආරාධනා ආවේ නැහැ. ඒත් මම වෙළෙඳ දැන්වීම්වල දිගටම සම්බන්ධ වුණා. මේ අතර වාරයේ මට ධම්මික රත්නායක අයියාව මුණගැහුණා. එයා ධනුෂ්ක රත්නායක අයියාගේ අලුත් ටෙලි නිර්මාණයකට මට ආරාධනා කළා. මම ඒකේ තිර පරීක්ෂණයට සහභාගී වුණා. තිර පරීක්ෂණයෙන් සතියකට විතර පස්සේ මම මේ චරිතයට තේරුණා කියලා දැනගන්න ලැබුණා.

 

මේ චරිතයට ඔබ සූදානම් වුණේ කොහොමද?

මම සාමාන්‍යයෙන් මිනිස්සු එක්ක ඉන්න චරිතයක්. නිර්වාන් කියන්නේ 

මගේ චරිතයම තමයි. පෑලියගොඩ, දෙමටගොඩ, ආමර් වීදියේ ඔක්කොම කොල්ලෝ ආශ්‍රය කරන කොල්ලෙක් මම. ඒ අයගේ චරිත ලක්ෂණ මම හොඳට දන්නවා. මට උඩ පල්ලෙහා කියලා භේදයක් නැහැ. ඕනෑම මට්ටමක මිනිස්සු ආශ්‍රය කරනවා. ඒ නිසා මට මේ චරිතය ටිකක් ලේසි වුණා. ඒත් මම අධ්‍යක්ෂවරයා එක්ක නිර්වාන්ගේ චරිතය ගැන ගොඩක් දේවල් කතා කරලා අඩුපාඩු හදාගත්තා.

සචින්ට මේ ටෙලිනාට්‍යයේ තවත් චරිතයක් කරන්න සිද්ධ වෙනවා නේද?

ඒ චරිතය තවම විකාශය වෙලා නැහැ. කතාවේ හැටියට ප්‍රධාන නිළිය වෙන ස්නේහාගේ (ශලනි තාරකා) කලින් පෙම්වතාගේ චරිතය. එයාත් නිර්වාන් වගේමයි. ඒ නිසයි ස්නේහා නිර්වාන්ට ළං වෙන්නේ. ඒ අනුත්තරගේ චරිතයට නම් මම ටිකක් මහන්සි වුණා. මොකද එයා ටිකක් තද පුද්ගලයෙක්. එයා කුකුල් කේන්තිකාරයෙක්. ඒත් එයාගෙ පෙම්වතියට ගොඩක් ආදරෙයි. කතාවේ තිරරචක මහේෂ් රත්සර මද්දුමාඅරච්චි අයියා එක්ක කතා කරලා ඒ චරිතය ගැන ඇහුවම එයා උදාහරණ ගන්න ඒ චරිත ලක්ෂණ තියෙන ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයෝ හතර පස් දෙනෙක් මට කිව්වා. මම ඒ අයව නිරීක්ෂණය කරලා යම් අදහසක් ගත්තා. නිර්වාන්ගේ වගේ නෙමෙයි අනුත්තරගේ කටහඬ පවා වෙනස්. ඒ නිසා මගේ කටහඬ වෙනස් කරලා කතා කරන්නත් පුරුදු වෙන්න වුණා.

 

කොහොමද නිර්වාන්ට ලැබෙන ප්‍රතිචාර?

ඉතාම හොඳයි. මේ තරම් ලොකු ප්‍රතිචාර ගොඩක් මම ඇත්තටම බලාපොරොත්තු වුණේ නැහැ. මැසේජ් එනවා, කමෙන්ට් කරනවා, කෝල් කරනවා. මට ගොඩක් සතුටුයි මම ප්‍රධාන චරිතයක් රඟපාන පළවෙනි නිර්මාණයටම මේ තරම් ප්‍රතිචාර ගොඩක් ලැබෙන එකට.

ඔබ මේ චරිතය ගොඩනඟන්නේ ලංකාවේ අතිදක්ෂ රංගන ශිල්පීන් ශිල්පිනියන් රාශියක් එක්ක.

ගොඩක් ආධුනිකයන් කියන්නේ ප්‍රවීණයන් එයාලට තැනක් දෙන්නෙ නැහැ කියලා. ඇත්තටම ඒක බොරුවක් කියලා මට තේරෙන්නේ ප්‍රවීණයන් එක්ක වැඩ කරද්දි. දුලීකා මාරපන අක්කා, ප්‍රියන්ත සෙනෙවිරත්න අයියා, මීනා කුමාරි අක්කා මේ හැමෝම හරිම ආදරෙන් කියලා දෙනවා. "මල්ලි මේ සීන් එක මෙහෙම කරන්න එතකොට ඔයාගේ කැරැක්ටර් එක මෙහෙම හැදෙනවා" කියලා සෑහෙන්න උදවු කරනවා. මට එයාල එක්ක වැඩ කරන්න ලැබීම ලොකු අත්දැකීමක්. එයාලා සෙට් එකේ ඇවිල්ලා ඉන්න විදිහ පවා මම බලාගෙන ඉන්නවා. ප්‍රවීණයෝ අපිට උදවු කරන්න කැමැතියි. අපි එයාලට ගරු කරන්න ඕනේ.

 

ශලනි තාරකා කියන්නේ තරුණ පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක්. කොහොමද ඇගෙන් ලැබෙන සහයෝගය?

රූපගත කිරීම්වලට යන පළවෙනි දවසෙම මට ලොකු චකිතයක් තිබුණා කොහොමද මේ ප්‍රවීණයොත් එක්ක ගනුදෙනු කරන්නේ කියලා. ඒත් පළවෙනි දවසෙම ඒ චකිතය නැති වුණා. විශේෂයෙන් ශලනි අක්කා මං එක්ක කතා කරලා "මල්ලි අපි මෙහෙම රඟපාමු" කියලා ගොඩක් උදවු කළා. නිර්වාන් කියන චරිතය කොහොම තැනකද ඉන්නේ? එයා ස්නේහාට සලකන්නේ කොහොමද? කියලා ශලනි අක්කා මං එක්ක කතා කළා. අපි දෙන්නාගෙන් නිර්වාන් සහ ස්නේහාගේ සංකලනය ගොඩක් සාර්ථකව කරගෙන යන්න දායකත්වය ලබාදෙන්නේ ශලනි අක්කා. මගේ පැත්තෙන් අඩුපාඩුවක් වුණොත් ඒක පෙන්නලා දෙනවා. ඇත්තටම මට ලොකු භාග්‍යයක් ඒ වගේ දක්ෂ තරුණ රංගන ශිල්පිනියක් එක්ක රඟපාන්න ලැබීම.

 

නිර්වාන්ගේ චරිතය "මිනා" කියන දැරිය හා සම්බන්ධයි. කොහොමද කුඩා දැරියක් එක්ක වැඩ කරන්න ලැබුණු අත්දැකීම?

එයා කොච්චර පොඩි වුණත් මට වඩා ටෙලිනාට්‍ය සහ සිනමාව ගැන පලපුරුද්ද තියෙන කෙනෙක්. ඒත් පොඩි ළමයෙක් නිසා පළවෙනි දවසේම ඕනාවට වඩා බොරුවට සමීප වෙන්න හැදුවා. මොකද අපි දෙන්නාගේ සම්බන්ධතාව චරිත දෙකට වැදගත්. ඒත් එහෙම ආයාසයකින් සමීප වෙන්න අවශ්‍ය වුණේ නැහැ. ඒ දරුවා හරිම දක්ෂ, හොඳ දරුවෙක්. එයා අපිට ආදරේ හිතෙන විදිහට නිතරම ඉන්නේ. එයා මට කියන්නේ ලොකූ කියලා. එයා චරිතෙන් පිටත් හරිම හොඳයි. මම හරිම ආදරෙයි එයාට.

 

ක්ෂේත්‍රයට එන නවක ශිල්පීන් රංගනය ගැන හැදෑරීමක් නොකළ අය කියලා චෝදනාවක් තියෙනවා?

රංගනයට විතරක් නෙමෙයි ඕනෑම ක්ෂේත්‍රයක වැඩ කරද්දි ඒ ක්ෂේත්‍රය ගැන හැදෑරීමක් අවබෝධයක් තියෙන්න ඕනේ. ශාරුක් ඛාන් වගේ නළුවෙක් ගත්තොත් එයා රංගනයට එන්නේ අහම්බෙන්. නමුත් ක්ෂේත්‍රයට ඇවිත් ගොඩක් දේවල් ඉගෙනගන්නවා. දක්ෂතාවය, කැපවීම සහ අවස්ථාව අනුව හැකියාව වැඩිදියුණු කරගන්න පුළුවන්. අවස්ථාව ලැබෙන්නේ කොයිවෙලාවෙද දන්නේ නැහැ. නමුත් ලැබෙන තැනදි අපි අපේ දක්ෂතා පෙන්වන්න ඕනේ. ඒ වගේම නමුත් අපිට නොගැළපෙන නිර්මාණ නොකර ඉන්න ඕනේ. නවක ශිල්පීන්ගේ රංගනයෙන් නිර්මාණයට හානියක් වෙනවා නම් තමයි ඔවුන්ව විවේචනය කරන්නේ. එහෙම නොවෙන්න නම් තමන්ගේ හැකියාව සහ මට්ටම අනුව චරිත තෝරගෙන හරියට කරන්න ඕනේ.

 

සචින් සිනමා සිහිනයක් දකින රංගන ශිල්පියෙක්ද?

ඔව්. හැමෝටම වගේ මටත් සිනමාවට එන්න හීනයක් තියෙනවා. ඒත් දැන්මම නෙමෙයි. මේක නෙමෙයි සිනමාවට එන්න හරි වෙලාව. සිනමාව ගැන කිසි දෙයක් නොදැන රංගනය ගැන ලොකු අවබෝධයක් නැතුව සිනමාව කියන දැවැන්ත ක්ෂේත්‍රයට අවතීර්ණය වෙන්න මම සූදානම් නැහැ. මට අත්දැකීම් එකතු කරගන්න කාලයක් ඕනේ. වෙළෙඳ දැන්වීම්වල හිටපු නිසා මට දෙබස් සහිත රංගනය ගැන ලොකු අවබෝධයක් නැහැ. ඒ නිසා මට ඉගෙනගන්න දේවල් තව ගොඩක් තියෙනවා. මම ආසයි ටෙලිනාට්‍ය නළුවෙක් වෙනවාට වඩා සිනමා නළුවෙක් වෙන්න.

 

ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?

අලුත් ටෙලිනාට්‍ය දෙකකට ආරාධනා ආවා. එකක් "වැකේෂන්" කියලා සුමුදු වෙල්ලාලගේ අධ්‍යක්ෂණය කරන ටෙලිනාට්‍යයක්. ඒකේ මට කරන්න තියෙන්නේ ගොඩක් දඩබ්බර දුෂ්ටයාගේ චරිතය. අනිත් ටෙලිනාට්‍ය ගැන කතා කරගන්න තවම බැරි වුණා. චිත්‍රපටයකට ආරාධනා ඇවිත් තියෙනවා. ඒකත් තවම කතාබහ මට්ටමේ තියෙන්නේ. දැනට මේ නිර්වාන් කියන චරිතය වඩා සාර්ථකව කරගෙන, රංගනය ගැන තව ගොඩක් අත්දැකීම් ලබාගෙන, සිනමාවට යන්න අඩිතාලම දාගන්න එක තමයි තියෙන ලොකුම බලාපොරොත්තුව.