මම රඟපාන්නේ විනෝදාංශයක් විදියට

සිහින ගෙනෙන කුමාරියේ සමඟ එන සෙලීනා ට්වින්කි කෲස්
ජූලි 15, 2021

 

සිහින ගෙනෙන කුමාරියේ ටෙලි සිතුවම ඉහළ ජනාදරයට පාත්‍ර වෙමින් කාලයක් තිස්සේ විකාශය වෙනවා. මේ හේතුවෙන් එහි රංගනයෙන් දායක වූ චරිතවලට ලැබී තිබෙන්නේ ඉහළ ජනප්‍රියත්වයක්. සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නාට්‍යයේ මල් වගේ ඉන්න දරුවන් හත් දෙනා පිළිබඳ ඔබට අමුතුවෙන් සඳහන් කරන්න ඕනේ නැහැනේ. ඔවුන්ද එකිනෙකා පරයමින් ජනප්‍රියත්වය විඳීමින් සිටිනවා. මේ ඔබට ගෙන එන්නට අප සූදානම් වන්නේ ඒ ළමයින් පොකුරේ හතරවැනි දරුවා පිළිබඳ පුවත්පත් ලිපියක්. ඇයගේ නම සඳහන් කළොත් සෙලීනා ට්වින්කි කෲස්.

සෙලීනා, ඔබට කොහොමද සිහින ගෙනෙන කුමාරියේ නාට්‍යයේ රඟපාන්න අවස්ථාව ලැබෙන්නේ?

මම රඟපාන්න එන්නෙ අවුරුදු හතරේදී විතර. වෙළෙඳ දැන්වීම්වල වගේම කැලැන්ඩර්වලටත් පෙනී සිටින්නට අවස්ථා ගණනාවක් ලැබුණා. මගේ ලොකු අයියා ෂේන් ඩී කෲස්. ඔහු හඬ කැවීම් ශිල්පියෙක්. අයියා නිසා තමයි මට රංගනයට එක් වෙන්න අවස්ථා ලැබුණේ. අශාන්ති ද අල්විස් නමැති ජනප්‍රිය ගායිකාව ගයන පියාණනී ගීතයේ රූප රචනාවේ මම කුඩා දැරියගේ චරිතය රඟපෑවා. ඒකෙන් ගොඩක් අය අඳුන ගත්තා. පසුකාලීනව හිරු සුපර් ඩාන්සර් වැඩසටහනට සම්බන්ධ වුණා. එහිදී මට ගොඩක් පිරිසක් හඳුනගන්න ලැබුණා වගේම ඒ තරගයෙන් ටික දුරක් යන්න පුළුවන් වුණා. එහිදී තමයි මට නිවන්ත ප්‍රසාර කියන නිර්මාණකරුවා හඳුනාගන්න ලැබෙන්නේ. ඔහු තමයි සිහින ගෙනෙන කුමාරියේ නාට්‍යයේ අධ්‍යක්ෂවරයා. ඔහුගේ මුණ ගැසීමත් සමග මට රංගනයට අවස්ථාව හිමි වුණා.

 

ඒ කියන්නේ මේ ඔබගේ පළමුවැනි ටෙලි නාට්‍ය?

ඔව්.

 

කාත් එක්කද හා හා පුරා කියලා රඟපාන්න ඔබට අවස්ථාව ලැබුණේ?

ඉසුරු ලොකුහෙට්ටිආරච්චි අයියා එක්ක තමයි මුලින්ම මම රඟපෑවේ.

 

සිහින ගෙනෙන කුමාරියෙ නාට්‍යයේ ඔබ ආසාවෙන්ම රඟපාපු දර්ශනය මතකද?

ආසාවෙන් රඟපාපු දර්ශනයට වැඩිය මම කැමැත්තෙන්ම සහ මම විඳපු දර්ශනය ගැන කියන්න මම කැමතියි. එක්තරා අවස්ථාවකදී මමයි සකුණියි අම්මා කෙනෙකු ගැන කතා කරනවා. ඒ අවස්ථාවේදී අපිට ඇඬෙනවා. ඇත්තටම අපි ඒ අවස්ථාවලදී සංවේදී වුණා. මට ඒ දර්ශනය පුදුම විදිහට ෆීල් වුණා.

 

ඔබ ඇතුළු ළමයින් කණ්ඩායම නයිට් ෂූටිං තියෙන දවස්වල කිසිම කම්මැලිකමක් නැතුව රඟපානවා කියන්නේ ඇත්තද?

ඒක වෙන්නේ මෙහෙමයි නයිට් සීන්වලදී විශේෂයෙන්ම ඩිනර් ගන්නා අවස්ථාවන් රූපගත කරද්දී කෑම වර්ග මේසේ තියෙනවා. ඉතිං අපි ඔක්කොටම කෑම ජාති කන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් අපි කට්ටිය බොහොම ආශාවෙන් තමයි ඒ කෑම මේසෙ වාඩි වෙලා රූපගතකිරීම් කරන්නේ. සීන් එකේදිත් කන්න ලැබෙනවනේ. ඒවගේම තව සීන් එකක් ගැන කියන්නත් ඕනේ.

 

ඒ මොකක්ද?

අර අපි කට්ටියම කැන්ටර් එකක පිටිපස්සේ තට්ටුවෙ නැඟලා යන දර්ශනයට හරිම ආසයි. අපි වැටි වැටි බොහොම අමාරුවෙන් ඒක අල්ලගෙන තමයි රූපගත කිරීම් කළේ. ඒ අවස්ථාව හරිම සුන්දරයි.

 

මේ නාට්‍යයට අමතරව ඔබට තව නිර්මාණ සඳහා කතා කළාද?

තව ටෙලි නාට්‍යයකට කතා කළා. නමුත් මේ කොරෝනා එක්ක එය කල් ගියා.

 

ඔබ ඉගෙන ගන්නා පාසලත් මතක් කළොත්, දැන් වයසත් කියමු?

මට අවුරුදු දාහතයි. වෙන්නප්පුව ජෙනීස් ජාත්‍යන්තර පාසලේ තමයි මම ඉගෙන ගන්නේ. මේ දවස්වල නම් ඔන්ලයින්.

 

රඟපෑම අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවේ ද?

ඇත්තටම මේ ටෙලි නාට්‍යයේ රංගනයට වැඩිය සුපර් ඩාන්සර් වැඩසටහනට යන කාලේ මට අධ්‍යාපන කටයුතු ටිකක් මිස් වුණා. ඒත් මං ඒවා කොහොම කවර් කර ගත්තා. ඉගෙන ගන්න පැත්ත කොහොමත් කරනවා. එයාර් හොස්ටස් කෙනෙක් හරි ෆැෂන් ඩිසයිනර් කෙනෙක් හරි තමයි වෙන්නත් ආස.

 

රංගනය වෘත්තීය කරගන්න අදහසක් නැද්ද?

නැහැ. මම රංගනයේ යෙදෙන්න බලාපොරොත්තු වෙන්නේ විනෝදාංශයක් විදිහට.

 

සෙලීනාගේ පවුලේ විස්තර කතා කළොත්?

මගේ අම්මා චන්දිමා රන්දිනී. තාත්තා සුදත් කෲස්.

මට අයියලා දෙන්නෙක් ඉන්නවා.