වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
මේ අපේම අත්දැකීමක්

සාලින්ද රත්නායක අධ්‍යක්ෂණය කරන පෝර්ක් වීදිය ටෙලි සිතුවම මේ දිනවලදී ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වනවා. එහි මන්දාකිණි ලෙස රඟපාන මෙය සුරූපිනිය වැඩි දෙනකුගේ අවධානයට පාත්‍රවී තිබෙන්නේ එහි ඇය ප්‍රධාන චරිතයක් නිසා. ඇය මීට ප්‍රථම වැඩි වාර ගණනාවකදී ඔබට හමුවී ඇත්තේ ගීතමය රූප රචනා තුළින්. පසුකාලීනව ටෙලිනාට්‍ය රංගනයට පැමිණි මේ සුන්දර තරුණිය ශෂී ඇන්ජලීනා.
පෝර්ක් වීදිය නාට්‍යයේ ඔබ රඟපාන්නේ නිළියකගේ චරිතයක්?
ඔවු. ඇගේ නම මන්දාකිණි. මන්දාකිණි කියලා කියන්නේ සාමාන්‍ය ජීවන අරගලයකට මුහුණ දුන් රංගන ශිල්පිනියක්. කෙටියෙන්ම කිව්වොත් ආර්ථික ප්‍රශ්නය තමයි ඇයට තදින්ම බලපාලා තියෙන්නෙ. ඇය කැමැතියි තමන් ලද ජනප්‍රියත්වයෙන් සහ හැකියාවෙන් මුදල් උපයන්න. මට ඒ චරිතය ලැබුණේ අධ්‍යක්ෂ සාලින්ද අයියගෙ ආරාධනයෙන්. මම හිතනවා ඒක බොහොම ආදරයෙන් ප්‍රේක්ෂකයො බාර අරගෙන තියෙනවා කියලා.
මන්දාකිණි නිළියක් වුණාට ඇය මුදල් හම්බ කරන්න කෑම විකුනනවා?
ඇත්ත. ඇයට තියෙන්නේ ජීවත්වීම පිළිබඳ ප්‍රශ්නයක්. පෝර්ක් විදියේ බොහෝ චරිත ගලා යන්නෙ ඒ ජීවන අරගලය හා ගැටීමත් සමඟ. ඇත්තටම පසුගිය කාලයේ අපි ඔය තත්ත්වය බොහෝවිට අතවින්දා. රංගන ශිල්පීන් විදිහට අපිටත් ඒ වගේම අනෙක් වෘත්තීන් කරන අයත් මේ තත්ත්වයෙන් පීඩා වින්දා. එනිසාම බොහෝ පිරිසක් වෙන වෙන ආදායම් මාර්ගවලට ගියා.
ඔබේ රුව වඩා දැකලා තියෙන්නේ ගීතමය රූප රචනාව ඔස්සේ. මම නිවැරදි නම් ඔබ තමයි ලංකාවේ වැඩිම රූප රචනාවලට දායක වුණු නිළිය?
මම හිතන්නේ මියුසික් වීඩියෝ දෙසිය පණහකට එහා මම රඟපෑවා.
ඒ වුණාට ඔබ බොහෝවිට රඟපෑවේ ඒකාකාරී චරිත. විශේෂයෙන්ම අඬන පෙම්වතිය විදිහට?
ඇත්තටම ඒක ලොකු කොටුවිමක්. එක දිගටම එකම චරිතවලට මාව තෝරා ගත්තා. ඒත් මම තව පැත්තක් එහි දකිනවා. මොකද මාව ඒ නිර්මාණ සඳහා දිගින් දිගටම කතා කළේ මගේ වැඩ කිරීමේ පිළිවෙළ නිසා කියලා මට හිතෙනවා. මම කියපු වෙලාවට හරියටම වැඩ කරන කෙනෙක්. මම කරන වෘත්තියට කවදාවත් අසාධාරණයක් කරලා නෑ. මේ හේතුව නිසාම මාව දිගටම නිර්මාණවලට ගන්න එය ප්‍රබල හේතුවක් වුණා.
ඒවායින් පරිබාහිරව ඔබ පළමුවෙන්ම රඟපාන්නේ මොන නිර්මාණයේද?
රශ් කියන චිත්‍රපටයේ තමයි මම රඟපෑවේ. ඊට පස්සේ දේදුනු කියලා නාට්‍යයක් කළා. සකලගුරු කියන නාට්‍යයෙන් තමයි ගොඩක් මිනිස්සු අතරට යන්න පුළුවන් වුණේ ටෙලි නිළියක් විදියට.
සාමාන්‍යයෙන් ගීතමය රූප රචනාවලට ඩයලොග් එහෙම කියන්න නැහැ. ඒත් ටෙලිවිෂන් හෝ සිනමාව කියන මාධ්‍ය ඊට වෙනස්. කොහොමද ඔබ ඒ අභියෝගයට මුහුණ දුන්නේ?
ඇත්තටම කිව්වා වගේ ඒවා මාධ්‍ය දෙකක්. මුලදී මම ටිකක් අපහසුතාවයට පත්වුණා ඩයලොග් කියන්න. මොකද එක දිගට මියුසික් වීඩියෝ රඟපාලා මම එකම තැනට කොටුවෙලා හිටියෙ. ඒත් එවායෙන් මිදී ටෙලි නාට්‍යය රංගන ශිල්පිනියක් විදිහට පසුව මම හැඩගැහුණා.
දැන් ඔබ මියුසික් වීඩියෝ රඟපාන එක අතහැරලාද තියෙන්නේ?
ඔව්. මං බොහෝ වෙලාවලට ඒවට යන්නේ නැහැ. මට දැන් අවශ්‍යයි ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක් විදිහට ඒ පැත්තෙන් ඉදිරියට යන්න.
එතකොට සිනමාව?ඔබට සිනමාව මගහැරුණා කියලා මට හිතෙනවා?
ඒ කියන කතාවේ යම් සාධාරණයක් තියෙනවා. මොකද මම එක දිගට මියුසික් වීඩියෝ කරන කාලයේදී මට සිනමාව කියන මාධ්‍යය මඟහැරුණා. ඒත් ඒ පසුගිය දේවල් ගැන නැවත මම හිතෙන්නේ නැහැ. සිනමාවේ ලොකු අවස්ථාවක් ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නේ.
මේ වන විට ඔබ පෙම්වතියක්ද?
ඒ ගැන විස්තර කියන්න පුළුවන්. ආදරේ ගැන අපි කතා නොකර ඉමු.
අවසන්කොට මොනවද කියන්න තියෙන්නේ?
මට කියන්න තියෙන්නෙ පෝර්ක් වීදිය නාට්‍යය නරඹන්න කියලා. එක ඇත්තටම වෙනස් විදිහේ නිර්මාණයක්.
සේයාරූ - චමිත් ෂා අම්බලන්ගොඩ