අපි දෙන්නා දෙන්නෙක්

‘මල් පිපෙන කාලේ’ හැඩකරන අනුෂ්කි සහ කනුෂ්කි...
නොවැම්බර් 25, 2021

නිවුන්නු කිව්වට සමහරුන්ගෙ ස්වරූපවල පොඩි හෝ වෙනසක් තියෙනවා.. ඒත් මේ දෙන්නා... ආයේ කතා දෙකක් නැහැ,නිවුන්නුම තමයි. එච්චරටම එකම වගේ. හැබැයි දෙන්නා කතා කරන්න පටන්ගත්තට පස්සෙ නම් ටිකක් හොයාගන්න ලේසියි. මොකද එක්කෙනෙක්ගේ කියවිල්ල හොඳටම වැඩියි. හරියට නිල්නෙතුගෙ වගේමයි. අනිත් කෙනා ටිකක් නිශ්ශබ්ද චරිතයක් හරියට පිනිමුතු වගේ. නිල්නෙතුයි පිනිමුතුයි ඉන්නේ මල් පිපෙන කාලේ ටෙලි නාට්‍යයේ. දෙරණ නාළිකාවේ විකාශය වන එය තාරුණ්‍යයේ සිත් ඇද බැඳ ගත් ටෙලි සිතුවමක්. මේ නාට්‍යය අධ්‍යක්ෂණය කරන්නේ තුෂාර තෙන්නකෝන්. සාමාන්‍යයෙන් ටෙලිනාට්‍යයක නිවුන් චරිත ඇත්නම් ඒවා රංගනයේ යෙදෙන්නේ එකම ශිල්පියා හෝ ශිල්පිනියකු විසිනුයි. ඒකට කට වහරින් කියන්නේ ඩබල් ඇක්ටින් කරනවා කියලා. නමුත් තුෂාරට ඕන වුණා මල් පිපෙන කාලේ කතාවේ එන නිවුන් චරිත සඳහා ඇත්තම නිවුන්නු දෙන්නෙක් ගන්න. ඒ සඳහා තිබුණු තිර පරීක්ෂණයට නිවුන්නු අති විශාල සංඛ්‍යාවක් ඇවිල්ල හිටියා. ඒ අතරින් තමයි නිල්නෙතු සහ පිනිමුතු කියන චරිත දෙකට මේ දෙදෙනා තෝරා ගන්නේ. අනුෂ්කි ප්‍රේමචන්ද්‍ර, කනුෂ්කි ප්‍රේමචන්ද්‍ර තමයි මේ සුරුපිනියන් දෙදෙනා. නිල්නෙතු සහ පිනිමුතු නිසා ඔවුන් දෙදෙනාටද ඉතා ඉහළ ජනප්‍රසාදයක් ලැබී තිබෙනවා. ඒ හින්දම සරසවියේ ඉඩක් ඔවුන් වෙනුවෙන් අපි මෙහෙම වෙන් කළා.

මම මුලින්ම කාත් එක්කද කතා කරන්නේ..

එහෙම ඇහුවම සුපුරුදු විදිහට ඉදිරියට ආවේ අනුෂ්කි.. මොකද මම අර කලින් කිව්ව වගේ හොඳට කතා කරන්න ඇයට පුරුදු නිසා.

කවුරු කතා කළත් වැඩි වෙනසක් නෑ කියලා හිතාගෙන අනුෂ්කි සමඟ මුලින්ම මෙහෙම කතා කළා.

මට මුලින්ම කියන්න කෝ ඔය දෙදෙනාගෙන් අක්කා කවුද නංගි කවුද කියලා.

මම අක්කා, කනුෂ්කි තමයි නංගි.

ඔබ දෙදෙනා නොසිතූ විරූ ජනප්‍රසාදයක් ලැබුණා මල් පිපෙන කාලේ ටෙලි නාට්‍යය නිසා...

ඇත්තටම මල් පිපෙන කාලේ ටෙලි නාට්‍යයට අපිව තෝරගත්තේ ඔඩිෂන් එකකින්. අධ්‍යක්ෂ තුෂාර සර් අපි දෙන්නව ඔහුගේ ඉස්සරහයින් වාඩි කරගෙන මට කිව්වා ඔයා තමයි නිල්නෙතු... නංගි දිහා බලලා ඔයා තමයි පිනිමුතු කියලා ඔහු හරියටම චරිත දෙක ස්වරූපයට අනුව බෙදලා දුන්නා. ඇත්තටම මේ චරිත සඳහා ලැබුණු අසීමිත ජනප්‍රියත්වය ගැන කතා කරනවා නම්, සමහර අය අපිව හොයාගෙන ගෙදරටම ඇවිල්ලා තියෙනවා අපිව බලලා යන්න ඕනේ කියලා. අපි දෙන්නා දෙන්නෙක්මද කියලා දැනගන්නයි ඒ අයට තියන ලොකුම වුවමනාව. එක රසිකයෙක් නුවර ඉදන් අපිව බලලා යන්නම කියලා ආවා. අපි දෙන්නා පදිංචි වෙලා ඉන්න මිනුවන්ගොඩනේ ඔහු මිනුවන්ගොඩට ම ඇවිල්ලා අපිව බලලා ගියා. ඒ චරිත දෙකේ ඉන්න නිවුන්නුගේ වයස අවුරුදු විසි එකයි. අපිටත් වයස අවුරුදු විසි එකයිනේ. ඒ නිසා ඒකත් මනාව ගැළපුණා කියලා හිතනවා.

ඔබ දෙදෙනා චරිත දෙක මාරු කරගෙන රඟපාපු අවස්ථා නැද්ද?

මං ඇහැව්වේ කනුෂ්කිගෙන්..

ඇත්තටම අක්කගේ චරිතයත් මම නිරූපණය කරපු අවස්ථාවක් හෝ දෙකක් තිබුණා අපේ ප්‍රඩක්ෂන් එකේ බොහෝ දෙනාට අපි දෙන්නව අනන්තවත් පැටලෙනවා. ඔයා අහවලා නේද කියලා කිහිප සැරයක් අහල තමයි අපිට කොස්ටියුම් වුණත් දෙන්නේ.

බොහෝ අය දන්නේ නැහැ ඔබ දෙපළ නිවුන්නු කියලා..

ඒ කතාව නම් හරියටම හරි. වැඩි දෙනෙක් හිතාගෙන ඉන්නේ අපි දෙන්නා එක්කෙනෙක් කියලා. ඩබල් ඇක්ටින් කරනවා කියලා තමයි හිතාගෙන ඉන්නේ. අපි ටික්ටොක් එකේ වීඩියෝ කිහිපයක් අප්ලෝඩ් කරල තිබුණා. ඒවා දැකලා සමහරු පුදුමයට පත්වෙලා තිබුණේ මේවා තනි අයෙකු විසින් කරන්නාවූ වීඩියෝස් කියලා. පස්සේ අපි දෙන්නෙක් කියල දැනගත්තම ඒකටත් හොඳ ප්‍රතිචාර දක්වලා තියෙනවා. අපි දෙන්නා එක්කෙනෙක් කියලා හිතාගෙන ඉන්න බොහෝ දෙනෙක් අපි දෙන්නටම මැසේජ් කරනවා..

ඇත්ත ජීවිතයේදී ඔය දෙන්නා ඔය ස්වරූපයන් භාවිත කරලා මිනිස්සු රවටා අවස්ථාවන් තියෙනවා කියලා මට දැනගන්නට ලැබුණා.

පොඩ්ඩක් ඉන්න ඒකට උත්තරේ මම දෙන්නම්.

අනුෂ්කි නැවතත් කතාව පටන් ගත්තා.

අපි නිවුන්නු කියලා දන්නැති ටිකක් දුරින් ටිකක් හිතවත් වෙන අයියා කෙනෙක් දවසක් මට මගදි හමු වුණා. ඔහු බයිසිකලේක ඇවිත් හිටියෙ. මගෙත් එක්ක කතා කරලා ඔහු පිටත් වෙලා ගිහිල්ලා ටිකක් දුර යද්දි නංගි ඉස්සරහට ඇවිල්ලා. ඒ අයියා හොඳටම බය වෙලා. හොල්මන් කියලා හිතාගෙන. අපි දෙන්න ඔහු හරියට දැක්කට පස්සේ තමයි බිය නැති වෙලා ගියේ. අපි දෙන්නා දැනට සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පළවෙනි වසරේ ශිෂ්‍යයාවෝ. ඉතින් සමහර සූම් ලෙක්චර්වලදී අපි දෙන්නට දෙන්න මාරු වෙමින් ඉඳපු අවස්ථාවන් තියෙනවා.

දැන් දිගින් දිගටම රඟපාන්නද කල්පනාව?

ඇත්තටම අපිට රඟපානවා කියලා ටාගට් එකක් තිබුණෙ නැහැ. ඩාන්සින් පැත්තෙන් ඉදිරියට යන්න තමයි හිතාගෙන හිටියේ. ඒ වෙනුවෙන් තමයි මේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ඉගෙනගන්නෙ. කවද හරි නර්තනය පැත්තෙන් අපි දෙන්නම වෘත්තීන්වල නියැළේවි. නමුත් රංගනය කියන වෘත්තීයෙනුත් ඈත් වෙන්නේ නැහැ. දැනටමත් නිර්මාණ රැසකට ආරාධනා ලැබිල තියෙනවා රඟපාන්න. මියුසික් වීඩියෝ එකකත් පසුගිය දවස්වල රඟපෑවා. හොඳ චරිත රඟපාන්න තමයි අදහස් කරගෙන ඉන්නේ.

සේයාරුව - තිලක් පෙරේරා