මම වේදිකාවෙන් මහපොළොවට ආ කෙනෙක්

-කසුනි කාවින්දි
ජනවාරි 13, 2022

 

වසරකට අධික කාලයක් ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයට ලැබෙන්නේ නොවෙනස් වන ප්‍රේක්ෂක ජනාදරයක්. ප්‍රධාන චරිත සහ උප ප්‍රධාන චරිතවලට අමතරව අතිරේක චරිතවලට පවා ආදරය කරන මට්ටමට නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යය ප්‍රේක්ෂකයන්ට සමීප වී හමාරයි. එහි ප්‍රධාන චරිතය වන සරාගේ (සජිත ඇන්තනී) අක්කා හෙවත් රසිකාගේ චරිතය නිරූපණය කරන්නේ නව පරපුරේ රංගන ශිල්පිනියක් වන කසුනි කාවින්දි. රංගනය පිළිබඳව විශ්වවිද්‍යාල මට්ටමෙන් හැදෑරීම් කර වේදිකාවෙන් ආභාසය ලබා ටෙලි සිනමා ක්ෂේත්‍රයට පාතැබූ ඇය සමඟ කළ පිළිසඳරයි මේ.

සරාගේ අක්කාගෙ චරිතය දැන් හරි ජනප්‍රියයි නේද?

බලාපොරොත්තු නොවුණු මට්ටමට සරාගේ අක්කා, එහෙම නැත්නම් රසිකාගේ චරිතය දැන් හරි ජනප්‍රියයි.

 

රසිකාගේ චරිතය ගැන කිව්වොත්?

රසිකා කියන්නේ අඩු වයසින් විවාහ වුණු තරුණ අම්මා කෙනෙක්. ඇය ගොඩක් දුප්පත් අම්මා කෙනෙක්. ජීවිතේ එක් තැනකදි සැමියා ඇයව අත්හරිනවා. ඇය ඒ දුක්පීඩා සියල්ල ශක්තිමත්ව දරාගෙන තමන්ගෙ දුවව හදාවඩා ගන්න උත්සාහ කරන්නේ. මට මේ චරිතයට ලැබෙන ප්‍රතිචාරවලින් තේරෙන්නේ ගොඩක් අයට රසිකා කියන චරිතයට ආස කරන්නේ ඇගේ අහිංසකකමට. ඒ අහිංසකකම ඇතුළේ හරිම හයිය ගැහැනියක් ඉන්නවා. සමහර ප්‍රශ්නවලට ඇය මුහුණ දෙන විට ඇය අඬන්නෙවත් නැහැ. සමහර ජවනිකාවලදී රසිකාගේ අම්මා පවා කියනවා, මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් මේ ගෑනිගෙ ඇහෙන් කඳුළක්වත් වැටෙන්නේ නැහැනේ කියලා. බැලූ බැල්මට හරි අහිංසක චරිතයක් වගේ පෙනුණාට ඊට වඩා එහා ගිය ශක්තිමත් ගැහැනියක් ඇය.

 

"රසිකාට" ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද?

මම සාමාන්‍යයෙන් ජනප්‍රියත්වය ගැන ලොකු උනන්දුවක් තියෙන කෙනෙක් නෙමෙයි. එවැනි තත්ත්වයක් තුළ නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ මේ චරිතය හරහා ලැබෙන ජනප්‍රියත්වය දරාගන්න හරි අමාරුයි. මම හරිම නිදහසේ ජීවත් වෙන්න පුරුදු වුණු කෙනෙක්. නමුත් දැන් කොහෙ ගියත් මට ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. මාස්ක් එක දාගෙන ගියත් මගේ කටහඬ ඇහුණු ගමන් මාව මිනිස්සු හඳුනගෙන කතා කරනවා. හැමෝම කියන්නේ ඒ චරිතයේ අහිංසකකමට සහ තැන්පත්කමට කැමැති බව. ඒ වගේම මගේ රංගනයටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සමාජ මාධ්‍යජාල හරහාත් ලොකු ප්‍රතිචාරයක් ලැබෙනවා.

 

ඔබ කලා ක්ෂේත්‍රයට ආවේ කොහොමද?

වේදිකාව හරහා මම ක්ෂේත්‍රයට ආවේ. මම පාසල් යන කාලේ ළමා නිළියක් විදිහට කටයුතු කළා. පසුව විශ්වවිද්‍යාල සමයේ "වේදිකාවෙන් මහපොළොවට" නාට්‍ය උලෙළේ "ලිස්ට් එක හිර වෙලා" කියන කෙටිනාට්‍යයෙන් මම මුලින්ම වේදිකාවට සම්බන්ධ වුණේ. පසුව වේදිකා නාට්‍ය විස්සකට ආසන්න සංඛ්‍යාවකට සම්බන්ධ වෙලා තියෙනවා. වේදිකාවේ මට ලැබුණු ඇගයීම් සහ කැපී පෙනෙන චරිතයක් බවට පත් වුණු නිසා ඒවා දැකපු නිර්මාණකරුවන් ඔවුන්ගේ නිර්මාණවලට වඩා ආරාධනා කළා.

 

මොනවාද ඒ නිර්මාණ?

ටෙලිනාට්‍ය කීපයක මම රඟපෑවා. මාද ඔබම විය, සත්‍යා, කූඹියෝ, පැරීසියට යන පාර, රාවණ 1 සහ 2, තණමල්විල කොල්ලෙක්, කොහොල්ලෑවේ දේවතාවි, තෛ‍්‍රලෝකා යන ටෙලිනාට්‍යවල මම රඟපෑවා. චිත්‍රපට අතිරේක සහ ප්‍රධාන චරිතවලින් දායක වුණු චිත්‍රපට කීපයක් තියෙනවා. එතැනින් "උතුරු සුළඟ" චිත්‍රපටය පමණයි තිරගත වුණේ. ඉක්කා, ගජමෑන්, ආයු, වෙඩි නොවදින ළමයි, සිහින සමීකරණ, සීගිරි යන චිත්‍රපට ඉදිරියේදි තිරගත වේවි.

 

මේ නිර්මාණ පෙළගැස්ම දෙස බලන විට පෙනෙනවා ඔබ විකල්ප ධාරාවේ නිර්මාණවලට වැඩියෙන් සම්බන්ධ වෙලා කියලා.

සමහර නිර්මාණවල පිටපත් කියවද්දි මේ මොනවද? මේ නිර්මාණ කරන්නේ කාටද? කියලා හිතුණු අවස්ථා තියෙනවා. රංගන වෘත්තිය අමතක කරලා ප්‍රේක්ෂකයෝ වුණොත් අපට ඒ නිර්මාණ දැනෙනවාද කියලා ගැටලුවක් තියෙනවා. නිර්මාණයක ගුණාත්මක බව සහ හරය ගැන මම නිතරම හිතනවා. මේ වනවිට පවතින වාණිජ මට්ටමේ කිසිදු නිර්මාණයක්වත් සාර්ථක මට්ටමක නැහැ. නාඩගම්කාරයෝ දීර්ඝ ටෙලිනාට්‍යයක්. නමුත් එමඟින් මිනිස්සුන්ට යම්කිසි රසවින්දනයක් සහ දැනුමක් ලබාදෙනවා.

රංගනය ගැන හැදෑරීමක් කරලා තියෙනවාද?

පාසල් යන කාලේ නාට්‍ය හා රංග කලාව විෂයක් ලෙස හැදෑරුවා. පසුව මම කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේදී රංගනය ප්‍රධාන විෂයය ලෙස හදාරලා කලාවේදි උපාධිය ගත්තා. රංගනය ප්‍රධාන විෂය ලෙස හදාරනවාට අමතරව රංගනය කියන විෂයේ ආනුෂාංගික අංග ගැන හැදෑරීමක් කළා. දැන් විෂයානුබද්ධ හැදෑරීමක් නොකළාට ප්‍රායෝගිකව චරිතවලින් ස්වයං අධ්‍යයනයක් කරනවා.

 

රංගනය සම්බන්ධයෙන් තව ඉදිරියට ඉගෙනගන්න බලාපොරොත්තුවක් නැද්ද?

එහෙම බලාපොරොත්තුවක් තියෙනවා. නමුත් දැන් රූගත කිරීම් ආදියට සම්බන්ධ වෙන නිසා කාලය පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඒක ටිකක් ලොකු කාලයක් කැප කරන්න ඕනේ වැඩක්. නමුත් ලංකාවේ විශ්වවිද්‍යාලයක හෝ හදාරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.

 

ඔබ කටයුතු කරන බහුතරයක් රංගනය පිළිබඳව හැදෑරීමක් නොකළ පිරිසක් ඔවුන්ගේ දක්ෂතා ගැන මොකද හිතෙන්නේ?

කලාකරුවන්ගේ දක්ෂතා පිළිබඳව අපිට විනිශ්චය කරන්න බැහැ. නමුත් රූපණය කියන විෂය යම්කිසි ආකාරයකට හැදෑරීමක් හෝ ඒ ගැන යම් අදහසක් ඇතිව හැමෝම මේ ක්ෂේත්‍රයේ නියැළෙන්න එනවා නම් මම පෞද්ගලිකව කැමැතියි. මම විශ්වාස කරනවා රංගන ශිල්පියෙක් වෙන්න ඒ ගැන සවිඥාණිකත්වයක් හෝ තිබිය යුතුයි කියලා. කිසිම දෙයක් නොදැන ක්ෂේත්‍රයට ආවත් සවිඥාණිකත්වය හෝ තියෙන්න ඕනේ. මම කිසිම කෙනෙක්ට චෝදනා කරනවා නෙවෙයි. මට මේ සුළු කාලය තුළ ඒ සවිඥානකත්වය හෝ නැති අය මුණගැහිලා තියෙනවා. එතැන වරද තියෙන්නේ නිර්මාණකරුවන්ගේ. තමන්ගේ නිර්මාණය සාර්ථක කරගන්න අවශ්‍ය පිරිස කවුද කියන දෙය ගැන ඔවුන්ට අවබෝධයක් තියෙන්න ඕනේ. ආධුනිකත්වය පිළිබඳව කිසිම ගැටලුවක් නැහැ. කාලෙන් කාලයට ක්ෂේත්‍රයට අලුතෙන් අය සම්බන්ධ වෙන්න ඕනේ. නමුත් ඒ එන අලුත් අය රංගනය පිළිබඳව යම්කිසි අදහසක් හෝ සහිතව එන්න ඕනේ. දක්ෂතා ඉතාම ඉහළ අලුත් රංගන ශිල්පීන් මේ ක්ෂේත්‍රයේ ඉන්නවා.

 

අනාගත ඉලක්ක මොනවාද?

අනාගතය ගැන ලොකු බලාපොරොත්තු නැහැ. උසස් අධ්‍යාපන කටයුතු කොහොමහරි ආරම්භ කරනවා කියන බලාපොරොත්තුව තියෙනවා. ලැබෙන නිර්මාණ මට දැනෙනවා නම් මම භාරගන්නවා. රූගත කිරීම් කරපු නිර්මාණ කීපයක් විකාශය වෙන්න නියමිතයි. තව නිර්මාණ කීපයක රූගත කිරීම් කරන්නත් නියමිතයි. මේ කරන්නේ මම ආස දෙය. එය කරගෙන ඉදිරියටම යන්නයි මට ඕනේ.

 

 

ඡායාරූප - කසුන් කාවින්ද