වර්ෂ 2023 ක්වූ December 03 වැනිදා Sunday
නිර්මාණ කරන්න නම් ඒ සඳහා හොඳ වටපිටාවක් තියෙන්න ඕන

මෙරට නාට්‍ය කලා සංගීත ඉතිහාසය තුළ ‘මුණසිංහ’ නාමයට ඇත්තේ සුවිශේෂී ස්ථානයකි. ඒ හිටපු සංගීතඥ ‘ඔස්ටින් මුණසිංහයන් විසින් නිර්මාණය කරන ලද කිසිදා නොමැකෙන සංගීත නිර්මාණයන් නිසාය. ඉන් පසු යුගයේ ඔහුගේ ආදරණීය පුත් තරුපති මුණසිංහද නාට්‍ය කලා සංගීතයේ නවමු මාවත් සොයමින් වෙනස් වූ නිර්මාණ කාර්යයන් රැසක් කලා ක්ෂේත්‍රයට දායාද කළේය.
මේ අපූර්ව නිර්මාණයන්ගේ මතකය සදාකාලිකව ලාංකේය නාට්‍ය කලා පේ‍්‍රක්ෂක මනසේ තැන්පත්ව ඇති අතර, වර්තමානය වන විට තරුපති මුණසිංහ ලංකාවෙන් බැහැරව ජීවත් වන්නේය. එහෙත් පසුගිය දා කෙටි නිවාඩුවකට ඔහු ලංකාවට පැමිණ සිටියේය. මේ කතා බහ ඒ අතරතුර සිදු වූවකි.
ඔබ කොච්චර කල් ද විදේශ ගත වෙලා?
2007 වර්ෂයේ මුලින්ම මම ලංකාවෙන් ගියේ. ඊට පස්සේ 2014 ලංකාවට ආවා. පවුලේ සාමාජිකයන් සමඟම තමයි ගියේ. ඉන්පසු 2014 සිට 2021 වනතුරුම ලංකාවේ හිිටියා. ඔය අතරතුරේ මම පී.එච්.ඩී. එක කරන්න පටන් ගත්තා. පසුගිය ජූලි මාසේ තමයි මගේ උපාධි ප්‍රධානෝත්සවය තිබුණේ. දැන් ආපහු පර්යේෂණ කටයුතු වල නියැළිලා ඉන්නවා. දැන් ඉතින් දිගටම විදේශ ගතව තමයි ඉන්නේ. වරින්වර ලංකාවට පැමිණෙනවා.
ඔබේ ආචාර්ය උපාධියට විෂය කරගත්තේ මොනවද?
මානව සංගීත විද්‍යාව කියන විෂය තමයි මගේ ආචාර්ය උපාධියට විෂය වුණේ. ඉතින් දැනටත් මේ සම්බන්ධව විවිධ පර්යේෂණ කටයුතුවල නියැළිලා ඉන්නවා. ඉදිරියේදී පූර්ණ කාලීනව ලංකාවේ පදිංචියට එයි කියලා හිතන්න අමාරුයි. නමුත් මම විශ්වාස කරනවා මම කාලයක් මෙහේ ඇවිල්ලා හිටියත්. ඒ කාලේ ඒ කියන්නේ 2017 මම විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙක් විදිහට සම්බන්ධ වුණා. අවුරුදු 04ක් විතර මම විශ්ව විද්‍යාලයේ සේවය කළා. නමුත් එතැන වැඩ කරන්න බැරිය කියලා මට දැනුණා. මූලිකම දේ හිතට එකඟව වැඩ කරන්න බැරි නම් හොඳම දේ තමයි අයින් වෙන එක. ඉතින් මම ඒ තීරණේ ගත්තා.
ඇයි ඔබට එවන් තීරණයට එළැඹෙන්න හිතුණේ?
ඉගෙන ගන්න ළමයෙක් අපේ විශ්ව විද්‍යාලයට ආවම, අදාළ කාලය තුළ ඒ ළමයට දෙයක් ලැබෙන්න ඕන. ඊට පස්සේ ඔහුට හෝ ඇයට වෘත්තිමය තත්ත්වයන් නිර්මාණය වෙන්න ඕන. මම මගේ දරුවන්ට හිතන්නෙත් ඒ විදියට. මම ළඟට එන වෙනත් ළමයින් ගැන හිතන්නෙත් ඒ විදියට ඒක වෙන්නෙ නැතිනම්. ඒක කරන ආයතනය හැදෙන්නෙත් නැන්තම් මම හිතුවා මම අයින්වෙන එක හොඳයි කියලා. මම ඉදිරියේදී පූර්ණ කාලීනව ලංකාවට එන්නෙ නැති වෙන්න පුළුවන්. නමුත් මගේ විෂය වන මානව සංගීතයට අදාළ පර්යේෂණ කටයුතු ලංකාවේ කරනවා. මා ඇතුළුව එවැනි පර්යේෂණ 5ක් පසුගිය කාළේ ලංකාව පිළිබඳ කළා. ඕස්ට්‍රේලියානු පර්යේෂණ ප්‍රොජෙක්ට් එකක් විදියට තමයි කළේ. අපි මේ මොහොතෙත් අපේ අවධානය යොමුවෙලා තියෙන්නේ ලංකාවට. ඇත්තටම අද වනවිට වෙනත් රටක ඉන්නවා කියන එක ප්‍රශ්නයක් නොවෙයි. භූමිය කියන එකට වඩා මානසික සුවයෙන් අපි ජීවත්වෙලා ඉන්න තැන සිටීමයි වැදගත් වෙන්නේ.
ඔබේ ජීවිතය තුළ නිර්මාණ ජීවිතය හා ශාස්ත්‍රිය ජීවිතය කියන දෙපැත්තම තිබෙනවා. මේ දෙපැත්ත දෙවිදියට එකිනෙකා පෝෂණය කර ගත්තේ කොහොමද?
මේ අන්තර් පෝෂණය සත්‍ය ලෙසම අත්‍යවශ්‍ය කාරණාවක්. මම හිතනවා නිර්මාණකරුවෙක් වුණාම හොඳ නිර්මාණ කිරීම පමණක් කළ යුතු නෑ. සබන් හරි. මොනව හරි හදන ෆැක්ටරියකින් ඒ ද්‍රව්‍ය නිෂ්පාදනය කරනව වගේ නිර්මාණ කරන්න බෑ. නිර්මාණ කරන්න නම් ඒ සඳහා හොඳ වටපිටාවක් තිබෙන්න ඕන. අපිට හැඟීම් දැනීම් දැනෙන්න අපේ ජීවන රිද්මය පෝෂණය වෙන්න ඕන. අත්දැකීම් ලබන්න ඕන. අප වටා තිබෙන මානව චර්යාවන් නිරීක්ෂණය කරන්න ඕන. ඒව තමයි මූලිකව අපිව නිර්මාණ කරා රැගෙන එන්නේ. මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් කියනවා ලංකාවේ මානව විද්‍යාව අනිවාර්ය විෂයක් කරන්න ඕන කියලා. මානව විද්‍යාව වගේ විෂයක් අපට වැදගත් වෙන්නේ අපි අධ්‍යයනය කරන්නේ මිනිසුන්ගේ චර්යා රටාවන්, සිනමාව ඇතුළු සියලු කලාවන්ට ඒක වැදගත්. අන්න ඒ නිසයි පර්යේෂකයා කියන කෙනාත් එතැන ඉන්න ඕන.
ලෝකෙ නිර්මාණකරුවෝ ගත්තොත්, නාට්‍ය, සිනමාව ආදි ඕනෑම විෂයක, ඔවුන්ගේ නිර්මාණ සඳහා මේ මානව චර්යාවන් වැදගත් වෙලා තිබෙනවා. නිර්මාණයක් කියන්නේ යම්කිසි කාලයක, යම් කිසි ක්‍රමවේදයක එළියට එන ප්‍රතිඵලයක්. ඒක වසරින් වසර හෝ වසර දෙකකින් හෝ එන දෙයක් නොවේ. පර්යේෂකයා කියන කෙනා නිර්මාණකරුවා තුළ අනිවාර්යයෙන්ම ඉන්නවා.
අපි උදාහරණ විදියට ආචාර්ය කේමදාසයන් ගත්තත්, මගේ පියා ඔස්ටින් මුණසිංහ ගත්තත්, ලයනල් අල්ගම වැන්නෝ ගත්තත් ඔවුන්ගේ නිර්මාණ ජීවිතයට සමගාමීව ඔවුන්ට පර්යේෂණ ජීවිතයක් තිබුණ. ඒක ආයතනගතව හෝ වෙනත් විදිහකට තිබුණ දෙයක් නොවෙයි. ඔවුන් ජීවිතේ ස්වයං අධ්‍යයනයක්, ස්වයං පර්යේෂණයක් ගොඩනගා ගත්තා. එහෙම නැතුව නිර්මාණකරණයේ යෙදෙන්න බැහැ. මේ අය අතින් අති විශිෂ්ට නිර්මාණ බිහි වෙන්නේ මේ දේවල් වල ප්‍රතිඵලයක් ලෙසින්.
මම හිතනවා මම වුණත් හැමදාම නිර්මාණකරණයේ යෙදෙන එකක් නෑ. ඒක එහෙම කරන්න පුළුවන් දෙයකුත් නොවෙයි. දැන් අමරදේව සර් ඔහුගේ ජිවිතේ අවසන්වනතුරුම නිර්මාණකරණයේ නියුතු වුණා. නමුත් තව කෙනෙකුට එහෙම බැරිවෙන්න පුළුවන්. ඒක ඒක එක්කෙනාට සාපේක්ෂව නිර්මාණය වන දෙයක්. සමහරු ඉන්නවා නිර්මාණ දෙකක් තුනක් කරල නිකම් ඉන්න අය. හැබැයි ඒ නිර්මාණ දෙක තුන ඔහුගේ හෝ ඇයගේ මුළු නිර්මාණ ජීවිතයටම ඇති. අපේ තාත්තා වුණත් නිර්මාණ සිය දහස් ගණනක් කරල නෑ. නමුත් කරපු නිර්මාණ ටික හොඳටම ප්‍රමාණවත්. මිනිස්සුන්ගේ මතකයට. ඒ හින්ද මගේ නිර්මාණ දිවිය ඔය වගේ විවිධ වේවි. නමුත් මට ලොකු ඕනකමක් තිබෙනව ලංකාවේ මානව සංගීත විද්‍යාව, ජන සංගීත කටයුතු තව ටිකක් ඉදිරියට ගෙනියන්න. ඒවා ලෝකයේ ශාස්ත්‍ර ගවේෂකයින් සඳහා අපි ඉතුරු කරන්න ඕන. ලෝකයේ විවිධ විශ්ව විද්‍යාල විද්වතුන් මහාචාර්යවරුන් ඉන්නවා ලංකාව ගැන පර්යේෂණ කරන. ඔවුන් විදේශිකයින් ලෙස කරන ඒ පර්යේෂණ වගේම ලංකාවේ ඉපදුණ හැදී වැඩුණ ශ්‍රී ලාංකිකයෝ වන අපට මේ පර්යේෂණවලට ඊට වැඩි දෙයක් එකතු කරන්න පුළුවන් කියන විශ්වාසයේ මම ඉන්නවා. ජීවත් වෙමින් අපි ලබන පර්යේෂණාත්මක දැනුම පර්යේෂණ වසර ගණනාවක නියැළිලා ලබාගත නොහැකියි.
ඇත්තටම මගේ ඉදිරි කාලය මම ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ නිර්මාණ කාර්යයන්ට වඩා මෙකී පර්යේෂණ කාර්යය වෙනුවෙන් කියල කිවුවොත් වඩාත් නිවැරැදියි. අපේ ජන සංගීත ක්ෂේත්‍රයේ පර්යේෂණයට ලක්විය යුතු තවත් බොහෝ කරුණු කාරණා තිබෙනවා. ඒ ගැන අවධානය යොමුකරන්න තමයි බලාපොරොත්තුව.
ඔබට උත්පත්තියේ සිටම තිබෙන්නේ කලාව ඇසුරේ වැඩුණු ජීවිතයක්. මේ ජීවිතේ විසල්ව වැඩෙන්න ඔබට මූල බීජය වුණේ ඔබේ පියාද?
මූලිකව තාත්තගේ පසුබිම බලපෑවා. අපේ ගෙදර තිබුණේ කලා පසුබිමක්. මූලිකව අපි නාට්‍ය බලන්න යොමු වුණේ තාත්තා නිසා. තාත්තගේ නාට්‍යවලට ආධුනික මට්ටමේ වාදකයෙක් විදියට මම සම්බන්ධ වෙනවා. නාට්‍ය ගණනාවක. මම අපේ තාත්තගේ දැකපු විශේෂ ලක්ෂණයක් තමයි, මම ඔහුගේ පුතා කියල කිසිම නිර්මාණයකට ඉදිරිපත් නොකරපු එක. අඩු තරමින් සිංදුවක් කියන්නවත් යවල නෑ. ඒක මම ඉතාම නිර්භීතව කියන දෙයක්. ඒකම තමා තාත්තා අපට කරපු ලොකුම සේවය.
එතකොට, අපට අපි විදිහට නැගිටින්න එයා ඉඩ දුන්නා. උදාහරණ කිවුවොත් 1995 දී තාත්තා මට ගෙනත් දෙනවා පත්තර පිටුවක්. දීලා කියනවා මෙන්න මේකට අයදුම් පත්‍රයක් යොමු කරන්න කියලා. ඒකේ තිබුණේ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මනමේ, සිංහබාහු නාට්‍ය සඳහා නළු නිළියන් බඳවා ගැනීම, තාත්තාට බොහොම පහසුවෙන් තිබුණා කතා කරල කියන්න, මගේ පුතාව ගන්න කියලා. නමුත් ඔහු එහෙම කළේ නෑ. මම අයදුම් පත්‍රයක් දාල සම්මුඛ පරීක්ෂණයට ගියා. මාත් එක්ක සම්මුඛ පරීක්ෂණයට ගිය අයෙක් තමයි කුසුම්සිරි ලියනාරච්චිත්.
මම මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ නාට්‍යවලට සම්බන්ධ වෙන්නේ විශ්ව විද්‍යාලයේ පළවෙනි වසරේ සිසුවෙක් වෙලා ඉන්න කාලේ. ඒ පදනම තමයි මම ඊළඟට ලැබෙන මූලික පූර්වාදර්ශය වෙන්නේ. සරච්චන්ද්‍රයන් පුුහුණුවීම් වලට සම්බන්ධ වෙනවා. මම නාට්‍යයට සම්බන්ධ වෙලා අවුරුද්දකට විතර පස්සේ එතුමා නැතිවෙනවා. නමුත් ඒ කාල සීමාව තුළ හිටපු නළු නිළියෝ සහ ඒ පරිසරය මට වෙනත් ජවයක් නිර්මාණය කරනවා. මේ පසුබිම යටතේ මම නාට්‍ය හා රංග කලාව හදාරනවා. පශ්චාත් උපාධිය කරනවා. 2005 දී කොහොම හරි මට සංගීත කලාවට වඩා නාට්‍ය කලාව කියන එක වෙනම විදයකට මට බද්ධ වෙනවා.
මගේ පළවෙනි ග්‍රන්ථය වෙන්නේ මම ලේඛකත්ව හා සන්නිවේදන ඩිප්ලෝමාවට කරපු නිබන්ධය ‘සිංහල නාට්‍ය සංගීතයේ ඉතිහාසය’ මේ ආරම්භයත් එක්ක මම විවිධ පතපොත රචනයටත් එකුත වෙනවා.
ඔබ නාට්‍ය සංගීත නිර්මාණයට එක් වෙනවා මේ කාලෙදිම?
ඔව්. 1993 දි මට ‘අරුන්දති’ නාට්‍යයේ සංගීත නිර්මාණය වෙනුවෙන් සම්මාන ලැබෙනවා. පළවෙනිම ප්‍රාසංගික නාට්‍යය වුණේ ගයා රම්‍ය අල්විස්ගේ ‘මිරිඟු තෙර’ නාට්‍යයට සුමති සම්මාන ලැබෙනවා. හොඳම සංගීත නිර්මාණයට. ඇත්තටම ඒක ලොකු ජවයක් වෙනවා මට. එතැන් පටන් ලංකාවෙන් පිටවෙන තෙක්ම මම විවිධ නිර්මාණ කළා. රාශියට සම්බන්ධ වෙනවා. ටෙලි නාට්‍ය 50 -60 චිත්‍රපට 4 - 5 ක වගේ සංගීත අධ්‍යක්ෂණය කළා. මට ඇත්තටම ඕනකම තිබුණා. ශබ්ද සැලසුම්කරණය කියන විෂය පැත්තෙන් යම් ශාස්ත්‍රිය ගනුදෙනුවක් කරන්න. අනිත් පැත්තෙන් මේ විෂය පිළිබඳ සිංහලෙන් ලියවුණු ග්‍රන්ථ අඩුයි. ඒ නිසා මේ ගැන මම ලියුවා.
ලංකාවෙන් ගියාට පස්සේ කරපු නිර්මාණ මොනවාද?
නංගි ගායනා කරපු ‘අරගලය’ සින්දුවට ගී තනුවක් හැදුවා. ඒ ගී තනුව මම කාලෙකට කලින් ‘හයිනා’ කියන නාට්‍යයට කරපු ගී තනුවක්. ඒ තනුවට නංගි මංජුල වෙඩිවර්ධන ලවා අලුතින් පද ලියෙව්වා.
2021 දී මම ශබ්ද සැලසුම්කරණය කළා. ඕස්ට්‍රේලියානු වාර්තා චිත්‍රපටයකට. ඒකට සම්මාන ලැබුණා. ඒක වෙනම අත්දැකීමක්. නිර්මාණ කටයුතුවලදි දැන් මට ටිකක් වෙනස් විදිහේ අත්දැකීම් ලැබෙනවා. නිර්මාණකරුවෝ විදිහට අපි අලුතින් නිර්මාණ කරන්න ඕන. නමුත් කරන්නත් වාලේ කළ යුතු නෑ. හරියට කරන්න බැරි නම් නිර්මාණ නොකර සිටීමේ කිසි ප්‍රශ්නයක් නෑ. හැම නිර්මාණයටකම කිසියම් වූ ගවේෂණයක් අත්‍යවශ්‍යයි. ඒක වෙන හැදෑරිමක් සහිතව සිදුවිය යුතුයි. එහෙම වෙන නිර්මාණ තමයි ඇත්තටම පවතින්නේ. ඇත්තටම දැන් මට නිර්මාණ කරන්න බරපතළ පිපාසාවක් නෑ. මට තියෙන්නේ මේකේ ශාස්ත්‍රීය පැත්ත අධ්‍යයනය කිරීමේ පිපාසාව. ජීවත්වීම සඳහා නිර්මාණ කිරිම තමයි නිර්මාණකරුවාටත් නිර්මාණයටත් වෙන ලොකුම හානිය කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මට කිසිම වෙලාවක තරගයක් නෑ. තරගය තියෙන්නේ තමන් එක්ක. මට තියෙන්නේ හැමවෙලේම මාත් එක්ක තරගයක්.
තව විශේෂ යමක් තිබෙනවද ඔබට පවසන්න?
ලංකාවෙන් යන්න හේතු වුණ කාරණ අතර, අපි තාත්තාගෙන් ඉගෙන ගත්තු දෙයක් තමයි හෘද සාක්ෂියට එකඟව වැඩ කිරිම. එතනදි මට හිතෙනවා ඒක කරන්න බැරිවුණා කියලා.විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු (ට්පචඤඥ - 4) හැටියට පැය 15යි උගන්වන්න ඕන. මහාචාර්යවරයෙක් සතියට පැය 5යි උගන්වන්න ඕන. ඒ පැය 5ට සීමා කරන්නේ ඉතිරි පැය ටික නිකම් ඉන්න නොවෙයි. මේ අය විශේෂයෙන්ම මේ පඩිය ගෙවන්නේ ඉතාම බරපතල වගකීමකට. මේ සමාජයේ ජීවත්වන අනෙක් අයට වඩා විශාල වේතනයක් සහ පහසුකම් සපයන්නේ ඒ වගකීම සඳහා. නමුත් ඒ වගකීම ඔවුන් ඉෂ්ට කරන්නේ නැත්තම් මොකද වෙන්නේ. මේ තත්වය මම පහුගිය අවුරුදුවල අත්දැක්කා. මම ලංකාවේ මිනිස්සුන්ගේ බදු මුදල් වලින් ඉගෙන ගත්ත කෙනෙක් විදියට මම පසුගිය කළේ ලංකාවට ආවා. විශ්වවිද්‍යාලයට මම බැදුණේ රු27.000 පඩියට. මම ඇවිත් වැඩ පටන් ගත්තේ සහකාර කථිකාචාර්යවරයෙක් හැටියට. ඒ මට අවශ්‍යතාවයක් තිබුණ නිසා. නමුත් මම එතැනින් අයින් වෙලා යන්නේ කනගාටුවකින්.
හේමාලි විජේරත්න
සේයාරූ - නිශ්ශංක විජේරත්න