වර්ෂ 2023 ක්වූ December 11 වැනිදා Monday
දැනෙන්න රඟපාන්නයි මට ඕනෑ

මෝදර බඹරු සියත නාළිකාවේ සැරිසරද්දි උන්ට මැදි වූ මලක් බඳු යුවතියක් අප නෙතු ගැටිණ. ඇය නමින් චතුරාණි පෙරේරා වේ. මෝදර බඹරු ටෙලි සිතුවම හරහා වඩාත් ප්‍රේක්ෂකයන්ට ළං වූ ඇය රංගනයට පිවිස ඉතාම කෙටි කලකි. එහෙත් චතුට ලැබුණු අවස්ථාවන් බොහෝය. මෝදර බඹරු පවනි ලෙසට රංගනයේ යෙදෙන චතු සිය කලා ජීවිතයේ පළමු පුවත්පත් සාකච්ඡාවට මෙලෙස එකතු වන්නීය.
ඔබ කලක සිට රංගනයට ඇලුම් කළ අයෙක්. නමුත් අවස්ථාවක් ලැබුණේ නැහැ?
කොච්චර කැමැත්තක් තිබුණත් ක්ෂේත්රයේ මං හඳුනන අය හිටියේ නැහැ. අවස්ථාවක් හොය හොය ඉන්න කොට තමයි මං හිරු අවුරුදු කුමරිය වැඩසටහනට ඇප්ලයි කළේ. ඒ ගිය අවුරුද්දේ. ඉතින් මට ඒකේ අවසන් දොළහට එන්න වරම් ලැබුණා.
ඔබේ රංගන හීනයත් මල්ඵල ගැන්වුණා?
ඔව්. මටත් අවශ්‍ය වුණේ ඒක තමයි. හිරු නාළිකාවේ විකාශය වූ අහස් මාළිගා නාට්‍යයට මට කතා කළා. ඒක තමයි මගේ පළමුවැනි නාට්‍යය. ඊට පස්සේ ශ්‍රී සිද්ධා චිත්‍රපටයත්, ඉරුදේව නාට්‍යයටත් එකතු වුණා. මෝදර බඹරු නාට්‍යයේ තමයි වෙනස්ම චරිතයක් රඟපෑවේ.
ඒ ගැන විස්තර කිව්වොත්?
චරිතයේ නම පවනි. හරිම ගේම් ගහන කෙල්ලෙක්. කපටියි. කොල්ලන්ව අල්ල ගන්න හරි දක්ෂයි. ඒ වගේම එයා හරි සෝෂල්. මම මාව අමතක කරලයි පවනි චරිතයට අවතීර්ණ වුණේ. මොකද ඇය සතු ගති ගුණ මට නැහැ.
ඔබ හිතනවාද ඔබ පවනිට සාධාරණයක් ඉටු කළා කියලා?
මට පුළුවන් විදිහට රඟපෑවා. නාට්‍යය බලද්දි තවත් හොඳින් රඟපෑවා නම් හොඳයි කියලා හිතෙනවා. ඉදිරියේදී හැදෑරීම්වල යෙදිලා රංගන හැකියාව වැඩි දියුණු කර ගන්නවා.
වෘත්තීමය රංගන ශිල්පිණියක් වන්නද අදහස?
නැහැ. මං දැනට කැලණිය කැම්පස් එකේ මැනේජ්මන්ට් ඩිග්රියක් කරනවා. මේ හතර වෙනි අවුරුද්ද. උපාධිය ගත්තට පසුව ව්‍යාපාර පැත්තට යොමු වෙනවා. මගේ පවුල ව්‍යාපාරික පවුලක්. පවුල් පසුබිම නිසා මම ව්‍යාපාරවලට යොමු වන්නට සිදු වේවි. නමුත් රංගනය අත හරින්නේ නැහැ. පුළුවන් තරම් ඉගෙන ගෙන රංගනයේ යෙදෙනවා. හැදෑරීම් තමයි වැදගත්.
ක්ෂේත්රයට ඇවිත් ගත කළ කෙටි කාලය කොහොමද ඔබට දැනෙන්නේ?
ඉතාම සතුටක් දැනෙනවා. බොහොම ටික කාලෙකින් නිර්මාණ කිහිපයකටම එකතු වුණා. ක්ෂේත්රය හරිම හොඳයි. අපි හොඳින් ඉන්නකොට ලැබෙන ප්‍රතිඵලත් හොඳ ඒවම තමයි.
රංගනයේ යෙදෙන්නේ තෝරා බේරා ගෙනද?
ඔව්. ලැබෙන සෑම ආරාධනාවකදීම මං බලන්නේ මට දෙයක් කරන්න පුළුවන්ද කියලා. කමඩි හෝ වේවා ඒ චරිත ප්‍රේක්ෂකයාට දැනෙන්න රඟපාන්නයි මගේ බලාපොරොත්තුව. නෝ පාර්කිං කියලා නාට්‍යයක් එනවා. මං ඒකේ ඕළු කියල ඔෆිස් ගර්ල් කෙනෙක්. ඒක කමඩි චරිතයක්. ඒ වගේ වෙනස් වූ දේවල් කරන්න ආසයි. එතෙන්දි තෝරා බේරා ගැනීම ඉතාම වැදගත්.
චතුගේ පදිංචිය?
මං අතුරුගිරියේ.
ඉගෙන ගත්ත පාසල?
ඉස්කෝල තුනකින් මං අධ්‍යාපනය හැදෑරුවා. පන්නිපිටිය ක්‍රිස්තුරාජ විදුහල, මාලඹේ ශ්‍රී රාහුල බාලිකාව සහ පන්නිපිටිය ධර්මපාල තමයි ඒ ඉස්කෝල තුන.
උපන් දිනය?
අනූ පහේ අප්‍රේල් අට.
ඔබව ඉදිරියේදී දැකිය හැකි නිර්මාණ මොනවාද?
නෝ පාර්කින්, අභී නාට්‍ය දෙක එන්න තියෙනවා. ගුත්තිල රෙවලුෂන් චිත්‍රපටවලට කතා කළා. ඒවායේ රූපගත කිරීම් පටන් ගනීවි.
ඔබ පිළිබඳ කෙටියෙන් හැඳින්නුවහොත්?
සංවේදී කෙනෙක්.
මේ වනවිට පෙම්වතියක්ද?
අපෝ නැහැ.