වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
එම්. එස්. අයියට පිං

කේ. එම්. එස්. ප්‍රනාන්දු
සිංදු කිව්වට මං සාමාන්‍ය පවුලක මිනිහෙක්නේ. යාම් ඒම් කරන්නේ බස්එකේ. එහෙව් මට 60 ප්ලස් ඉන්න කාලෙ බස් එකක පවා යන්න බැරි වුණා. මිනිස්සු ඇවිත් වට කරගෙන කතාව. සමහරුන්ට බස් එකෙන් බහින තැනත් අමතක වෙලා. හරි ජරමරේ.
කේ. එම්. එස්. ප්‍රනාන්දු කතාව පටන් ගත්තේ එහෙම. දෙරණ 60+ දෙවැනි අදියරේ අවසන් තරු අතරේ සිටි ඔහු ගායනයට උපන් හපනෙක්. එම්. එස්. ප්‍රනාන්දු කියන්නේ අපේ බයිලා චක්‍රවර්ති. කේ. එම්. එස්. ගයන්නෙත් එම්. එස්ගේ සිංදු. දෛවයේ නියමයන්ට පරිදි මේ දෙන්නම රාජකාරි කළේ ගමනාගමන මණ්ඩලයේ.
එම්. එස්. අයියා මට වැඩිය සීනියර්. මගේ ඇත්ත නම කෙටි කළාම කේ. එම්. එස්. ‘උඹ කේ. එම්. එස්. මං එම්. එස්. යකෝ අයියයි මල්ලියි වගේනෙ’ එම්. එස්. එහෙම කියනවා. මාව ගොඩක් ඉදිරියට ගෙනාව ඔහු. මොන දේ කිව්වත් කවදාවත් මට උඹ කියලා කතා කරලා නැහැ. කිව්වට විශ්වාස කරන්න අපි දෙන්නා එකම වේදිකාවක ගීත ගයලා තියෙනවා. එම්. එස්. අයිය කිව්වට පස්සේ ඔහු නොකියපු ගීත තමයි මං කියන්නේ. රත්තරං මනුස්සයෙක්. එම්. එස්. අයිය නැති වුණ එක මට දරාගන්න බැරි වුණා. මගේම සහෝදරයකු අහිමි වුණා වගේ. මං මේ වෙලාවේ එම්. එස්. අයියට පිං කියලා කියනවා. ඔහු ගැයූ ගීත නිසා තමයි අද මං මේ තත්ත්වෙ ඉන්නේ.
එම්. එස්.ගේ සිංදු කිව්වා කියලා දෝෂාරෝපණයට ලක්වෙලා නැතිද?
දෙයියන්ගේ පිහිටෙන් නැහැ. මම ඔහුගේ සිංදු කිව්වේ ඔහුත් එක්කම එකම වේදිකාවේ එම්. එස් ජීවත්ව ඉන්න කොටනෙ. අනික මං ඔහුගේ සිංදු අයිති කරගන්න හැදුවේවත් රෙකෝඩ් කළේවත් නැහැ. ප්‍රසංග වේදිකාවේ කිව්වා විතරයිනෙ. අද වෙනකම් කවුරුවත් බලපෑම් කරලා නැහැ ඔහුගේ ගීත කියන්න එපා කියලා. මමත් පුළුවන් තරම් ඔහුගේ ගීතවලට සාධාරණයක් ඉටු කරනවා.
ඔබ ගුවන් විදුලියේ ශ්‍රේණිගත ගායකයෙක් නේද? ඒ වගේම ඉස්සර ප්‍රසංගවලට ගියාම විඳපු අත්දැකීම් ගැනක් කතා කරමු?
ගුවන් විදුලියේ මං සී ශ්‍රේණියේ ගායකයෙක්. ඒකත් මට එක්තරා අන්දමක ආභරණයක්. ෂෝස්වලට ගිය හැටි කිව්වොතින් හරිම රසවත් අත්දැකීමක්. ෂෝ එකක් ලැබුණම මං මුලින්ම බලන්නේ එම්. එස්. අයියා එනවද කියලා. ආවොත් එහෙමයි, නාවොත් එහෙමයි. මොකද ඔහු කියපු ගීත ආයේ මට කියන්න බැහැනෙ. මුල් කාලේ මං ෂෝස්වලට ගියේ පාපැදියෙ. රෑ එළිවෙනකම් බයිසිකල් පාගලා තියෙනවා. පස්සේ මෝටර් බයසිකලයක් ගත්තා. ඒක මඟ නවතින එකක්. එහෙම නැවතුණු අවස්ථා එමට තියෙනවා. ඒ වුණත් කොහොම හරි ෂෝ එකට යනවා. කවදාවත් පොලු තියලා නැහැ.
ඔබ 60+වලට යොමු වෙන්නේ?
මගේ වයස අවුරුදු හැත්තෑ දෙකක්. මෙච්චර කල් සිං කළානේ. ගුවන් විදුලියෙත් ශ්‍රේණිගත ගායකයෙක් වෙලා හිටියත් මාව බොහෝ දෙනෙක් හඳුනගෙන හිටියේ නැහැ. මගේ හිතවතෙක් ඇවිල්ලා තමයි ඔය 60+ ගැන කිව්වේ. අපේ වයසෙ අයට ඒ වේදිකාව කදිම තෝතැන්නක්. මාව හුඟක් ජනප්‍රිය වුණා මහත්තයෝ ඔය තරඟයෙන්. මං ඉස්සරලා කිව්වේ පාර තොටේ යන්න බැරි වුණා. මට තිබුණු ෂෝස් ගණන වැඩිවුණා. මේ ඔක්කොම 60+ නිසා. මේ වෙලාවේ මගේ ආදරණීය ගුරුතුමා වන ඒ. එල්. කාසිම් මහත්තයවත් මතක් කරනවා. මියෙන තුරුම ගායකයකු හැටියට තමයි මං ජීවිතය ගෙවන්නේ.
නිශ්ශංක විජේරත්න