මුල්ම චිත්‍රපටයේ සංගීතයට

අන්තර්ජාතික සම්මානයක් චාමර රුවන්තිලක
පෙබරවාරි 13, 2020

 

 

සප්ත ස්වරය කියන්නේ විශ්ව භාෂාවක් . මේ මුළු විශ්වයම සප්ත ස්වරයෙන් මැවෙන සංගීතයෙන් ඒකාත්මික කරන්න හැකියි. එහෙම ඒකාත්මික වෙච්ච අවස්ථාවක් ගැන කියන්නයි මේ පිවිසුම.මේක සිද්ධ වුණේ කැනඩාවේ මොන්ට්‍රියෙල් නගරයේදියි. පසුගිය කාලය පුරා අපේ රටේ ප්‍රේක්ෂකයින්ගේ නොමද ප්‍රසාදය මැද තිරගතවුණු ‘ විෂම භාග ‘‘ චිත්‍රපටය ගැන දැන් ඔබට අමුතුවෙන් විස්තර කියන්න ඕන නෑ. මේ චිත්‍රපටය මුලින්ම තිරගත වුණේ විදේශ රටවල. ඒ එක්කම විදේශ සිනමා උලෙළ රාශියක් නියෝජනය කරන්නට වගේම එයින් ජාත්‍යන්තර සම්මාන රාශියක් දිනා ගන්නටත් ‘විෂම භාග ‘ චිත්‍රපටයට හැකි වුණා.

 

මේ අතරින් කැනඩාවේ මොන්ට්‍රියෙල් සිනමා උලෙළ මේ චිත්‍රපටය සම්බන්ධයෙන් සුවිශේෂී වුණා.ඒකට හේතුව වුණේ චිත්‍රපට සංගීතය වෙනුවෙන් හිමිවුණු අන්තර්ජාතික සම්මානයක් මේ චිත්‍රපටයට හිමි වීමයි.ඉතිහාස පිරික්සීම්වලින් පසු බොහෝ දෙනාගේ මතය වූයේ චිත්‍රපට පසුබිම් සංගීතය වෙනුවෙන් අන්තර්ජාතික සම්මානයක් අපේ රටට හිමි වූ ප්‍රථම අවස්ථාව මෙය විය යුතු බවයි. මෙකී සම්මානයේ හිමිකරුවාද චිත්‍රපට සංගීතයට ආධුනිකයෙකුවීමද විශේෂත්වයකි.

 

විෂම භාග සංගීත අධ්‍යක්ෂවරයා වන්නේ චාමර රුවන්තිලකය. ඔහු දැනට වේයන්ගොඩ ශාන්ත මරියා විද්‍යාලයේ සංගීත ගුරුවරයාය. සිය නිර්මාණ ජීවිතයේ ඔහුට ලැබෙන පළවෙනි චිත්‍රපට සංගීත නිර්මාණය වන්නේ ව්ෂම භාගය.ජාත්‍යන්තර තලය තුළ දේශීය සිනමා සංගීතය බැබලවීමට තරම් වූ හැකියාවක් චාමර අත් පත් කර ගන්නේ ඒ හරහාය.

“ ඇත්තටම මට චිත්‍රපට සංගීතය පිළිබඳ පලපුරුද්දක් හෝ අත්දැකීමක් වත් තිබුණු කෙනෙක් නොවෙයි. මීට ප්‍රථම මම සංගීත නිර්මාණ වශයෙන් ගීත කීපයක් කරන්න ඇති. රූපවාහිනියට ඒකාංගික ටෙලි නාට්‍යයක් කරලා ඇති ඊට අමතරව විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ විවිධ නිර්මාණවලට දායක වෙලා ඇති. ඉන් එහා අත්දැකීමක් මට තිබුණෙ නෑ.

මම ලලිත් අයියව හඳුනා ගන්නේ මම විශ්ව විද්‍යාලයේ ඉන්න කාලේ. ඔහුත් මමත් ජීවත් වුණේ එකම ගමේ.අපි මුලින්ම හමුවුනේ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය විසින් කළ ගීතයක් නිර්මාණය කරන්න ගිහින්. මේ ගීතයේ සංගීතය නිර්මාණය කළේ මම. ගීතය රූප රචනය කළේ ලලිත් අයියා . එතකොට මම විශ්වවිද්‍යාල සිසුවෙක්.‘

මේ හමුවීම අහඹු එකක් වුණත් ඉන් වසර ගණනාවකට පස්සේ සිදුවූ චාමර හා ලලිත් ගේ සුසංයෝගය අපේ සිනමා ප්‍රේක්ෂකයන්ට නැවුම් අත්දැකීමක් රැගෙන ආවා. ඒ වෙනකොට චාමරත් ගුරුපත්වීමක් ලැබිලා ගුරුවරයෙකු වශයෙන් සේවය කරමින් හිටියා. එදාට වඩා වැඩි අත්දැකීම් ටිකකුත් ලබලා තිබුණා.විෂම භාග සංගීත අධ්‍යක්ෂණය තමන්ට අභියෝගයක් බව චාමර හොඳීන් දැන සිටියා. ඒ නිසාම ඔහු ඉතාම කල්පනාකාරීව ඒ කටයුත්තේ නියැළෙන්න ප්‍රවේශම් වුණා

‘‘ මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය මට බාර දුන්නම මමත් ලලිත් අයියත් බොහෝ දේවල් සාකච්ඡා කළා. චිත්‍රපට සංගීතය ගැන මට අත්දැකීමක් නැති නිසා මම බොහෝ සොයා බැලීම් කළා.චිත්‍රපට ගණනාවක් නරඹින් ඒවායේ සංගීත අධ්‍යක්ෂණය පිළිබඳ හැදෑරීමක් කළා. අනිත් පැත්තෙන් අධ්‍යක්ෂවරයා සමඟ සාකචිඡා කරමින් ඔහු ගේ රූප රාමු ගැන අවබෝධයක් ලබා ගත්තා.මම අවබෝධ කරගත්ත විදියට චිත්‍රපටයක රූප රාමු වලින් , තේමාවෙන්, තිර නාටකයෙන් අධ්‍යක්ෂකවරයාට කියා ගන්න බැරි දේවල් චිත්‍රපට සංගීතයෙන් කියන්න පුළුවන්. ඒ අදහස ඇතිව තමයි මම ‘විෂම භාග ‘ සංගීත අධ්‍යක්ෂණය කළේ.

විෂම භාගවලින් ගෙන එන්නේ අපේ රටේ අධ්‍යාපන ක්‍රමයේ එක්තරා අන්දමක ඛේදාන්තයක්. මේ වට පිටාව නිර්මාණය කරත්දී අධ්‍යක්ෂවරයා එකතු කරන්නේ අපේ රටේ ඉතාම දුෂ්කර ගැමි පරිසරයක්. මානුෂීය සබඳතා , මානුෂීය හැඟීම් සමඟ නියුතු වන ගණු දෙණුවක් චිත්‍රපටය පුරාම දකින්න තිබෙනවා. අධ්‍යක්ෂවරයාගේ හැඟීම් දැඩි විදියට ප්‍රේක්ෂකයාට දනවන්නට චාමර ඉතාම හැඟීම් බර සංගීතයක් නිර්මාණය කරනවා.

‘‘මේ චිත්‍රපටයට පසුබ්ම් වෙන්නේ ගම්බද පරිසරයක්.අනිත් පැත්තෙන් මම දැකපු දෙයක් තමයි අධ්‍යක්ෂවරයාගේ රූප රාමු තුළ පැවතුණේ ඉතාම හෙමින් චලනය වන රිද්මයක්.ඔහු මට දැනුම් දුන්නා මේ චිත්‍රපටය විදේශ රටවල පෙන්වන්නත් බලාපොරොත්තු වන බව.ඒ නිසා ජාත්‍යන්තරයට සුදුසු වන අන්දමේ පසුබිම් සංගීත නිර්මාණයක් කරන්නටත් මම උත්සුක වුණා. එහිදී මම වැඩි වශයෙන් යොදා ගන්න කල්පනා කළේ අපේ දේශීය සංගීතයේ එන නාද මාලායි.විශේෂයෙන් චෙලෝ, පියානෝ වැනි බටහිර වාද්‍ය භාණ්ඩ මම මෙහිදී යොදා ගත්තේ නෑ. ඕනම වාද්‍ය භාණ්ඩයකින් අවශ්‍ය රසය මවන්න පුළුවන් තමයි. නමුත් මම මෙහිදී භාවිතා කළ දේ දේශීයත්වයට බරයි.මේ චිත්‍රපටයේ කවි ගායනාත් තිබුණා. දරුවාගේ කොටස ගායනා කරන්න මම දරුවෙක්ව සොයා ගත්තා. සීයා ගේ කොටස ගායනා කරන්න හඩක් හෙව්වට ඒකට ගැලපෙන හඩක් අපට හමුවුවේ නෑ. ඒ හින්දා ඒ කොටස ගායනා කරන්නෙත් මමමයි.‘මේ චිත්‍රපටයට සංගීත නිර්මාණය කරත්දී මට මතක් වුණේම සත්‍යජිත් රායි ගේ ‘‘ පාතර් පංචාලි, අපූර් සංසාර් වැනි චිත්‍රපට. ඒ චිත්‍රපට වල තිබුණා හා සමාන රිද්මයක් තමයි මේ චිත්‍රපටයේත් තිබුණේ.

තමන් සංගීතය නිර්මාණය කළ පළමු චිත්‍රපටයට සංගීත නිර්මාණය වෙනුවෙන් ජාත්‍යන්තර සම්මානයක් ලැබෙනවාය යනු සුවිශේෂී කාරණාවක්. මොන්ට්‍රියෙල් ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේ හොඳම සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් හිමි සම්මානය විෂම භාග චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළ චාමරට හිමි වුණා.නිර්මාණ කරුවෙකුට සම්මාන යනු ධෛර්යයක් . චාමරටත් ඔහුගේ නිර්මාණ දිවියට එය ආශිර්වාදයක්.

‘ ඇත්තටම මට ලොකු සතුටක් තියෙනවා මේ ජාත්‍යන්තර ඇගයීම පිළිබඳ.මම කවදාවත්ම හිතපු නැති දෙයක් මේක. මහ ලොකු විශාල බලාපොරොත්තු නැති වුණාට මම හොඳ දෙයක් කළා කියන සතුට මට තියෙනවා.අනිත් පැත්තෙන් මම ඉගෙන ගත්තු දෙයින් ප්‍රයෝජනයක් ගත්තා කියන සතුට මට තියෙනවා. පුංචි කාලෙ ඉඳලම මම සංගීතය පැත්තට වැඩි නැඹුරුවක් තිබුණා. අපේ පවුලේ කවුරුත් කලාවට සම්බන්ධ නැති වුණාට මගේ අම්මටයි තාත්තටයි යම්කිසි ගායන හැකියාවක් තිබුණා. තාත්තා සින්දු කියන හැටි මම අහගෙන හිටි කාලයකුත් තිබුණා. මම හිතනවා ඒ ආභාසය වෙන්න ඇති මට ලැබෙන්න ඇත්තේ.මම සාමාන්‍ය පෙළටයි උසස් පෙළටයි දෙකටම සංගීතය විෂයයක් විදියට හැදෑරුවා. මම සාමාන්‍ය පෙළ කළේ වේයන්ගොඩ ජනාධිපති විද්‍යාලයෙන්. උසස් පෙළ කළේ යක්කල අනුර මහ විද්‍යාලයෙන්. ඊට පස්සේ තමයි සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණේ. එහෙදි වුණත් මගේ වැඩි අවධානය නිර්මාණකරණය පැත්තට යොමු වුණා.ඒ අභාසයෙන් තමයි නිර්මාණකරණයට පන්නරය ලැබෙන්න ඇත්තේ.කොහොම වුණත් ඉදිරියේදිත් මම නිර්මාණකරණයේ යෙදෙයි. හැබැයි මගේ රුකියාවට බාධාවක් නොවන අන්දමින්. මුදල් පස්සේ හඹා යාමේ උවමනාවක් මට නෑ. යහපත් නිර්මාණයක් වෙනුවෙන් මගේ දායකත්වය පිරිනමන්න මම ඕනෑම වෙලාවක ලෑස්තියි.