සමාජ සේවයට කැප වූ මොරටු තරුව

තිලක් ද මැල්
පෙබරවාරි 27, 2020

කලාභූෂණ තිලක් ද මැල් මෙරට කලා ක්ෂේත්‍රයේ නමක් දිනූ කලාකරුවෙකි. ටයිටස් තොටවත්තගේ සිහසුන, එල්. එම් පෙරේරාගේ හතරවටේ, ලුවී වැන්ඩස්ට්‍රාටන්ගේ බිඳුණු හදවත් චිත්‍රපටවලට මෙන්ම තිස්ස ගුණවර්ධගේ රත්තෙල්, කැකිල්ලේ වේදිකා නාට්‍යවලටද රංගනයෙන් දායක වූ ඔහු 70 දශකයේ ජනප්‍රිය සංගීත කණ්ඩයමක් වූ හමිං බර්ඩ්ස් සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායකයා ලෙසින් කටයුතු කළේය.

කලා කටයුතු වෙනුවෙන් දායකවීමට පමණක් සීමා නොවී කලාකරුවන්ගේ සුබ සිද්ධිය උදෙසා කැපවී කටයුතු කිරීම ඔහුගේ කලා දිවියේ කොටසක් බවට පත් වී අවසන්. තිලක් විසින් මොරටුව ලලිත කලා සංගමය පිහිටුවූයේද ඒ වෙනුවෙන්. මේ වසරට ඔහුගේ සංගීත දිවියට අඩ සියවසක් සපිරීම නිමිත්තෙන් අප්පච්චි සංගත තැටිය එළිදැක්වීම හා ලලිත කලා අභිමානි සම්මාන උලෙළ - 2020 ලබන 29 වැනිදා කටුබැද්ද කේ-සෝන් පරිශ්‍රයේ Delma MJF ශ්‍රවනාගාරයේදී පැවැත්වීමට නියමිතය.

තම කලා ගමන පිළිබඳ තිලක් ද මෙල් සරසවියට අදහස් දැක්වූයේ මෙලෙසින්.

"ඉස්කෝලේ යන කාලයේ පටන් මට කලාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. තිස්ස සර්ගේ වේදිකා නාට්‍යවලට දායක වෙන්න ලැබීම වාසනාවක්. චිත්‍රපටවලට රංගනයෙන් දායක වුනෙත් හරිම ආසාවෙන්. 70 දශකයේදී හමිං බර්ඩ් සංගීත කණ්ඩායම ගොඩක් ජනප්‍රියයි. එහි නිත්‍ය ගායකයා විදියට සම්බන්ධ වෙලා කටයුතු කළා. එයින් පසුව තවත් සංගීත කණ්ඩායම් කිහිපයක් සමඟ සම්බන්ධ වෙලා කටයුතු කළා."

ඔබේ වැඩකටයුතු අතරේ සමාජසේවයට ප්‍රමුඛස්ථානයක් හිමිවෙලා?

අපි එකිනෙකාට උපකාර කිරීම මම ඉහළින් අගයන දෙයක්. ඒ වගේම ඒක මට සතුටක්. මෙරටුව ලලිත කලා සංගමය පසුගිය දෙවසර තුළ පමණක් ඉටු කළ දේ බොහෝමයි. කලාකරුවන් කලාකරුවන්ට උදව් කරමු ව්‍යාපෘතිය යටතේ අනූෂා ගෝකුල මැතිණිය ඇතුළුව රවීන්ද්‍ර රන්දෙණිය, ටෙනිසන් කුරේ, සමිතා මුදුන්කොටුව වැනි ප්‍රවීණ කලාකරුවන් හා එක්ව දැනට අසරණව සිටන කලාකරුවන් පහළොස් දෙනෙකු වෙත මුදල් ත්‍යාග පිරිනැමීමට මූලිකත්වය ගෙන කටයුතු කළා. අක්ෂි ආබාධවලින් පෙළෙන කලාකරුවන් ඇතුළු පුද්ගලයින් 25 දෙනෙකුට අක්ෂි කාච ප්‍රදානයට කටයුතු කළා. ඒ වගේම නිවාස නොමැති අසරණ කලාකරුවන්ට රාජ්‍ය අනුගහය ලබාදී නිවාස ලබාදීමට ඇප කැප වී කටයුතු කළා. පණ්ඩිත් අමරදේවයන් වෙනුවෙන් ආශිර්වාද පූජාවක් සංවිධානය කළා. ඊට අමතරව දිළිඳු පවුල් වෙත උපකාර කිරීම, ආබාධිත පුද්ගලයන්ට ස්වයං රැකියා සඳහා උපකාර කිරීමටද මොරටුව ලලිත කලා සංගමය ඔස්සේ මගේ දායකත්වය ලබා දුන්නා. මේ වසරේදීත් අපි ප්‍රජා සේවා රැසක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වී සිටිනවා.

මෙවර මොරටුව ලලිත කලා අභිමානි සම්මාන උලෙළේ විශේෂත්වය ගැන කියමු?

මොරටු පුරවරයේ කලාකරුවන් වාර්ෂිකව ඇගයීමට ලක් කරමින් පැවැත්වෙන මෙම සම්මාන උලෙළේ දෙවැනි අදියර 29 වැනිදා පැවැත්වීමට සූදානම්. ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා, ප්‍රවීණ රංගනවේදී දොන් ගයි, නාට්‍යාචාරිණි ජනාදරී සල්ගාදු සහ සංගීතවේදී රංජිත් ඩයස් වෙත මෙවර ලලිත කලා අභිමාණි සම්මාන පුද කිරීමට නියමිතයි.

ඊට අමතරව දැනට රෝගාතුරව සිටින ප්‍රවීණ ගායන ශිල්පී ක්‍රිස්ටෝපර් පෝල් මහතා වෙනුවෙන් උපකාර කිරීමටත් අසරණ කලාකරුවන්හට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් උපකාර කිරීමටත් බලාපොරොත්තු වෙනවා. තවද අප සංගමයේ අසරණ කලාකරුවන් තිදෙනෙකුට රජයෙන් ලබාදීමට එකඟ වී තිබෙන තට්ටු නිවාස ලබාදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමත් ඒ අතරට ඇතුළත්.

මේ වසරේදී ඔබේ සංගීත දිවියටත් අඩ සියවසක් සපිරෙනවා නේද?

ගායකයකු, ගීත රචකයකු ලෙසින් කලාවට පිවිස පනස් වසරක් ගත වීම ගැන හිතේ ලොකු සතුටක් තියෙනවා. කලාකරුවන් රැසක් සිටින මොරටුවේ කලාකරුවෙක් විමට ලැබීම ගැනත් ආඩම්බරයි. මගේ සංගීත දිවියට 50 වසරක් සපීරීම නිමිත්තෙන් මවිසින් රචනා කර ගායනා කරන අප්පච්චී ගීතයත් මොරටුව ලලිත කලා සංගමයේ සාමාජිකයන් ගායනා කරන අවුරුදු සහ සාම ගීතය රූප රචනා සමඟින් ඇතුළත් කළ සංගත තැටිය එළිදැක්වීමට කටයුතු සූදානම්කර තියෙනවා. ඉදිරියටත් මගේ නිර්මාණ සමඟින් සමාජසේවය ඉටු කිරිමට බලාපොරොත්තු වෙනවා.