ක්වීන් සමඟ එන ෂේරා - නෙම්දිනි නදිත්‍යා

කැමරාව ඉස්සරහ කවදාවත් දෙබස් වැරදිලා නැහැ
මාර්තු 19, 2020

 

මේ දිනවල විකාශය කෙරෙන ක්වීන් ටෙලි නාට්‍යයේ පුංචි ෂේරා හරිම ජනප්‍රියයි. ෂේරා නම් චරිතය ඔස්සෙ රංගනයේ කුසලතා දක්වන ඇය නෙම්දිනි නදිත්‍යා. රංගනයට පමණක් නොව නිවේදනය සහ නර්තනයේද දස්කම් දක්වමින් කලා ක්ෂේත්‍රයේ දිගු ගමනක් යාමට සැරසෙන ඇය සරසවිය සමඟ සිය අත්දැකීම් බෙදා ගත්තේ මේ අයුරින්.

නෙම්දිනි දැන් ගොඩක් ජනප්‍රියයි නේද?

ඔව්. දැන් ගොඩක් අය මාව අඳුනනවා. අදත් කෝච්චියේ එනකොට කට්ටිය මාත් එක්ක කතා කළා. මට සුබ පැතුවා.

රංගනයෙන් ගොඩක් ජනප්‍රිය වුණාට නිවේදනයටයක් නර්තනයටත් දක්ෂයි නේද?

මුලින්ම මම රූපවාහිනියේ ඉදිරිපත් කළෙත් නර්තනයක්. සුරනිමල ජිතේන්ද්‍ර මාමා තමයි මාව මුලින්ම පාට පාට වැඩසටහනට අවස්ථාව ලබා දුන්නේ. අම්මා නාට්‍ය හා රංග කලා ගුරුවරියක්. ඇය තමයි මාව පුහුණු කළේ. මට උඩරට සහ කථක් නර්තනයන් පුළුවන්. බෙර වාදනය කරන්නත් පුළුවන්. කලාවට එන්න ආස හිතුණේ අම්මා කලාවට දායක වෙනවා දැකලා තමයි. අතුල රන්සිරිලාල් මාමා එක්ක රූපවාහිනියේ හඬකැවීම්වලටත් දායක වුණා.

අපට නෙම්දිනිව චිත්‍රපටවලිනුත් දකින්න ලැබෙනවා නේද?

හර්ෂණ වික්‍රමසිංහ මාමාගේ හොරා අංකල් සහ ධනුෂ්ක රේමන් මාමාගේ අද්භූත ආගන්තුකයා චිත්‍රපට වලට දායක වුණා.

රඟපාන්න ගියාම ඉස්කෝලේ පාඩම් මඟහැරෙනවා වෙනවා නේද?

සමහර රූගත කිරීම් ඉස්කෝලේ දවස් වලට වැටෙනවා. එතකොට මගේ ගුරුවරුයි යාළුවොයි මඟහැරෙන පාඩම් කර ගන්න උදව් කරනවා.

 

ඉතිං ඉස්කෝලේ ගුරුවරු, යාළුවො නෙම්දිනිගේ රඟපෑම් ගැන මොකද කියන්නේ?

ඒ හැමෝම මගේ රඟපෑම් බලනවා. හැමෝම සුබ පතනවා. තවත් රඟපාන්න කියලා කියනවා.

රූගත කරනකොට දෙබස් මතක තියාගන්න අමාරු නැද්ද?

රූගත කරන්න කලින් පුහුණුවීම් වෙලාවට දෙතුන්සැරයක් කිව්වාම මතක හිටිනවා. කැමරාව ඉස්සරහ මට කවදාවත් දෙබස් වැරදිලා නැහැ.

දර්ශන තලයේදී නෙම්දිනීට අමතක නොවන අත්දැකීම් ගොඩක් ඇති?

ඔව්. ක්වීන් ටෙලි නාට්‍යයේ මාව පැහැරගෙන යන දර්ශනයේදී මගේ ඔළුව වෑන් එකේ වැදුණා. ඒ වෙලාවේ නම් මට ගොඩක් රිදුණා.

කැමතිම නිළිය කවුද?

ශලනි අක්කා තමයි. ක්වීන් ටෙලි නාට්‍යයේදී ශලනි අක්කා මට රංගනය ගැන බොහෝ දේ කියලා දෙනවා.

පවුලේ විස්තර කියමුද?

අපේ පවුලේ තාත්තයි, අම්මයි, මමයි, නංගියි, මල්ලියි. මහාචාර්ය සුනිල් ආරියරත්න සර්ගේ අලි කතාව චිත්‍රපටයේ චූටි බබාට හිටියේ මගේ නංගි.

කලා ක්ෂේත්‍රයේ දිගු ගමනක් යාමට සැරනෙ නෙම්දිනි දියණියගේ බලාපොරොත්තු සඵල වේවායි සරසවිය පැතුමයි. කලාවට ළෙංගතු ඔබටත් 0773750645 දුරකථන අංකය ඔස්සේ ඇයට සුබ පැතුම් එක් කළ හැකියි.

 

ශාන් රඹුක්වැල්ල