මේරියන්ස් නලීන්ගෙන් අගනා කටයුත්තක්

අප්‍රේල් 2, 2020

මේරියන්ස් නායක නලීන් පෙරේරා කළ උතුම් ක්‍රියාවක් ගැන අපිට ආරංචි වුණා.  ඒ ඔහු සතු සුඛෝපබෝගී නිවසක් නිරෝධාන කටයුතු සඳහා ලබාදුන් බව තමා දැනගන්නට ලැබුණේ. රටේ පවතින කොරෝනා වසංගත තත්ත්වය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මෙවන් අවස්තාවක නලීන් මේ කළේ හරිම දුර්ලභ ක්‍රියාවක්'' අපි පළමුව එය අගය කරනවා. මේ පිළිබඳ වැඩි විස්තර කියන්න විවේකීව ගෙදර ඉන්න මොහොතක නලීන් මෙලෙස හඬ අවදි කළා.

නලීන් අයියේ ඔබේ නිවස අද නීරෝධාන මද්‍යස්තානයක්?

 ඔව්.මම දන්න දොස්තර මල්ලි කෙනෙක් ඉන්නවා සහයන් සෙනෙවිරත්න කියලා හලාවත හොස්පිට්ල් එකේ. ඔහු මගෙන් ඇහැව්වා හලාවත ඔය ගේ ගැන. මම කිව්වා ඒක තවම තියනවා කියලා. එතකොට තමයි ඔහු කිව්වේ හලාවත ඉස්පිරිතාලෙ ඉන්න ඩොක්ටර්ලටයි නර්ස්ලටයි නිරෝධනයට ගෙදර දෙන්න බැරිද කියලා. දැන් තියන තත්ත්වේ එක්ක එයාලට තම තමන්ගේ ගෙවල්වල ඔය කටයුත්ත කරන්න බැහැලු‍. මම දෙවතාවක් හිතුවේ නැතුව ගෙදර දුන්නා.

එතකොට ඔබ ඒ නිවසේ නෙවෙයිද පදිංචි වෙලා හිටියේ?

නැහැ. මම වසර දොළහක් පමණ කාලයක පටන් මීගමුවේ ඉන්නේ.

එතකොට හලාවත නිවස?

 ඒක මම සුපිරියට හදපු ගෙයක්. කාමර පහක් තියනවා සියලු‍ පහසුකම් එක්ක. මම මීගමුවේ පදිංචි නිසා ඒක විකුණන්න දාලා තිබුණේ.

ඔබට යම්කිසි බයක් තිබුණේ නැද්ද මේ වගේ දෙයකට නිවස ලබාදුන් පසුව යළි එය විකුණා ගන්න බැරි වේවි කියලා?

 මම මේ ගේ හැදුවේ සිංදු කියලා උපයා ගත්තු මුදල් වලින්. මගේ රසිකයෝ මාත් එක්ක හිටපු නිසානේ මට මෙච්චර දුරක් එන්න පුළුවන් වුණේ. ඉතින් මේ වෙලාවේ මිනිස්සුන්ට යම් දෙයක් කරන්න බැරිනම් වැඩක් නැහැනේ. මම අගහිඟකම් තියන කෙනෙක් නෙවේ .සල්ලි නැතිනිසා නෙවේ ඔය ගෙදරත් විකුණන්න දැම්මේ. මම නොමිලේ තමයි නිරෝධනයට ගෙදර දුන්නෙත්. සමහර විට මට ඔය ගේ විකුණා ගන්නත් බැරි වේවි. විකුණගන්න බැරි තරමට සමහරු කන්ඩම් කරාවි. ප්‍රශ්නයක් නෑ. මම රට වෙනුවෙන් දෙයක් කළානේ.සොබාදහමෙන් මට පෙරළා ප්‍රතිඋපකාර කරාවි.ඒ ගැන මට විශ්වාසයි.

සංගීත ශිල්පියකු විදිහට මේ කොවිඩ් 19 වසංගතය ඔබට කොහොමද දැණුනේ?

 කලාකරුවන්ට පමණක් නෙවේ සමස්ථ සියලු‍දෙනා හට බලපාන කරුණක් මේක. මම හැම දෙයක් දිහාම ධනාත්මකව බලන කෙනෙක්.කොවිඩ් 19 අපට මේ දීලා තියෙන්නේ හොඳ අවස්තාවක්. මේක නිසා අපිව සරල දිවි පෙවතකට හුරුකළා. අපිට අමතක වෙලා ගිය බොහෝ දේවල් අපිට ළං කරලා දුන්නා.පවුලේ කට්ටිය එකට එකතු වෙලා කෑම කන්න අවස්තාව දුන්නා.දරු පවුලටත් එක්ක ගතකරන්න කාලය දුන්නාග.අම්මා තාත්තා ගැන හොයා බලන්න පුළුවන් වුණා. මේ මේ වගේ දේවල් අපිට අමතක වෙලා තිබුණේ. ඒවාට කාලයත් තිබුණේ නැහැනේ. අපි මෙච්චර කල් මොනවගේ ජීවිතයක්ද ගෙව්වේ කියලා හිතලා බලන්නකො. දැන්වත් සොබාදහමට ආදරය කරන්න. ගහක් කොලක් වවන්න. සංගීත ශිල්පීන් හැටියට අපිත් ගෙදර තමටයි.මේක සාමාන්‍ය ජනයාට නෙවේ කලාකරුවන්ටද හිතන්න ලබා දුන් අවස්තාවක්.

ගෙදර ඉන්න කාලය අතරතුරදී නිර්මාණ කටයුත්තකට අතගැහැව්වේ නැද්ද? 

අලු‍ත් ගී නිර්මාණයක් කරමින් ඉන්නේඔබ මේ කතා කරන වෙලාවේ ඒක හද හද තමා හිටියේ. ඒකේ අන්තර්ගතය යාවත්කාලීනයි.මම එහෙම කියන්නේ මේ ගෙවෙන්නේ මිනිස්සු සොබාදහම විනාශ කරමින් ගෙවන කාලයක් නිසා. අපි මේ හැල්මේ දුවන්නේ ඇයි. අපිට කොතනද වැරදුනේ.මේ හැමදෙයක්ම ඒ ගීතයට ඇතුළත්. අද ලෝකයේ බලවත්ම රටවල් කොවිඩ් 19 නිසා අන්ත අසරණ වෙලා ඉන්නවා. ඉන් සමහර රටවල් අති ප්‍රභල න්‍යෂ්ටික අවි පවා අත්හදා බලපු ඒවනේ' ඒත් වැඩක් තියනවද. මේ ඇසටවත් නොපෙනෙන වෛරසයක් ඒවායින් නවත්වන්න පුළුවන්ද. මේ වෙලාවේ සමස්ථ ලෝකයටම පෙන්වලා දීලා තියනවා සොබාදහමේ මව තමා බලවත්ම කියලා.මිනිහා කියන්නේ සොබාදහමේ පුංචිම පුංචි කොටසක් පමණයි. අපි දැන්වත් මිනිස්සු විදිහට මානුෂීය ගුණාංග වලින් සපිරිව ජීවත් වෙමු.