දේශපාලනය නිසා කලාව මඟහැරිලා නැහැ

-උද්දික ප්‍රේමරත්න
මැයි 13, 2021

 

ඔහු විටෙක තම හෙන්චන්‍චයියන්ට හඬ බාල කර තාලයට අමතන කළු අරලියහි ක්ලබ් වසන්තය. හැමෝටම තමන්ගේ නොවන තමන්ගේ ආදරයක් ඇති බව ඉතා සියුම් සංධ්වනියක් හරහා සිනමා ප්‍රේක්ෂකයන්ට ඔහු කියා දුන්නේය. පසුව ඔහු මහාවංශයේ වීරයා මහරජ ගැමුණු විය. තවත් වරෙක පත්තිනියගේ කෝවලන් වුණේය. මහා කළු සිංහලයා හෙවත් වලගම්බා වුණේද ඔහුමය. මිණිගංදෑලෙහි අරනෝලිස් වෙමින් කළුගං මිටියාවතේ මිනිසුන්ගේ හෘදස්පන්දනය ප්‍රේක්ෂකයාට සම්ප්‍රේෂණය කළේය. හෙතෙම උද්දික ප්‍රේමරත්නය. පසුගිය මහ මැතිවරණයෙන් ජයගත් ඔහු ව්‍යවස්ථාදායකය නියෝජනය කරන ජනතා නියෝජිතයෙක්ද වේ. සිනමාව, කලාව හා දේශපාලනය ගැන ඔහු අප සමඟ බොහෝ දෑ කතා කළේ මෙසේය.

 

උද්දිකගේ ජීවිතේ දැන් වෙනස් වෙලා නේද?

ඔව්. දැන් මගේ ජීවිතය වෙනස් වෙලා. අලුත් දේවල් ටිකක් මගේ ජීවිතේට එකතු වෙලා තියෙනවා.

 

ජනප්‍රියත්වය සහ ජනවරම කියන්නේම කලාකරුවෙක්ට ලොකු වගකීමක්.

පුරවැසියෝ විදිහට අපි හැමෝටම රට ඇතුළේ ලොකු වගකීම් සම්භාරයක් තියෙනවා ඉෂ්ට කරන්න. ජනතාවගේ තේරීම මත, ජනතාවගේ සහ ඊළඟ පරම්පරාවේ අනාගතය, රට පිළිබඳ තීරණය එක්ක මම ලොකු වගකීම් සහගත චරිතයක් බවට පත්වෙලා. කලාවේදීත් ඒකේ වෙනසක් නැහැ. රංගන ශිල්පියෙක් ලෙසත් ක්ෂේත්‍රය ගොඩනඟන්න සහ ඊළඟ පරම්පරාවට ප්‍රශස්ත මට්ටමේ කලා ක්ෂේත්‍රයක් දායාද කරන්න අපිට නිරායාසයෙන් වගකීම් සමුදායක් ලැබෙනවා.

 

ජනතා සේවය කියන එක ලේසි නැහැ.

ලේසි කරලා තිබ්බා නම් ලේසියි. නමුත් අපේ රටේ තවමත් කිසිම දෙයක් එහෙම ලේසි නැහැ. හැමෝටම හැමදෙයක්ම ලේසි පහසු වන විදිහේ දියුණු රටක් කරන එක අපේ පරම්පරාවේ අරමුණ.

 

මේ දවස්වල වෙන කලා ක්ෂේත්‍රයේ වැඩ කටයුතු ගැන කිව්වොත්?

මේ දවස්වල හැම ක්ෂේත්‍රයකටම බලපානවා කොරෝනා වෛරසය. ඒ තුළ පීඩාවිඳීන පිරිස බොහොමයක් මේ රට තුක ඉන්නවා. කලා ක්ෂේත්‍රයේත් විශාල පිරිසක් ඒ තුළ පීඩාවිඳීනවා. විශේෂයෙන් සංගීත ක්ෂේත්‍රයේ ශිල්පීන් ශිල්පිනියන් සිනමා කර්මාන්තයේ නියැලෙන අය. සිනමා කර්මාන්තයේ නියැලෙන පිරිස් එම ටෙලිනාට්‍ය කලාවේ නියැලෙන නිසා යම්තාක් දුරට ඒ ගැටලු නිරාකරණය වෙලා තියෙනවා. මුළු රටටම විඳීන මානසික පීඩනය නිරවුල් කරන සියලු කලාවන් දැන් ටෙලිවිෂනයෙන් තමයි බලන්න වෙලා තියෙන්නේ. ඒ නිසා මමත් පසුගිය සතියේ සිට එක ටෙලිනාට්‍යයක රූගත කිරීම් ආරම්භ කළා. ඒක සිවගුරුනාදන්ගේ අධ්‍යක්ෂණයක්. විවාහයක් තිබුණු දැන් ඒක නැති ස්වාමි පුරුෂයෙකුගේ එක් මනෝභාවයක් මම ඒකෙන් නිරූපණය කරනවා.

 

කොරෝනා වසංගතය නිසා සිනමාශාල වැසෙමින් පවතිනවා. කලාකරුවෙක් සහ ව්‍යවස්ථාදායකයේ සාමාජිකයෙක් ලෙස මේ ප්‍රශ්නයට විසඳුම් තියෙනවද?

සිනමා ශාලා නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නය. අපිට සල්ලි යොදවලා ඕනෙ තරම් සිනමාශාලා හදන්න පුළුවන්. නමුත් සිනමා ක්ෂේත්‍රය තුළ තමන්ගේ නිර්මාණ කුසලතාව සහ ශක්තිය ඉහළ දමමින් උසස් නිර්මාණකරණයේ නියැළෙන්න අවශ්‍ය මානව සම්පත නිර්මාණය කරන එක තමයි අපේ වගකීම. අපේ රටේ හොඳ සිනමාපට හැදෙනවා නම් කොහොමත් සිනමාශාලා හදන්න වෙනවා.

 

ඒ කියන්නේ දැන් හැදෙන සිනමාපට හොඳ නැද්ද?

හොඳ සිනමාපට හැදෙන ප්‍රමාණය අවමයි. දැන් තෙළිඟු මලයාලම් චිත්‍රපටි බලන රැල්ලක් අපේ රටේ තියෙනවානේ. ඒ චිත්‍රපට බලන්න හේතුව මම 'හොඳයි' කියන එක යටතේ එන කරුණු කාරණා ගොඩක් ඒ චිත්‍රපටවලින් සම්පූර්ණ වෙනවා. ඒකයි ඒ චිත්‍රපට අපේ අය බලන්නේ. අපිට චිත්‍රපටයකට පිටපතක් නිර්මාණය කරගන්න තියෙන පහසුකම් සහ වටපිටාව අවමයි. පිටපත් රචකයෙකුට නිදහසේ සංකල්පයක් ගොඩනඟන්න අවශ්‍ය මානසික වටපිටාව මේ රටේ නැහැ. සමාජ ආර්ථික ගැටලු නිසා ඔවුන් පීඩාවෙන් ඉන්නේ. රචකයෙක්ට නිර්මාණාත්මකව පිටපතක් ලියන්න, අධ්‍යක්ෂවරයෙක්ට චිත්‍රපටයක් හදන්න කොයිතරම් මානසික නිදහසක් තියෙන්න ඕනේද? චිත්‍රපට අධ්‍යක්ෂවරයාගේ ඔළුවේ තමයි ප්‍රශ්න ඔක්කොම තියෙන්නෙ. ඒ ප්‍රශ්න ඔක්කොම තියාගෙන තමයි ඔවුන් චිත්‍රපටයක් හදන්නේ. ඒ වගේම චිත්‍රපටයක් තිරගත කරන විට කීයෙන් කීදෙනාද ඒකෙන් ලාභ ලබන්නේ? ඉතා සීමිත පිරිසක් අතර විතරයි ඒ මුදල් හුවමාරු වෙන්නේ. යම්කිසි භාණ්ඩයක් අලෙවි වෙනවා නම් ඒ අලෙවියේ ප්‍රතිලාභය ඒ සඳහා කැප වෙන මහන්සි වෙන සියලු දෙනාට සමසේ සාධාරණව බෙදෙන්න ඕනේ. ඒ නිසා මේ රට ඇතුළේ කලා ක්ෂේත්‍රයේ වෘත්තීය මට්ටමක් පවත්වාගෙන යන්න බැහැ. ඒ නිසා අදටත් සුදුස්සා නෙමෙයි "කවුරුහරි කෙනෙක්" දාගෙන තමයි අපිට මේ වැඩ කරන්න වෙලා තියෙන්නේ.සිනමා කර්මාන්තයට අවශ්‍ය කරන විධිමත් ක්‍රමවේදයක් හදන්න ඕනේ.

 

ඒ සඳහා යෝජනා තියෙනවාද?

සිනමාවේ පවතින අක්‍රමවත් බවට නියාමනයක් නැහැනේ. ඒකට නියාමනයක් කරන්න ඕනේ. ඒකට යෝජනා ඕනේ තරම් තියෙනවා. සිනමා කර්මාන්තයේ නියැළෙන කලාකරුවන්ගෙන් ඕනෑ තරම් යෝජනා ඇවිත් තියෙනවා. ඒවා සහ සිනමා කර්මාන්තය දියුණුව පවතින රටවල් උදාහරණයට අරගෙන අපේ රට තුළ හැම ක්ෂේත්‍රයකම ප්‍රශ්න විසඳනවා වගේ කලා ක්ෂේත්‍රයේ ප්‍රශ්න ටිකත් විසඳන්න ඕනේ.

 

යූටියුබ් ආදී නව මාධ්‍ය ඔස්සේ රංගන ශිල්පීන් විවිධ දේවල් කරනවා. නවමාධ්‍ය පරිහරණය කරන්න අදහසක් නැද්ද?

මගේ රංගන කුසලතා ප්‍රේක්ෂකයන් ප්‍රේක්ෂකයන් දැක්කේ සිනමාවෙන් සහ ටෙලිනාට්‍යවලින්. මගේ ගීතයක් ඒ හරහා එන්න පුළුවන්. නමුත් මම නවමාධ්‍යවල රංගන කටයුතුවලට එන්නේ නැහැ. ඒක අලුත් පරම්පරාවට ආපු මාධ්‍යයක්. ඒක ඒ අය හොයාගත්ත ක්‍රමවේදයක්. ඔවුන් ඒක හොඳට කරනවා. එයාලා ඒක කරපුදෙන්. තිරය එන්න එන්න පොඩි කරගන්න එක නෙමෙයි අපි කරන්න ඕනේ තිරය එන්න එන්න විශාල කරන එක.

 

අර උද්දික ප්‍රේමරත්න කියන ගායකයා කෝ?

ඉඳලා හිටලා සංගීත වැඩ කටයුතුවලටත් මම සම්බන්ධ වෙනවා. "මා නොවන මම" ප්‍රසංගයක් නෙළුම් පොකුණේ පවත්වන්න සූදානම් වෙලා හිටියා. ඒ ප්‍රසංගයේ මම ගායනා කරන්න සූදානම් වෙලා හිටියා. කොවිඩ් ප්‍රශ්නේ නිසා ඒවා නතර වුණා. නමුත් මම සංගීතය නතර කරන්නේ නැහැ.

 

දිගටම දේශපාලනය කරන්නද බලාපොරොත්තුව?

මම නියෝජනය කරන්නෙත් අනුරාධපුරය. මම මැතිවරණයට ඉදිරිපත් වුණෙත් අනුරාධපුරයෙන්. අදට පවතින දේශපාලන ක්‍රමවේදය නොවන ඉතාම වෙනස් දේශපාලන ක්‍රියාවලියක් මෙරටට අත්පත් කරගැනීමයි මගේ බලාපොරොත්තුව. ඒ වෙනස් ක්‍රමවේදය භාවිත කරන නායකයෙක් ඉදිරියේ පෙළගැහුණේ ඒකයි මම. මයික්‍රෆෝනයක් ඉදිරියේ ඉන්න දේශපාලකයෙක්ට වඩා හැම මොහොතෙම මිනිසුන්ගේ ප්‍රශ්න සඳහා සැලසුම් හදන දේශපාලකයෙක් තමයි මේ රටට අවශ්‍ය. ආසියාතික රටවල මිනිස්සු දේශපාලකයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ හඬ. ඒත් හඬ නෙමෙයි වැදගත් වෙන්නේ වැඩ කරන නායකයෝ. දේශපාලනයෙන් කරන්නෙත් ජනතා සේවය. කලාවෙන් කරන්නෙත් ජනතා සේවය. ඒ ක්ෂේත්‍ර දෙකේම දිගටම මම නිරත වෙයි.

 

දේශපාලනය කරන්න ගිහින් උද්දිකට, උද්දික ප්‍රේමරත්න කියන කලාකරුවාව අමතක වෙයිද?

ඒක මගේ අතේ තියෙන වැඩක්. එහෙම දෙයක් වෙන එකක් නැහැ. මම දැන් ටෙලිනාට්‍යයකත් වැඩ පටන් අරගෙන කරමින් පවතිනවා. ඒ නිසා මට කලාව මඟහැරෙන එකක් නැහැ.

 

සිනමා නිර්මාණවලට ආරාධනා ආවේ නැද්ද?

සිනමාපට කීපයකට ආරාධනා ආවා. මම ඒ නිර්මාණවලට ඒ තරම් ප්‍රිය නොවුණු නිසා ප්‍රතික්ෂේප කළා.

 

දේශපාලනය කරන නිසා නිර්මාණ තෝරා ගනිද්දී පෙරට වඩා චරිත පිළිබඳව සැලකිලිමත් වෙනවාද?

මම කොහොමත් චරිත තෝරාගනිද්දි ඒ චරිත ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙනවා. ඒක හැමදාමත් තියෙන දෙයක්. දේශපාලයට ආවා කියලා ප්‍රතිරූපයට හානි වෙයි කියලා බයට හොඳ චරිත බැහැර කරන්නේ නැහැ මම. ඕනේ චරිතයක් හොඳයි නම් මට කළ හැකි නම් ඒ චරිතය තුළ මට යන්න තියෙන පරාසය වැඩි නම් මම ඒක කරනවා.

 

මිදුණු විශ්වය කියන්නේ විශේෂ නිර්මාණයක්?

පැහැදිලිවම විශේෂයි. අපේ රටට අලුත් තේමාවක් මෙවර ජයන්ත චන්ද්‍රසිරි ගෙන එනවා. සීමා මායිම් නැති ආදරයක අරුමය ඒ චිත්‍රපටයෙන් කතාබහ කරනවා. මේ ලෝකේ නොවන තවත් ලෝකයකට පවා ආදරය රැගෙන යන්න පුළුවන් බව ජයන්ත අයියා මේ සිනමාපටයෙන් කියනවා.

 

කොහොමද ඒ චරිතය ඔබට දැනුණේ?

ප්‍රේක්ෂකයා චිත්‍රපටය නැරඹුවාට පසුව ඒ අයට මගේ චරිතය දැනෙන්නේ කෙතරම්ද ඒ තරමටම මටත් ඒ චරිතය දැනුණා.

 

ජයන්ත චන්ද්‍රසිරිගේ හැම සිනමා නිර්මාණයකින්ම පාහේ උද්දික සම්මානනීය වුණා. ඔහු ඔබට විශේෂයි?

මිනිස්සුන්ගේ ජීවිතවල තියෙන සාමාන්‍ය කෙනෙක්ට හසු නොවන සිනමාකරුවෙකුට ග්‍රහණය වන ස්වභාවයන් තුළ කොයි තරම් දුරට ජයන්ත චන්ද්‍රසිරි ගමන් කරනවාද කියන එක පේන්නේ රංගන ශිල්පීන්ගෙන්. රංගන ශිල්පීන් වෙන අපි ඒ ප්‍රකාශනය කොයිතරම් දුරට සාර්ථකව ඉදිරිපත් කරනවාද කියන එක අනුවයි සම්මානනීය වෙන්නේ. මම අතට ගත්ත ඒ සම්මානවල තියෙන්නේ මිනිස්සුන්ගේ ජීවිත කියැවීම සහ හැදෑරීම. ජයන්ත චන්ද්‍රසිරි කියන අධ්‍යක්ෂවරයා ඒ ප්‍රකාශනය අතින් ඉතාම ඉහළ මට්ටමක ඉන්නවා.

 

ඔබ ප්‍රධාන චරිතය කළ "Rush" " චිත්‍රපටයට ළඟදි ජනතා සම්මානයක් ලැබුණා නේද?

"Rush"  චිත්‍රපටයට පීපල්ස් අවෝර්ඩ් එක ලැබුණා. අපි බලාපොරොත්තු වුණෙත් ජනතා සම්මානය තමයි. චිත්‍රපටයේ අන්තර්ගත සියලුම දේවල් බොහොම ඉහළ මට්ටමක තිබුණා කියලා අපිට කියන්න පුළුවන්. ඒ ගැන ඉතාමත් සතුටුයි. අපි චිත්‍රපටය රූගත කළේ අවම මානව සම්පත් පහසුකම් යටතේ. තිරගත කරද්දි විවිධ සමාජ ගැටලු සහ බාධක ආවා. නමුත් චිත්‍රපටය ජනතාව අතර ජනප්‍රිය වෙලා තියෙනවා. ඒක ලොකු සතුටක්.

 

උද්දිකගේ ජීවිතයේ ඊළඟ ඉලක්කය මොකක්ද?

ඒවා ක්‍රියාවෙන් පෙන්වන එකයි මගේ අරමුණ. මූලික වෙන්නේ ක්‍රියාව වචන නෙමෙයි. කොහොම වුණත් අපේ සිනමාව කර්මාන්තයක් ලෙස රටේ ප්‍රේක්ෂකයන්ට ඉහළ රසවින්දනයක් සහිත මීට ඉහත 60, 70 වකවානුවල තිබුණු සිනමා කර්මාන්තයක් රට තුළ දකින එකයි මගේ ආසාව. එකල ප්‍රේක්ෂකයන් වැලඳගත්තා වගේ ආදරයෙන් වැලඳගන්න නළු නිළි පිරිසක් බිහි කරගන්නයි ඕනේ. තමන්ගේ එදිනෙදා ජීවිතය තුළ චිත්‍රපටයක් බලන්න වෙලාවක් වෙන් කරගත හැකි ජීවිතය විඳීන ජනතාවක් සිටින, නිතරම චිත්‍රපටි ගැන කතා කරන, සංවාද විවාද ඇති වෙන සංස්කෘතියක් හදන එක තමයි මගේ ආසාව.

 

උද්දික ප්‍රේමරත්න වගේ වෙන්න බලාගෙන ඉන්න, ක්ෂේත්‍රයට එන්න හීන දකින තරුණ පරම්පරාවර මොකක්ද කියන්න තියෙන්නේ?

අපි දැන් මේ ඉන්න තත්ත්වය සහ ජයග්‍රහණය කරපු දේවල් දිහා බලා ගමන තීරණය කරන්න එපා. අපි පටන්ගත්ත තැන හොයලා බලන්න. එතැනින් ගමන පටන්ගන්න.