“තෝව දෙන්නෙත් නරියාටයි”

කියලා අම්මා කිව්වේ මටයි
මැයි 20, 2021

 

 

“අම්මා කිව්වේ නරියෙක්ට දෙනවා කියලා නේද?"

 

“ඔව්නේ...

“තෝව දෙන්නෙත් නරියාටයි

තෝව ගන්නෙත් නරියෙකුයි

තෝව දෙන්නෙත් තෝව ගන්නෙත්

කැලේ ඉන්නා නරියෙකුයි” කියලා තමයි අම්මා මට කිව්වේ. මම තමයි පළවෙනි නරිබෑණා නාට්‍යයේ පළවෙනි ගමදුව.”

 

සිනහාමුසු මුහුණෙන් නේක ඉරියව් යොදමින් ඇය මා අසන පැනවලට පිළිතුරු දෙයි. ඇයට ඇත්තේ කාර්යබහුල අතීතයකි. ප්‍රීතිමත් වර්ථමානයකි. ඒ සියලු හැඟීම් සමඟ මා ඉදිරියේ සිටින්නේ ජීවිතයේ හමුවුණු ප්‍රීතිමත්ම කාන්තාවන්ගෙන් එක් අයෙකු බව ආරම්භයේදීම පැවසිය යුතුය.

 

හැත්තෑව අසූව දශකවල සිනමා තාරකාවන්ගේ රුව ගැන ඕනාවට වඩා වර්ණනා විස්තර අවැසි නැත. ඔවුන් එදත් අදත් ලස්සනය. එහෙත් මේ කියන්නට යන ගැහැණිය කුඩා කල සිටම මා සිත්ගත් සිනමා තාරකාව බව කිව යුතුය. එයට ඇගේ රුවගුණ පමණක් අදාළ නැත. නිතර වත සැරසී ඇති ප්‍රීතිමත් සිනහාවද ඇගේ ඇත්දළ පැහැ ඡවි වර්ණයද මා ඇළුම් කළ දේවල්ය. සිංහල සිනමා ඉතිහාසය පිරික්සන ඕනෑම කෙනෙකුට මේ රුවැත්තිය ළඟ නතර සිත දෙන්නේද ඒ සිනහාව සහ ප්‍රීතිමත් බව නිසාමය. මේ සැරසෙන්නේ ශ්‍රියානි අමරසේන නම් ඒ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනිය සමඟ ඇගේ අතීතයද වර්තමානයද එකිනෙකට ගලපන්නටය. ඉතා කෙටි දුරකතන සංවාද කීපයකින් පසුව අපි අයිඩීඑච්හී පිහිටි "අමරසේන" නිවසට ගියේ ඒ දෙමහල්ලන්ම සමඟ සුහද පිළිසඳරක යෙදීමේ අටියෙනි. ඇගේ ලෙන්ගතු සංග්‍රහවලින් අනතුරුව ඈ මා සම්මුඛයෙහි සැහැල්ලුවෙන් ඉඳගත්තේ ප්‍රශ්න සහ උත්තර ගැටෙන ඒකාකාරී සාකච්ඡාවකට වඩා මෙය සුහද සංවාදයක් කරගැනීමේ විලාසයෙනි. සුපුරුදු පරිදි මා ආරම්භය ගත්තේ ඇගේ උපන් ගම්බිම් වතගොත විමසීමෙන්ය.

 

"මම පවුලේ එකම දරුවා. අම්මායි තාත්තයි විතරයි ඉන්නේ. මගේ අම්මාගේ ගම කොළොන්නාව මීතොටමුල්ල. තාත්තා නුවර අම්පිටියේ. තාත්තා කොළඹ නගරශාලාවේ රැකියාව කරපු නිසා තාත්තාත් මීතොටමුල්ලේ අම්මලාගේ ගෙදර නතර වුණා. එයාලා විවාහ වෙලා අවුරුදු හතකට පස්සේ මාව ලැබිලා තියෙන්නේ. ඒ දෙන්නානේ අසීමිත ආදරයක් එක්ක මම පොඩි කාලේ හැඳුණේ. මට හරිම සුන්දර ළමා කාලයක් තිබුණා. මම මුලින්ම වසරක් මීතොටමුල්ල මිශ්‍ර පාසලක ඉගෙනගත්තා. ඊටපස්සේ මියුසියස් විද්‍යාලයෙන් සහ මරදාන ගෝතමී බාලිකාවෙන් ඉගෙනගත්තා. දැන් කුණු කන්දක් තිබුණාට ඒ කාලේ මීතොටමුල්ල කියන්නේ හරිම ලස්සන වෙල්යායක් තියෙන හොඳ ගමක්. ඒ ගම හා බැඳුණු සුන්දර ළමා කාලයක් මට තිබුණා."

 

"කලාවට යොමු වුණේ කොහොමද?"

ඒ ගම හා බැඳී සුන්දර අතීතය ගැන නොනවත්වා වර්ණනා විතර කරන ඇයගෙන් මා ඇසූ පළමු හරස් පැනයයි. මුහුණ මදක් ඇලකට මා දෙස බැලූ ඈ නැවතත් මෙසේ කියාගෙන ගියාය.

"මගේ අම්මයි තාත්තයි දෙන්නම කලාවට හුඟක් ලැදි අය. ඒ කාලේ ඒ දෙන්නා මාව අලුතෙන් එන ටීටර්, නාඩගම්, චිත්‍රපට බලන්න එක්කගෙන යනවා. එතකොට අපිට තිබ්බේ ගුවන්විදුලියනේ. ඒකේ ගීත අහනවා. ගුවන්විදුලි නාට්‍ය අහනවා. මම ඒ විදිහට කෑගහලා සින්දු කියනවා. නටනවා. කොහොමත් මම පොඩි කාලේ ඉඳලා කලාවට බොහොම ලැදි කෙනෙක්. අපේ ගමේ හිටියා සිරි අයියා. ඒ කියන්නේ යූ.එස්. පෙරේරා. ඔහු තමයි ගුවන්විදුලියේ ළමා පිටියේ නිර්මාතෘ. මම සින්දු කියනවා අහලා සිරි අයියා මාව ළමා පිටියේ ගීත ගයන්න සම්බන්ධ කරගත්තා. එතකොට මට වයස අවුරුදු හතයි. ඒක තමයි මගේ පළමුවෙනි කලා කටයුත්ත. පාසල් වේදිකාවේ බොහෝ නාට්‍යවලට මම සම්බන්ධ වුණා. "කොහෙද යන්නේ රුක්මණී", "හතරබීරී කතාව" වගේ නාට්‍යවලට පාසල් කාලයේ රඟපෑවා.

ටිකෙන් ටික යෞවනියක් වන ශ්‍රියානි එකල හීන දැක්කේ සාත්තු සේවිකාවක් වන්නටය. නටන්න ගයන්න රඟන්නට හැකි වුවද වෘත්තීය රංගන ශිල්පිනියක් වීට බලාපොරොත්තුවක් ඇගේ තුන්හිතකවත් නොතිබුණේය. සාත්තු සේවිකාවකගේ නිල ඇඳුමට සහ ස්වරූය ශ්‍රියානිගේ සිත් ගත්තාය. සාත්තු සේවිකාවන්ගේ ශාන්ත බව, පිළිවෙල, කරුණාවන්ත බව නිසා ඇය කවදාහෝ සාත්තු සේවිකාවක් වන්නට සිහින දැක්කාලු. කලක් යද්දි ඇයට වෛද්‍යවරියක් වීමට සිහින දැක්කාය. එක්තරා අහඹු සිදුවීමකින් ඒ සියලුම සිහින සිහිනයක්ම වී ඇගේ ජීවිතය උඩුයටිකුරු විය. එය ඇගේ වචනයෙන්ම මෙසේ පවසනවා නම්,

"දවසක් පත්තරේ දැන්වීමක් ගියා "කුවේණී" කියලා වේදිකා නාට්‍යයක් කරනවා. ඒකේ කුවේණිගේ චරිතයට කෙනෙක් හොයනවා. අයැදුම් කරන්න කියලා. මම අයැදුම්පතක් දැම්මා. සම්මුඛ පරීක්ෂණයට මමයි අම්මයි ගියා. මට දෙබස් ටිකක් දුන්නා කියන්න. සින්දුවක් කියන්න කිව්වා. රඟපාන්න කිව්වා. මම ඒ ඔක්කොම කළා. සම්මුඛ පරීක්ෂණය අවසානයේදී මට කිව්වා එයාලා කිව්වා "කුවේණිගේ චරිතයට ඔයා පොඩි වැඩියි. ඒ චරිතයේ නපුරු පාට ඔයාගේ නැහැ" කියලා. ඒ වේදිකා නාට්‍යයේ ඊළඟට තියෙන ප්‍රධාන චරිතය මට ලබුණා. මගේ ඒ රංගනය දැකලා තමයි දයානන්ද ගුණවර්ධන නරිබෑණා නාට්‍යයට මාව තෝරගත්තේ. එතකොටත් මම ඉස්කෝලේ යන ළමයෙක්. "

 

දයානන්ද ගුණවර්ධන ශ්‍රියානිගේ නිවසටම ගොස් නරිබෑණා නාට්‍යයට කළ ආරාධනය පිළිගත් ඇය පුහුණුවීම් සඳහා ගියේ හැව්ලොක් ටවුන් විද්‍යාලයට හෙවත් වර්තමාන ලුම්බිණි රඟහලටය. වේදිකා නාට්‍ය පිළිබඳ දැනුම් තේරුම් ඇති බොහෝ දෙනා මධ්‍යයේ කුඩා කෙල්ලක් වන තමා රාජකාරිය ඒ ලෙසටම කළ වග ඇය කියා සිටියාය. නරිබෑණා හී නරියාගේ චරිතයට එකල පණ පෙව්වේ සලමන් ෆොන්සේකාය. ලයනල් අල්ගමගේ සංගීතයෙන් හැඩවුණු රබන් පද ආශ්‍රයෙන් සැකසුණු අලංකාරවත් ගීත ගොන්නකින් සපිරි නරිබෑණා නාට්‍යය එකල නාට්‍ය රසිකයන්ගේ මන පොපියන නිර්මාණයක් විය. ළමා පිටියේ ගීත ගායනා කළ පුහුණුව තිබුණු ශ්‍රියානිට "ඇහැල මලින් ගස් පිරිලා" ගීතය රඟන විට ගැයීම ඒ තරම් අපහසුවක් නොවීය. නරිබෑණා වේදිකා නාට්‍යයත් සමඟ වසර හතකට අධික කාලයක් රට පුරා ගිය ශ්‍රියානි පාසලේද ජනප්‍රිය චරිතයක් වුණු බව ඈ කියා සිටියාය.

අනෙක් රංගන ශිල්පීනියන් මෙන් නොව ශ්‍රියානි සිනමා රංගනයට අවතීර්ණය වන්නේ විවාහයෙන් අනතුරුවය. ඇගේ සිනමා ජීවිතය පිළිබඳ විමසන්නට මත්තෙන් මා ඇයව ආදර හන්දියට රැගෙන ගියෙමි.

"ඒ කාලේ ඉතින් මට ආදරයට විවාහයට ආරාධනා ඕනේ තරම් ආවා. මට එක ප්‍රේම සම්බන්ධයක් තිබිලා ඒක කැඩිලා කියා. ඒ නිසා අම්මලා මාව ඉක්මන්ට විවාහ කරන්න සූදානම් වුණා. රිවිරැස පත්තරේ මංගල දැන්වීමක් තිබුණා රූමත් කලාවට ලැදි ගෑනු ළමයෙක් බලාපොරොත්තු වෙනවා කියලා. අම්මා ඒකට පිළිතුරු දැම්මා මගේ රූපයත් එක්ක. මාව බලන්න මහත්තුරු දෙන්නෙකුත් ගෙදරට ඇවිත් ගියා. එයාලා කවුද කියලා අපිට කිව්වේ නැහැ. වෙන නම් වෙකක් කිව්වේ. බලද්දි ඇවිත් තියෙන්නේ විසිතුර පත්තරේ කර්තෘ ආතර් යූ. අමරසේන සහ ගීත නිබන්ධක ඔගස්ටස් විනයාගරත්නම්. මමත් අමරෙට කැමති වුණා. අමරේ නිසා මගේ ජීවිතයේ ගොඩක් වෙනස් වුණා. අමරේ කියන්නේ සිනමා පත්තරේක කර්තෘ කෙනෙක්නේ. ඒ කාලේ සිනමාවේ හිටපු දැවැන්තයෝ ගාමිණී, ටෝනි, ජෝ ඇතුළු තව ගොඩක් රංගන ශිල්පීන් ශිල්පිනියන් අමරේ පෞද්ගලික දැන හඳුනගෙන හිටියා. ඉතින් අපි විවාහ වුණා."

ඇගේ වත ප්‍රියමනාපය. සුන්දර සිනහාවක් සහිතව කොහේදෝ ඈතක දෑස් කක්ෂගත කරගෙන ඒ සුන්දර අතීතය ආවර්ජනය කරන ඇයගේ කතාවට බාධා කළ මා සිනමාවට පැමිණියේ කෙලෙසදැයි ඇසුවෙමි.

"මම විවාහ වෙන්න කලින් වාර්ථා චිත්‍රපටයට රඟපෑවා. එයාර් සිලෝන් එක ගැන කරපු කෙටි චිත්‍රපටයක්. ඒකේ කැමරාකරණය සුමිත්ත අමරසිංහගේ. ඒක රඟපෑවාට පස්සේ මට චිත්‍රපටවලට ආරාධනා ආවාට ඒවාට ගෙදරින් කැමති වුණේ නැහැ. අමරේව බැන්දාට පස්සේ තමයි මම චිත්‍රපටවල රඟපෑවේ."

දිනක් ලෙස්ටර් ජේම්ස් පීරිස් ආතර් යූ. අමරසේන හමුවන්නට ගිය දිනෙක ශ්‍රියානිව දැන ඒ අමරසේනගේ පෙම්වතිය බව දැනගත්තේය. ඇගේ රූපකාය දුටුවිටම ලෙස්ටර් ඔහුගේ නවතම චිත්‍රපටය වන ගම්පෙරළියේ චරිතයක් ඈ වෙනුවෙන් වෙන් කළේය.

"ලෙස්ටර් කියන්නෙත් අද වගේම ඒ කාලෙත් කලා ලෝකය පිළිගත්ත චරිතයක්. ජාත්‍යන්තරයට ගිය ප්‍රවීණයෙක්. ශූටින්ග් යද්දිම බය වුණා, මම සිනමාවට අලුත් නිසා ගැටලුවක් ප්‍රශ්නයක් වෙයි කියලා. ඒත් ඒක වෙනස් වුණා. ඔහු බොහොම සරල, නිහතමානී කෙනෙක්. බොහොම සන්සුන්ව අපිට රංගනය කියලා දුන්නා. ඇත්තටම කිව්වොත් කියලා දුන්නේ නෑ අපේ තියෙන රංගනය එයා කැමරාවට උදුරා ගත්තා. ලෙස්ටර්ට පුළුවන් ඕනෑම කෙනෙක්ගේ රංගනය හරි විදිහට කැමරාවට හසු කරගන්න. ගොළු හදවතේ රඟපානකොටත් මට මගේ දුව ඉනෝකා ලැබිලා හිටියේ."

ගොළු හදවතේ චම්පාගේ චරිතයෙන් අනතුරුව පේනවා නේද?, ප්‍රියංගා යන චිත්‍රපටවල තම සිත්තම් කළ ශ්‍රියානි සූරයන් හතර දෙනාගෙන් එක් අයකුගේ පෙම්වතියක් විය. නීල් රූපසිංහගේ හතරදෙනාම සූරයෝ චිත්‍රපටයෙහි ගාමිණී ෆොන්සේකාගේ පෙම්වතියගේ චරිතය ඈ රඟපෑවාය. සූරයෝ හතරදෙනාගේම පෙම්කතා හතරෙන් එක් කතාවක අයිතිකාරිය බව ඈ කියා සිටියේ ආදරයෙනි. එහි "පැතුම් මල්ලකී මේ ජීවිතේ" ගීතයට ඇය එක් කළ රංගනයද සිහිපත් කළේ තෘප්තිමත් සිතිවිලි සමඟය. චිත්‍රපට දෙක තුනක පමණක් රඟපෑමට සිතා රංගනයට අවතීර්ණය වුණු ශ්‍රියානිට ඉන් නැවතීමට හැකි වූයේ නැත. හැට, හැත්තෑව දශකයේ සියලුම සිනමා අධ්‍යක්ෂවරුන් පාහේ රිදී තිරය වර්ණවත් කරන මේ රුවැත්තිය තම සිනමා නිර්මාණවලට සම්බන්ධ කරගන්නට පොර කෑහ. තමා රංගනයෙන් දායක වුණු සිනමා නිර්මාණ අතර ජනප්‍රිය රැල්ලේ සිනමා නිර්මාණ සේම තිස්ස අබේසේකරගේ මහගෙදර, විරාගය එච්.ඩී. ප්‍රේමරත්නගේ කුලගෙය වැනි සම්භාව්‍ය ගණයේ චිත්‍රපටිද තිබුණු බව ඈ කියා සිටියාය. ඇයට වානිජ හෝ සම්භාව්‍ය කියා වෙනසක් තිබුණේ නැත. ඇය චරිත තෝරාගත්තේ කතා තේමාව අනුවය. කතා තේමාව හොඳ නම් හොඳ ගීත අන්තර්ගතවනවා නම් ශ්‍රියානි ඒ චිත්‍රපටය තෝරාගත්තාය. ඇගේ රංගන ජීවිතේ මතක සිටින සුවිශේෂී චරිතයන් මොනවාදැයි විමසන්නට මම අමතක නොකළෙමි.

"ගොළු හදවත තමයි මගේ පළවෙනි චිත්‍රපටිය. ඊටපස්සේ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේම "අහසින් පොළොවට" චිත්‍රපටයේ විනීතාගේ චරිතය මට විශේෂයි. ටෝනි රණසිංහ එක්ක රඟපෑවේ. ඒ චරිතය අමුතුම විදිහේ චරිතයක්. මානසිකව වද විඳීන බිරිඳකගේ චරිතයක් ඒක. ඒ චරිතය ගොඩක් ප්‍රේක්ෂකයෝ අතර ජනප්‍රිය වුණා. ඒ වගේම "දෑස නිසා" චිත්‍රපටය මතක් කරන්න ඕනේ. ඒකේ මම කළේ අන්ධ චරිතයක්. මහගෙදර චිත්‍රපටයේ අමුතුම තාලයේ චරිතයක් මම කළා. තිස්ස අබේසේකරගේ විරාගයේ සරෝජිනීගේ චරිතයට, ප්‍රේමරත්නගේ කුලගෙය චිත්‍රපටයේ මම රඟපෑ චරිතයට අදටත් ආසා කරනවා. ඒ හැම චරිතයක්ම සාමාන්‍ය ලෝකේ ජීවත් වන කාන්තාවන්ගේ චරිත. ඒ චරිත මට රඟපාන්න ලැබුණු එක ලොකු භාග්‍යයක්. තරුණියගේ චරිතයේ සිට මව, මිත්තණිය දක්වා විවිධ චරිත මම තවමත් රඟපානවා."

සැබෑ රංගන ශිල්පිනියෝ එහෙමය. රංගනය අත්නොහැර සිටින්නට බැරිය. එක් චරිතයකට කොටු වනවාට වඩා විවිධ චරිත ඔස්සේ තම රංගන පෙළහර පාන්නට ඈ සමත් වූවාය. විවිධ විචිත්‍ර චරිත ඔස්සේ සිනමා ප්‍රේක්ෂකයන්ගේ හද සන්තානයේ ලැඟුම් ගන්නට ශ්‍රියානි අමරසේන නම් සම්මානනීය රංගන ශිල්පිනිය සමත්වූවාය. එකිනෙකට වෙනස් විවිධ චරිතවලට අවතීරණය වන්නේ කෙසේ දැයි ඇගෙන් නොවිමසා සිටින්නට බැරි විය.

"තමන් කරන චරිතය පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න ඕන. පිටපත කලින්ම ලැබෙනවා. ඒ චරිතය මොකක්ද කියන එක ගැන හොඳට අධ්‍යයනය කරන්න ඕන. උදාහරණයක් විදිහට මම කරපු දෑස නිසා චිත්‍රපටයේ අන්ධ චරිතය හොඳ චරිතයක්. ඒකෙ මම ඇස් ඇරගෙන අන්ධයි කියලා පෙන්නන්න ඕන. කළු ඉංගිරියාව චලනය නොකර හරිම පරිස්සමෙන් රඟපෑවේ. ඒ වගේම ඇස් එහෙම තියාගෙන මම ඇවිදින්නත් ඕනේ. ලෙස්ටර් මහත්තයාත් මට කිව්වේ අන්ධ කෙනෙක්ව හොඳට අධ්‍යයනය කරන්න කියලා. මම අන්ධ විද්‍යාලයට ගිහින් අන්ධ අය දිහා හොඳට බලාගෙන ඉඳලා මගේ චරිතයට පිවිසුණේ. අපේ ඇඟෙන් එන දෙයට තව වටපිටාවෙන් අත්දැකීම් එකතු කරගත්තාම අපේ රංගනයේ කිසියම් සම්පූර්ණත්වයක් තියෙනවා. "රත්තරන් අම්මා" චිත්‍රපටයේ මම වයස අවුරුදු දහසයේ ඉඳලා අවුරුදු හැට හැත්තෑවක කාන්තාවක් දක්වා රඟපෑවා. එතකොට වයසෙන් වයසට අපි වෙනස් වෙන්න ඕනේ. ගමන් කිරීම, චලනය, දෙබස් උච්චාරණය එක එක අවධි එක්ක වෙනස් වෙනවා."

රංගනය ගැන සහ චරිතවලට අවතීර්ණය වීම දීර්ඝ විස්තරයක් කරගෙන ගිය ශ්‍රියානි හදිසියේ මතක් වූවාක් මෙන් කතාව වෙනතකට හැරෙව්වාය. විවාහ වන්නට ප්‍රථම ඇය සැමියා සමඟ සති අන්තයේ ඉංග්‍රීසි චිත්‍රපටයක් නැරඹීමට වරද්දන්නේ නැහැලූ. එකල ලංකාවේ තිරගත වුණු හොඳ බටහිර චිත්‍රපට සියල්ලම පාහේ නැරඹීමට අමරසේන යුවල ගියේලු. ඇය පවසන පරිදි ඒ චිත්‍රපටවල විවිධ චරිත සහ ඒ ඉරියව් සිනමා රංගනයේදී චරිත මැවීම සඳහා උපකාරී වී ඇත. එසේම චරිත කතා, චිත්‍රකතා කියවා ලබාගත් දැනුමද චරිත ගොඩනැඟීමට ශ්‍රියානිට උපකාරී වී ඇත. රංගනය ඉගෙන ගැනීමට රංගන පාසල් නොමැති ශ්‍රියානි අමරසේනට සම්මානනීය වීමට රංගන පාසලක් වුණු අධ්‍යක්ෂවරුන් බොහෝ ඇති. ඔවුන් ගැන ඇහෙන් නොඇසුවහොත් එය මේ සංවාදයට අඩුපාඩුවකි.

"රංගන පාසලකටත් වඩා ලොකු ධෛර්යයක් ශක්තියක් වුණු අධ්‍යක්ෂවරුන් පිරිසක් ඉන්නවා. රංගන පාසලකින් කරන්නේ රංගනය උගන්වන එක විතරයිනේ. ඒ අධ්‍යක්ෂවරු කැමරාව ඉස්සරහා චරිත ගොඩනඟන්න අපිව දිරිගැන්නුවා. ලෙස්ටර් ජේම්ස් පීරිස් විශේෂයි. ඔහු කියන දේවල් අපිට තේරුම් ගන්න ලේසියි. ඔහු කලබල කෙනෙක් නෙමෙයි. ලෙස්ටර් වචන දෙකක් කිව්වාත් ඒක අපිට හොඳට තේරෙනවා. ඒ තුළින් අපේ රංගනය ගොඩනගන්න පුළුවන්. එයා චරිත ගැන හොඳ පැහැදිලි කිරීමක් කරනවා. ඒ පැහැදිලි කිරීම හොඳට හිතට කාවදිනවා. ඒ වගේම තිස්ස අබේසේකර මතක් කරන්න ඕනේ. එච්.ඩී.ප්‍රේමරත්න, ධර්මශ්‍රී කල්දේරා, කේ.ඩබ්ලිව්. පෙරේරා, සිරි කුලරත්න, ටයි මහත්තයා (ටයිටස් තොටවත්ත) වගේ අධ්‍යක්ෂවරුන්ගෙන් මම ගොඩක් දේවල් ඉගෙනගත්තා. ඔවුන් අතින් හොඳ නිර්මාණ හැදුණා සහ ඒවා සම්මානයටත් පාත්‍ර වුණා."

 

"සිනමාවේ පෙම් කළ පෙම්වතුන් ගැනත් මතක් කරමු?"

මගේ බාධාවෙන් ඇගේ හරබර කතා විලාශය මොහොතකට නතර විය. එකල රිදී තිරයේ අහිංසකාවිය ලෙස නම් පටබැඳුණු ඇයගෙන් සිනමාවේ පෙම්වතුන් ගැන නොවිමසා කොහොමද? දෙතොල එකිනෙක හපා නැවත මදෙස බැලූ ඈ පැහැදිලි ස්වරයෙන් මෙසේ කියාගෙන ගියාය.

"මුල් කාලයේ සේනාධිර රූපසිංහ, ඔස්වල්ඩ් ජයසිංහ, වොලී නානායක්කාර, ඩග්ලස් රණසිංහ මගේ පෙම්වතුන් විදිහට රඟපෑවා. ඊටපස්සේ ටෝනි රණසිංහ, ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, විජය කුමාරතුංග එක්ක මම ගොඩක් චිත්‍රපටිවල රඟපෑවා. පසු කාලයේ සනත් ගුණතිලක, තිස්ස විජේසුරේන්ද්‍ර වගේ අයත් එක්කත් රඟපෑවා. කාලෙන් කාලෙට සිනමාවට ආපු හැම නළුවෙක් එක්කම වගේ මට රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒක මගේ භාග්‍යයක්. මේ අතරේ ශ්‍රියානි - ටෝනි යුගයක් තිබ්බා කියලාත් සමහරු කිව්ව. මම ටෝනි රණසිංහ එක්ක චිත්‍රපට දහයක දොළහක විතර රඟපෑවා."

ඉන්පසුව විමසන්නටත් ප්‍රථමයෙන් ඇය ආරම්භ කළේ ඒ මිත්‍ර සමාගම ගැන විස්තර කරන්නට පටන්ගත්තාය. ටෝනි රණසිංහව සිනමාවට හඳුන්වා දුන්නේ විසිතුර පුවත්පතේ කතුවර ශ්‍රියානිගේ සැමියා වන ආතර් යූ. අමරසේනය. ඔහුගේ සහෝදරයා වූ රැලෙක්ස් රණසිංහ ආතර්ගේ සමීප මිත්‍රයාය. එහෙයින් මේ පවුල් දෙක අතර හොඳ මිත්‍රත්වයක් ගොඩනැඟී තිබුණි. ටෝනි රණසිංහගේ බිරිඳ වන ශ්‍රීමා රණසිංහ ශ්‍රියානිගේ පාසල් මිතුරියකි. මේ පවුල් දෙකේ ඇති බැඳීම ශ්‍රියානි විස්තර කළේ සතුටු සිතිනි. නිරන්තරයෙන් විසුළු කරන ටෝනි ඇයට හොඳ මිත්‍රයෙකු වුණු බව ඇය කීවාය. ටෝනි, අමරසේන නිවසට පැමිණියහොත් යන්නට නොවරද්දන තැනක් ඇත. ඒ අමරසේන මහත්මයාගේ පුස්තකාලයටය. ඉන් සොරාගෙන යන පොත් ටෝනි නැවතත් නොදුන් බව ඒ සුන්දර අතීතය සිහිපත් කරමින් ඇය පැවසුවාය.

"ගාමිණී අයියා මගේ ප්‍රියතම නළුවා වෙලා හිටියා පොඩි කාලේ ඉඳලාම. එයා නරිබෑණා නාට්‍ය බලන්නත් ආවා මට මතකයි. අපි හරිම ආසයි ඉතින්. නාට්ටිය රඟපාලා ඉවර වෙලා මම කොහොමහරි ඔටෝග්‍රාෆ් එකකුත් අත්සන් කරගත්තා ගාමිණී අයියාට කියලා. පහුවදා ඉස්කෝලෙට පොත අරගෙන ගිහින් යාළුවන්ට පෙන්නුවා. එයාලා ගාමිණීට කොච්චර කැමතිද කියනවා නම් අත්සන බලලා මගේ පොතත් ඉරුවා."

එසේ අත්සන ගත් දැරියට ඉන් වසර කීපයකට මත්තෙන් හතර දෙනාම සුරයෝහී ගාමිණී ෆොන්සේකාගේ පෙම්වතියගේ චරිතය රඟපාන්නට ලැබෙන බව සිහිනෙන් හෝ නොසිතන්නට ඇත. ජෝ අබේවික්‍රම සමඟ ශ්‍රියානිට තිබුණු මිත්‍ර සමඟම ගැනත් ඈ අප සමඟ පැවසුවාය. එකම උපන්දිනයක්ද තමන්ට සමාන ලග්නද හිමි වුණු ජෝ අබේවික්‍රම ශ්‍රියානිට හොඳ මිතුරෙකු විය. දෑස නිසා චිත්‍රපටය රූගත කර ඇත්තේ ගල්ගමුව ඇහැටුවැව ප්‍රදේශයේය. එහි නවාතැන් ගත් දෑස නිසා සිනමා නඩය ගැමි පරිසරයේ චමත්කාරය හරිහැටි විඳගත්තේ ජෝ නිසාලු. මන්දයත් ඔහුගේ පෙරැත්ත කිරීම මත ඇහැටු වැවේ නාන්නටත් මුළු ගම්මානයේම කරක් ගහන්නටත් ඔවුන් ගියේලු. සිනමාවේ පෙම්වතුන් ගැන සහ ඔවුනොවුන්ගේ මිත්‍ර සබඳතා ගැන නේක දෑ පැවසූ ශ්‍රියානිගෙන් ඊළඟට මා ඇසුවේ අමුතු පැනයකි.

 

"ඔබ සිනමාවේ පෙම්වතුන් එක්ක රඟපාද්දි අමරසේන මහත්තයාට ඉරිසියා හිතුණේ නැද්ද?"

"මට ලැබුණු චරිත හුඟාක් අහිංසක ගැමි චරිත. ගොඩක් උද්වේගකර ප්‍රේම ජවනිකා රඟපාන්න මට ලැබුණේ නැහැ. එහෙම ආපු චරිත මම ප්‍රතික්ෂේප කළා. ඒ වගේම මේ හැම නළුවෙක් ගැනම අමරේ හොඳට දන්නවා. අමරේ එයාලව ළඟින් ඇසුරු කළා. ඒ නිසාම අමරේට කලාලෝකේ ගැන හොඳ අවබෝධයක් තිබුණා. ඒ වගේම අපි අතරේත් හොඳ අවබෝධයක් තිබුණා."

 

දශක පහකට අධික කාලයක් තිස්සේ ශ්‍රියානි අමරසේන නම් වූ රංගවේදිනිය ඇගේ ප්‍රතිභාව දිරී තිරය මත දිගහරින්නීය. එම කාලය තුළ ඇයට නානාවිද අධ්‍යක්ෂවරුන් සමඟ කටයුතු කරන්නට ගනුදෙනු කරන්නට ඉඩහසර ලැබී ඇත. මා ඇයව අතීතයෙන් වර්තමානයට කැඳවාගෙන ඒමට කැමැත්තෙමි. මන්දයත් වර්තමාන කලා ක්ෂේත්‍රයේ නියුතු වූවන් ගැන ඇගේ අදහස මේ ලියමනට අවැසි නිසාවෙනි. ඇය නව තාක්ෂණයත් සමඟ විවිධ අත්හදා බැලීම් කරන වර්තමාන අධ්‍යක්ෂවරුන්ගේ දක්ෂතා අගය කරයි. කොතරම් නව්‍යතා සිනමාවට දෙන්නට උත්සාහ කළද සිනමා රසිකයින් බලාපොරොත්තු වන්නේ පරණ සිනමාව බවත් ඔවුන් "ඒ කාලේ වගේ හොඳ ෆිල්ම් දැන් නැත්තේ?" මන්දැයි නිතර තමාගෙන් විමසන බවත් ඇය පැවසීය. හොඳ කතාවක් සහිත සින්දුවක් නැටුමක් බලා අත්පොලසන් දිය හැකි විසිල් ගසමින් සටන් ජවනිකා නැරඹිය හැකි සිනමාපටවලට තවමත් ප්‍රේක්ෂකයින් ආදරේ බව ඇගේ මතයයි. ශ්‍රියානි අමරසේන චිත්‍රපට නිෂ්පාදනයටද පෙළඹුණේ ප්‍රේක්ෂකයන්ට පරණ සිනමා අත්දැකීම නැවතත් ලබාදීමටය.

"අමරෙයි තව අපේ ඥාතියෙකුයි එකතු වෙලා "රිදී තැල්ල" නිෂ්පාදනය කළා. ඒක සාර්ථකව තිරගත වුණා. ගාමිණී අයියා තමයි ප්‍රධාන චරිතය කළේ. ඊටපස්සේ 1990දී මම "දෑසේ මල් පිපිලා" නිෂ්පාදනය කළා. විජය, සනත්, සබීතා ප්‍රධාන චරිත කළේ. ඒක අපි අවුරුදු හතරක් බලාගෙන ඉඳලා තිරගත කළේ. ඊටපස්සේ සිලෝන් තියටර්ස් සමඟම එක්ක "කුලගෙය" චිත්‍රපටිය කළා. ඒක අධ්‍යක්ෂණය කළේ එච්.ඩී. ප්‍රේමරත්න. ඊටපස්සේ 1997දී "තරණය" චිත්‍රපටය නිෂ්පාදනය කළා සුදත් දේවප්‍රියගේ අධ්‍යක්ෂණය යටතේ. ඒත් ඒක ඒ තරම් ආදායම් ලැබුවේ නැහැ. එහෙම තමයි ඉතින්, සිනමාවේ ලාබ පාඩු විඳීන්න එපැයි."

සිනමාවට ඇගේ ඇති කැක්කුම කොතරම්ද යත් අවසන් වචන පෙළ එයට සාක්ෂිය. පාඩු ලැබුවද මහන්සියෙන් උපයාගත් මුදල් දිය වී ගියද ඇයට සිනමාවට යමක් කළ බවට වන තෘප්තිමත් හැඟීමෙන් සෑහීමකට පත්විය හැකිය.

"නව පරපුරේ රංගන ශිල්පීන් ශිල්පිනියන් ගැන මොකද හිතෙන්නේ?" සිනමාවට තමා කළ කී දෑ සිහිපත් කරන ඇගේ සිතිවිලි වත්මන් සිනමාවට යොමු කළෙමි.

"අලුත් අය රංගනයට ආසයි. මේ ක්ෂේත්‍රයට එන්න ඕනේ රංගනය කියන එක ප්‍රධාන කරගෙන. රංගනය තුළින් වෙනත් ලාභ ප්‍රයෝජන ගන්න බලාගෙන සිනමාවට එන්න හොඳ නැහැ. ඒ වෙනුවෙන් කැප වෙලා වැඩ කළොත් තමයි රංගනයට ඇගයීම් සම්මාන ලැබෙන්නේ. චරිතවලට පිවිසෙනකොට තමන් ඒ තුළ ජීවත් වෙන්න ඕනේ. රූගත කිරීම්වලදී හුඟක් තරුණ අය මම දැකලා තියෙනවා හැමවෙලාවෙම ඉන්නේ මොබයිල් එකේ. රඟපාන වෙලාවට අපි ඉන්නේ පිටපත එක්ක. ඒ චරිතය ඇතුළේ. තරුණ රංගන ශිල්පීන් ලස්සනයි, හොඳ දක්ෂතත් තියෙන අය ඉන්නවා. නමුත් එයාලා ඔක්කොම එක වගේ. එකම මූණු තියෙන්නේ. එකම විදිහට කොණ්ඩේ හදන්නේ, එක වගේ මේකප් කරන්නේ. විවිධ චරිත රඟපාන්න, විවිධ මූණු, හැඩරුව තියෙන්න ඕනේ. අපේ කාලේ මාලිනී, අනුලා, සන්ධ්‍යා, ස්වර්ණා, පුන්‍යා, අනෝජා මේ හැමෝම එකිනෙකට වෙනස් ස්වරූප. එයාලා විවිධ චරිත රඟපෑවේත් ඒවා සාර්ථක වුණෙත් ඒ නිසාමයි. විලාසිතා කරන්න ඕනේ, ඒක නරක නැහැ. නමුත් රංගන ශිල්පිනියක් හැම චරිතයක්ම රඟපාන්න සුදුසු විදිහට සිරුර හදාගෙන තියෙන්න ඕනේ."

වර්තමාන රංගන ශිල්පිනියන් ගැන සහ ඔවුන්ගේ හැඩරුව ගැන කතා කරන ඇගේ රුව ගැන කතා නොකර බැරිය. අනූව දශකයේ උපන් මා එකල රිදී තිරයෙන් දුටු ශ්‍රියානි අමරසේනම තවමත් එසේම මා ඉදිරියේ ජීවමානව සිටින්නීය. ඇගේ ඡවි වර්ණය එසේමය. වයස අවුරුදු හැත්තෑව පසු කළ කාන්තාවකගේ මෙන් නොව ඇගේ සම තවමත් තාරුණ්‍යයේ පවතින්නීය. එසේ නොවෙනස්ව සිටින්නේ කෙසේදැයි විමසන්නට මට අවැසි විය.

 

"ඒක මගෙන් හැමෝම අහනවා. වයසට යන්නේ නැත්තේ ඇයි කියලා. විශේෂයෙන් කියලා දෙයක් නැහැ. කෑම බීම, පැවැත්ම, ව්‍යායාම සමබරව කරගෙන ගියාම හරි. මම රූපලාවණ්‍යගාරවලට යන්නෙම නැහැ. ව්‍යායාම කරලා හොඳ දේවල් කාලා බීලා හිටියාම සුදුවෙන්න ක්‍රීම් ගාන්න, කෙට්ටු වෙන්න බෙහෙත් බොන්න අවශ්‍ය නැහැ."


හැත්තෑව අසූව දශකවල සිනමා නිළියන් වැඩිහිටි කාන්තා චරිත රඟපාමින් සිනමාව ගැන පුවත්පත්පත්වලට විවිධ විවේචන සපයන වකවානුවක ශ්‍රියානි අමරසේන නම් වුණු රිදී තිරංගනාවිය තවමත් වැඩ අත්හැර නැත. සිනමාව සමඟ ගැටෙමින් සිටින්නට ඇයට තවමත් ඇවැසිය. එහෙයින් ඇය සිනමාපටයක් නිෂ්පාදනය කළාය. එය "යාත්‍රා" නම් වේ. ෂෙල්ටන් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ "යාත්‍රා" චිත්‍රපටය මෙරට තිරගත කිරීමටත් මත්තෙන් මේ වන විට ජාත්‍යන්තර සම්මාන කීපයක් දිනා ඇත. නේපාල අන්තර් ජාතික සිනමා සම්මාන උලෙළේ අවසන් චිත්‍රපට අටට තේරී ඇත.


"මම ආච්චි අම්මා කෙනෙක්. මට ඉන්නේ දුවයි පුතයි. දුව ඉනෝකා අමරසේන, පුතා සම්පත් අමරසේන. ඉනෝකාට ඉන්නවා දුවෙක්. ඉනෝකා ඉන්නේ නාරහේන්පිට. පුතායි ලේලියි ඉන්නේ අපේ ගෙදරට අල්ලපු ගෙදර. අපි පුංචි පවුලක්. ඒත් අපි සතුටින් ජීවත් වෙනවා." ඇය එසේ පවසමින් ඊට එහායින් වාඩි වී රූපවාහිනියේ මලයාලම් චිත්‍රපටයක් නරඹමින් සිටින අමරසේන මහතා දෙස බැලුවාය. ඔවුන්ගේ සතුට අමරසේන යුවලගේ ප්‍රීතිමත් මුණුවලින් සුන්දර සිනාවලින් කිව හැකිය. අද විවාහ වී හෙට වෙන් වන කූඩූ කැඩී බිදී විසුරුණු තරු පිරි කලා ලෝකයක තවමත් එකිනෙකා ගැන නිතර විමසන මෙවැනි ආදරණීය මිනිසුන් දැකීමද සතුටට කාරණයක් බව සඳහන් කළ යුතුමය. ඇගේ ඉදිරි බලාපොරොත්තුවලින් මේ සංවාදය අවසාන කරන්නට කැමැත්තෙමි.


"මට ජීවිතේ අවසාන කාලය වෙනකං රඟපාන්න ඕනේ. එහෙම අරමුණක් හිතට එනකොටත් මොකද්දෝ නව ජීවයකින් හිත පිරෙනවා. මම තවමත් ආසයි අලුත් වැඩ කරන්න, අලුත් චරිත රඟපාන්න. මම වේදිකාව, සිනමාව, ටෙලිනාට්‍ය මේ තුනම වැඩ කරලා තියෙනවා. එක තැන පල් වෙවී ඉන්නවාට වඩා හැමදෙයකින්ම අපේ දක්ෂතා පෙන්නන්න පුළුවන් නම් ඒක තමයි කලාකරුවෙක්ගෙන් වෙන්න ඕනේ දේ. මම යූටියුබ් එක බලනවා. ඒකේ යන දේවල් පවා බලනවා. කලා කටයුතු කරගෙන දරු පවුලත් එක්ක යහපත්ව ජීවත් වෙන එක තමයි මගේ එකම බලාපොරොත්තුව."