චිරං ජයතු ! ආදරණීය රොබින් අයියා

ජුනි 17, 2021

ඔහුගේ සම්පුර්ණ නම රොබින් ස්ටීවන් ප්‍රනාන්දුය. ඔහුගේ ගම කොටහේනය. පදිංචිව සිටියේ කොටහේනේ වාසල පාරේ ය. ඔහු මා මුලින්ම හඳුනා ගත්තේ 1964 දීය. එහෙත් ජීවමානව නොවේ. එවකට තිර ගතව තිබූ ‘චණ්ඩියා’ චිත්‍රපටයේ චුට්ටේ ලෙස රඟ පෑ ගාමිණී ෆොන්සේකා සමඟ පිහිණුම් තටාංගණයක කළ සටන් දර්ශනය තුළිනි. එතෙක් සිංහල චිත්‍රපටයක මා දුටු හොඳම සටන් දර්ශනය වූයේ “රන් මුතු දුව“ චිත්‍රපටයේ ගාමිණී (බන්දු) හා හෙක්ටර් ඒකනායක (රෙංගා) අතර ඇති වූ ස්වභාවික සටනය. ‘චණ්ඩියා’ චිත්‍රපටයෙන් පසු මා දුටු විශිෂ්ට සටන් දර්ශනය වුයේ ‘කපටිකම’ චිත්‍රපටයේ ඔස්වල්ඩ් ජයසිංහ සමඟ රඟ පෑ කරාටේ සටන් සහිත දර්ශනයයි. චණ්ඩියා හා කපටිකම චිත්‍රපට කිහිප වරක් නැරඹීමට මා ගියේ ඒ සටන් දර්ශන නැවත නැවත දැකීමට තිබූ කුතුහලය නිසාය.

රොබින් ප්‍රනාන්දු නම් මේ සටන් නළුවා දැසින් දැක ගැනීමට මට ලැබුණේ මා පාසල් යන කාලයේම (1968) ‘කලා’ සිනමා සඟරාවට ලියන වකවානුවේය. රොබින් මෙන්ම ‘කලා’ සිනමා සඟරාවේ සංස්කාරක ආරියරත්න කහවිට ද පදිංචිව සිටියේ කොටහේනේ එක ගෙවල් ළඟය.

මා පදිංචිව සිටි කොස්ගස්හන්දියේ සිට පයින් යන දුරක පිහිටි කොටහේනේ වාසල පාරට මා අනන්ත වාරයක් ගොස් තිබුණි. රොබින් ගැන ‘කලා’ සඟරාවට ලිපියක් ලිවීමට අවශ්‍ය බව මම කහවිටයන්ට කීවෙමි.

‘එහෙනං ඔයා, උදේ අටට විතර අපේ ගෙදර එන්න. රොබින් ඔෆීස් එකට යන්නේ ඒ වෙලාවට.’

පසු දා උදේ අටට විනාඩි 10ක් තියා මම කහවිට අයියාගේ නිවසට ගියෙමි. පාරට මුහුණ දා ඇති පුටුවට වී මම පාර දිහා බලා සිටියෙමි. කහවිට අයියාගේ සොහොයුරියන් වූ ස්වර්ණා (චිත්‍රපට නිළි) හා ශි‍්‍රයානි අක්කා ද රොබින් ගැන විපරමින් සිටියහ. උණට උණු කිරි කෝපි කෝප්පයක් මට පිළිගැන් වූ ශි‍්‍රයානි අක්කා පාර දෙස බලා සිටියාය.

“අන්න රොබින් එනවා... නංගී, අයියාට කියන්න රොබින් එනවා කියලා.” ඇය කීවාය.

කහවිට අයියා කරේ තුවාය දවටා ගෙන එළිමහනට ආවේය. අව් කණ්ණඩියක් පැලඳි කඩවසම් තරුණයකු වූ රොබින් නවතා කතා කළ රොබින් අයියාව ඔහු මට හඳුන්වා දුන්නේය.

‘මල්ලිට පුළුවන් ද හෙට උදේ 10ට මැක්වුඩ් කම්පැනියට එන්න. ලේක්හවුස් එක ඉස්සරහ තියෙන්නේ.’

මා රොබින් මුලින්ම හඳුනා ගත්තේ එලෙසය.

රොබින්ට සිනමාවට පිවිසීමට දොර කවුළු විවෘත කර දෙන්නේ ද කහවිටයන්ය. වාසල පාරේ පදිංචි සිටි කොටහේනේ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ ශිෂ්‍යයෙක් ජිම්නාස්ටික් ක්‍රීඩාවට දස්කම් පා කුසලාන රැසක් දිනාගත් ඡායාරූපයක් ඩේලි නිවුස් පත්‍රයේ ක්‍රීඩා පිටුවේ පළ වී තිබෙනු දුටු කහවිට ඔහු ගැන විමසිල්ලෙන් සිටියේය. තම නිවෙස අසලින් නිතර ඇවිද යන මේ කඩවසම් තරුණයා නවතා ගත් කහවිට දිනක් මෙසේ ඇසීය.

‘රොබින් හම්බ වෙන්න හිටියේ. කැමති නැද්ද චිත්‍රපටයක ෆයිට් සීන් එකක රඟපාන්න. ගාමිණී ෆොන්සේකා එක්ක. ‘චණ්ඩියා’ කියලා සිනමාස් එකෙන් හදන ෆිල්ම් එකක්.”

රොබින් කැමති විය. ටයිටස් තොටවත්ත අධ්‍යක්ෂණය කළ ‘චණ්ඩියා’ චිත්‍රපටයේ ගාමිණී සමඟ තිබූ සටන් දර්ශනය රූ ගත වුයේ කොටහේනේ නගර සභා පිහිණුම් තටාංගණයේ දීය. ගාමිණී හා රොබින් කරට කර සටන් කරමින් ඔවුන් පිහිනුම් තටාංගණයේ උඩ සිට පහළට පනින ඉමතෙක් ගියහ. අන්තිම දර්ශනයේ රොබින් ගාමිණීගෙන් පහරක් කා අඩි 40ක් පමණ උඩකින් පිහිනුම් ‘තටාංගණයෙන් දියට වැටෙයි. මේ දර්ශනය නැරඹීමට පැමිණි චිත්‍රපටයේ නිෂ්පාදක කේ.ගුණරත්නම් ‘වෙල්ඩන් කොටහේන බෝයි’ කියා සුබ පැතුවේය.

එතැන් සිට ‘කොටහේන බෝයි’ සිංහල සිනමාවේ එතෙක් තිබූ සටන් කලාව නව මඟකට ගෙන ගියේය. එපමණක් නොව චරිතාංග නළුවකු හා චිත්‍රපට සටන් අධ්‍යක්ෂවරයකු හා උපදේශවරයකු ද, චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු ලෙස පෑ දස්කම් ඔබ අසා ඇති.

හාර ලක්ෂය, කවුද හරි, බයිසිකල් හොරා, සිංගප්පුුරු චාලි සිහසුන, හදවත් නැත්තෝ, සිකුරුලියා, සිරිපාල හා රන්මැණිකා, අපේක්ෂා ඇතුළු චිත්‍රපට රැසක ඔහු කළ සටන් දර්ශන පේ‍්‍රක්ෂකයාගේ හදවතේ රැඳී ඇත. සිංහල සිනමාවේ දුෂ්ටයකු නොව වීරයකු ලෙස කැපී පෙණුන මුල්ම සටන් නළුවා වුයේ ඔහුය.

රොබින් ප්‍රනාන්දුගේ ජීවිතයේ සැඟවුණු යහපත් දේ ද බොහෝය. ඔහුගේ කොටහේනේ නිවෙසට යාබදව තිබුණේ දීප දුත්තාරාම අසළය. මේ පන්සලේ ආදී කර්තෘ වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවෝය.

‘මම අවුරුදු 12 දී මේ පන්සලේ වාර්ෂික පෙරහරේ දේව දුතයකු ලෙස අලියකු පිට විදී සංචාරය කළ මගේ ජීවිතයේ උතුම්ම දවසක්. මෙහිදී දොරකඩ අස්න කියවීමට ලැබීම දුර්ලභ වාසනාවක්. මා කොටහේනේ ගුණානන්ද දහම් පාසලට ගියේ. මට වඩා පන්ති කිහිපයක් පහළින් නන්දා මාලිනි හිටියේ. මම ඉගෙන ගත්තේ කොටහේනේ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ. මගේ පන්තියේ හිටිය හොඳම මිත්‍රයා එච්. ඒ.සෙනෙවිරත්න. ඔහු පසුව සම්මානනීය ලේඛයෙක්. අපේ විද්‍යාලයෙන් ලංකා විශ්ව විද්‍යාලයට ගිය ‘සෙනෙවි’ චිත්‍රපට විචාරකයෙක්. අධිනීතිඥවරයෙක්. වෘත්තිය සමිති නායකයෙක්. මට වඩා පන්ති කීපයක් පහළ පන්ති වල සිටි විජය කුමාරතුංග, රවීන්ද්‍ර රන්දෙණිය මම පාසලේ ගිනි වළලු හතරකින් පනිනවා බලන්න එනවා. පේ‍්‍රමනාත් මොරායස් මට ඉහළ පන්තියක හිටියේ ලෙනින් මොරායස්, රෝයි හඳපාන්ගොඩ, සුදේශ් ගුණරත්න, මිල්රෝයි ධර්මරත්න, මට පහළ පන්තිවල හිටියා. පාසලේ ජිම්නාස්ටික් වලට වර්ණ ලැබුවා. ‘රොබින් වරක් මට කීවේය.

රොබින් මා හා වඩාත් සමීප වූයේ ‘සරසවිය’ පත්‍රයට සම්බන්ධ වීමෙන් පසු ය. කොළඹ පාක් පාරේ පිහිටි අන්ඩසන් මහල් නිවාසයේ දිගු කලක් පදිංචිව සිටි රොබින් හමු වී මම ඔහු ගැන විශේෂාංග රැසක් ලියුවෙමි. මා සමඟ කැමරා ශිල්පීන් වූ බන්දු කොඩිකාර, රෙජී බුලත්සිංහල, උපාලි ෆොන්සේකා, මුදිත කාරියකරවන එහි ගියහ. අපට රොබින්ගේ බිරිඳ වයලට් අක්කාගෙන් ලැබූ ආදර සංග්‍රහ කිසිදා අමතක නොවේ. චන්න පුතා හා දියණිය එවකට බාල වියේ පසු වුවත් මේ දෙදෙනා අපේ පුංචි මිතුරා ද මිතුරිය ද වූහ.

රොබින් ආගමට දහමට ළැදි වත් පිළිවෙත් අකුරටම කරන සැමියෙක් බව වයලට් අපට කියා තිබුණාය. උදෑසන අවදිවන ඔහු මල් පුදා බුදුන් නොවැඳ ගෙදරින් පිටව ගොස් නැත.

දිනක් රොබින් මට ලේක් හවුසියට ටෙලිෆෝන් කර පසුව දා උදේ 7ට නාරහේන්පිට හන්දියට කිට්ටුව තිබූ පන්සලට (පන්සලේ නම මතක නැත.) එනලෙස කිව්වේය. මා එහි යන විට එතැන ලොකු පින්කමකි. රොබින්ගේ ධන පරිත්‍යාගයෙන් නිර්මාණය වූ ඒ විශාල බුදු පිළිම වහන්සේ ශාන්තව වැඩ සිටියහ. බැතිමතුන්ගේ සාධුකාර හඬ මධ්‍ය එය නිරාවරණය විය. රොබින් ඈත සිට නිරාමිස සතුටින් ඒ දෙස බලා සිටියේය. ඔහුගේ පින්බර දෑසින් සතුටු කඳුළක් නැඟිණ.

රොබින් ප්‍රනාන්දුගේ සිනමා භූමිකාව සිනමාවේදී හැරවුම් ලක්ෂ්‍ය සනිටුහන් කළ පුරාවෘත්තයක් විය.

රොබින් ගේ පියා වූ සිරිල් ප්‍රනාන්දු සේවය කර ඇත්තේ කොළඹ ඇම්.ඩී.ගුණසේන සහ සමාගමේ මුද්‍රණ අංශයේ ප්‍රධාන ෆෝමන් හැටියට ය. ලෙටර් ප්‍රෙස් ක්‍රමයේ සිට ලිතෝ තාක්ෂණය දක්වා මුද්‍රණය වූ ගුණසේන පොත්වල උසස් නිමාවකින් උසස් තාක්ෂණයෙන් නිමකිරීමේ වගකීම ඔහුගේ පියාගේ අධීක්ෂණයෙන් කළ රාජකාරියකි. රොබින්ගේ මව ලිලී ප්‍රනාන්දුය.

1937 ජුනි 15 වෙනිදා කොටහේනේ උපත ලැබු, 87 වැනි උපන් දිනය සමරන රොබින් ස්ටීවන් ප්‍රනාන්දු යනු යහපත්, මානව හිතවාදි, දහමට පරිත්‍යාගයට ළැදි මිනිසෙකි. මේ යහපත් මිනිසා නීරෝගීව, යෙහෙන් ජිවත් වේවායි පතමි. රෝගාතුරව සිටින ආදරණීය රොබින් අයියාට චිරං ජයතු.!