ඒ වෙලාවේ රඟපෑම පැත්තක තියලා ගෙදර යන්නයි ඕන වුණේ...

කාවින්ද්‍යා දුල්ශානී
ජුනි 24, 2021

 

මේ දිනවල ඇයව බොහෝ දෙනෙකු හඳුන්වන්නේ අහින්සා නැත්නම් නදී නමින්. ඒ හිරු නාළිකාව ඔස්සේ දිග හැරෙන අහස් මාළිගා ටෙලිනාට්‍යයෙත් ස්වාධීන රූපවාහිනි නාළිකාවේ දිග හැරෙන හද විල අරණ ටෙලිනාට්‍යයත් නිසාය. ඒ කාවින්ද්‍යා දුල්ශානී සරසවිය අප සමඟ කාතා කළේ මේ විදිහට.

 

කාවින්ද්‍යා ක්ෂේත්‍රයට එන්නේ කොහොමද?

2015 වසරේ අයි ටී එන් අවුරුදු කුමරිය තරගයට සහභාගී වුණා. එහි දී අවසාන දෙළොස්දෙනා අතරට එන්නට මට හැකි වුණා. ඒත් සමඟම එම නාළිකාවේම ටෙලිනාට්‍යයක් සඳහා චරිත තේරීම කළා අප දොළොස්දෙනා අතරින්. ඒ හරහා මට අවස්ථාව ලැබුණා ශාන්ත සොයිසා මහත්මා අධ්‍යක්ෂණය කළ මේඝා ටෙලි නාට්‍යයට සම්බන්ධ වීමට. ඒ විදිහට තමයි ක්ෂේත්‍රයේ ගමන පටන් ගත්තේ.

 

කාවින්ද්‍යාගේ පවුලේ විස්තර ටිකක් කියන්නකෝ?

මගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තායි මමයි නංගිලා තුන්දෙනයි. ලොකු නංගි විවාහකයි. පොඩි නංගිලා දෙන්නා තවමත් පාසල් යනවා.

 

අහස් මාළිගා හා හදවිල අරණ මේ දිනවල විකාශනය වෙනවා. කොහොමද ඒ අත්දැකීම?

හදවිල අරණ ගැන කිව්වොත් අහිංසක ගැමි චරිතයක්. සංගීත හැකියාව සමඟින් ඉදිරියට යන්න බලන චරිතයක්. එය මම බොහෝම ආසාවෙන් නිරූපණය කළ චරිතයක්. මොකද ලක්ෂ්මන් පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළේ. සර් එක්ක වැඩ කරනවා කියන්නේ මම නාට්‍ය පාසලකට ගියා වගේ. අහස් මාළිගා ගැන කිව්වොත් ඇත්තටම මගේ සැබෑ චරිතය එයට සමානයි වගේ. සම වයසේ බොහෝ දෙනෙක් ඇසුරු කරන්න ලැබුණා අහස් මාළිගා සමඟ. නදීට වගේම අහිංසාටත් හොඳ ප්‍රතිචාර තියෙනවා.

 

පළමු ටෙලිනාට්‍යය මේඝා හි පළමුව කැමරාව ඉදිරියට යනවිට මොකද හිතුණේ?

එදා මට පළමු දර්ශනය තිබුණේ නෙතලි නානායක්කාර බිමල් ජයකොඩි ප්‍රියන්ත සෙනෙවිරත්න හා මහේෂි මදුසංකා කියන රංගන ශිල්පීන් සමඟින්. එදා මට ලොකු බයක් දැනුණා. ක්ෂේත්‍රයේ සිටින දැවැන්ත ශිල්පීන් ඔවුන්. පොඩි කාලේ ඉඳලම මම කැමති බිමල් ජයකොඩිට. මට මුලින්ම රඟපාන්න බැරිවුණා. පසුව ඒ සියලු දෙනාම මට උදව් කළා. ඒ අයගේ උදව්වෙන් මට මගේ බය නැති කරගන්න පුළුවන් වුණා. පසුව එතන මට මගේ ගෙදර වගේ වුණා.

 

ප්‍රධාන චරිතයක් නිරූපණය කළ පළමු නිර්මාණය මොකද්ද?

ලක්ෂ්මන් පුෂ්පකුමාර මහත්මයාගේ සඳ එළිය ටෙලිනාට්‍යයේ තමයි මං ප්‍රථම ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ. එයත් ගැමි චරිතයක්. මගේ පෙනුම නිසා වෙන්නැති මට ගොඩක් ලැබෙන්නේ ගැමි චරිත. එහි නිර්මලි කියන චරිතයටත් බොහෝ දෙනෙක් ආදරය කළා. අදටත් කවුරුන් හෝ මා සමඟ කතා කළොත් නිර්මලි ගැනත් අනිවාර්යයෙන්ම කතා කරනවා.

 

පාරේ යනවිට නදීද කියන්නේ අහිංසද කියන්නේ?

මේ දවස්වල ඒ නම් දෙකම කියනවා. නමුත් අහස් මාළිගා වැඩි කාලයක් විකාශය වූ නිසා අහිංසා නදීට වඩා ප්‍රේක්ෂකයා වැලඳගෙන තියෙනවා. වයස් භේදයකින් තොරව හැමෝගෙම ආදරය ලැබෙනවා.

 

කාවින්ද්‍යා තවම ඉගෙනගන්නවද?

ඔව් මම තාමත් ඉගෙන ගන්නවා. මගේ උසස් අධ්‍යාපන කටයුතු කරනවා මම ඉගෙන ගන්නේ නම් ව්‍යාපාර කළමනාකරණය. නමුත් මගේ බලාපොරොත්තුව රංගනයෙන් ඉදිරියට යාම. කලාව වෘත්තීය කර නොගත්තොත් මට හිතෙනවා මා තුළින් කලාව ගිලිහී යයි කියලා. ඒ නිසාම මා මෙය වෘත්තීය විදිහට කරන්න කැමැතියි.

 

උතුරු සුළඟ ඔබේ ප්‍රථම චිත්‍රපටය ගැනත් කතා කරමු?

ඔව්. උතුරු සුළඟ සිනමාපටය චිත්‍රපට ශාලාවලට ආවත් මේ තිබෙන වසංගත තත්ත්වය හමුවේ එහි තිරගත වීම් නතර වුණා. ඇත්තටම චිත්‍රපටයක රඟපෑම මගේ ජීවීතයේ මට ලොකු අත්දැකීමක් වුණා. ටෙලිනාට්‍යවල රඟපාලා චිත්‍රපටයක රඟපෑමේ වෙනස මට තදින්ම දැනුණා. එය දැවැන්ත කාර්යයක්. එහිදී ලංකාවේ ප්‍රවීණ, දක්ෂ ශිල්පීන් සමඟ වැඩ කරන්න මට ලැබුණා. චිත්‍රපට සඳහා ආරධනා කළ මෙහි අධ්‍යක්ෂ චාමර ජනරාජ් පීරිස්ට මම ස්තූතියි කරන්න ඕන.

 

කාවින්ද්‍යා ඔබේ නිර්මාණ ගෙන බැලුවොත් ඒවයේ බොහොමයක ඔබ නිරූපණය කර තිබෙන්නේ පෙම්වතියගේ චරිතය?

ඔව්. මේ වන විට මගේ ටෙලි නිර්මාණ එකොළහක් පමණ විකාශය වෙලා තියෙනවා. ඒවායේ වැඩි හරියක් මා නිරූපණය කර තිබෙන්නේ පෙම්වතියගේ චරිතය. නමුත් මම කැමැතියි එතැනටම කොටු නොවී චරිතාංග නිළියක් වීමට. මොකද මගේ හැකියාව තුළින් මට තව තව දේ කරන්න හැකියි කියන විශ්වාසය මට තියෙනවා. මට සටන් කලාව පුළුවන්. නර්තනය පුළුවන් ඒ ඔස්සේ යමක් කරන්න ආසයි.

 

කාවින්ද්‍යාට ලැබුණ හොඳම ප්‍රේක්ෂක ප්‍රතිචාරය මොකද්ද?

මගේ පළමු ටෙලි නාට්‍යය විකාශය වනවිට එහි මගේ සහෝදරයට හිටියේ බිමල් ජයකොඩි. මට මතකයි අපිට පාරේ රූ ගත කිරීමක් තිබුණා. පාරේ ගිය පිරිමි කෙනෙක් මට හොඳටම බැන්නා. ඔයා මොකද ඔහොම හැසිරෙන්නේ? අයියට කතා කරන්න දන්නේ නැද්ද? ඇයි ඔයා අයියට ඔහොම කතා කරන්නේ? අයියට ගරු කරන්න කියලා. මට ඒ වගේ අත්දැකීමක් කලින් වෙලා නැති නිසා මං අම්මවත් ළඟට කරගෙන හොඳටම ඇඬුවා. ඒ වෙලාවේ රඟපෑම පැත්තක තියලා මට ඕන වුණේ ගෙදර යන්න.

 

මොනවද අනාගත බලාපොරොත්තු?

රංගන ක්ෂේත්‍රයේ ඉදිරියටම යාම තමයි මගේ බලාපොරොත්තුව. මම හැමදාම හිතනවා ටෙලිනාට්‍ය තුළින් හෝ සිනමාවෙන් මම හොඳම නිළිය විය යුතුයි කියලා. එය තමයි බලාපොරොත්තුව