රත්නේ හරි සීරියස්

ශාරඩ් චන්දිම සිවගුරුනාදන්
ජුනි 24, 2021

 

මුදලාලි මුදලාලි කියමින් නාඩගම්කාරයෝ නාට්‍ය තුළ සැරිසරන අපූරු චරිතයකි. ඒ රත්නෙය. කවඩියා,සරා,මුදලාලි,මනමාලන් චරිත අතරේ රත්නේද කැපී පෙනෙන අයකු බවට පත්ව හමාරය. ප්‍රේක්ෂකයන්ට දැනෙන්න එම නළුවා සාර්ථකව රඟපායි. ඒ මූණ පුංචි තිරයට තරමක ආගන්තුක බවකි. එහෙත් රත්නෙට ඇති ජනාදරයේ අඩුවක්නම් නැත. මේ සූදානම් වන්නේ එම චරිතයට පණ පොවන නව යොවුන් නළුවා හඳුන්වා දීමටය. ඒ පොඩි සිවගුරුනාදන්ය. එසේ කියන්නේ නාඩගම්කාරයෝ අධ්‍යක්ෂණය කරන ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ පුත්‍රයා ඔහු වන බැවිනි. ඔහු නමින් ශාරඩ් චන්දිම සිවගුරුනාදන්ය.

 

ඉතිං ශාරඩ්, කොහොමද? මම නිවැරිදිනම් මීට කලින් ඔබ රඟපාල තියෙනවා?

ඔවු. ටෙලි නාට්‍ය සහ චිත්‍රපට කිහිපයකටම මම රංගන දායකත්වය දැක්වූවා. මලී, අත්තම්මා, නිර්භීතයි අපි, කෝටිපතියෝ ඇතුළු ටෙලි නාට්‍යය දහයක පමණ මම රගපෑවා. ඒ වගේම තාත්තාගේ 5සමත් චිත්‍රපටයෙත් රඟපෑවා.

 

තාත්තා වෙන්න ඇති ඔබට මුලින්ම අතහිත දෙන්න ඇත්තේ?

අනිවාර්යනේම. බොහෝ අවස්ථාවන් හිමිවුණා අප්පච්චි හින්දා.

 

අප්පච්චි කැමතිද ඔබ දිගින් දිගටම රඟපානවට?

එහෙම එයාගෙ අකමැත්තක් නෑ. මම රඟපෑමට වගේම තාත්ත වගේ නිර්මාණ අධ්‍යක්ෂණයටත් කැමතියි. ඒ වගේම සංස්කරණය කටයුතුවලටත් බොහෝ ප්‍රිය කරනවා. මම ලබන වසරේ ඒ ලෙවල් ලියනවා ගණිත අංශයෙන්. ඉගෙනිම පැත්තෙනුත් වැඩ ටික කරන ගමන් කලා කටයුතුත් කරන්න තමයි අදහස් කරගෙන ඉන්නේ.

 

රත්නේ චරිතය නිරූපණය කරන්න ඇයි ඔබ කැමති වුණේ?

ඇත්තටම ඒක වෙනස්ම චරිතයක්. විශේෂයෙන්ම කියන්න ඕනේ රත්නේ තුළ තියෙන කොමඩිය සීරියස් කොමඩි එකක්. ඔහු කියන වචන හරි සීරියස්. නමුත් ඒක කොමඩියක් බවට පත්වෙනවා. මම ඒ ස්වරූපයට කැමති වුණා. නිතරම මුදලාලි මුදලාලි කියලා කියන එකත්, ගිරිරාජ් කෞශල්‍ය වැනි රංගන ශිල්පියෙකු එක්ක සීන් තිබීමත් තව හේතු වුණා මේ චරිතය ඉදිරිපත් කරන්න.

ඒත් ඔබ එක්තරා තැනක ටිකක් අපහසුවෙන් රඟපෑව කියලා දැනගන්නට ලැබුණා?

ඒක වුණේ මෙහෙමයි අයියේ. එක සීන් එකක් තිබුණා මට ෂර්ට් එක නැතුව රඟපාන්න. ඒක කරන්න මට මොකක්ද මොකක්ද වගේ. ලොකු චකිතියකින් හිටියෙ. මම කිය කිය හිටියා අඩුම තරමේ සාටකයක් වත් කරඋඩින් දාමු කියලා. නමුත් එහෙම කරන්නත් බෑ කියලා කිවවා. අන්තිමේ ෂර්ට් එක නැතුවම තමයි රඟපාන්න වුණේ. ඉතින් මම කොහොම හරි හිත හදාගත්තා කැමරාව ඉදිරියට ෂර්ට් එක නැතුව එන්න. ඔන්න ඔය සීන් එක මට ජීවිතේට අමතක වෙන්නේ නැහැ.

 

සෙට් එක ඇතුළේ තාත්තාගෙන් බැනුම් අහලා එහෙම ඇති?

ආපෝ ඕනතරම් තියෙනවා. නමුත් තාත්තා බහිනවට වැඩිය ව්‍යංගාර්ථයෙන් තමයි දේවල් කියන්නෙ. ඔන්න එක දවසක් මගේ සීන් එකක් ඉවර වෙලා ඊළඟ සීන් එක ගන්නකං මම පොඩ්ඩක් ටවුන් එකට ගියා. මම හිතුවේ නෑ ඊළඟට මගේ තියෙන ඒ සීන් එක ඉක්මනට ගනී කියලා. නමුත් මම ටවුන් එකට ගිහිල්ලා එන්න ටිකක් පරක්කු වුණා. අප්පච්චි මගේ දිහා බැලුවා ටිකක් පරක්කු වුණා නේද කියලා කිව්වා. එච්චරයි. ඒ කියපු වචන ටික ඇතුළේ දාහක් දේවල් කියවුණා.

 

ඔබ වැඩිපුරම කැමැති මොන වගේ චරිත ඉදිරිපත් කරන්නද?

මම හරිම ආසයි ප්‍රතිවීර චරිත කරන්න. අප්පච්චිගේ 5සමත් චිත්‍රපටයේ මම රඟපෑවේ දුෂ්ට චරිතයක්. ඒ වගේ චරිත කරන්න මම හරිම ආසයි.

 

ෂාරඩ්ගේ ඉස්කෝලෙත් මතක් කළොත්?

මම නුවර ශ්‍රී චන්දානන්ද බෞද්ධ විදුහලේ තමයි ඉගෙන ගන්නෙ.