විරාජ් හින්දා මට හැමදාම බැණුම්

ඉෂාන් මෙන්ඩිස්
ජූලි 1, 2021

 

මේ දිනවල නිතර බැනුම් අසන රංගන ශිල්පියෙක් අපට හමු වුණා. ඔහු මෙහෙම විවේචනවලට ලක්වන්නේ ධරණී ටෙලි සිතුවමේ විරාජ් නිසා. විරාජ් කියලා කියන්නේ සෙල්ලක්කාර දුෂ්ට චරිතයක්. විරාජ් කරන දේවල් කියන වචන හරිම දඩබ්බරයි. සමහර දේවල් නම් අනුමත කරන්නත් බැහැ. මේ හේතුව නිසා තමයි විරාජ්ට බොහෝදෙනා අකමැති. විරාජ්ගේ චරිතයට පණ පොවන්නේ නව පරපුරේ රංගන ශිල්පියෙකු වන ඉෂාන් මෙන්ඩිස්. දශකයකටත් වඩා වැඩි කාලයක් රංගන ක්ෂේත්‍රයේ කටයුතු කරන ඔහු පුංචි තිරයේ පෙම්වතා වූ අවස්ථාවන්ද බොහෝයි. එමෙන්ම ප්‍රතිවීර චරිත සඳහා ලැබෙන ආරාධනාද ඔහු කිසිවිටෙකත් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. විරාජ් තමයි ඊට ළඟම නිදසුන.

 

ඉෂාන් මේ ගෙවෙන්නේ ඔබේ හොඳම කාලය කියා කිව්වොත් එය නිවැරදිද?

නැහැ, මම මේ වෙන කොට වසර දහ හතක් පමණ ක්ෂේත්‍රයේ රැඳී සිටිනවා. මම විශ්වාස කරන්නේ මගේ හොඳම කාලය කියන්නේ 2014/15 වගේ. ඒ කාලේ මට විවිධ චරිත හම්බවුණා. එක දිගට නාට්‍ය සඳහා ආරාධනා ලැබුණා. මම හිතන්නේ මගේ හොඳම කාලය තමයි ඒ ගෙවුණේ.

 

මේ කාලය ගැන ඔබ මොකක් හරි කලකිරීමකින්ද ඉන්නේ?

කලකිරීමක් නෙවෙයි, වර්තමානය වෙනකොට වෙනත් ක්ෂේත්‍රවල හිටිය තරුණ කලාකරුවො රඟපාන්න පැමිණීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒකෙ වරදක් මම දකින්නේ නැහැ. ඔවුන්ද දක්ෂතාවයක් ඇති කලාකරුවොනෙ. නමුත් ඒකෙන් බොහෝවිට වෙන්නේ කාලයක් තිස්සේ මේ ක්ෂේත්‍රයේ කට්ට කාගෙන හිටපු නළු නිළියන්ට අවස්ථා අහිමි වෙන එක. ඒක බොහෝ දෙනාට සිදුවෙලා තියෙනවා.

 

ඒ කියන්නේ ඔබේ බඩටත් පාර වැදිලා?

බඩේ පාරක් වැදුනා කියලා කියන්නත් බැහැ. මම ඒක තමයි කිව්වේ එකෙත් දෙපැත්තක් තියනවා කියලා. නවකයෝ ක්ෂේත්‍රයට එන්න ඕනේ. රඟපානවා කියලා කියන්නේ දෙබස් කියන එකම විතරක් නෙමෙයිනේ. ඊට එහා ගිය විෂයයක්. වර්තමානය වන විට ටෙලි නාට්‍යය ඇහෙන කලාවක් බවට පත්වෙලා තියෙනවා. ඒ කියන්නේ බොහෝ දෙනා නාට්‍ය රස විඳීන්නේ කුස්සියෙ ඉඳන්. දෙබස් ටික ඇහුණාම ඇති. මං කියන්නේ දීර්ඝ ටෙලි නාට්‍යය හොඳ නෑ කියන එක නෙමෙයි. ඒ වගේම අද පිටපත අපිට හම්බුණත් ප්‍රශ්නයක් නෑ, මොන නිර්මාණයක වුණත් නිර්මාණශීලීත්වය තමයි වැදගත්. මෙගා හෝ වේවා හොඳ කතාවක් තියෙනවා නම් ඒක ප්‍රේක්ෂකයන් වැලඳ ගන්නවා.

 

හැබැයි කලින් පිටපත ලැබෙනවා නම් චරිතය ගොඩනඟා ගන්න ලේසියි?

කලින් පිටපත ලැබෙනවා නම් හොඳයි. ඒත් අපිට එවෙලෙ පිටපත ලැබුණත් අපිට හැකියාව තියෙන්න ඕනේ ඒ චරිතය ගොඩනඟා ගන්න. ඒක නිසා පිටපත ලැබෙන වෙලාව නෙමෙයි වැදගත් වෙන්නෙ.

 

අපි විරාජ් ගැන ටිකක් කතා කරමු?

විරාජ් කියලා කියලා කියන්නේ සෙල්ලක්කාර පෙම්වතෙක්. දුෂ්ට ගතිගුණ තමයි ඔහු ගාව තියෙන්නේ. මට බොහෝ වෙලාවන්වලදී ලැබුණේ කලවම් චරිත. ඒ කියන්නේ පෙම්වතාගේ චරිත ලැබුණා. ඔය වගේ දුෂ්ට චරිත ලැබුණා. මට ප්‍රශ්නයක් නෑ චරිතය මොන හැඩයේ වුණත්. ඒ තුළ මට රඟපාන්න දෙයක් තියෙනවා නම් තමයි මම චරිත බාර ගන්නේ. මේ විරාජ් චරිතය නිසා මම අනන්තවත් බැණුම් අහනවා. සමහර වෙලාවට ෆේස්බුක් එකේ ඔය සමාජ මාධ්‍ය හරහා මට කෙලින්ම බල්ලා බූරුවා කියලා බනිනවා. මම ඉතින් ඒවා බලලා බොහෝ වෙලාවල්වලට හිනා වෙනවා. ඒ වගේම ස්ක්‍රීන් ෂොට්ස් ගහලා යාළුවොන්ටත් යවනවා. ඒ ප්‍රතිචාරවලින් තේරෙන්නෙ මම චරිතයට කොච්චර සාධාරණයක් ඉටු කරලද කියලා. මම දන්නවා මේ බනින්නෙ මට නෙමේ විරාජ්ට.

මේ වෙලාවේ මතක් කරන්න ඕනේ ධරණි නාට්‍යයයේ අධ්‍යක්ෂ ශ්‍රියන්ත ප්‍රසාද්, තිරරචක නිදුක් මධුෂික, ඇතුළු පිරිසව.

 

ඔබ බොහෝවිට කෙලින් කතා කරන නළුවෙක් කියලා ප්‍රසිද්ධයි. ඒ නිසා ලැබෙන අවස්ථාවන්වලට වැඩිය නොලැබෙන අවස්ථාවන් ඇති?

අවස්ථාවන් නොලැබෙනවා නම් කොහොමත් ලැබෙන්නේ නැහැ. අද වනවිට නිර්මාණ හැදෙන්නේ දිනේට ඉන්න නළුවත් එක්ක. ඒ කියන්නේ නළු නිළියන්ගේ ස්වරූපය බලලා පිටපත් ලියවෙන්නේ නෑ. පිටපතේ තියෙන චරිතයට කිසියම්වූ නළුවෙකුට කතා කරනවා නම් මුලින්ම අහන්නේ අහවල් දින ටික තියෙනවද කියලා. ඒ දින ටිකට ඕකේ නම් චරිතයට නළුවා ඕකේ. දින ටික ඕකේ නැත්නම් ඒ නළුවා නැතුව දින තියෙන නළුවෙක් ගන්නවා. එක ඉතින් මේ නාට්‍ය සිස්ටම් එකේ තියන දෙයක්. අපි හැමෝම ඊට අනුගත වෙලා ඉන්නේ.

 

ඔබ හිතනවද ඔබේ හැකියාවෙන් නියමාකාර ප්‍රයෝජනයක් ගත්තා කියලා?

ඒක වෙන්නේ මෙහෙමයි. අපිට කොච්චර හැකියාවක් තිබුණත් වැඩක් නෑ රඟපානකොට අනිත් අන්තයෙන් සහයෝගයක් නොලැබෙනවා නම්. ඉතින් එහෙම අවස්ථාවන්වලදී අපේ හැකියාව පවා එළියට එන්නේ නෑ. රඟපෑම කියලා කියන්නේ සහයෝගයෙන් කරන්න ඕන වැඩක්. ඒ නිසා අනෙක් පැත්තෙන් ලැබෙන ප්‍රතිචාර මත තමයි අපේ හැකියාව කොපමණ දුරට ඉදිරිපත් කරනවද කියලා තීරණය වෙන්නේ. සමහර අවස්ථාවන්වලදී අපේ හැකියාව අපි උපරිමයෙන් ම පාවිච්චි කරත් අනෙක් පැත්තෙන් ඒක ලැබෙන්නේ නැහැ.

 

ඉෂාන් වැඩිපුර ජනප්‍රිය කළ චරිත මොනවාද තියෙන්න?

රෑන ටෙලි නාට්‍යයේ සුභාෂ්ගේ චරිතය. ඒ වගේම ස්නේහා නාට්‍යයේ උවසර කියන චරිත ප්‍රේක්ෂකයින් අතර ඉතාම ජනප්‍රිය වුණා.

 

මේ දිනවල ඔබ තව මොන නිර්මාණවලද රඟපාන්නේ?

ලක්ෂ්මන් පුෂ්පකුමාර මහත්මයාගේ හදවිල අරණ ටෙලි නාට්‍යයත් මතක් කරන්න ඕනේ. එකෙක් මං වෙනස්ම චරිතයක් නිරූපණය කරනවා. ලක්ෂ්මන් පුෂ්ප කුමාර කියලා කියන්නේ අපට සිටින හොඳ අධ්‍යක්ෂවරයෙක්. ඒ නිසා ඔහුගේ නිර්මාණ සඳහා ලැබෙන ආරාධනා බොහොම කැමැත්තෙන් බාර ගන්නේ.