කලාවට අවංක වුණොත් වැඩි කාලයක් ක්ෂේත්‍රයේ ඉන්න පුළුවන්

-රූපරචනා අධ්‍යක්ෂ චමිල් පතිරණ
ජූලි 1, 2021

 

රූපරචනා කලාව මේ වන විට රසිකයා ආදරෙන් වැලඳගත් කලා මාධ්‍යයක් වී හමාරයි. ගීතයක් නිර්මාණය කළ විට අනිවාර්යයෙන් එයට රූපරචනාවක් නිර්මාණය කිරීමට ගායකයා හෝ ගායිකාව පෙලඹවීමට තරම් එය ප්‍රබල මාධ්‍යක් වී හමාරයි. මෙරට රූපරචනා කලාවේ ආරම්භයේ සිට මේ වනවිටත් එහි නිරත අධ්‍යක්ෂවරුන්ගේ ලැයිස්තුවේ චමිල් පතිරණට ලැබෙන්නේ ඉහළම තැනක්. මෙරට බොහෝ ජනප්‍රිය, දක්ෂ කලාකරුවන්ගේ ගීතවල රූපරචනා ඔහු අතින් නිමවී ඇත. රූපරචනා කලාව සහ ඔහුගේ අධ්‍යක්ෂක භූමිකාව ගැන චමිල් අපිට පැවසුවේ මෙසේයි.

ඔබ ගැන හැඳීන්වීමක් කළොත්?

මගේ නම චමිල් පතිරණ. මගේ උපන්ගම වේයන්ගොඩ. මගේ පාසල ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය.

 

ක්ෂේත්‍රයට එන්නේ කොහොමද?

ප්‍රධාන ධාරාවේ කලාවට කිසිම සම්බන්ධයක් නැති සාමාන්‍ය පවුලක ළමයෙක් මම. මට පොඩි කාලේ ඉඳලාම ආසාවක් තිබ්බා විවිධ මිනිස්සු ආශ්‍රය කරන්න, එයාලා හිතන පතන විදිහ අනුමාන කරන්න. අනිත් හැමදෙයකටම වඩා මම ආස වුණේ සමාජය දිහා ඕනාවට වඩා එබිලා බලන්න. ඒ තුළින් මම ආස වුණා විවිධ කතා කලා මාධ්‍යයක් හරහා කියන්න. ඒ කාලේ ගීත රූපරචනා ලොකුවට ජනප්‍රිය නැහැ. කතන්දර කීමේ කලාව ගැන මම හොයන්න ගත්තා. ඒක මට හොඳට පුළුවන් බව දැනුණා. ඒ අතරවාරයේ මට අලුත් ක්ෂේත්‍රයක් හමුවුණා 3ච් ඒදඪථචබඪධද කියලා. චිත්‍රපට බලද්දි අපිට දකින්න ලැබෙන විශේෂ ප්‍රයෝග ගැන හදාරන්න මම යොමුවුණා. එතකොට මම උසස් පෙළ හදාරන කාලේ. මම උසස් පෙළට කළේ වාණිජ විෂයන්. නමුත් මම කැමැත්ත තිබුණේ කලාවට. චිත්‍රපට, ටෙලිනාට්‍යවලට. ඊටපස්සේ මම පෞද්ගලික ආයතන දෙකක ත්‍රිමාණ සජීවිකරණය ගැන උගන්වනවා. ඒ විෂය උගන්වමින් ඉන්නකොට මට අවශ්‍ය වුණා කලාව පැත්තෙන් මොකක්හරි වැඩක් කරන්න. ඒකේ මූලාරම්භය විදිහට කෙටි චිත්‍රපට හදලා අත්හදා බැලීම් කළා.

 

රූපරචනා ක්ෂේත්‍රයට ආවේ මේ කාලෙද?

 

ඔව්. මේ වකවානුවේදී ලංකාවේ ගීතවලට රූපරචනා හැදෙන්න ගත්තා. මට ටිකක් ඒ ක්ෂේත්‍රය ගැන උනන්දුව වැඩි වුණා. මොකද චිත්‍රපටයක් හෝ ටෙලිනාට්‍යයක් වගේ නෙමෙයි, ගීතයක රූපරචනාවක් කරලා ඉක්මන්ට ඒක රසවිඳීන්න දෙන්න පුළුවන්. ලොකු කාලයක් ගත වෙන්නේ නැහැ. මම මුලින්ම කළේ රන්දීර් විතානගේ ගීතයේ රූපරචනාව. ඒ 2009දී.

ගීත රූපරචනා ක්ෂේත්‍රයට එන්න ඔබට පූර්වාදර්ශය වුණු අධ්‍යක්ෂවරු කවුද?

මම ත්‍රිමාණ සජීවිකරණය උගන්වන කාලේදි මම දකිනවා නිලාන් කුරේ කියන අධ්‍යක්ෂවරයා කරපු "මේ රටේ මිනිස්සු" ගීතයේ රූපරචනාව. ඒක තනිකරම ත්‍රිමාණ සජීවිකරණය එක්ක කරපු නිර්මාණයක්. ඒ වගේම අප අතරින් සමුගත්ත අයේෂ් විජේරත්න කියන අධ්‍යක්ෂවරයාවත් මතක් කරන්න ඕනේ. එයා තමයි ලහිරු පෙරේරාගේ "රම්බරි" ගීතයේ රූපරචනාව කළේ. ඒකත් ත්‍රිමාණ සජීවිකරණය භාවිතයෙන් හදපු එකක්. මේ නිර්මාණ දෙක දැකලා තමයි මට හිතෙන්නේ ගීත රූපරචනා කලාවට එන්න. රූපරචනා කලාවට පරණ අය කියලා කවුරුත් හිටියේ නැහැ. මේ හැමෝම අපේ සමකාලීනයෝ.

 

මේ වන තෙක් නිර්මාණය කළ රූපරචනා අතරින් වැඩියෙන් මතකයේ රැඳෙන නිර්මාණ පෙළ ගැස්සුවොත්?

ගොඩක් රූපරචනා තියෙනවා. ජිප්සීස්ලාගේ වීඩියෝ දෙක තුනක් මම හැදුවා. ඒ අතරින් "කොත්තමල්ලි" ගීතයේ රූපරචනාව ජනප්‍රියයි. ඉරාජ් වීරරත්ගේ "පොලිසිය" ගීතයේ රූපරචනාව ගොඩක් ජනප්‍රිය වුණා. ඒකට ච්ඥපචදච ර්භඵඪජ ඍඪඤඥධ ඒඹචපඤඵ එකේ සම්මානයකුත් ලැබුණා. ලහිරු පෙරේරාගේ "මොට්ටු" ගීතයේ රූපරචනාව හැදුවේ මම. අභිෂේකා විමලවීරගේ "නිස්සාර" ගීතයේ රූපරචනාව. අශාන්ති ද අල්විස්ගේ "හැන්දෑවේ" ගීතයේ රූපරචනාව මම කළේ. හිරුෂි ජයසේනගේ "හැඟුමන්" ගීතයේ රූපරචනාව කළා. ඒකේ හේමාල් ‍රණසිංහත් රඟපෑවා. සනුක වික්‍රමසිංහගේ පළමු ගීත රූපරචනාව "මල් වියන්" හැදුවේ මම. රුවන් හෙට්ටිආරච්චිගේ "සීත මාරුතේ", උමාරියාගේ "ආයාචනා" ගීතවලත් රූපරචනා නිර්මාණය කළේ මම. සශිකා නිසංසලාගේ "චන්ද්‍රා පායන්න" තමයි මම මෑතකදි කරලා ජනතාව අතරට ගිය නිර්මාණය. මේ වෙද්දි ගීත රූපරචනා සියයකට අධික ප්‍රමාණයක් මම නිර්මාණය කරලා තියෙනවා. ඒවාට සම්මාන 16ක් විතර ලැබිලා තියෙනවා.

 

මේ රූපරචනාවල පිටපතත් ඔබේ?

ඇත්තටම මියුසික් වීඩියෝ එකක් කරන්න කවුරුහරි මට ආරාධනා කළාම මම මුලින්ම බලන්නේ එයාලගේ අවශ්‍යතාව මොකක්ද කියලා. සමහර අය හිතන්නේ ගායකයෙක්ගේ සන්නාමය මිනිස්සු අතරට ගෙන යන්න භාවිත කරන මෙවලම ගීත රූපරචනා කියලා. අපි නිර්මාණශීලීත්වයට අමතරව බලනවා කලාකරුවාගේ දක්ෂතා මිනිස්සුන්ට දෙන්නේ කොහොමද කියලා. කලාකරුවා එක්ක කතා කළාම සමහරු මට කියනවා "මාව ඕනාවට වඩා පෙන්නන්න ඕනේ නෑ, ලස්සන වැඩක් කරන්න" කියලා. සමහරු කියනවා "මාව හොඳට ගොඩනඟන්න පුළුවන් වීඩියෝ එකක් කරන්න" කියලා. අලුත් ගායකයෙක් ආවාම මම කියන්නේ සියයට පනහක්වත් එයාව වීඩියෝ එකේ පෙන්නන්න ඕනේ කියලා. නිර්මාණය වගේම ගායකයාගේ පැත්තත් මම බලනවා. මේ වෙද්දි ඉහළ තලයක ඉන්න ගායකයන්ගේ වීඩියෝ එකක් කරද්දි එයාලා කියනවා "ඔයා නිදහසේ හොඳ නිර්මාණයක් කරන්න" කියලා. උදාහරණයක් විදිහට සශිකා නිසංසලාගේ "චන්ද්‍රා පායන්න" ගීතය ඒ වගේ හැදුණු එකක්. සශිකාට අමුතුවෙන් ජනප්‍රිය වෙන්න දෙයක් නෑ. එයා කොහොමත් ජනප්‍රියයි. ඒ නිසා අපි නිර්මාණශීලීත්වය ගැන වැඩියෙන් බැලුවා. අනිත් හැම ක්ෂේත්‍රයකටම වඩා මේ ක්ෂේත්‍රය වෙනස්. අනිත් හැම කලා නිර්මාණයකම නිර්මාණය හදලා ඒකට මියුසික් දාන්නේ. නමුත් අපිට වෙන්නේ මියුසික් එකට අනුව වීඩියෝ එක හදන්න. සින්දුවක්, වචන ටිකක්, රිදම් එකක් අපිට කලින්ම ලැබෙනවා. ඒකට හරියන දේවල් එක්ක තමයි අපිට වීඩියෝ එක හදන්න වෙන්නේ.

 

ගායක ගායිකාවෝ රඟපාවන එක ටිකක් අමාරු වැඩක්. කොහොමද ඒ අත්දැකීම?

ඇත්තටම ඒක අමාරු වැඩක්. රංගනය කියන එක වෙනම විෂයක්නේ. ගොඩක් ගායක ගායිකාවන්ට රඟපාන්න බැහැ. නමුත් අපිට හිතෙනවා නම් වීඩියෝ එකට එයා රඟපාන්න ඕනේ කියලා හොඳට පුහුණුවීම් කරවලා රඟපාවනවා. බටහිර රටවල මියුසික් වීඩියෝ performance පදනම් කරගෙන හැදෙන්නේ. ඒවායේ කලාකරුවා සින්දුවේ මුල සිට අග වෙනකන්ම සින්දු කියමින් නටනවා. ඒකේ සින්දුවට අමතරව කලාකරුවාගේ සන්නාමය හදන්නේ. සමහර අයට සහජයෙන්ම performing පුළුවන්. නමුත් රඟපාන්න බැහැ. එතනුත් සමහර අයට වේදිකාවේ perform කළාට කැමරාවට බැහැ. ශක්තිමත් ජවසම්පන්න චරිතයක් විදිහට කලාකරුවාව පෙන්වන්න ඕනේ නම් මොන රූපරාමුවලින්ද රූගත කරන්න ඕනේ, ඒක මිනිස්සුන්ගේ ඔළුවට කොහොමද යවන්නේ කියන එක මම වැඩියෙන් හිතනවා. සමහර කලාකරුවෝ ඉන්නවා performance  නැති අය. එතකොට එයාලගේ තියෙන හැකියා වැඩි කරලා පෙන්වන්නේ කොහොමද කියලා හිතනවා.

 

අධ්‍යක්ෂවරයෙක්ගේ අවසාන සිහිනය සිනමාව. ඔබත් සිනමා සිහිනය දකිනවද?

චිත්‍රපට දෙකක පිටපත ලියමින් පවතිනවා. තවත් ආරාධනා ලැබිලා තියෙනවා වෙනත් ආයතන එක්ක එකතුවෙලා ටෙලි නිර්මාණ හදන්න. ඒවා ගැන කතා කරමින් පවතිනවා. ඒ වගේම Netflix මගේ Screen Platform එකකුත් හදන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒකට ක්ෂේත්‍රයේ කීපදෙනෙක් එකතුවෙලා වැඩ කරන්නත් සැලසුමක් තියෙනවා. දැන් හැමදෙයම ඩිජිටල් වෙනවා. අපිත් ඒකට අනුගත වෙන්න ඕනේ.

 

ක්ෂේත්‍රයට අලුතෙන් එන්න ඉන්න තරුණයන්ට ඔබට කියන්න යමක් ඇති?

මම කලාවට සම්බන්ධ කිසිවෙක්ම දන්නේ නැතුව විෂය හදාරමින් මේ ගමන පටන් ගත්තේ. කාලයක් රැඳීලා මේ වැඩේ කරන්න නම් කලාවට අවංක වෙන්න ඕනේ. ව්‍යාපාරික පැත්තෙන් හිතන්නේ නැතුව කලාව පැත්තෙන් හිතන්න ඕනේ කියන එක නෙමෙයි මම කියන්නේ. නමුත් කලාවට වැඩි ඉඩක් දෙන්න ඕනේ. අපි එක්කම ආපු අයගෙන් අතළොස්සයි ක්ෂේත්‍රයේ තවමත් ඉන්නේ. සමහර අලුත් අය හොඳ නිර්මාණ කරමින් ක්ෂේත්‍රයේ රැඳී ඉන්නවා. කලාවට අවංක වුණ අයට වැඩි කල් මේ ක්ෂේත්‍රයේ ඉන්න පුළුවන්. තමන් කරන වැඩේ තමන්ට රසවිඳීන්න පුළුවන් මට්ටමට අවංක වුණොත් දීර්ඝකාලීන පැවැත්මක් තියෙනවා. ඒ වගේම පොඩිම කලාකරුවාගේ ඉඳලා ලංකාවේ ලොකුම කලාකරුවා වෙනකන් හැමෝටම එකම විදිහට සලකන්න ඕනේ. හැමෝගෙම නිර්මාණ එක වගේ හොඳ කලාත්මක මට්ටමකට හදලා දෙන්න ඕනේ. මේ ටික හරියට කරනවා නම් සාර්ථක ගමනක් යන්න පුළුවන්.