පේ‍්‍රක්ෂක ආදරය නිසා මම හැමවිටම බේරුණා

-වොල්ගා කල්පනී
ජූලි 1, 2021

 

බලාපොරොත්තු රැසක් පොදි බැඳන් සිටින ඇයගේ නම ටුටුය. මේ යොවුන් තැනැත්තිය තම ආදායම සරි කරගන්නේ විදේශිකයින්ට විවිධ දෑ විකුණමිනි. ටුටූගේ ගතිගුණද රැඩිකල්ය. එමෙන්ම ඇයට ඇත්තේ රස්තා පෙනුමකි. පාර දිගේ ඇවිත් ඔබට සමීප වන ඇයගේ උවන දුටු සැණින් කවුද කියා ඔබ හොඳීන් හඳුනයි. ජනප්‍රිය රංගන ශිල්පිනියක් ලෙසින් වසර කිහිපයක් එකිනෙකට වෙනස්වූ චරිත ඔස්සේ පුංචි තිරය හැඩ කළ මේ සුරූපිනිය වොල්ගා කල්පනීය. ඇය ටුටු ලෙස රංගනයෙන් දායක වන්නේ පාර දිගේ ටෙලි සිතුවමේය.

 

වොල්ගා ඔබ රඟපාන්නේ වෙනස්ම චරිත. ඒ වගේම සමහර කාලවලදී ඔබ පෙනෙන්නටවත් නැහැ. මොකද එහෙම වෙන්නේ?

මම ඔය ප්‍රශ්නවලට මෙන්න මේ වගේ උත්තරයක් දෙන්නම්. මම එක දිගට රඟපාන්න කැමැති කෙනෙක් නෙමේ. විශේෂයෙන්ම දීර්ඝ ටෙලි නාට්‍යවල රඟපාන්න මම ටිකක් අකැමැතියි. කොටස් 100ට අඩු ටෙලි නාට්‍යවල රඟපාන එක හොඳයි කියන මතයේ මම ඉන්නවා. මොකද දිගු කලක් එක දිගට පේන කොට ප්‍රේක්ෂකයන්ට එපා වෙන්නත් ඉඩ තියෙනවා. ඒ වගේම ටිකක් වෙහෙසකර කාර්යයක්. ඉතින් මම හැම නිර්මාණයකම නැති හින්දා කාලයක් පෙනෙන්නට නැති වෙන්න පුළුවන්. හැබැයි මේ දිනවල මම පාර දිගේ ටෙලිනාට්‍යයෙ ඉන්නවා. එයට අමතරව මම විකාශය වන කිසිම නිර්මාණයක් බාර ගත්තේ නැහැ. ඒකට ප්‍රධානම හේතුව ප්‍රවීණ ඒ වගේම සම්මාන දිනූ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සුදත් රෝහණ මහත්මයගෙ නිර්මාණයකට මට ආරාධනා ලැබිලා තිබීම. ඒක ඔහු මින් පෙර නිර්මාණය කළ ටෙලි නාට්‍ය වගේම ඉතා උසස් රස වින්දනයකින් සමන්විත ටෙලි නාට්‍යයක් කියලා කියන්න පුළුවන්. ඒ ටෙලි නාට්‍යයේ චරිතයට මම ලකලෑස්ති වෙනවා. මොකද අධ්‍යක්ෂවරයා මං කෙරෙහි ලොකු විශ්වාසයක් තබාගෙන තමයි ඒ චරිතයට ආරාධනා කරනු ලැබුවේ. ඉතින් මම මගේ පැත්තෙන් ඒ චරිතයට ඉතා හොඳ සාධාරණයක් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ චරිතයේ හැඩය කොහොමද කියලා මේ දිනවල මම ලොකු අධ්‍යයනයක තමයි ඉන්නේ. ඒ නිසා මම වෙන ටෙලිනාට්‍ය භාරගත්තේ නැහැ. ඒත් පාර දිගේ ටෙලි නාට්‍ය චරිතය ඒ කියන්නේ ටුටූගේ චරිතය වෙනස් එකක් කියලා මට දැනුණා. ඒ නිසා මම එම නිර්මාණයට දායකත්වය ලබා දුන්නා. ඒ වගේම ඒ නාට්‍යයට සම්බන්ධ වෙන්න තවත් ලොකු හේතුවක් තියෙනවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනෙ ඒ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ජයප්‍රකාශ් ශිවගුරුනාදන් සහ නිෂ්පාදක චාමර සමරවික්‍රම කියන දෙන්නව. මොකද ඔවුන් මම ක්ෂේත්‍රයට ආපු මුල් යුගයේ සිට මගේ ගමනට ප්‍රබල තල්ලුවක් ලබාදුන් අය. එනිසා එවන්වූ නිර්මාණකරුවන්ගෙන් ලැබෙන ආරාධනා මට කොහොමටවත් ප්‍රතික්ෂේප කරන්න බැහැ.

 

ටුටූ ගැන වචනයක් දෙකක් කතා කළොත්?

ඇත්තටම ටුටු කියලා කියන්නේ රස්තා චරිතයක්. ඇගේ ස්වරූපයයි අඳීන පලඳීන විදිය ඉඳලම වෙනස්. ටුටු සල්ලි හම්බකරන්නේ එක දේකින් නෙමේ. වෙලාවකට සුද්දන්ට මාල වළලු විකුණනවා. පහුවෙනිදා අච්චාරු විකුණනවා. එහෙම චරිතයක්. ඒ වගේම ඇය කෙනෙකු කෙරෙහි බලාපොරොත්තුවකින් ඉන්නවා. ඉතින් මම හිතනවා මේ චරිතය ප්‍රේක්ෂකයෝ ඉතා හොඳීන් බාර ගනී කියලා. මේ වෙලාවේ මට මතක් වෙනවා ටුටූ චරිතය රඟපාන්න ගිය පළමුවැනි දවසම වෙච්ච සිදුවීමක්. අඟුලාන වැල්ලේ තමයි ෂූටිං තිබුණේ. එතන තිබුණු පරණ ජනේලයක් උඩට නැගලා තමයි මම සීන් එක කරන්න ඕන. ඉතින් මම ජනේලේ උඩ නගිද්දී එක කඩාගෙන බිමට වැටුණා. ඒ වෙලාවේ කට්ටිය හැමෝම බය වුණා. මම හිතන්නේ මට වාසනාවකට මුකුත් කරදරයක් වුණේ නෑ. නමුත් රඟපාන්න ගිහිල්ලා පළවෙනි දවසම වෙච්ච ඒ දේ කවදාවත් මට අමතක වෙන එකක් නෑ.

වොල්ගා ඔබේ පෞද්ගලික ජීවිතය ගැන කතා කළොත්,විශේෂයෙන් ම ආදරය විවාහය ගැන?

මම හිතනවා මම ආයෙ විවාහ වෙන එකක් නැහැ කියලා. විවාහය ගැන බලාපොරොත්තුවක් නෑ. විවාහය සහතිකයට සීමා වෙච්ච එකක් වෙනවටත් මම ආස නෑ. මොකද අපේ අයට ගොඩක්ම විවාහ සහතික ඕන කරන්න යම් යම් ජීවිතයේ සන්ධිස්ථානවලදී. නමුත් ආදරය කියනදේ විවාහ සහතිකයට කොටුවෙච්ච එකක් නෙවේ. එහෙම කොටු කරන්නත් බැහැ. දෙන්නෙක් එකට ඉන්නවා කියලා කියන්නේ එතැන ලොකු විශ්වාසයක් තියෙනවානේ. එක කසාද සහතිකයට එහා ගිය බැඳීමක්. සමහර අය ඉන්නවා කසාද බැඳලා ඒ පවුල් ජීවිතේ නිසියාකාරව ගෙනියන්න බැරි. එතන ආදරයක් තියෙනවද කියන එකේ ප්‍රශ්නයක්. නමුත් මට කියන්න තියෙන්නෙ මගේ ජීවිතය තුළ නැවතත් විවාහයකට බලාපොරොත්තුවක් නෑ කියන එක.

 

රංගන ශිල්පිනියකට ලංකාවෙ තියෙන පිළිගැනීම ගැන මොකද කියන්න තියෙන්නේ?

මෙතැනදි මම දකින කාරණය තමයි, බොහෝ අය හිතාගෙන ඉන්නවා රඟපාන එක හරිම ලේසි වැඩක් කියලා. සමහර අය හිතනවා ටික්ටොක් කරපු පමණින් ම රංගන ශිල්පිනියක් වෙන්න පුළුවන් කියලා. කෙසේ වෙතත් මට හිතෙනවා හොඳ රංගන ශිල්පිනියකට තවමත් සමාජයේ ඉහළ පිළිගැනීමක් තියෙනවා කියලා. ඔය බලන්න ශලනි තාරකා. ඒවගේම තිසුරි යුවනිකා. කොච්චර හොඳට අපේ ක්ෂේත්‍රයේ ඉදිරියේ වැඩ කටයුතු කරගෙන යනවද. ඔවුන් කරන චරිත දිහා බලන්න. ඒවට කැපකිරීමෙන් ඔවුන් රංගනයේ යෙදෙනවා. රංගන ශිල්පිනියක් වෙන්න ලෙහෙසි නැහැ නේද?.

 

ප්‍රේක්ෂක ආදරය නිසා ඔබ කොයි වෙලාවක හරි අපහසුතාවයට පත් වෙලා තියෙනවාද?

කවදාවත් නෑ. ප්‍රේක්ෂක ආදරය නිසා මම යම් යම් ප්‍රශ්නවලට සාර්ථකව මුහුණ දීලා තියෙනවා. විශේෂයෙන්ම මං ගැන කට කතා පළවෙද්දී. දරුණු කට කතා මං වෙනුවෙන් පළ වුණා. ඒ හැම අවස්ථාවකදිම ප්‍රේක්ෂකයෝ විසින් මාව බේර ගත්තා. ජනප්‍රියත්වය නිසා මට ඒ උදවු ලැබුණා. මං වටා ඉතා හොද බුද්ධිමත් ප්‍රේක්ෂක ජනතාවක් රැස් වෙලා ඉන්නවා. ඒ අය මගේ රංගන ගමනට වගේම මගේ කලා ගමනට,මගේ ජනප්‍රියත්වයට හොඳ ආශිර්වාදයක්.

 

ඔබගේ උස නිසා රංගනයේදී ගැටලු මතු වෙලා තියෙනවද?

විශේෂයෙන්ම අපේ තරුණ රංගන ශිල්පියෝ බොහෝ අය ටිකක් උසින් වැඩිය?

දැන් බලන්න සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහත්මයාව. මම අසා ඇති පරිදි ඔහු ලොකු උසක් තියෙන අයෙක් නෙමෙයි. නමුත් කැමරාව ඉස්සරහ මහා පෞරුෂයක් තිබුණා. ඉතින් මම හිතනවා උස මදිකම රංගනයට කිසිම බාධාවක් නෙවෙයි කියලා. මම නෙහාරා පීරිස්,චතුරිකා පිරිස් අක්කලා. අපි එක්ක උස කට්ටිය. ඒ කියන්නෙ අඩි පහේ උස කට්ටිය. කොතැනදිවත් මට ඒ උස ප්‍රශ්නයක් වෙලා නෑ. අනික මම හිතනවා ටිකක් උස අඩු වුණාම වයස අඩුව පේනවා කියලා.