මම වැඩිය පෙනී ඉන්න කෙනෙක් නෙමෙයි

- අංජලී ලියනගේ
ජූලි 1, 2021

 

ඇය නර්ථන කලාව සිය ආත්මය කොට ගත්තේය. ගල්කිස්ස උසස් බාලිකා විදුහලේ අධ්‍යාපනය ලබන කාලයේ ඇගේ අරමුණ වූයේ නර්ථන ගුරුවරියක් වීමයි. ඒ අතරතුර සුජීව ප්‍රසන්න ආරච්චිගේ “බොඳ මීදුම්” නවකතා පොතේ පිට කවරය සරසන්නට ඇගේ රුව ‍තෝරා ගන්නා ලදී. එයින් ලද අසීමිත ජනප්‍රියතාවය ඇය රංගනයට යොමු කිරීමට තරම් එය සමත්විය. එහි ප්‍රතිඵලයක් ලෙස ඇයට ප්‍රථම රංගනය සඳහා අවස්ථාව උදාවන්නේ මහා නිළි ‍රැජින මාලනි ෆොන්සේකා සමඟයි. ඒ අවස්ථාව තම ජිවිතේ හැරවුම් ලක්ෂ්‍ය බවට පත්කරමින් රංඟන කලාවේ මෙතෙක් දුර ගමනක් පැමිණිමට තරම් මහත් රුකුලක් ශක්තියක් වූ බව ඇය සඳහන් කරන්නීය. මේ දිනවල දෙරණ රූපවාහිනි නාළිකාවේ “දෙවෙනි ඉනිමේ” දෙව්මිගේ මව හෙවත් අනුෂා ලෙස මෙන්ම (ස්වාධීන රූපවාහිනියේ) සතියේ දින පහේම රාත්‍රි 7.30ට විකාශනය වන හදවිල අරණ ටෙලි නාට්‍යයේ නිමාලිගේ චරිතයෙන්ද ඇය ඉතා සාර්ථක රංගකරණයක නිරතවන්නීය. ඇය අංජලි ලියනගේ නම් වේ.

කලක් මාධ්‍ය සාකච්ඡාවලින් දුරස්ව සිටි ඔබ යළි මාධ්‍ය සාකච්ඡාවකට මෙලෙස එකතුවෙන්නේ කාලෙකින් නේද?

ඔව්. වසර දෙකහමාරක් තුනකට වගේ පස්සේ තමයි මම මෙහෙම පුවත්පත් මාධ්‍යයකට කතා කරන්නේ. මම වැඩිය ඒවට පෙනි ඉන්න කැමති කෙනෙක් නෙවෙයි. දැන් වුණත් ඔයා කතා කරපු නිසා තමයි මෙහෙම හරි සම්බන්ධ වෙන්නේ.

ඔබේ පවුලේ විස්තර මතක් කළොත්? මගේ තාත්තා වරාය අධිකාරියේ ලිපිකරුවෙක් විදිහට වැඩකළා. අම්මා ‍රැකියාවක් කරන්නේ නෑ. මට අක්කා කෙනෙක් හා නංගිලා දෙන්නෙක් ඉන්නවා.

ඔබ පාසල් ගියේ?

ගල්කිස්ස උසස් බාලිකා විදුහලට. පාසල් කාලය හරිම සුන්දරයි යාළුවන් එක්ක එකතුවෙලා ගතකරපු ඒ ජිවිතේ මට අමතක වෙන්නේ නෑ. මගේ ගමත් ගල්කිස්සෙම තමයි.

ඒ කාලේ මොනවගේ කෙනෙක් වෙන්නද අංජලී සිහින මැව්වේ?

මම පාසලේදි නැ‍ටුම් විෂයට තමයි ගොඩක්ම කැමැත්ත තිබුණේ. සමස්ත ලංකා මට්ටමින් නර්ථන අංශයෙන් ජයග්‍රහණ ‍රැසක් ඒ කාලේ හිමිකර ගත්තා. පාසල් අධ්‍යාපනයෙන් පස්සේ පියසාර ශිල්පාධිපතිගෙන් උඩරට, පහතරට, සබරගමු නර්ථනයත් හැදෑරුවා. අනාගතයේ කවදාහරි දවසක නර්ථන ගුරුවරියක් වෙලා ඇවිල්ලා මගේම පාසලට සේවය කරනවා කියන අදහස තමයි මට තිබුණේ.

නර්ථන ගුරුවරියක් වීමට හිතපු ඔබට රංගනයට පසුබිම සැකසෙන්නේ කොහොමද?

මට අවුරුදු දහ අටෙදි (18) වගේ කාලයේ සුජීව ප්‍රසන්න ආරච්චි මහතාගේ “බොඳ මීදුම්” කියන නවකතා පොතේ පිට කවරය මගේ රුවින් සරසන්නට අවස්ථාවක් ලැබුණා.ඒ කාලයේ “බොඳ මීදුම්” නවකතාව හරිම ජනපි‍්‍රයයි. ඇඟලුම් ක්ෂේත්‍රයේ ‍රැකියාවල නියුතු අය හා වෙනත් ‍රැකියාවන්වල නියුතු අයගෙන් මට ගොඩාක් ප්‍රතිචාර ලැබුණා. බොඳ මීදුම්වලින් පස්සේ අර්නස්ට් වඩුගේ මහතාගේ සුවඳ, පූජා වගේ සඟරා පුවත්පත්වලට දායක වීමටත් අවස්ථාව ලැබීම නිසා මගේ ජනපි‍්‍රයතාවය තව තවත් වැඩි වුණා. ඊට පස්සේ තමයි මට රංගනයට අවස්ථාව ලැබෙන්නේ.

 

නිළි රැජන මාලිනි ෆොන්සේකා මහත්මිය සමඟ ඔබගේ ප්‍රථම රංගනය සඳහාත් ඔබට අවස්ථාව ලැබෙනවානේ. ඒ ගැනත් මතක් කරමු? ඇත්තටම ඒක නම් මම ලබාගත්තු ලොකුම ජයග්‍රහණයක්. දෝණි කියන ටෙලි නාට්‍යයේ සුළු චරිතයක් තමයි එදා මට කරන්න අවස්ථාව ලැබුණේ. ඇයත් එක්ක රඟපානකොට මාව ආධුනිකයෙක් ලෙස කිසිවිටෙකත් ඇය සිතුවේ නෑ. ගොඩාක්ම මට සමීප වෙලා මාත් එක්ක කතා බහ කරලා ඒ වැඩේ කරන්න මට දිරිය ශක්තියක් ලබාදුන්නා. ජ්‍යෙෂ්ඨ රංඟන ශිල්පිනියක් වන ඇය මෙහෙම නම් මේ රංඟන ක්ෂේත්‍රයේ ඉන්න අනිත් පිරිසත් එහෙම ඇති කියලා මට හිතුණා. මම එදා මේ රංගන ක්ෂේත්‍රයට ඇවිත් කැමතිවෙලා ඒක වෘත්තිය මට්ටමින් කරන්න ගත්තෙත් ඒ නිසාමයි.

එතකොට අංජලි නර්ථන ගුරුවරියක් වීමේ බලාපොරොත්තුව අත් හැරියද?

ඔව්, ඒක එහෙමම නැතිවෙලා ගියා.මේ රංගන ක්ෂේත්‍රය ඊට වඩා හොඳයි කියලා මට හිතුණා.

 

දැන් රංඟන ක්ෂේත්‍රයට ඇවිත් කොච්චර කාලයක් වෙනවද? අවුරුදු දහ අටක් විතර වෙනවා.

 

ඔබ මේ වනවිට නිර්මාණ කීයකට විතර දායක වෙලා තියෙනවද?

ටෙලි නාට්‍ය පනස් දෙකක (52) විතර මම රඟපාලා තියෙනවා. ටෙලි නාට්‍යවල තමයි වැඩිපුරම රඟපාලා තියෙන්නේ. ඒ වගේම මේ වෙනකොට චිත්‍රපටත් හතරක (4) විතර රඟපාලා තියෙනවා.

ඔබ වේදිකා නාට්‍ය පැත්තට යොමු වුණේ නැද්ද?

ඇත්තටම වේදිකාව තමා හරිම තැන. පාසලේදී මම වේදිකා නාට්‍ය කිහිපයකම රඟපෑවා. ඊට පස්සේ නම් වේදිකාවට දායක වුණේ නෑ කාලය පිළිබඳ ප්‍රශ්නය නිසා. නමුත් ඉදිරියේදි අලුත්ම ආකාරයේ වේදිකා නාට්‍යයක් තුළිනුත් මං ප්‍රේක්ෂකයින් හමුවෙන්න එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

මේ දවස්වල ඔබව අපිට දකින්න ලැබෙන්නේ? දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයෙන් අනුෂා දෙව්මිගේ අම්මා ලෙසත්, ස්වාධීන රූපවාහිනියේ හදවිල අරණ ටෙලි නාට්‍යයේ නිමාලි කියන චරිතය. නිමාලි කියන්නේ තම ඥාති සහෝදරියකට සංගීත ක්ෂේත්‍රයේ ඉදිරියට යාමට හදවතින්ම කිසිදු ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු නොවි හැම අතින්ම උදව් කරන කෙනෙක්. පසුකාලීනව හෝ කිසිදු වාසියක් ගන්න නොසිතන නිමාලි ඇගේ අනාගත දියුණුව සඳහා උදව් කරන්නේ තමන්ගේම සහෝදරියක්වත් නොකරන ආකාරයටයි. මේ නිමාලිගේ චරිතයට අදවන විට මට ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. මේ නිර්මාණවල රංගන කටයුතුවලට දායක වෙන ප්‍රවීණ නළු නිළියන්, ආධුනිකයන්ගෙන් වුණත් මට යමක් ලබාගන්න තියෙනවානම් ඒ දේවලුත් අරගෙන තමයි මං මේ රංඟන කාර්යය නිරත වෙන්නේ. ඒ කණ්ඩායම්වල පිරිස් එක්ක හරිම සතුටින් විනෝදයෙන් තමයි ඒ වැඩ කටයුතු කරන්නේ.

නැවත විකාශනයක් සිදුවන අයි.ටී.එන් නාළිකාවෙන් යන ඉතින් ඊට පස්සේ, සිරස රූපවාහිනි නාළිකාවෙන් යන පැහැසරා එකේ ශීලා ටීච(ර්) ලෙසත් අනික තමයි සියත රූපවාහිනි නාළිකාවෙන් විකාශනය වන ටී‍ටුවෙන්ටි යන ටෙලි නාට්‍යවලිනුත් මේ දවස්වල මාව දකින්න පුළුවන්.

 

ටෙලි නාට්‍යවලදී ඔබගේ රංගන දායකත්වය දකින්න ලැබෙන්නේ අඩුවෙන් නේද? රංගනයේදි ඔබ ‍තෝරා බේරා ගැනිමක් සිදු කරනවාද? ඔව්,මම බොහෝ දුරට ‍තෝරා බේරාගෙන මට ගැළපෙන, කරන්න පුළුවන් විදිහේ චරිත විතරයි භාර ගන්නේ. ඒ චරිත මට මම ආවේණික බවක් හා මගේම විදිහක් මට තියෙනවා.

ඉස්සරහට භාරගත්ත වැඩත් තියෙනවද?

ලක්ෂ්මන් පුෂ්පකුමාර මහතාගේ ටෙලි නාට්‍යයක භාරගත්ත වැඩක් තියෙනවා. ඒ වගේම තව මම රඟපාපු ටෙලි නාට්‍ය කිහිපයක් ඉස්සරහට රූපවාහිනි නාළිකාවලින් විකාශනය වෙන්න නියමිතව තියෙනවා. අලුතින් චිත්‍රපටයකටත් කතා කරලා තියෙනවා. තව ප්‍රවීණ රංඟන ශිල්පී ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සුදත්ත තිලකසිරි මහතාගේ අලුත්ම ටෙලි නාට්‍යයක වැඩ කරන්නත් මට කතා කළා.මේ දවස්වල කොරෝනා නිසා කොළඹ ප්‍රදේශ කිහිපයක්ම දැන් ලොක්ඩවුන් කර ඇති නිසා ඒ වැඩකටයුතුවලට සම්බන්ධ වෙන්නත් නොහැකි වුණා.

රංගනය ගැන හැදෑරිමක් කළාද?

පාසල් අධ්‍යාපනයෙන් පස්සේ පියසාර ශිල්පාධිපතිගෙන් නර්ථනය හැදෑරුවා. ඊටත් පස්සේ ප්‍රවීණ රංගනවේදිනි අනෝජා වීරසිංහ මහත්මියගේ රංගන පාසලටත් සම්බන්ධ වුණා.

ඔබ විවාහකයි. කොහොමද පවුල් ජිවිතේ?

මගේ මහත්තයා සංගීතය පැත්තට සම්බන්ධ කෙනෙක්. අපිට දුවෙක් ඉන්නවා. ඉතින් සාමාන්‍ය විදිහට අපි පවුල් ජීවිතය ගතකරගෙන යනවා.

 

මහත්තයා සංගීතවේදියෙක් කිව්වනේ ඔහු ගැන වැඩිදුර විස්තර කියන්න කැමති නැද්ද?

ඔහු තරිඳු පෙරේරා. ඔහු සංගීත ශිල්පියෙක්.ගායකයෙක් ලෙසත් කටයුතු කරනවා. අලුත්ම ගීත කිහිපයක් කරලත් තියෙනවා. ඒ වගේම තරිඳුගේම බෑන්ඩ් එකක් තියෙනවා. ඒකේ වැඩ කටයුතුත් කරනවා. සංගීත ශිල්පියකු ලෙස විදෙස් රටක ඉඳගෙන ඒ පිළිබඳව වැඩිදුර අධ්‍යාපනයක් හදාරලා අත්දැකිම් ‍රැසක් ලබපු අයෙක්. මහත්තයගේ පැත්තෙන් එයාගේ අම්මා,තාත්තා, සහෝදර සහෝදරියන්ද ඇතුළුව ලොකු පවුලක්. ඔවුන් ඔක්කොම එක්ක තමයි අපි ඒ ගෙදරට වෙලා එකට ජිවත් වෙන්නේ. අපි හරිම සතුටින් කාලය ගත කරනවා.

 

කොරෝනා නිවාඩුව කොහොමද?

මමයි මහත්තයයි එකතුවෙලා අලුතින්ම කොරෝනා ගැන ගීතයක් නිර්මාණය කරලා අන්තර්ජාලයටත් (යූටියුබ්) එය දැම්මා. ඉදිරියේදි අලුත්ම ව්‍යාපාරයක් කරන්නත් හිතාගෙන ඉන්නවා. අපි ඒකත් දැන් ප්ලෑන් කරගෙන යනවා. ඒකත් ඉස්සරහට කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

අනාගත බලාපොරොත්තු මොනවද? හොඳින් ‍තෝරා බේරා ගෙන ප්‍රේක්ෂකයින්ට වඩාත් සමීප වියහැකි නිර්මාණවලට දායකවෙමින් රංගනයේ නිරතවෙන්න බලපොරොත්තු වෙනවා. අද මේ ක්ෂේත්‍රයට එන්න පුළුවන් ඕනෑම කෙනකුට එහෙම ඇවිත් තමන්ගේ තත්ත්වය එලෙසම රඳවා තබා ගනිමින් කටයුතු කරගෙන යෑම තමයි තියෙන ගැටලුව වෙන්නේ. මගේ මහත්තයගේ සංගීත වැඩකටයුතුවලටත් මම සහයෝගය ලබාදීමත් කරනවා. ඔහු මේ වනවිට අලුතින්ම ගීත කිහිපයක්ම කරලත් තියෙනවා.

කලාවේ මෙතෙක් ආ ගමනේදී ඔබට මතක් කළයුතු පිරිස් එහෙමත් ඇති නේද?

ඔව්. හෙළයේ මහා නිළි ‍රැජිණ මාලනි ෆොන්සේකා මහත්මිය සමඟ මට ප්‍රථම ටෙලි නාට්‍ය රංගනයට එක්වීම සඳහා අවස්ථාව ලැබීම මම ලබපු ලොකුම ජයග්‍රහණයක් සහ වාසනාවක්. එහිදී ඇය මාව ආධුනික නිළියක් ලෙස නොසිතා ලබාදුන් සහයෝගය ඉතාම වටිනවා. මා ඇගෙන් යමක් එහිදි ඉගෙන ගත්තා. ඒ අවස්ථාව මට ජීවිතේ කොහොමත්ම අමතක වෙන්නේ නෑ. ඒ වගේම සියලුම නිර්මාණ වැඩකටයුතුවලදි ඒවාට දායකවෙන ප්‍රවීණයන් මෙන්ම ආධුනිකයන් ඇතුළු ඒ ඒ සියලු කණ්ඩායම්වල අයටත් ඒ කාර්ය මණ්ඩලවල පිරිස් ලෙසත් ඔවුන් ආධුනිකද ප්‍රවීණද කියලා මට ප්‍රශ්නයක් නෑ. ඔවුන් ඕනෑම කෙනෙක්ගෙන් මට යමක් ඉගෙන ගන්න තියෙනවා නම් ඒ දේ මම නොපැකිළව ලබා ගන්නවා. මම එයාලගෙන් පවා මගේ යම් යම් අඩුපාඩු තියෙනවද කියලා අහලා බලනවා.