මම නිෂ්පාදකවරියක් වුණේ කරුණු තුනක් නිසා

- නුවන්ගි ලියනගේ
ජූලි 1, 2021

 

කලා ලොවට ඇයගේ ආගමනය සිදුවුයේ සිංහල සිනමාව තුළිනි. ඉන් අනතුරුව ඇයට වැඩිම ටෙලිනාට්‍ය සංඛ්‍යාවකට රංගනයෙන් දායක විමටද අවස්ථාව උදාවිය. එදා සිට අද දක්වාම ඇය දශක දෙකකටත් වැඩි කාලයක සිට කලාවේ නිරතවන්නීය. ඒ රංගන ශිල්පිනියක් නාට්‍ය මෙන්ම විවිධ වැඩසටහන් හඬ කැවිම් ශිල්පිනියක් හා ගායන ශිල්පිනියක්ද ලෙසයි. එපමණක් නොව මැතක සිට ඇය ටෙලිනාට්‍යයක නිෂ්පාදකවරියක් ලෙසින් ද කරළියට එක්ව ඇත්තේ සිය නිසග කලා ප්‍රතිභාවන් මනාව විදහා දක්වමිනි. දෙරණ රූපවාහිනි සේවය තුළින් සතියේ දින පහේම රාතී‍්‍ර 8.00 ට යන සංගීතේ ටෙලිනාට්‍යයේ දසුන්ගේ මව ලෙස මෙන්ම, දෙරණින්ම සති අන්තයේ දින දෙකෙහිම රාතී‍්‍ර 10.00 ට විකාශනය වන මිහි ටෙලි නාට්‍යයේ දේශාන්ගේ මව ලෙසින්ද, ඇය අපේ ආලින්දය සරසන්නීය. කලකට පසු සරසවිය හා කතාබහට එක්වු ඇය ප්‍රවීණ ජනපි‍්‍රය රංගන කලා ශිල්පිනි නුවන්ගි ලියනගේය.

ආයුබෝවන් රංගන කලා ශිල්පිනි, නුවන්ගි ලියනගේ මහත්මිය.

ඔව්, කතා කරනවා. කියන්න කවුද මේ

මේ සරසවිය පත්තරෙන් කතා කරන්නේ.

කාලෙකට පස්සේ මේ දිනවල ඔබ ආයෙමත් පුංචි තිරය තුළින් ප්‍රේක්ෂකයින් අතරට ඇවිත්,

ඔව් දෙරණ රූපවාහිනි නාළිකාවෙන් සතියේ දින පහෙන් (05)හා සති අන්තයේ දින දෙකෙන් (02) සංගීතේ හා මීහී යන ටෙලි නාට්‍යවලින්

 

කලාවට ඔබේ ආගමනය සිදුවූයේ වේදීකාවෙන්ද? එහෙම නැතිනම් සිනමාවෙන්ද?

සිනමාවෙන් තමයි මම ප්‍රථමයෙන්ම රංගන ශිල්පිනියක් ලෙස කලාවට එකතු වෙන්නේ.

 

ප්‍රථම රංගනය ගැන මතක් කළොත්?

චිත්‍රපටයකට තමයි ප්‍රථමයෙන්ම කියලා රංගනයෙන් දායක වූණේ. ඒ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයාගේ “වෑකන්ද වලව්ව” කියන චිත්‍රපටය සඳහා ඇත්තටම ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා වැනි කෙනෙක්ගේ චිත්‍රපටයකට ප්‍රථමවරට මට රඟපාන්න අවස්ථාව ලැබීමත්ම ලොකු වාසනාවක් භාග්‍යයක් කියලයි මට නම් හිතෙන්නේ.

 

සිනමාවෙන් එලෙස ගමන ආරම්භ වුණත් ඔබ වැඩිපුරම අදටත් ටෙලි නාට්‍යවලින් තමා අපිට දකින්න ලැබෙන්නේ.

ඒක ඇත්ත. ටෙලිනාට්‍යවල වැඩ කරන්න තමයි මට ගොඩාක් දෙනා ආරාධනා කරන්නේ.

 

එතකොට දැන් ටෙලිනාට්‍යයට කීයක විතර රඟපාලා තියෙනවාද?

ටෙලිනාට්‍ය නම් තුන්සීයකටත් (300) වැඩියි.

 

මේ දවස්වල යන සංගීතේ හා මීහි ටෙලි නාට්‍යවල ඔබ රඟපාන්නේ මව්වරුන්ගේ චරිත. වැඩිපුරම කරලා තියෙන්නේ මව්වරුන්ගේ චරිතමද?

නෑ එහෙම නෑ. මම නිර්මාණ රැසකම වාගේ විවිධාකාර චරිත රැසක්ම රඟපාලා තියෙනවා.

 

මෙතෙක් රඟපාන්න නොලැබුණු කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න චරිත එහෙමත් තියෙනවාද?

රංගන ශීල්පියෙක් හෝ ශිල්පිනියක් කියන්නේ තමන්ට කරන්න ලැබෙන චරිතවලින් කවදාවත් සෑහීමකට පත්වෙන අය නොවේ. මමත් ඒ වගේ හොඳ චරිත ගොඩක් මටත් කරන්න ලැබිලා තියෙනවා. ඒත් තවත් වෙනස් චරිත කරන්න කැමතියි. මෑත කාලයේ ඒ විදිහේ චරිතයක් මට කරන්න ලැබුණත් පසුගිය දා දෙරණ නාළිකාවෙන් විකාශනය වූ තුෂාර තෙන්නකෝන් මහතා (අද දෙරණේ යන මීහි ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ) අධ්‍යක්ෂණය කළ රාවණ ටෙලි නාට්‍යයේ මම කැමැත්තෙන් තමයි ඒ චරිතය නිරූපණය කළේ. ඒ ගැන ඔහුට ස්තුතිවන්ත වෙනවා. මට ලැබෙන ඕනෑම විදිහක චරිතයක් කරන්න මම කිසිදු විටෙක පසුබට වෙන්නේ නෑ.

 

එදා ඔබේ කාලයේ සහ අද වර්තමානයේ නාට්‍ය කලාව පිළිබඳව ඔබේ අදහස

කලාව කියන්නෙම කාලයත් එක්කම වෙනස් විය යුතු, අලුත් විය යුතු දෙයක්. මොකද ලෝක සිනමාව හා නිර්මාණ සමඟ අපටත් ඉදිරියට යන්න වෙනවා. කාලය කවුරු නිසාවක් නවතින්නේ නෑ. අපේ වයස වගේම ඒකත් ඉදිරියට යනවා. නවීන තාක්ෂණය උපයෝගි කර ගනිමින් තරුණ නිර්මාණකරුවන් දක්ෂ ලෙස අලුත් රැල්ලක් බිහි කරලා තියෙනවා. ඔවුන් ලෝකයත් සමඟ දිනෙන් දින අලුත් වෙමින් ඉදිරියට යනවා. මේක අපි අඟය කළ යුතු දෙයක්. අලුත් දේවල් එකතු වෙනකොට තමයි කලාව වුණත් රසවත් වෙන්නේ.

 

එදා සහ අද බිහි වෙන අයගේ වෙනසක් ඔබ දකිනවාද?

ප්‍රවීණ හා නවක යන වචන දෙකේම ලොකු වෙනසක් තියෙනවා. ප්‍රේක්ෂකයන් රසිකයින් එදා හිටපු ප්‍රවීණයන්ට අදටත් ගොඩාක් ආදරේ කරනවා. ගරු කරනවා. අද එන නවකයන් කීයෙන් කීදෙනා ද එහෙම රඳා පවතින්නේ. අපි ප්‍රවීණයන්ගෙන් උගත යුතු දේ බොහොමයි. අපි ඔවුන්ට ගරු කළ යුතුයි. නව පරපුරේ අලුත් ශිල්පීනුත් බිහිවිය යුතුයි. ඒ ගැන මගේ කිසිම තර්කයක් නෑ. මමත් ඔවුන් සමඟ සහයෝගයෙන් වැඩ කරනවා. ඒ වගේ විනය කියන දේ ඕනෑම කෙනෙකුට සුන්දරයි. කලාව හෝ වෙනත් ක්ෂේත්‍රයක වුණත් අදාළ වෘත්තිය ගැන දැනුවත්කම සහ හා විනයානුකූල පැවැත්ම තුළින් දිගුකල් රදා පවතිනවා. ප්‍රවීණයන් හා සමහර නවකයින් අතර මා මේ හිඩැස දකිනවා.

 

රංගනයෙන් ඔබ්බට ගොස් මෑතකදී ඔබ නිෂ්පාදන කාර්යටත් දායක වෙනවා නේද?

ඔව්, නඩු අහන වලව්ව, පාරක් නොමැති ගෙයක් යන ටෙලි නාට්‍යවල නිෂ්පාදකවරියක් ලෙසත් මම ඒ කාර්යයටත් දායක වුණා.

 

ඔබ නිෂ්පාදකවරියක් වීමට මෙච්චර පරක්කු වූණේ ඇයි?

ඒකට මූලික හේතුව තමයි මගේ වෘත්තිය මෙයම වීම. මගේ දෙමව්පියන්ගෙන් මට ලැබුණූ මුදලකින් හා මා මේ වෘත්තිය තුළින් උපයා ගත් මුදල්ද ටිකෙන් ටික එකතු කරගෙන තමයි මේ නිෂ්පාදන කාර්යයන්ට ඒ මුදල් යොදවලා එහි වැඩකටයුතු සිදු කිරීමත් ආරම්භ කළේ. අපේ රටේ කලා ක්ෂේත්‍රයේ පවතින ආර්ථික කළමණාකරනය ඇතුළේ අපේ වටිනාකම මනින්නේ බෙහොම අඩු අංකවලින්. නාට්‍යයක් නිෂ්පාදන කරන්න විශාල මුදලක් අවශ්‍යයි. මම නිෂ්පාදන කාර්යයට එන්නේ කරුණු 03 ක් සදහායි.

1. ක්ෂේත්‍රය පෝෂණය කරමින් හොඳ නිර්මාණ බිහි කිරිමයි.

2. සහෝදර කලාකරුවන් හට අදාල වෘත්තියක් ලබා දීමයි.

3.මගේ රංගන කුසලතා තව තවත් වැඩි දියුණු කර ගැනීමටයි.

මේ සියලු දේවල් සමඟ එයින් මට පුංචි ලාභයක් තිබුණොත් ඇති. ඒත් නිෂ්පාදකවරියක් විදිහට ආර්ථික කළමනාකරණය ඇතුළේ මමත් අර්බුද රැසකට මුහුණ දෙනවා. නාට්‍යවලට සාධාරණ වටිනාකමක් නොලැබන නිසා නමුත් අභියෝගවලට මුහුණ දෙමින් ඉදිරියටත් නිෂ්පාදන කාර්යයේ යෙදෙන්න තමයි මගේ අධිෂ්ඨානය.

 

අද නවක පිරිස් රැසක් ක්ෂේත්‍රයට ඇවිත් එදා බිහිවුණු අද බිහිවෙන අයගේ වෙනසක් ඔබ දකිනවාද?

ඒ කාලයේ හරිම අමාරුයි මේ ක්ෂේත්‍රයට ඇතුළු වෙන්න. දක්ෂතාවය මතම පරික්ෂණ වට කිහිපයකින් පසුව තමා නිර්මාණයක පොඩිපොඩි අවස්ථා අපිට ලබා දුන්නේ. එදා එතැනින් නියම ප්‍රමිතිගත ශිල්පියෙක් හෝ ශිල්පිනියක් බිහිවෙලා ඔවුනගේ රදා පැවැත්මක් පවා ක්ෂේත්‍රය තුළ හදා ගත්තේ ඒ හරිම අමාරුවෙන් දහදුක් විඳලා. අද එහෙම නෑ පෞද්ගලික රූපවාහිනි නාළිකාවන් රැසක්ම මේ වනවිට ටෙලිනාට්‍යවල නිෂ්පාදනයට එක්වෙලා තියෙනවා. ඒ තුළින් මේ ක්ෂේත්‍රයට නවක පිරිස් රැසැක්ම එළියට එනවා.

 

ඒ කියන්නේ ඔබත් වෘත්තිය කලා ශිල්පිනියක්ද?

ඔව්, මම මෙය වෘත්තිය ලෙස කරගෙන යන්නේ. දැනට මම රංගන ශිල්පිනියක්, හඬ කැවීම් ශිල්පිනියක්, ගායන ශිල්පිනියක් ලෙසත් ක්ෂේත්‍රයේ දිගටම රැඳී ඉදිමින් වැඩකටයුතු සිදු කරගෙන යනවා.

 

ඔබේ ගමන සිනමාවෙන් ආරම්භ වුණේ. චිත්‍රපටයක් ඔබ විසින්ම කරන්න වගේ අදහසක් නැද්ද?

එහෙම නැතිවාමත් නොවෙයි. මම අර මුලින්ම කිව්වා වගේ ආර්ථික ප්‍රශ්නය ඒකටත් මූලික වූණේ. ලංකාවේ කලාවට කලා ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට අද තිබෙන තැන වටිනාකම මොනවාගේද? අපේ රටේ කලාවට අද තිබෙන තැන ලැබෙන අනුග්‍රහය මොනවගේද? ඉතා අවම මට්ටමක හැම දෙයක්ම වගේ තියෙන්නේ. ඒ ගැන ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.ඇස් පනාපිටම පේන්නම ඒ තත්ත්වය දැන් තියනවනේ. දැනටපවතින කොවිඩ් වසංගත තත්වයත් එක්ක එයින් අද වනවිට කලාවට සෘජු බලපෑමක් ඇතිවෙලා තියෙනවා. විශේෂයෙන්ම චිත්‍රපට කර්මාන්තයට. එහෙම බලද්දි චිත්‍රපටයකට විශාල මුදලක් යට කරලා එය හඳලා ඒක පෙන්වන්නත් පුළුවන් තත්ත්වයක් නොවෙයි අද තියෙන්නේ.

 

අවසාන වශයෙන් ඔබට යමක් කියන්න තියෙනවාද?

මෙතෙක් මාව කලාවේ විවිධ නිර්මාණවලට දායක කර ගත්තු සියලුම අධ්‍යක්ෂකවරු, නිෂ්පාදකවරුන් හා රූපවාහිනි මාධ්‍ය නාළිකාවලටත් විශේෂයෙන්ම මෙම අවස්ථාවේ මට කතා කළ සරසවිය පුවත්පතටත් විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔබටත් විවිධ අයුරින් මට හැම වැඩකටයුත්තකදීම සහාය ලබාදෙන සියලු දෙනාටම මෙන්ම ප්‍රේක්ෂක ශ්‍රාවක ජනතාවටත් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඉදිරියේදිත් මං විවිධ කලා නිර්මාණවලින් ඔබ හමුවට පැමිණෙවි.