මනමාලන් නිසා දැන් මට හරි මහන්සියි

නාඩගම්කාරයෝහි මාලන්, කෝකිල පවන් ජයසූරිය
ජූලි 8, 2021

 

කිරිඉබ්බන්දෙණියේ සිරිමල් අදටත් සිරි රජ සිරි සිනමා සිත්තම නරඹන විට අපේ ඇසට කදුළක් ගෙනෙන්නේ පුංචි කෝකිලගේ රංගනය එතරම්ම අපේ හදවත් හොරකම් කළ නිසාය. කුඩා කල සිටම තම රංගන කුසලතාව වගේම ගායන හැකියාවත් මොනවට ප්‍රකට කළ කෝකිල අද බොහෝ කලා හැකියාවන්ගෙන් පිරිපුන් විවාහක තරුණයෙකි. මේ දිනවල ස්‍වර්ණවාහිනි නාළිකාවේ දිග හැරෙන නාඩගම්කාරයෝහි අපූරූ රංගනය නිසා ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක්, ප්‍රසාදයක් දිනා ගනිමින් ජනප්‍රියත්වයේ ඉහළ තැනක ඉන්න මනමාලන් නැත්නම් කෝකිල පවන් ජයසූරිය කාර්යබහුල අවස්ථාවක වුණත් ඉතාම හෘදයාංගමව අප හා කතා කළේ මේ විදිහටය.

 

කෝකිලට කොහොමද මනමාලන් වෙන්න වුණේ?

අකිල සපුමල් අයියා තිර රචනා කළ 'තිරය ඇරපන්' ටෙලිනාට්‍යයේ ශිවගුරුනාදන් මාමා එක්ක වැඩ කරන්න ලැබෙනවා. එය තාම තිරගත වුණේ නැහැ. ඒකත් එක්ක සිවා මාමා එක්ක ගොඩනැඟුණ සම්බන්ධතාව උඩ තමයි මට මාලන් කියන චරිතය ලැබෙන්නේ. ඒත් මාලන් මනමාලන් කරන්නේ මගේ ආදරණීය අයියා සජිත අනුත්තර.

 

කෝකිල මේ ගමන්මඟ ආරම්භ කළ ආකරය මතක් කරමු?

ඔව්. මගේ මුල්ම වේදිකා නාට්‍යය 2005 අවුරුද්දේ වේදිකාගත වෙන්නේ. බන්දුල කුරුවිට මාමා අධ්‍යක්ෂණය කළ රාජ්‍ය ළමා නාට්‍ය උලෙළට විවෘත අංශයෙන් තරග වැදුණු නාට්‍යය. මගේ පාසලේ නාට්‍ය ගුරුතුමිය කෝකිලානී ප්‍රසංගිකා ගුරුතුමිය මඟින් මට අවස්ථාව ලැබෙනවා ස්වර්ණවාහිනී 'හපන් පැදුර' හා සම්බන්ධ වෙන්න. එතැනින් පසුව මම වාසනාවන්ත වෙනවා ජයලත් මනෝරත්න මාමාගේ 'තලමල පිපිලා' වේදිකා නාට්‍යයට සම්බන්ධ වෙන්න. හේතුගේ චරිතයයි මා එහි නිරූපණය කළේ. එතැනින් පසුවයි මට 'සිරි රජ සිරි' චිත්‍රපටය ලැබෙන්නේ. සෝමරත්න දිසානායක මාමා හා රේණුකා බාලසූරිය නැන්දා ඉතාම ආදරයෙන් මතක් කරනවා මේ වෙලාවේ. මාව ළමා සිනමා තරුවක් කරලා මට අන්තර්ජාතික සම්මානයක් අරන් දුන්නේ ඔවුන් දෙදෙනා. එතැනින් පස්සේ ආනන්ද අබේනායක මාමා, දමිතා අබේරත්න නැන්දා, මහේෂ් රාජකරුණා, ඔය ආදී වශයෙන් ලංකාවේ දැවැන්ත චරිත සමඟ වැඩ කරන්න ලැබෙනවා. ඔය අතරේ මට සම්මාන ලැබෙනවා. ඔය කාලෙදිම මට හඬකැවීම් ශිල්පියෙක් විදිහටත් වැඩ කටයුතු කරන්න අවස්ථාව ලැබෙනවා. අද වන විට ටෙලිනාට්‍ය රංගනයටද එකතු වී ඉන්නවා.

 

කාලයක් නිහඬ වෙලා හිටියා නේද?

අපේ ජීවීතේ ලොකුත් නැති පොඩිත් නැති කාලයක් එනවනේ. ඒ කාලෙදි මගේ රංගනයත් නවතිනවා. හඩකැවීම් කරන එකත් නවතිනවා. ඔය කාලෙදි මම නිර්මාණවල යෙදෙන්නේ නෑ. අධ්‍යාපන කටයුතු සමඟ ඉස්සරහට යනවා. ඒ කාලය තුළ මට යම් යම් නිර්මාණවලට කතා කළත් හරි චරිතයක් ලැබෙනකම් මම රංගනයක් කළේ නෑ. ඔය කාලේදි මියුසික් වීඩීයෝ රැල්ලක් ආවා. මටත් එක දිගට ආරධනා ආවත් ඒ රැල්ලෙන් බේරෙන්න මට පුළුවන් වුණා. ඉන්පසුව මට සමීර කසුන් අධ්‍යක්ෂණය කළ 'දාංගලේ' ටෙලිනාට්‍යය සඳහා ආරාධනා ලැබුණා. එය ප්‍රධාන චරිතයක් නොවුණත් ඒ චරිතය තුළ කරන්න යමක් තිබුණ නිසා එය භාර ගත්තා. ඔය විදිහට තමයි මේ ගමන ආයෙම පටන් ගත්‍තේ.

 

කෝකිල වේදිකාව අත්හැරලද?

පාසලේ වේදිකාව තුළ හැම අංශයකින්ම මම හොඳම නළුවා වෙලා තියෙනවා. එක අවුරුද්දක මම හොඳම නළුවා සම්මාන දෙකක් හිමිකරගත්තා සමස්ත ලංකා මට්ටමින්. කෙටි වේදිකා නාට්‍යයක් සඳහා මට ආරාධනා ලැබුණා මගේ සහෝදර කසුන් ලියනගේගෙන්. දමින්ද නන්දරතන අයියගේ 'සෆාරියක් හා සවාරියක්' වේදිකා නාට්‍යයටයි මා අවසාන වශයෙන් සහභාගී වුණේ. ඔය කාලයේදී මම ආයෙම ටෙලිනාට්‍යවලට සහභාගී වීම නිසා වේදිකාවෙන් පොඩ්ඩක් ඇත් වුණත් මම කවදත් ආසම තැන වේදිකාව.

 

මාලන්ගේ චරිතය කෝකිලට ලැබුණම ඔබ එය මේ ආකරය යැයි මේ චරිතය කියවගත්තේ කොහොමද?

මෙය දිගු නාට්‍යයක්. මාලන්ගේ චරිතය කියවලා ඉවර කරන්න බැහැ. එහෙත් මේ චරිතය කොහොමද පටන් ගන්නේ කියන එක සම්බන්ධයෙන් විතරයි මට අවබෝධ කරගන්න පුළුවන්. මේ චරිතය තිබෙනවාට වඩා නැති දේවලුත් උලුප්පා පෙන්නන, සෝබනකාරී, කාරයක් පදවන පුද්ගලයෙකුගේ චරිතයක්. මට වාහන එලවන්න පුළුවන් වෙන්න ඕනේ. කැඩුණ ඉංග්‍රිසි කතා කරන්න පුළුවන් වෙන්න ඕනෙ. මාලන්ගේ ඇවිදීමත් හරිම වෙනස්. කතබහ වෙනස්. මගෙ සැබෑ චරිතයෙන් බොහෝ වෙනස් මේ චරිතය. මම හිතුවා මේ චරිතයේ යම් අතිශයෝක්තියක් තියෙනවා කියලා. හැම පුද්ගලයෙකුටම ඕවර් ඇක්ටින් එකක් තියෙනවා. එක තැනකදි මම හිතනවා මාලන්ව මම මේ අතිශයෝක්තියෙන් රඟපානවා කියලා. හැබැයි මම එය කළේ හිතේ කුකුසකින්. ඒ අතිශයෝක්තිය ප්‍රේක්ෂකයා පිළිගනියිද නැද්ද කියන ප්‍රශ්නය මට තිබුණා. සද්දා මංගල සූරියබණ්ඩාර අයියාගේ පිටපතේ හිටපු මාලන්ට මම ලොකු ජවයක් දුන්නා. මගේ ජීවීතේ මම වේදිකා නාට්‍යයකට ඇරෙන්න වැඩියෙන්ම ජවයක් දීලා කරපු රංගනය තමයි මෙය. මට හරි මහන්සියි මේ මාලන් කරද්දි.

 

ඒ අඩුම කුඩුම ටික ගාණට මිම්මට යොදා ගත්තේ කොහොමද?

රංගන ශිල්පියෙක් නෙවෙයි මම තාම. මම ශිල්පියෙක් වෙන්න උත්සාහ දරන කෙනෙක්. කාලයක් වැඩ නොකර ඉගෙනගත් දෙයින් මගේ පුස්තකාලයේ ගබඩා කරගත් දේ තමයි මේ. මාලන් කියන්නේ එක් පුද්ගලයෙකුගේ අනුකරණයක් නෙවෙයි. මේ මම හොයාගත් මගේ පුස්තකාලයේ තියෙන දේවලින් තමයි මාලන් ගොඩනඟන්නේ. මාලන් භාවිත කරන ඉංග්‍රීසි වචන ඇත්තටම මම කලින් හිතාගෙන ඇවිත් දාගන්න ඒවා නෙවෙයි. ඒ මොහොතේ මම පෙළ කියවනවිට චරිතය තුළ ජීවත් වෙමින් තමයි මම පෙළ කියවන්නේ. ඒ වෙලාවට මට හිතෙනවා මෙන්න මේ අවස්ථාවට මෙය භාවිත කළ හැකියි කියලා. එය මම ශිවා මාමා එක්ක කතා කරගෙන ඒ වගේම මා සමඟ රංගනයේ යෙදෙන ශිල්පීන් එක්ක කතා කරගෙන චරිතය නිර්මාණය කරගත්තා. ඒ වගේම විශේෂයෙන්ම මතක් කරන්න ඕන ගිරිරාජ් කෞශල්‍ය මාමා. ඔහුත් මට මේ චරිතය සාර්ථක කරගන්න විශාල සහයක් ලබා දෙනවා. ගිරා මාමා වගේම ප්‍රසන්නජිත් මාමාත් මේ වෙලාවේ ආදරයෙන් මතක් කරනවා. ඔවුන් අපි රඟපාන දිහා බලාගෙන ඉන්නෙත් හරිම ආඩම්බරේකින්.

 

ශිවා මාමා ( ජයප්‍රකාෂ් ශිවගුරුනාදන්) කියලා තිබුණා ඔබ චරිතයට අනුගත වෙන්න තනි වෙනවා කියලා. ඒ කරන්නේ මොකද්ද?

ඒක මගෙ රහසක්. මට ලැබෙන පිටපත සමඟ මම පුළුවන් තරම් ඈතකට යනවා. මට තියෙන දෙබස් ටික එක එක ආකරයෙන් කියලා බලනවා මුලින්ම. එහෙම කියවලා මට අවශ්‍ය කරන කොන්ෆිඩන්ස් එක ලැබුණම මං ආයෙම සෙට් එකට එනවා. අපිට කරන්න තියෙන්නේ මොකද්ද කියලා මුලින් අපි පැහැදිළි කිරීමක් කරගත යුතුයි. එහෙම නැතුව රඟපාන්න ගියොත් වෙන්නේ අපි මොකද්ද කරන්නේ කියලා අවබෝධයක් නැති වෙන එකයි. එහෙම වුණොත් මම විතරක් නෙවෙයි මං ඉදිරියේ රංගනයේ යෙදෙන සියලු දෙනාම අපහසුතාවයට පත් වෙනවා. ඒ නිසා එයට හොඳම පිළියම වෙන්නේ පෙර සූදානමයි. මං ඈතකට ගිහින් තනිවෙලා කරන්නේ සූදානම් වන එකයි.

 

කෝකිලටත් කොරෝනා රෝගයට ගොදුරු වෙන්න සිදු වුණා?

ඔව්. ඒත් එක්කම මම ටිකක් කායිකව දුර්වල වෙලා දැන්. කොරෝනා රෝගය වැලඳීමත් එක්ක මගේ තිබුණ ඒ ජවය හරි අඩක්ම නැති වුණා කිව්වොත් නිවැරදියි. මම එය සපුරාගනිමින් ඉන්නේ.

 

මාලන්ගේ චරිතයෙන් වගේම තවත් චරිත කිහිපයකින්ම කෝකිලව පුංචි තිරයේ දකින්න පුළුවන්?

ඔව්. මම කැමතියි චරිතාංග නළුවෙක් වෙන්න. මේ දිනවල විකාශය වන 'ආලියා'හි කාවින්ද ඒ වගේම 'සිඳු' ටෙලි නාට්‍යයේ මාවතේ ඒ වගේම කලින් විකාශය වූ දාම් ටෙලි නාට්‍යයයේ භක්ති මේ හැම චරිතයක්ම එකිනෙකට වෙනස්. මේ සෑම චරිතයක් එක්කම යම් වෙනසක් කරමින් ඒවා ප්‍රේක්ෂකයා අතරට ගෙන යෑමයි මගේ අරමුණ. මට තියෙන අඩුම කුඩුම ටික මේ චරිතවලට පෙරලා මැනලා දානවා. මම කරන්නේ මම ඉගෙනගත් දේ අදාළ වෙලාවෙදි අදාළ තැනට අදාළ පරිමාවෙන් දාලා කෝකිල විදිහට ඒ දිහා බලලා මං සතුටු වෙන එක.

 

මාලන්ගේ චරිතය කරන්න ගිහින් වුණ සුන්දරම අකරතැබ්බය මොකද්ද කියල ඇහුවොත්?

මේ මාලන් දස වදයන්ට ලක් වූවෙක්. ගහනවා, ගස්වල බදිනවා, බණිනවා, දීලා තියෙන දසවද ඔක්කොම අකරතැබ්බ තමයි මේ. ඒ අතර මේ ළඟදි සජිත අයියටයි මටයි තමයි ඒ රූ ගත කිරීම තිබුණේ. මම වාහනේ ටිකක් වේගෙන් ඇවිත් බ්‍රේක් එක ගහන්න ඕනෙ සජිත අයියාගේ කකුල් දෙක ළඟ. රිහර්සල් එකත් හරි. ඔන්න දැන් රූගත කිරීම කරද්දි බ්‍රේක් එක පෑගුවට ටිකක් ඉස්සරහට ගිහින් තමයි බ්‍රේක් වුණේ. තව පොඩ්ඩෙන් සජිත අයියගේ කකුල් කැඩෙනවා. මම හොඳටම බය වුණා.

 

අනෙක් අතට ඔබ ඔබේ හඬින් විවිධ චරිත හැඩ කරනවා?

සිරස නාළිකාවේ විකාශය වන 'මේ ආදරයයි' කතාවේ ආදී තමයි මං. ඒ වගේම දෙරණ නාළිකාවේ විකාශය වන 'අපේ චූටී දූ' හි ජෙමාල්ගේ චරිතයට හඩ දෙන්නෙත් මමයි. මේ දිනවල එපමණ වුවත් බොහෝ චරිත සඳහා මම හඬ දායකත්වය ලබා දී තිබෙනවා.

 

හපන් පැදුරේ සිටි ගායකයා ආයෙත් එළියට එන්නේ නැද්ද?

එක ගීතයක් කළා. එය රචනා කළෙත් මමමයි. හිංදි ගීතයක තනුවකට කළ ගීතයක් එය. ඒ වගේම තව නොබෝ දිනකින් තවත් ගීත දෙකක් එළියට එන්න නියමිතයි.

අලුතින් යූටියුබ් චැනල් එකක් පටන් අරන් තිබුණා.?

මම හරිම ආසයි උයන්න. මට උයන්න පුළුවන් හොඳට. බොහෝ වෙලාවට ආච්චිට අසනීප වුණාම මම තමයි ගෙදර කෑම හදන්නේ. එය ඉතාම ආදරෙන් භාරගෙන තියෙනවා. ඉතින් මම ආරාධනා කරනවා ඔවුන්ටත් එකතු වෙන්න කියලා මගේ යූටියුබ් නාළිකාව සමඟ.

කෝකිල දැන් විවාහකයි. පවුල් ජීවීතේ කොහොමද? බිරිඳ වගේම ඔබේ ආදරණීය ආච්චි අම්මා මොකද කියන්නේ?

මගෙ බිරිඳ නිමාලි ප්‍රනාන්දු. ඇය කළමණාකරණ අංශයේ රැකියාවක් කරනවා. ඒ වගේම ඇය නීතිය හදාරනවා. හරිම සරල කෙනෙක්. මාව ඉතාම හොඳීන් තේරුම් ගෙන අම්මා කෙනෙක් වගේ බලාගන්නවා. විශේෂයෙන්ම ආච්චි. සීයා හිටියනම් ආච්චිට වඩා සතුටු වෙයි. නමුත් ඔහු අද අප අතර නෑ. ආච්චි මං ගැන ආඩම්බර වෙනවා. මම සතුටුයි ආච්චිව සතුටු කරන්න පුළුවන් වුණ එක ගැන. මොකද මට ඕන උණෙත් ඒකමයි. සමහර වෙලාවට ආච්චිට මාව දැක්කමත් හිනා යනවා.