සිදුවුණු දේ ගැන වෙනම ලියන්න පුළුවන්

- සශිකා පීරිස්
ජූලි 22, 2021

 

මේ ඉන්නේ සිඳූ ටෙලි සිතුවමේ මුතු පුංචි. ඒ වගේම තවත් නිර්මාණ ගණනාවකින් ඇය ඔබට සමීප වුණා. ශෂිකා පීරිස් නම් වන ඇය රංගනයට අවතීර්ණ වුණේ නිලංජනා ටෙලි සිතුවමෙන්. එයින් ලද ජනප්‍රියත්වය මත තවත් බොහෝ නිර්මාණ සඳහා ශෂිකාට ආරාධනා ලැබුණා. මේ ඇගේ නවතම තතු විත්ති ඔබ වෙත ගෙන ඒමේ අරමුණින් අප කළ කතාබහක්.

 

ඉතින් කොහොමද ශෂිකා?

සුපුරුදු විදිහට රඟපෑමේ කටයුතුවල යෙදෙමින් ඉන්නවා.

සිඳූ නාට්‍යයේ විතරද ඔබ රඟපාන්නේ මේ දවස්වල?

නැහැ. interනැසනල් නාට්‍යයේ දෙවැනි කොටස නිර්මාණය වෙමින් පවතිනවා. ඒ සඳහා ආරාධනා ලැබුණා.

 

ජනප්‍රියත්වයේ ඉහළම තැනක සිටියදි ඔබ රඟපෑමෙන් අයින් වුණා නේද?

මම අවුරුදු 18දී විතර රඟපාන්න ආවේ. ඊට පස්සේ අවුරුදු 23 විතර වෙනකල් විවිධ චරිත කළා. ඊට පසුව මම විවාහ වෙනවා. ඒ නිසා තමයි ටික කාලෙකට රඟපෑමෙන් අයින් වුණේ. ටික කාලයක් කියල කිව්වට අවුරුදු අටක් විතර.

 

ඒ කාලයේදී ඔබට බොහෝ චරිත මඟ හැරුණා කියලා හිතෙන්නේ නැද්ද?

පවුල් ජීවිතයට මුල් තැන දීලා රංගනයෙන් අයින් වුණා කියන දේ ගැන කවදාවත් මං කනගාටු වෙන්නේ නැහැ. හැබැයි වරින් වර කතා කරපු චරිතවලට යන්න බෑ කියලා ඒවා වෙනත් රංගන ශිල්පිනියෝ රඟපානවා ටීවී එකේ දකිනකොට පොඩි දුකක් නම් ඇති වෙනවා. මේ වගේ හොඳ චරිතවලටනෙ මට යන්න බැරි වුණේ කියලා.

 

ඔබට දරුවෝ කී දෙනෙක් ඉන්නවද?

දෙන්නෙක් ඉන්නවා. පුතාලම දෙන්නෙක් තමයි ඉන්නේ. ලොකු එක්කෙනාට අවුරුදු 10යි. දෙවැනි එක්කෙනාට අවුරුදු හතරයි.

 

ඒ අය ඔබ රඟපානවට කැමැතිද?

ගොඩක් ආසයි මම ඉන්න නාට්‍ය බලන්න. සමහරවිට ටිකක් සැරට රඟපාන අවස්ථාවලදී 'ආපෝ මේ අම්මා ගෙදර වගේමනෙ ඉන්නේ' කියලා කියනවා.

 

රංගන ජීවිතයේ ඔබ වඩාත් කැමැත්තෙන් රඟපෑ චරිතය මොකක්ද?

මං කැමැතියි ඒ ප්‍රශ්නය මේ විදිහට පරිවර්තනය කරගන්න. කැමැත්තෙන් රඟපෑව චරිතයට වැඩිය මම වඩාත් කතා කරන්න කැමැති මම, වැඩියෙන්ම කැපකිරීමෙන් කරපු චරිතය ගැන කතා කරන්න. එකේ මම රඟපාද්දී මගේ පුතා ලැබෙන්න හිටියේ. මම මාස හතක් විතර වෙනකල් එක දිගට ඒ චරිතය කළා. ඒ වගේම ලොකු තෙහෙට්ටුවකුත් තිබුණා. ඒ මාස කිහිපය මම ගත කළ ජීවිතය ගැන වෙනමම පුවත්පත් ලිපියක් හදන්න පුළුවන්.

 

ඔබේ දරුවෝ කලාවට එනවට ඔබ කැමතිද?

මම විශේෂයෙන්ම ඔවුන් කලාවට යොමු කරන්නේ නැහැ. පිරිමි ළමයි දෙන්නෙක් නිසා අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙහෙස වෙනවා. ඒ දෙන්නට උගන්වන එක තමයි මගේ එකම අරමුණ.

 

කලාව තුළ ඔබ වැනි අයෙකුට වෘත්තීය ජීවිතයක් ගත කරන්න පුළුවන්ද?

මගේ වෘත්තීය ජීවිතයේ පළමු තැන දෙන්නේ රංගනයට. කාලෙන් කාලෙට වටිනාකම අඩු වැඩි වුණත් මට ලැබෙන්න ඕනෙ මුදල ලැබෙනවා. ඒ වගේම මම කවුන්සලින් කරනවා. ගුරුවරියක් විදිහටත් කටයුතු කරන අවස්ථා තියෙනවා. ඒ නිසා කලාවෙන්ම පමණක් මුදල් උපයනවා කියලා කියන්න බැහැ. ඒත් මගේ ප්‍රධාන වෘත්තිය රංගනය.

 

නිලංජනා නාට්‍යයේ ඔබ කළ චරිතය ඉතාම ජනප්‍රිය වුණා ඒක තවම මිනිස්සුන්ට මතකද?

ඒ නාට්‍යය රූගත කිරීම් කළේ තංගල්ල ප්‍රදේශයේ. ඒ පැත්තට ගියාම නම් ඒ මිනිස්සුන්ට තවමත් අපිව හොඳටම මතක‍යි. හැබැයි මම විශ්වාස කරන්නේ නැහැ අනිත් අයට නම් මේ චරිතය ගැන ලොකු මතකයක් ඇති කියලා.

 

 

සේයාරූ චමිත් ෂා අම්බලන්ගොඩ