මම මේ ගේ හදන්නේ අම්මා තාත්තා වෙනුවෙන්

-පියුමි ශී‍්‍රනායක
ජූලි 22, 2021

ඌව වෙල්ලස්ස සුන්දර ගම් පියසක සිට ලද පන්නරය ඇය කලාවට යොමු කළේය. ඒ පසු කලෙක තම ලොකු අම්මා විසින්ම ඇයව සිය නිවෙසට එක්කරගෙන ඒම නිසාය. ආර්ථික අගගිඟකම් පිරි පවුලේ බර සැහල්ලු කරමින් මෙහි එන කතා නායිකාව කොළඹ පාසලකට ඇතුළත් කරනු ලැබුවේ ඒ ලොකු අම්මා විසින්මය. ඒ ඇගේ අධ්‍යාපනයේ වගකීම ලොකු අම්මා සම්පූර්ණයෙන් භාරගනිමිනි. අධ්‍යාපනය ලබන ඇයට නිතර තම ගෙදර හා මව පියා මතක් වෙමින් වාර අවසන් නිවාඩුව ලැබෙන්නේ කවදාදැයි බලා සිටින්නේ නොඉවසිල්ලෙනි. ඒ තම දෙමාපියන් බැලීමට යෑමටත් කුඹුරේ වැඩ කිරීමටත් ඇති ආශාව නිසාමය. කැත්තෙ උදැල්ලෙ වැඩ ඇයට අදටත් හොඳට හුරු පුරුදුය. එහෙත් ඇගේ පියා තම දියණියට ඇති දැඩි ආදරය නිසාම එක දිගට ඇයට වැඩ කිරීමට නොදෙන්නේය. අධ්‍යාපනයෙන් පසුව ඇය තම රංගන සිහිනය සැබෑ කරගැනීම සඳහා ඊට අදාල පාඨමාලා සඳහා යොමු වූවාය.ගොවිකමත් නිළිකමත් සියතින් දරාගත් ඇය මේ වන විට රංගන ශිල්පිනියක් බවට පත් වී හමාරය. ඇය මේ දිනවල සිරස රූපවාහිනි නාළිකාවේ 'නීල පබළු' හා හිරු රූපවාහිනි නාළිකාවේ 'අහස් මාළිගා' යන ටෙලිනාට්‍යවලින් අපගේ ආලින්දය සරසන්නීය. සැබවින්ම පියුමක් වන ඇය ජනප්‍රිය රංගන ශිල්පිනි පියුමි ශී‍්‍රනායකයි.

 

පියුමි ගැන කතාබහ ගමෙන්ම පටන් ගමුද?

ඔව් මම ඒකට ගොඩක් කැමතියි. මගේ ගම මහියංගණය හසලක. ඇළවල්වලින් කුඹුරුවලින් යුක්ත වූ සුන්දරත්වයෙන් පිරුණු ගමක්. පවුලේ අම්මයි, තාත්තයි, මල්ලී මමයි තමයි එහි ජීවත් වුණේ.

 

ඔබ ගිය පාසල මතක් කළොත්?

මුලින්ම ගමේ තියෙන පල්ලේවත්ත කණිෂ්ඨ විද්‍යාලයයෙන් එක වසරේ සිට හතර වසර දක්වා අධ්‍යාපනය ලැබුවා. අනතුරුව කඳානේ කරුණාරත්න බෞද්ධ විද්‍යාලයයට ඇතුළත් වෙනවා. හතර වසරේ සිට එකොළහ වසර දක්වා එහි අධ්‍යාපනය ලබනවා. සාමාන්‍ය පෙළ (ර්‍ණ/ඹ්) සමත් වෙලා මම මහියංගණය මහා විදුහල ට එනවා. උසස් පෙළ කළේ ඒකෙන්. (අද මහියංගණය ජාතික පාසල). ඇත්තටම මම දුප්පත් පවුලක කෙනෙක්. තාත්තා කුඹුරු වැඩ, වඩු වැඩ වගේ දේවල් තමයි කළේ. ආර්ථික ප්‍රශ්නත් එක්ක මගේ ලොකු අම්මා අපේ ගෙදරටත් කියලා මාව ඇයගේ කඳානේ පිහිටි නිවෙසට එක්කරගෙන එනවා. එහෙම ඇවිත් මගේ අධ්‍යාපනයේ වගකීම සම්පූර්ණයෙන්ම ඇය භාර ගෙන තමයි මම සාමාන්‍ය පෙළ දක්වා එහි අධ්‍යාපනය ලැබුවේ.

 

ඒ කාලේ රංගන ශිල්පිනියක් වෙන්න අරමුණක් තිබුණාද?

ඔව් මට ඒ දවස්වල ඉඳලම එහෙම හීනයක් තිබුණා. කවදා හරි කොහොම හරි මම මේ වගේ කෙනෙක් වෙලා (රංගන ශිල්පිනියක්) මේ තැනට එනවා කියලා.

 

ඔබ දැන් ඒ තැනට ඇවිත් කොහොමද එහෙම වුණේ?

ගොඩක් සතුටක් දැනෙනවා අද මේ වගේ තැනකට ඇවිත් ඉන්න එක ගැන. මම ගොඩක් දුක් විඳලා තමයි මේ ගමන ආවේ. ගමේ කුඹුරේ වැඩ කරලා පෞද්ගලික ආයතන දෙකකත් ‍රැකියා කළා. ලොකු අම්මාගේ ගෙදර ඉඳගෙන රංගනය ගැනත් ඉගෙන ගත්තා.

 

ඒ කොහොමද?

ලොකු අම්මලාගේ ගෙදර ඉදන් මම අනෝජා වීරසිංහ මැඩම්ගේ රංගන පාසලට ගිහින් එයට ඇතුළත් වෙලා පුහුණුවීම් ලැබුවා. ඊට පස්සෙත් මම අතුල ජයසිංහ සර්ගෙන් සහ සුගත් සමරකෝන් සර්ගෙනුත් රංගනය ගැන තවදුරටත් හැදෑරීම් හා පුහුණුවීම් කළා.

 

ඊට පස්සේ ඔබ?

'අරුම වන්ති' කියන (රන්ජන් ප්‍රසන්නගේ) ටෙලි නාට්‍යය සඳහා මට ප්‍ර‍්‍රථමයෙන්ම රංගනයට අවස්ථාව ලැබෙනවා. එතැන ඉඳලා සඳ පිණි වැස්ස (හසුන් සමීර), රාවණා (තුෂාර තෙන්නකෝන්), වෙස් (ධනුෂ්ක රත්නායක), ඉත්තො (සුනෙත් මාලිංග), නීල පබළු (සදුන් රාජකරුණා), අහස් මාළිගා (ප්‍ර‍්‍රභාත් රොෂාන්), කූවින් (සුපුන් රත්නායක) යනාදී ටෙලිනාට්‍ය ‍රැසකට මට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා.

 

මේ දවස්වල ඔබ ප්‍රේක්ෂකයන් අතරට එන්නේ ?

සිරස රූපවාහිනි නාළිකාවේ නීල පබළුහි ඔ‍ෆිස් එකක වැඩ කරන කෙනෙක් (කාර්යාලයක නිලධාරිනියක්) ලෙසත් හිරු රූපවාහිනි නාළිකාවේ අහස් මාළිගා ටෙලිනාට්‍යයේ නිශා කියන චරිතයෙනුත්...

නීල පබළු හා අහස් මාළිගා ටෙලිනාට්‍යවල ඔබ රඟපාන චරිත ගැන කිව්වොත්?

නීල පබළු එකේ ඔ‍ෆිස් එකක වැඩ කරන ටිකක් සැර පරුෂ නපුරු චරිතයක්. ඒ හා සමාන කම් ඇති තවත් නපුරු චරිතයක් තමයි අහස් මාළිගා එකේ මගේ නිශා කියන චරිතයත් ඒකේ මගේ අම්මට ඉන්නේ උපේක්ෂා ස්වර්ණමාලි තාත්තට ඉන්නෙ ලකී අයියා. (ප්‍රවීණ රංගන ශිල්පී ලකී ඩයස් මහතා)

 

මේ දවස්වල ඔබව වෙළෙඳ දැන්වීමකිනුත් හරිම ජනප්‍රියයි නේද?

ඔව් ඔව්. මම වෙළෙඳ දැන්වීම්වලට නම් ඉතාම අඩුවෙන් තමයි පෙනී ඉදලා තියෙන්නේ. මේක කරන්න ගිහින් මම ටෙලිනාට්‍යවල විදිහටම හිතලා තමයි එයට සූදානම් වුණේ. පස්සෙ බලද්දි ඒක ටිකක් වෙනස්. තප්පර 3-4 ක් අතුළත ඇක්ට් කරන එකයි දෙබස් කියලයි ඉවර කරන්නයි තමයි ඒකේ තිබුණේ. ඉතින් පස්සේ මම ඒක හොඳටම කළා. ඉතා සාර්ථකයි. ගොඩක් හොඳ ප්‍රතිචාර ඒ සඳහා මට තවමත් ලැබෙමින් පවතිනවා.

 

පියුමි වෘත්තීය රංගන ශිල්පිනියක්ද?

ඇත්තටම අද වෘත්තියමයව රංගනයේ නියැළෙන්න අමාරුයි. අද වන විට අඩු මුදලකට නවක අයව මේ සඳහා යොදාගෙන ඇති නිසා ප්‍රවීණ අයට වැඩත් නැතිවෙලා තියෙනවා. එතැනදී ප්‍රවීණ අය ගැනත් අවධානය යොමු කිරීම අවශ්‍යයි. මම දැනට ඇඳුම් සම්බන්ධ ව්‍යාපාරයක් කරගෙන යනවා. අලුතින් එන ෆැෂන් ඩිසයින්වල ඇඳුම් මමම නිර්මාණය කරලා ඔන්ලයින් ක්‍රමයට අලෙවි කරනවා.

 

ඉදිරියේදී ඔබ කලාවේ තව භාරගත්ත වැඩත් තියෙනවද ?

නාලක විතානගේ මහතාගේ 'අක් වැහි' කියන ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයකට අදාළ වැඩ කටයුතු සිදු කරලා තියෙනවා. ඒ වගේම සන්දේශ් බණ්ඩාරගේ 'පිනොකියෝ' කියලා ටෙලි නාට්‍යයක රූගත කිරීම් කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. මට ගොඩාක් එකම විදිහේ වගේ නපුරු චරිත කරන්න තමයි ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබුණේ. එහෙම එකම විදිහේ චරිත කරන්න කො‍ටු වෙන්න අකැමැති නිසා මම ඒවා එකක්වත් භාරගත්තෙ නෑ. රංගන ශිල්පියෙකු හෝ ශිල්පිනියක් වුණාම විවිධාකාරයේ චරිත කරන්නත් අවශ්‍ය වෙනවා.

 

පියුමි අලුතින් ගෙයක් හදනවා කියලත් ආරංචියි ?

ඔව්... දැන්නම් සල්ලි අඩුපාඩුවක් නිසා ඒකේ වැඩ කරන එක ටිකක් නතර කරලා තියෙන්නේ. ඒක පොඩි ගෙයක් අයියේ.

 

පොඩි නෑ. අපි දැකපු විදිහට ලොකු ගෙයක් නේ ඒක?.

නෑ අනේ... ඒකේ පහළම කාමරයක් සහිත සාලයයි කුස්සියයි උඩ තට්‍ටුවේ කාමර දෙකයි, විසිත්ත කාමරයයි, බාත්රූම් එකයි. පොඩි ගෙයක් ඒක බොරුනම් ඔයා ඇවිත් බලන්නකෝ...

 

ගෙයක් එහෙමත් හදලා ඉවරවෙලා දැන් ගෙදර නවත්ත ගන්න කෙනෙකුත් සොයමින් ද ඉන්නේ?

(ඇය සිනාසෙයි.) නෑ අනේ මගේ අම්මටයි තාත්තටයි අවසාන කාලේ හොදට සැපෙන් ඉන්න තමයි මම මේ ගේ හදන්නේ. මොකද අපි දැන් ඉන්නේ කුලී ගෙදරක. මගේ අම්මයි තාත්තයි මායි මල්ලියි වෙනුවෙන් ගොඩක් දුක් වින්දා. අපි හරි දුප්පත්. අදටත් අපි ලොකු පොහොසත් අය නොවෙයි. මම වැඩ කරලා ඉතුරු කරගත්තු සල්ලිවලින් තමයි මේ ගේ හදන්නේ. තව සල්ලි අඩුපාඩුවකුත් තියෙනවා. ඒ ටිකත් හොයාගෙනම සම්පූර්ණයෙන්ම ගේ ඉතිරි වැඩ ටිකත් ඉවර කරනවා. ඒ කරන්නේම මගේ අම්මයි තාත්තයි වෙනුවෙන්. ඔවුන්ගේ සැප පහසුව සඳහා.

 

එහෙම දෙමාපියන් පිටම තියලා මේ ගේ හදන එකේ ප්‍රශ්නය මඟ හරිනවා නේද? ගෙදර ඔයාගේ තනි නොතනියට සහකරුවෙක් එක්කන් එන්නේ කවද්ද?

ඒ ගැන නම් දැන්ම මොකුත් කියන්න බෑ. පස්සේ විස්තර කියන්නම්...

 

අවසාන වශයෙන් පියුමිට යමක් කියන්න තියෙනවාද?

ඉදිරියටත් ‍ මම තෝරා බේරාගෙන හොඳ නිර්මාණවලට දායක වෙමින් රංගන ක්ෂේත්‍රයේ ‍රැඳීලා ඉන්න තමයි අදහස. ඒ වගේම මගේ අම්මවයි තාත්තවයි හොඳීන් ‍රැක බලාගෙන ඔවුන් ජීවත් කරවීම තමයි මගේ ප්‍රධාන අරමුණ. ඊළඟට මගේ නිර්මාණ වැඩ කටයුතුවලදී උදවු උපකාර කරන හැමෝටමත් ප්‍රේක්ෂකයන්ටත් මේ විදිහට සරසවියෙන් මට කතා කරලා සහයෝගය ලබාදෙන සරසවි පුවත්පතට හා ඔබ සැමටත් ගොඩක් ස්තුතියි. අවසාන වශයෙන් දැන් මේ පවතින කොරෝනා තත්ත්වය සෘජුවටම බලපාලා තියෙනවා. ඒ තත්ත්වය ඉක්මනින් සමනය වෙලා සැමට සුව සහනය පිරි කාලයක් උදා වේවායි ප්‍රාර්ථනා කරනවා.