උදයකාන්ත-නිල්මිණි දියසුළිය ගැනසිහිපත් කරති

ජූලි 29, 2021

 

 

ප්‍රේක්ෂක සිත් වසඟයට පත්කරන නිර්මාණාත්මක ගුණයෙන් යුතු නිර්මාණකරණය තුළ කාගෙත් මතකයට නැඟෙන නමකි ඔහු. පුංචි තිරයෙන් පටන් ගත්තද රිදී තිරයට ඔහුගේ කැමැත්ත විය. මෑත කාලයේ රිදී තිරයේ ජනප්‍රියම අධ්‍යක්ෂවරයා යනුවෙන් ඔහුව හැඳීන්වීම වරදක් නෙවේ යැයි මට සිතේ. ටෙලි නිර්මාණ හයකුත් චිත්‍රපට විසි පහකුත් කලා කෙත වෙත තිළිණ කළ ඔහු දක්ෂ සිත්තරෙකි. අනූව දශකයේ වර්ණවත් ටෙලිනිර්මාණ අතර ප්‍රේක්ෂකයා ආදරයෙන් වැලඳගත් ' දිය සුළිය' ඔහුගේ තෙවැනි ටෙලි නිර්මාණයයි. ජයසේන ජයකොඩිගේ සුදු නෙළුම නවකතාව පාදක කරගනිමින් නිර්මාණය වූ දිය සුළිය වසර 27කට පසු ස්වාධීන රූපවාහිනිය සති අන්තයේ රාත්‍රී 9.30 නැවත විකාශය කරයි. එදා ඔබ ආදරයෙන් වැලඳගත් දිය සුළියෙහි තිර පිටපත, නිෂ්පාදනය, අධ්‍යක්ෂණය, යන ත්‍රිත්වයම ඔහුගේ වීම විශේෂත්වයකි. අනූව දශකයේ වඩාත්ම ජනප්‍රියත්වයට පත් වූ මේ නිර්මාණය පිළිබඳ කතා කරන්න ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරිය සමඟත් නිර්මාණයේ ප්‍රධාන චරිතය සරෝජනී වෙමින් එදා ප්‍රේක්ෂක හිත් ආදරයෙන් වැලඳගත් ඇය ජනප්‍රියත්වය වෙනුවෙන් සම්මාන දාහතරකට හිමිකම් කියන නිල්මිණි තෙන්නකෝන් සමඟත් දිය සුළිය මතක සරසවිය අප නැවත මෙසේ ආවර්ජනය කළෙමු.

 

දිය සුළිය ආරම්භය ගැන කතා කරමු?

මෙහි රූගත කිරීම් ආරම්භ කරන්නේ 1993 අවුරුද්දේ. 1994 අවුරුද්දෙ තමයි ජාතික රූපවාහිනීයෙන් මෙය විකාශය වෙන්නේ. මගේ තුන්වෙනි ටෙලි නාට්‍යයයි දිය සුළිය. මෙහි තිර රචනය, අධ්‍යක්ෂණය, නිෂ්පාදනය ‍යන කාරණා ත්‍රිත්වයම මා අතින් සිදු වන්නේ. මාරවිල හා මාදම්පේ ප්‍රදේශ මුල් කරගෙන මෙහි රූගත කිරීම් කළා.

 

රූපවාහිනී රචනය, නිෂ්පාදනය, අධ්‍යක්ෂණය ‍යන කාරණා ත්‍රිත්වයම ඔබ අතින් සිදුවන කල්හි නිර්මාණය වෙනුවෙන් ඔබේ තිබූ සැලසුම කොහොමද?

ඒ කාලේ ටෙලිනාට්‍යයක් කරන විට සියයට සීයක්ම තිර නාටකය අංගසම්පූර්ණ කරගෙනයි රූගත කිරීම් කරන්නේ. දර්ශන තල හරියටම බලලා වෙන් කරගෙන තමයි රූගත කිරීම් කළේ. මෙහි තිබෙන්නේ කොටස් දාහතක් වුවත් එය රූ ගත කිරීමට මාස දෙකකට ආසන්න කාලයක් ගත වුණා. ඒ කියන්නේ එක කොටසකට දවස් තුනක වගේ කාලයක් ගියා. ඒ නිර්මාණය එතරම්ම සැලසුම් කළ නිසයි එතරම්ම සාර්ථක වූයේ. අද කොටස් තුනක් එක දවසට රූ ගත කරනවා.

 

නිල්මිණි තෙන්නකෝන්ගේ රංගනය වගේම ඇයගේ සුන්දරත්වයත් ඔබ මෙහි මනාව ගළපා තිබෙනවා?

නිල්මිණිගේ තරුණ කාලේ. රංගනයේත් හොඳම කාලේ. ඇය ඊට පෙර මගේ මැණික් කැටයම නම් ඒකාංගික ටෙලිනාට්‍යයේ රඟපෑවා. එහි දී ඇයව මම ඉතාම දක්ෂ නිළියක් ලෙස හඳුනාගත්තා. මේ චරිතය මා නිර්මාණය කළේ ඇය ඔළුවේ තියාගෙන. ඇගේ රූප ස්වාභාවය සරෝජනීට හොඳීන් ගැළපුණා. ඇගේ ස්වාභාවික පෙනුම සරෝජනීට ජීවය දුන්නා. ඇය සියයට සීයක්ම චරිතයට සාධාරණය ඉටු කළා.

 

ටෙලි නිර්මාණය විකාශය ගැන කතා කළොත්?

දිය සුළිය විකාශය වෙලා වසර 30කට ආසන්නයි. එදා සන්නිවේදන පහසුකම් තිබුණේ ඉතාම අඩුවෙන්. පෞද්ගලික නාළිකා තිබුණේ නෑ. ඒ කාළේ හරිම ශුද්ධ නිර්මාණයි බිහිවුණේ. අද තියෙන කලබලය පිරි වට පිටාව සමඟ රසඥතාව හීන වෙලා. එදා නිර්මාණයක් රස විඳීන්න තිබුණ විවේකය අද ප්‍රේක්ෂකයාට නැති වෙලා. එහෙම කාලයක තමයි නිර්මාණය නැවත විකාශය වෙන්නේ. මම දන්නේ නැහැ අද පරපුර මෙය මොන ආකාරයෙන් වැලඳ ගනීද කියලා. මට මතකයි දිය සුළිය අවසාන කොටස විකාශය වූ දවස. මුළු ලංකාවටම වහිනවා. ගොරවනවා. එදා තිබුණ කාලගුණය සමඟ බොහෝ දෙනෙකුට එය නැරඹීමට නොහැකි වෙලා. ඔවුන් රූපවාහිනියට කතා කරලා ඉල්ලීම් කරලා තිබුණා අවසාන කොටස නැවත විකාශය කරන ලෙසට. ඒ හේතුවෙන් ඊළඟ සතියේත් අවසාන කොටස විකාශය කිරීමට රූපවාහිනිය කටයුතු කළා.

 

එදා නිර්මාණකරණය වෙනුවෙන් භාවිත කළ තාක්ෂණය ගැනත් නොකියම බෑ?

එදා ඩිජිටල් තාක්ෂණය තිබුණේ නෑ. යූ මැටික කියන තාක්ෂණික ක්‍රමවේදය තමයි තිබුණේ. එමඟින් තමයි රූ ගත කිරීම් කළේ. ඒ කාලයේ වුණත් ඉතාම පැහැදිලි රූප ලබාගැනීමට හැකි වුණා. අද එදා එක්ක බලනවිට තාක්ෂණික ගනුදෙනුව ඉතාම පහසුයි.

දියසුළිය

අනූව දශකය කියන්නේ අද තරම්ම සන්නිවේදන පහසුකම් තිබුණු කාලයක් නොවේ. සන්නිවේදන පහසුකම් අඩු කාලයක කොහොමද ශිල්පීන් හසුරවා ගත්තේ?

ඒ කාලේ හැම ගෙදරම දුරකතන නෑ. මේ හැමෝම එකට එක්කගෙන යනවා. ගිහින් නතරවෙලයි රූගත කිරීම් කරන්නේ. වැඩ අවසන් වන තෙක්ම හැමෝම ඉන්නවා. ඒ නිසාම කාලය අරගෙන ඒ නිර්මාණය සුන්දරව ලස්සනට කරන්න පුළුවන් වුණා.

 

ඔබට අද මේ නිර්මාණය දෙස නැවත බලනවිට එදා ඔබ වෙනස් කළා නම් හොඳයැයි හැඟුණ තැන් තිබෙනවාද?

නැහැ. ඒ සියල්ලම අදටත් හරියටම හරි කියලයි මම හිතන්නේ. අද මම ටෙලිනාට්‍යය දුටුවම විස්මයට පත්වෙනවා එදා මා ඒ කළ දේ ගැන. මා ඉදිරිපත් කළ ශෛලිය හා අන්තර්ගතය පිළිබඳ මා පුදුමයට පත් වුවත් කාලයත් එක්ක රූපයේ ගුණාත්මකභාවයට යම් හානියක් වෙලා තියෙනවා. වර්ණ වියැකිලා යම් දුරකට. ඒ පිළිබඳ මා දුක් වුවත් නිර්මාණය දිහා අද බලන විට සතුටුයි.

 

දිය සුළිය නිෂ්පාදනයත් ඔබේ?

නිෂ්පාදන පිරිවැයට නම් අද තරම් ලොකු වියදමක් දැරුවේ නෑ. ඒ දවස්වල අද කාලේ වගේ නාළිකාවලින් ගත්තේ නෑ. අනුග්‍රාහකයෝ අපි හොයාගන්න ඕන. මම අනුග්‍රාහකයෙකු සමඟ කතා කරලා ඔවුන්ගේ සහයෝගය මට ලැබුණ නිසා බයක් නැතුව චකිතයක් නැතුව නිර්මාණය කරන්න පුළුවන් වුණා.

 

ඇයි ඔබ ටෙලිනිර්මාණකරණයෙන් ඈත් වෙලා ඉන්නේ?

මම ටෙලිනාට්‍ය හයක් පමණ කරලා තියෙනවා. ඒවායින් වැඩිම ප්‍රේක්ෂක අවධානයක් දිනා ගත්තේ දිය සුළිය කියලයි මම තාමත් හිතන්නේ. ඒ කාලයේ මගේ කැමැත්ත තිබුණේ සිනමාවට. පුංචි තිරයට වඩා රිදී තිරයටයි මම ඇලුම් කළේ. 1995 දී සිනමා ආගමනය එක්ක මට ටෙලිනාට්‍ය මඟහැරුණා. බොහෝ ඇරයුම් තිබෙනවා ටෙලි නාට්‍ය නිර්මාණය කරන ලෙසට. ඒත් එදා වගේ අද කොටස් විස්සකින් ටෙලිනාට්‍යයක් නිම කළ නොහැකියි. දැන් ටෙලිනාට්‍ය වාණිජකරණය වෙලා. එයට නතු වෙන්න මගේ කැමැත්තක් නැහැ. එහෙම බැලුවොත් අවම කොටස් පනහක හෝ නිර්මාණයක් කළ යුතුයි. රසවිදින්න හැකි කතා තේමාවක් ලැබුණොත් ඉදිරියේදී ටෙලිනාට්‍යයක් කිරීමට බලාපොරොත්තු වෙනවා.

 

ඔබේ රධභබභඡඥ නාළිකාව ඔස්සේත් දිය සුළිය නැරඹිය හැකියි නේද?

ඔව් .දිය සුළිය නැරඹිය හැකියි. ඒ වගේම මා නිර්මාණය කළ අනෙකුත් ටෙලි නාට්‍ය සියල්ලමද කොටස් වශයෙන් මගේ භඤචරචඬචදබඩච ඹචපදචඵධධපඪරච රධභබභඡඥ නාළිකාවෙන් ඉදිරියේදී බලන්න පුළුවන්.

 

 

දිය සුළිය සමඟ සම්බන්ධ වීමට ඔබට ආරාධනා ලැබෙන්නේ කොහොමද?

දූ දරුවෝ සහ නිදි කුම්බා මල් ටෙලිනාට්‍ය දෙකෙන් පසුවයි මම දිය සුළිය හා සම්බන්ධ වෙන්නේ. ඒ වන විට මම ජනප්‍රිය සම්මානය තුන් සැරයක් අරගෙන තිබුණේ. නවකතාවේ හැටියට මගේ රූපය හා සමාන රූපයක් කතාවේ නිර්මාණය වෙලා තිබුණා. ඒ නිසාම උදය අයියා දිය සුළිය පිටපත් රචනය කරලා තිබුණෙම මාව ඔළුවේ තියාගෙන. ඔය කාලය සිනමාවත් මාව හොයාගෙන ආව කාලයක්. උදය අයියා මුලින්ම මේ නිර්මාණයට ආරාධනා කළාම මම අකැමැති වුණා. එයට හේතූව ඒ වෙනකොට මම ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරලා තිබුණා කලාවට සමුදෙනවා කියලා.

ඔබ ජනප්‍රියත්වයේ හිනිපෙත්තෙම සිටි අවධියක ඇයි එවැනි ප්‍රකාශයක් කළේ?

ඒ කාලේ අපේ තාරුණ්‍යයේ හිරිමල් කාලය. හිතෙන හිතෙන දේ කරන කාලය. ආදරේ මත්තේම හිත යොමු කරන කාලයක බෝයි ෆ්‍රෙන්ඩ් කිව්වම මම ආස නෑ ඔයා නළුවෝ අල්ලනවට කියලා හරි මම මේකෙන් අයින් වෙන්නම් කියලා ආදරේ වෙනුවෙන් මම රංගනය අතාරින්න තීරණය කළා. උදය අයියගේ ආරාධනාව මම ප්‍රතික්ෂේප කළ නිසා ඔහු අපේ නිවෙසට ආවා. ඇවිත් මගේ මව සමඟ කතා කළා. ඇවිත් ඔහු කිව්වා මගේ මේ නිර්මාණයට මට නිල්මිණිව ඕනෙමයි එවන්නේ නැතුව ඉන්න එපා. ඇයි මෙවැනි දක්ෂ කෙනෙක් ගෙදර තියාගෙන ඉන්නේ කියලා. රඟපාන එක නවත්වන්න එපා කියලා. එවිට මගේ අම්මා කිව්වා කවුද නවත්වලා තියෙන්නේ? මම දන්නේ නෑ මේ ගැන කියලා. ඒක මෙයාගේ හිතුවක්කාරකමට ගත් තීරණයක් කියලා. මෙයාට සම්බන්ධයක් තියෙනවා එතැනදි ආපූ බලපෑමට ඔය දේ කරලා තියෙන්නේ කියලා.

 

අම්මගේ කැමැත්තම විතරක් මදිනේ. කොහොමද ඔහුගේ කැමැත්ත ගත්තේ?

ඒ වන විට ඔහුගේ මව අපේ සම්බන්ධය පිළිබඳව දැනගෙන හිටියා. ඔහුගේ මව සමඟ මේ ගැන කතා කළා. ඇය කිව්වා ඔයාලට බදින්න අවසර දෙන්න නම් නිල්මිණිට නාට්‍යයට යන්න අවසර දෙන්න කියලා. ඔය කාලෙම විකාශය වූ දූ දරුවෝ ටෙලිනාට්‍යයට එන්න බෑ කිව්වම දීප්තිව රට ඇරියා. දිය සුළිය එක්ක නැවත රංගන කටයුතු කළා.

 

ඔබේ සුන්දරත්වය හා යෞවනය එක්ක එදා කළ රංගනය දිහා අද හැරිලා බලද්දි මොනවගේ හැඟීමක්ද තියෙන්නේ?

ලොකු සතුටක් දැනෙනවා. මට තිබුණා ගැමි සුන්දරත්වය හා බටහිර පන්නය යන දෙකටම ගැළපෙන මුහුණක්. මට මතකයි උදය අයියා පවුඩර් ටිකක්වත් මගේ මූණට දාන්න දුන්නේ නෑ. තොල්පට වුණත් ස්වාභාවික පෙනුමට වඩා පාට අඩු කරන්න කියලා තමයි ඔහු වේශනිරූපණ ශිල්පියාට උපදෙස් දුන්නේ. මේකප් නැතුව රඟපාන විට හරිම දුකයි ඒ කාලේ. වේශනිරූපණ ශිල්පියාට හරිම ලේසියි මට මේකප් කරන්න දෙයක් නැහැනේ. කොණ්ඩේ විතරයි හදන්න තියෙන්නේ. සරෝජිනී දෙපැත්තෙන් කපලා කොණ්ඩේ කඩලා ඉන්නකොට ඒක විලාසිතාවක් වුණා.

ඔබේ දියණිය ශ්වේතා සරෝජනී ගැන මොකද කියන්නේ?

ඔව්. ඇයටත් දැන් අවුරුදු දහනවයක්. මේ ටෙලිනාට්‍යය දැන් විකාශය වන විට මගේ දුව ඒ දිහා බලාගෙන ඉන්නවා. ඇය කියනවා අනේ අම්මා මට නැහැනේ අම්මගේ මූණ කියලා. ඇය මගේ අම්මගෙනුත් අහනවා ආච්චිඅම්මේ අම්මගේ පෙනුම මට නෑ නේද කියලා. ඇය ඉතාම ආසාවෙන් මගේ පෙනුම ගැන කතා කරනවා. ඒත් මම ඇයට කියනවා මට වඩා ඔයා ලස්සනයි කියලා.

 

ඔබ ප්‍රතික්ෂේප කළ නිර්මාණයේ තිර පිටපත අතට ලැබුණම එය කියවද්දි ඒ ගැන මොකද හිතුණේ?

මට එය විස්තර කිරීමට බැරි තරම්. මුලින්ම මට උදය අයියා ගෙනත් දුන්නේ සුදු පියුම් කියන නවකතා පොත. මම ඒ පොත එක හුස්මට කියෙව්වා. මට පේනවා මේ තුළ මං ඉන්නවා කියලා. තිර පිටපත මම කියෙව්වම මට හිතා ගන්න බැරි වුණා ඇයි මම මෙය ප්‍රතික්ෂේප කළේ කියලා. අද වගේ නෙවේ. ඒ කාලේ සම්පූර්ණ නිර්මාණයේම තිර පිටපත අපේ අතට ලැබෙනවා. එයින් මුල මැද අග පිළිබඳ මනා අවබෝධයක් ලැබෙනවා. මා කිව යුතුම දෙයක් තියෙනවා දිය සුළිය නාට්‍යය, කතාවේ පිළිවෙලටයි රූ ගත කිරීම් කළේ. එහෙම කළාම ඒ ඒ චරිත නළු නිළියන්ගේ ඇඟට එනවා. ඔවුන් ඒවා ඔවුන්ගේම කර ගන්නවා. එය නිර්මාණයක් සාර්ථක වීමට බොහෝ සෙයින් බලපානවා. උදය අයියට ස්තූතියි කියන්න ඕන මට මේ අවස්ථාව ලබා දුන්නට.

 

පාලිත සිල්වා හා ඔබගේ සුසංයෝගය එකල බොහෝ ජනප්‍රියයි. මේ නිර්මාණයට ඒ ගැළපීම ගළපාගත්තේ කොහොමද?

පාලිත හා මම රඟපෑම නිසාම හොඳ මිතුරන් වුණා. නිදිකුම්බා මල් කරන කාලේ මම ඔහුට කියනවා අනේ වැඩිය අල්ලන්න එපා මාව කියලා. පාලිතටත් ඒ කාලේ එහෙම ප්‍රශ්න තිබුණා. ඔහුටත් පෙම්වතියක් හිටියා. අපි දිය සුළියට ආවම ඔහු මගෙන් අහනවා 'තාමත් උඹට අල්ලන්න බැරි ප්‍රශ්න තියෙනවාද' කියලා (ඇය සිනාසෙයි) ඒ චරිතය සරෝජනීට තනියම නිරූපණය කළ නොහැකියි මේ නළු නිළි සියලු දෙනා, අධ්‍යක්ෂවරයා ඇතුළු කාර්මික ශිල්පීන් සියලු දෙනා නිසයි මේ තරම් මේ නිර්මාණය සාර්ථක වුණේ.

 

ඔය කාලය ඔබට ඉතා විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් තිබුණ කාලයක්?

ඒ කාලේ අපිට අද වගේ ජංගම දුරකථන නැහැනේ. හැමදාම පෝස්ට්මන් ලොකු ලියුම් ගෝනියක් වත්ත ඇතුළට දාලා යනවා. පෝස්ට්මන් කියනවා මට එන ලියුම් එකතු කරලා කරලා එපා වෙනවා කියලා. ඉතින් මං ඔහුට තෑග්ගක් දෙනවා. මුල් කාලේ මම ඒ ලියුම් බිම පෙරළි පෙරළි කියෙව්වා. මෑතක් වන තෙක්ම මම ඒවා පරිස්සමින් තබාගෙන හිටියා. රූගත කිරීම්වලට ගියාම මම ඇවිත් කියලා ආරංචිවෙලා වාහනවලින් පෝළිමට එනවා මාව බලන්න වෙසක් බලන්න එනවා වගේ. උදය අයියට රූගත කිරීම්වලටත් කරදර වුණා ඒ කාලේ.

 

මේ සා ප්‍රේක්ෂක ආකර්ෂණයක් වැලඳගැනීමක් ලැබුණු නිර්මාණයකට ලැබිය යුතු නිසි ඇගයීම ලැබුණා කියලා ඔබ හිතනවාද?

ඒ කාලේ ශ්‍රියන්ත අයියා කියනවා මේකෙන් නම් අනිවාර්යයෙන් මෙයා ගන්නවා හොඳම නිළිය සම්මානය කියලා. අපි තරගෙට රඟපානවා ඒ කාලේ ( සිනා සෙමින්). ලැබිය යුතු ඇගයීම හා ගෞරවය නොළැබුණා යන්නයි මගේ හැඟීම. මේ නිර්මාණය ප්‍රේක්ෂකයා කෙතරම් වැලඳගෙන තිබුණාද යත් එක සම්මාන උලෙළක මෙහි නම හෝ නිර්දේශ කර තිබුණේ නැහැ. එදා ඒ සම්මාන උලෙළ නැරඹීමට පැමිණ සිටි ප්‍රේක්ෂකයා අතර ලොකු කසු කුසුවක් ඇති වුණා මේ නිර්මාණයට සම්මානයක් නොලැබීම පිළිබඳ. ඔවුන් දැඩි විරෝධයක් පෑවා. ඒ කාලේ මමත් ජනප්‍රිය වුණාට අද්දැකීම් අඩුයි. ඉතින් පත්තරේකින් ඉන්ටර්විව් එකක් ගන්න විට ඔවුන් අහන ප්‍රශ්නවලට මමත් ඇවිස්සිලා උත්තර දෙනවා. මේ වෙනුවෙන් මට සම්මානයක් ලැබුණේ නෑ කියලා මගේ දුක කියන්න ගත්තා. අද නම් මම එහෙම නොකරාවි. නමුත් සරෝජිනිට ලැබුණ ප්‍රේක්ෂක ආදරය ගැන හිතලා මම හිත හදා ගත්තා.

 

අදටත් මතකයට නැඟෙන සුමිහිරි අත්දැකීම් ඇති?

මම, පාලිත, චන්න,ශ්‍රියන්ත අයියා, මහේන්ද්‍ර අයියා මේ අය එකතු වුණාම එතැන වෙනමම තැනක්. සතුටින් ඒ කාලය ගත කළා. අපි රූගත කිරීම් අවසාන දවසේ මී හරක් වගේ ඇඬුවා. ඒ ගමේ මිනිස්සු ඇඬුවා. අපිව බලන්න එන්නේ මොනවාම හරි කෑමක් අරගෙන. නෑගම් එනවා වගේ. ඒ කාලේ දූ දරුවෝත් විකාශය වෙනවා සුනීතා විමලවීර ඒකේත් මගේ නපුරු නෑනා. දිය සුළියෙත් මගේ නපුරු නංගි. දිනපතා රූගත කිරීම් කරන විට මිනිස්සු දකිනවා සුනීතා මේකෙත් නපුරු චරිතයක් කරන්නේ කියලා. ඒ ගේන කෑම මට දීලා කියනවා දෙන්න එපා අරයට කියලා ( ඇය සිනාසෙමින්)මට එයා දුෂ්ටකම් කරනවා කියලා දෙන්න එපා කියනවා.

මෙහි එක් දර්ශනයක් තිබෙනවා අයියා මට ගහන අවස්ථාවක්. එය රූගත කරන දවසේ උදය අයියට සිදු වුණා ලණුවක් දාලා රූ ගත කිරීම් කරන තැන වෙන් කරන්න. ඒ දර්ශනය අපි දොරවල් ජනෙල් ඔක්කොම වහලා කළේ. මොකද උදය අයියා කිව්වා මට ගහනවා මිනිස්සුන්ට පෙන්නන්න එපා කියලා. ඒ තරම් ආදරයක් තිබුණා ඔවුන්ගේ. ගස් උඩ නැඟලා අපේ රූගත කිරීම් බැලුවේ. ඒ ලැබුණ ආදරය මම අනතුරට ලක්වුණ වෙලාවෙත් මම දුටුවා.

 

එදා ඔබ කළ නිර්මාණ අද පරම්පරාවත් ආදරයෙන් වැලඳගද්දි අද බිහිවෙන නිර්මාණ ගැන මොකද හිතෙන්නේ?

අද රංගනය හා ගායනය පටලවගෙන. ගායනා කරන්න ඕන අය රංගනය කරනවා. රඟපාන්න ඕන අය ගායනා කරනවා. එවිට පරපුරක් නිර්මාණය වෙන්නේ කොහොමද? දැන් යන මේ ක්‍රමය ව්‍යාපාරයක්. මේ අතරතුර තවම පරණ අධ්‍යක්ෂවරු රසවින්දනයෙන් ඉහළ නිර්මාණ බිහි කරමින් යනවා. එදා අපේ චරිත මේ විදිහට ඉස්මතු වුණේ අපි ගෙදර තියෙන අදුම් ඇන්දෙ නෑ. ගෙදර අඳීන්නේ නිල්මිණිගේ ඇදුම්. ඒවා සරෝජනීට හරි යන්නේ නෑ. සරෝජනීගේ ඇදුම් සියල්ල අලුතින් නිර්මාණය කළ ඒවා. මට මතකයි සරෝජිනි ගැන කතා කරන්න උදය අයියා සරෝජිනීව ඇඳගෙන ආවා. ඒ එන්නේ වෙලාවක් වෙන්කරගෙන කලා අධ්‍යක්ෂ, නිෂ්පාදක එක්කගෙන. අද වනවිට මේ සියල්ල වෙනස් වෙලා. ගෙදරින් ඇඳගෙන යන ඇඳුමෙන් රඟපානවා. නළුවා හෝ නිළිය දන්නේ නෑ තමන්ගේ චරිතයට අවසානයේ මොකද වෙන්නේ කියලා. මුල මැද අග තියෙන පිටපතක් නෑ. අවසානයේ චරිතය වගේම ඒ අයත් නැති වෙලා යනවා. කලාවත් නැතිවෙනවා.