මේක අහස පොළොව නුහුලන අපරාධයක්

-අනූෂා දමයන්ති
අගෝස්තු 5, 2021

මාලබේ ප්‍රදේශයේ ගණිකා නිවාසයක් පොලිසියෙන් වටලා ඇති බවත්, එය ජනප්‍රිය රංගන ශිල්පිනියකගේ බවත් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ එක්තරා පුවතක් පළ වුණා. ඒ හා සබැඳී ජනප්‍රිය රංගන ශිල්පිනිය වශයෙන් සඳහන් කොට තිබුණේ අනූෂා දමයන්ති. ඒ පුවත දැකල මහත් වූ විමතියට වගේම කම්පනයට පත්වූ ඇය නතර වුණේ ඛ්ධ්ච් එකටත් ගිහින්. ඇත්තටම මොකක්ද මේ කතන්දරේ අගමුල? ඇයි මෙහෙම කතාවක් හැදුණේ? ඒ පිළිබඳ අනූෂා කෙලින් උත්තර දුන් අයුරුයි. ඒත් සමඟ තවත් පැන කිහිපයක් අප ඇගෙන් ඇසුවා.

 

පළමුව ස්තූතිය වන්ත වෙනවා මාව විශ්වාස කරලා අපේ සරසවිය පුවත්පතේ මේ පිළිබඳව පුවත්පත් ලිපියක් මට ලබාදුන්නාට. කලාකාරිනියක් විදිහට දේශපාලන ක්‍රියාකාරිනියක විදිහට මඩ වැදීම් මට සාමාන්‍යයයි. ෆීල්ඩ් එකට ආව කාලයෙත් කොච්චර නම් ගොසිප් පැතිරුණාද.. ඒත් මම ඒවා ඒ කනෙන් අහලා මේ කනෙන් පිටකළා හිතිනුත් අයින් කරලා දැම්මා. ඒත් මේ කතාව එහෙම අයින් කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඇත්තටම ඒක අහස පොළොව නුහුලන කතාවක්. මාලඹේ ප්‍රදේශයෙහි මට නිවෙසක් තිබුණාලු. මේ ලෝකේ නොකළම යුතු වෘත්තියක් සඳහා ඒක යොදාගත්තාලු, ඒක වලාන දූෂණ මර්දන ඒකකයෙන් වැටලුවාලු. මම මේ ගැන කියන්න සරත් වීරසේකර අමාත්‍යවරයාට කතා කළාලු. ඔහු පොලිසිය ඇමතුවාලු..... මහා පුදුම කතාවක් ඒක. මං දන්නෑ මිනිස්සු මෙහෙම බොරු ගොසිප් කොහොම මවනවද කියලා. මම කියන්නම් ඒ වෙබ්සයිට් එකක්. ඒක දේශපාලනයට සම්බන්ධ එකක්. ඒත් දේශපාලන වශයෙන් වුවත් ගහන මඩ මෙච්චර නින්දිත වියයුතුද.. මේවා හදන අයට අම්මලා තාත්තලා, නැඟණියෝ නැද්ද.. මාව මානසිකව වට්ටන්න මගේ වැඩකටයුතු කඩාකප්පල් කරන්න මගේ ප්‍රතිරූපයට හානි කරන්න හිතාගෙනම කරපු වැඩක්. මම හිතනවා මේ වගේ වැඩ කරනවට ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කරාවි කියලා.

 

පසුගිය දිනවල අපි දැක්කා ඔබ වගේ ජනප්‍රිය චරිත කිහිපයකට ගොසිප් හැදිලා තිබුණා. ඒ අයත් නීතිය ඉදිරියට ගියා. ඒත් ඒ අපරාධකරුවන්ට දඬුවම් ලැබුණා කියලා අප දැක්කේ නැහැ?

මම හිතනවා මේ වෙනුවෙන් නීති තවදුරටත් සම්පාදනය විය යුතුයි කියලා. මගෙ මේ ගොසිප් එකත් එක්ක මෙරටේ කාන්තාවන්ට හිතන්න යමක් ඉතිරි කළා. මොකක්ද ඔවුනට ඇති සුරක්ෂිතතාවය. ෆෝන් එකක් අතට ගත්ත ඕනෑම කෙනෙකුට මෙහෙම පුවත් මවන්න පුළුවන්. එක ඇඟිලි තුඩකින් මහා ලෝක විනාසයක් කරන්න පුළුවන් තරම් ප්‍රවෘත්ති හදන්න පුළුවන්. මම හිතන්නේ තමන්ට යන්න බැරි වුණු තැන්වලට ගිය පුද්ගලයින්ට එරෙහිව මඩගහන එක මේ අයගේ පුරුද්දක්. අර අපි කට වචනෙට කියන්නෙ ඇරියස් කවර් කරගන්නවා කියලා. අන්න ඒවගේ එකක්. මෙහෙම කරන පුද්ගලයෝ සමාජය ඉදිරියට ගේන්න ඕනේ. එක්කෙනෙක් ගේන්න ඒ වගේ... ආයේ කවුරුවත් කරන එකක් නැහැ ඔය වගේ පහත් වැඩ.

 

ඔබට වැඩි වශයෙන් මඩ ප්‍රහාර දියත් කරන්නේ ඔබ දේශපාලනික වශයෙනුත් ජනප්‍රිය චරිතයක් නිසා කියලා ඔබ කිව්වා.. මේවා විඳීමින් සිටින ඔබේ දේශපාලනික අරමුණ මොකක්ද?

ඇත්තටම කියන්න ඕනේ මේ මම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයන්ට සහයෝගය දැක්වූයේ අප රටේ තිබුණු තිස් වසරක කුරිරු යුද්ධය නිමා කරන්නට එතුමා ප්‍රතිඥා දීපු නිසා. ඇත්තටම කිව්වා වගේම ඒ දේ ඒ ආකාරයෙන්ම ඉෂ්ට කළානේ. පසුකාලීනවත් එහෙමම තමයි. දැක්මක් ඇති නායකයින්ට තමයි මම කවදත් උදව් කරන්න පෙළඹුණේ. එහෙම වුණා කියලා කවදාවත් ඡන්දයක් ඉල්ලන බලාපොරොත්තුවක් තිබුණෙ නැහැ. මම ඉතා වගකීමෙන් කියන්නෙ කිසිම වරප්‍රසාදයක් මේ වෙනකොට අරගෙනත් නැහැ. දේවල් අහිමි වුණා මිසක් ලබපු දෙයක් නෑ මේ දේශපාලනය කරලා. හැබැයි මම අදටත් හෙටටත් මතුවටත් මගේ රට වෙනුවෙන් පෙනී සිටිනවා. ඒකයි මගේ දේශපාලන දැක්ම.

 

රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබා ගැනීම වෙනුවෙන් කලාකරුවන් එකතු වුණා. ඔබත් ඒ කණ්ඩායම නියෝජනය කරන්න ගියා. රන්ජන් රාමනායක කියන්නෙ දේශපාලන වශයෙන් විරුද්ධ පාර්ශ්වයේ සාමාජිකයෙක්?

මම මෙහිදී පාට පක්ෂ නෙවෙයි බැලුවේ. රන්ජන් රාමනායක කියන කලාකරුවා වෙනුවෙනුයි මම පෙනී සිටියේ. ඇත්තටම ඒ වගේ කලාකරුවෙක් සිරගතව ඉන්නවා කියන්නේ කලාකරුවෙකු විදිහට ඔහුට වන අසාධාරණයක් කියලා කියන්න පුළුවන්. මිනිස්සු අතින් යම් යම් වැරදි වෙනවා. ඒත් කලාකරුවෙක් විදිහට ඔහු එතන ඉන්න ඕන චරිතයක් නොවන නිසයි මම රන්ජන් රාමනායක නිදහස් කර ගන්න තියෙන තැන ඉන්නේ.

 

ඔබ ඉතා දිගු කලකට පසු වේදිකා නාට්‍යයක රඟපානවා. ඒ පිළිබඳව විස්තර කළොත්?

මේ වෙලාවෙ මතක් කරන්න ඕනෑ ඉතා ආදරයෙන් ටෙනිසන් කුරේ කියන අපේ හිතාදර රංගන ශිල්පියා. ඔහු විසින් ප්‍රති නිර්මාණය කළ සිවම්මා ධනපාල නාට්‍යය නැවතත් වේදිකාගත කරන්නට සූදානම් වෙද්දී එහි කළ සිවම්මාගේ චරිතය තමයි මම රඟපාන්නෙ. ටෙනිසන් කුරේ එදා නාට්‍ය කරද්දිත් මට කතා කළා. නමුත් ඒ වෙනකොටත් විවිධ ශිල්පිනියන් ඒ චරිතය කරමිනුයි හිටියේ. එනිසා මම කොයි වෙලාවකවත් ඔවුන් ඉන්නකොට ඒ චරිතය රඟපාන්න ගියේ නැහැ. පසුගිය දවසක අපේ ක්‍රිෂාන්ත වීරමන් කියන අධ්‍යක්ෂවරයා දුරකථන ඇමතුමක් දීලා කිව්වා මේ නාට්‍යය වේදිකාගත කරන්නට සූදානම් වෙනවා කියලා. සිවම්මාගේ චරිතය කරන්න පුළුවන්ද කියලත් ඇහැව්වා. අන්න ඒ වෙලාවේ නම් දෙපාරක් හිතන්නැතුව හා කියන වචනය දුන්නා. ඉතින් ටෙනිසන් කුරේ මහත්මයා වියෝ වෙලා වසරක් පිරෙන වෙලාවේ අපි ඒක වේදිකාගත කරන්නට සූදානම්වෙලා ඉන්නවා. ඒක නරඹන්න එන්න කියලත් ආරාධනා කරනවා.

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න