සංගීතය තමයි මගේ ජීවිතේ

- කපිල අපරැක්ක
අගෝස්තු 5, 2021

සංගීත අධ්‍යක්ෂවරයෙකු තනු නිර්මාණ ශිල්පියකු සහ ගායකයකු වන කපිල අපරැක්ක නැවතත් සංගීත ක්ෂේත්‍රයට සක්‍රීයව සම්බන්ධ වීමට තීරණ කර තිබෙන්නේ දිගු නිහැඬියාවකින් පසුයි. මේ දිනවල රුහුණු ගුවන්විදුලියෙන් විකාශය වන ජනප්‍රිය ගීතයක් වන “එක දවසයි සඳ ආවේ මාතර වෙරළට”, ගීතය ඔහු ගායනය කරන ජනපි‍්‍රය ගීතයකි. ඉඳුවරියේ, මියුලැසියේ, සිහින කුමාරියේ වැනි ජනප්‍රිය ගීත රැසක් ද ඔහු තනු නිර්මාණය කර ඔහු විසින් ම ගායනා කරයි. මේ හැරුණු විට ලංකාවේ ප්‍රවීණ ගායකයන්ගේ ගීත උදෙසා සංගීත අධ්‍යක්ෂණය කරයි. කලක් ශක්ති සංගීත කණ්ඩායම ඇතුළු සංගීත කණ්ඩායම් රැසක වාදන ශිල්පියකු මෙන් ම ගායන ශිල්පියකු ලෙස සේවය කළ ඔහු කෙටි කාලයක් සංගීත ක්ෂේත්‍රයෙන් බැහැරව විදේශගත වී සිටියේය. නැවත සංගීත ක්ෂේත්‍රයට අවතීර්ණය වීමට ඔහු තීරණය කර ඇත. ඒ සම්බන්ධව තිබෙන අභියෝග මොනවා ද? නව නිර්මාණ මොනවාද? යන්න පිළිබඳව අප ඔහුගෙන් විමසුවෙමු.

සංගීතයට පිවිසීම පිළිබඳව විස්තර කළොත්?

මගේ ගම ගාල්ලේ හබරාදූව කොක්වත්ත. මම පාසල් ගියේ ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයට. කුඩා කාලයේ සිට මට සංගීතයට හැකියාවක් තිබුණා. මේ හැකියාව වර්ධනය කරගන්න මගේ අම්මා තාත්තා වගේ ම මගේ සහෝදර සහෝදරියොත් ගොඩක් උදව් කළා. ඒ අය කුඩා කාලයේ දී ම මගේ දක්ෂතා තේරුම් ගත්තා. මාව අගය කළා. ඒ ශක්තිය මට ඉදිරියට එන්න පිටිවහලක් වුණා.

 

ඔබ මුලින් ම යොමු වුණේ ගායනයට ද? වාදනයට ?

මට ගායන හැකියාවත් තියෙනවා. ඒත් මං මුලින් ම යොමු වුණේ වාදනයට. කුඩා කාලයේ මං වාදනය කරන්න කැමැති ම සංගීත වාද්‍ය භාණ්ඩය තමයි බටනලාව.

 

ඔබේ පාසලෙන් සංගීත හැකියාව වර්ධනය කරගන්න ඔබට ලැබුණ පිටිවහල කෙබඳු ද?

සංගීත හැකියාව වර්ධනය කරගන්න මූලික අඩිතාලම වැටුණේ සිසිර කුමාර සර්ගෙන් තමයි. මම විවේක කාලවල දී පවා යාළුවොත් එක්ක එකතුවෙලා සංගීත පුහුණුවීම්වල යෙදුණා. ඒ වගේ ම ප්‍රසන්න ලංකනාත් සර්, දීපානන්ද කුඩාහෙට්ටි සර් මගේ සංගීත කෂේත්‍රයේ ඉදිරි ගමනට විශාල දායකත්වයක් ලබා දුන්නා.

 

ඔබේ වාදන හැකියාවන් ප්‍රගුණ කරන්න වඩාත් දායක වුණේ කවුද?

වාදන හැකියාව වර්ධනය කරන්න වඩාත් දායක වුණේ දීපානන්ද කුඩාහෙට්ටි සර් තමයි. සැක්සෆෝන්, පියානෝ, වයලීන් වැනි වාදන භාණ්ඩ කීපයක් වාදනය කරන්න සර්ගෙන් ඉගෙන ගත්තා. ඒ වගේ ම පාසල් අතර තිබූ වාදන තරගවලට මං සහභාගි වුණා. සමස්ත ලංකා තරගවලින් පවා මම ජයග්‍රහණ කළා. ඇලෝසියස් විද්‍යාලයේ නොදන්න කෙනෙක් නැති තරමට විද්‍යාලීය සිසුන් අතර මාව ජනප්‍රිය වුණා. මේ කාලේ තමයි අපි එකතුවෙලා ඇලෝසියන් බෑන්ඩ් එක හැදුවේ.

 

ඇලෝසියන් බෑන්ඩ් එකෙන් පාසලට සිදු වුණ සේවය විස්තර කළොත්?

සංගීතයට දක්ෂ ළමයි එකතු කරගෙන තමයි මම ඇලොසියන් බෑන්ඩ් එක හැදුවේ. 10.30, 2.30 සංදර්ශන දෙකක් පෙන්නුවා. ඒ ලැබුණු මුදල්වලින් තමයි අපි ඉස්කෝලෙට බුදුමැදුරක් හදලා දුන්නේ. ඇත්තටම අදත් මතක් වෙනකොට ඒ පිළිබඳව හිතට දැනෙන්නේ ලොකු සතුටක්.

 

ඔබ සම්බන්ධවෙලා හිටිය සංගීත කණ්ඩායම් පිළිබඳ හඳුන්වා දුන්නොත් ?

උසස් පෙළින් පසු මට මගේ ම කියලා සංගීත කණ්ඩායමක් නිර්මාණය කරගන්න ඕනෙ වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ද ස්කෝපියන් බෑන්ඩ් එක බිහි වුණා. එහි ලීඩ් ගිටාරය වාදනය කළා. ඊට පස්සේ ක්‍රිස්ටෝ ගුණරත්නගේ ද ප්‍රොෆෙෂනල්බෑන්ඩ් එකේ ඕගන් වාදකයා මෙන් ම ඩ්‍රම්ස් වාදකයා ලෙසත් කටයුතු කළා. වැලිගම ජයන්ති පුංචිහේවා අයියාගේ බ්ලූ ෆ්ලේම් වාදක මණ්ඩලයේ ඕගන් ශීල්පියා ලෙසත් කටයුතු කළා. ඒ කාලේදී තමයි මට පාණදුරේ සමන්ත කණ්ඩම්බි මුණ ගැහුණේ. ඔහුගේ ද සුපර් බ්‍රේක් වෝටර් සංගීත කණ්ඩායමෙත් මම විදුලි ඕගනය වාදනය කළා.

 

ඔබ ශක්ති සංගීත කණ්ඩායමෙත් වාදන ශීල්පියෙක් ලෙස කටයුතු කළ අයුරු විස්තර කළොත්?

ශක්ති සංගීත කණ්ඩායමේ නායක ඇන්තනි සුරේන්ද්‍ර මහතාට මාව හඳුන්වා දුන්නේ එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන චම්පක රාමනායක මහතායි. ඊට පස්සේ මං ශක්ති සංගීත කණ්ඩායමට එකතු වී සේවය කළා. මේ අතරතුර රූපවාහිනියේ මනෝහාරී වැඩසටහන, එළිමහන් සංගීත ප්‍රසංග වැනි නොයෙක් අවස්ථාවල වාදනය කරන්න හැකි වුණා. මගේ මුල්ම ගීතය පටිගත කළේ 1993 දියි. පද රචනා කළේ සමන් විපේසූරියයි. ඒ ගීතය තමයි රන් සමනල තටු, 1996 වසරේදී මම විදේශ ගත වුණ නිසා සංගීත කටයුතුවලින් මදකට බැහැර වුණා. ඒත් මං සංගීතය අමතක කළේ නැහැ. ඒ රටවල ප්‍රිය සම්භාෂණවල පවා මම වාදනය කළා. ඒකට හේතුව මං සංගීතයට මගේ ජීවිතේ විශාල ඉඩක් ලබා දීමයි.

 

ඔබ සංගීතයට ඉඩක් දෙන්න ලංකාවට එන්න හිතුවේ නැද්ද?

ඇත්තට ම නොයෙක් වර හිතුණා. ඒත් මං ඉතාලියේ විහඟ ස්ටුඩියෝ කියලා මගේ ම ශබ්දාගාරයක් හදලා එහේ ඉන්න අයට අවශ්‍ය සංගීත කටයුතු එයින් කරලා දුන්නා. 2020 දී මං ලංකාවට ආවා. ඒ කාලයේ ජනප්‍රිය ගායකයන් කීපදෙනකුගේ ම ගීතවල සංගීත අධ්‍යක්ෂණ කටයුතු කළා. ඒ වෙලාවේ මට හිතුණා. නැවතත් ලංකාවේ නැවතිලා මගේ සංගීත අධ්‍යක්ෂණ කටයුතු දිගට ම කරගෙන යන්න ඕනේ කියලා.

 

මේ වන විට ඔබ ගීත තනු නිර්මාණ කර ඇති ගායක ගායිකාවන් කවුරුන් ද?

කීර්ති පැස්කුවෙල්, ජගත් වික්‍රමසිංහ, ප්‍රදීපා ධර්මදාස, අමරසිරි පීරිස්, ලක්ෂ්මන් හේවාවිතාරණ, කරුණාරත්න දිවුල්ගනේ, සමන් ලෙනින්,

 

ඔබට ගී පද නිර්මාණය කරන්නෝ කවුරුන් ද?

සමන් විජේසූරිය, දිලනි කස්තුරි ආරච්චි, රත්න ශ්‍රී විජේසිංහ, අනුර මාගලගේ

 

ඔබ ගායනා කරන ගීත මොනවාද?

ඉඳුවරියේ, සිහින කුමාරි, මගේ නොවී, මියුලැසියේ, මේ මල් යායේ, සිහිනේ නුරා, සඳළු තලාවේ, එක දවසයි සඳ ආවේ මාතර වෙරළට, සංසාරයේ ගමන, මා ඇත සිත සීමාවේ, සීතා දේවි, මුළු ලොවක් දකින්නට

 

නවක ගීත රචක රචිකාවන්ගේ ගීත ඔබ භාරගන්නවා ද?

ඔව්. හොඳ ගීත රචනාවක් නම් අනිවාර්යනේ ම මම ඒක භාර ගන්නවා. ඊමෙල් මඟින් ඔබේ ගීත රචනාව මා වෙත එවන්නත් ඔබට පුළුවන්.  [email protected]