ඇක්ටිං උණට දර්ශන්ගෙන් “වාංග මචං වාංග” බෙහෙතක්

අගෝස්තු 5, 2021

 

 

මෑත ඉතිහාසයේ සිනමාව නළුවෙක්ට ආදරය කරන්න ජාති භේද අදාළ නොවන බව ඔප්පු කළේ ඔහුය. ඒ තරමට සිනමා ප්‍රේක්ෂකයෝ ඔහුට ආදරය කළෝය. දකුණු ඉන්දියානු රංගන ශිල්පීන්ගේ "ඇක්ටිං" කට ඇරගෙන බැලූ ලාංකේය සිනමා ප්‍රේක්ෂකයෝ ඔහු දුෂ්ටයාගේ චරිතය රඟපාද්දී පවා සිනමාහල් තුළ ඔහුට විසිල් ගැසුවෝය. ‍ඔහු කෙතරම් රංගනයට ආශා කළේද යත් රඟපාන්න අවශ්‍ය නිසා රැකියාව අත්හැර කලක් කොළඹ මුට්ට කරගැසූ බව හෙතෙම පවසා ඇත. යුද සමයේදී පවා කලාවෙන් ජාති ආගම් භේදයට විසඳුම් සොයන්නට ඔහු ගත් උත්සාහය ප්‍රශංසනීයය. හෙතෙම නමින් දර්ශන් ධර්මරාජ් වේ. ලාංකේය සිනමාවේ වර්තමානික දමිළ ලකුණ ලෙස නම් කළ හැකි ඔහු නැවතත් රිදී තිරයෙන් ඔබ හමුවට එයි. ඒ මේ දිනවල තිරගත වන හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂණය කළ "කබඩි" සිනමාපටයේ "ධර්මරාජ්" ලෙසිනි. කබඩි සිනමාපටය ගැන මෙන්ම සිනමාවේ වර්තමානය ගැන ඔහු අප සමඟ බොහෝ දේ පැවසුවේය. මේ දිගහැරෙන්නේ ඒ සංලාපයයි.

 

 

දර්ශන් කාලෙකට පස්සේ නැවතත් රිදී තිරයේ දුෂ්ටයා වෙලා?

ඔව් දැන් මම දුෂ්ටයාගේ චරිතයට පුරුදු වෙලා. දුෂ්ටයාගේ චරිතය කරනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. හැම චරිතයක්ම එහෙම ලේසියෙන් කරන්න බැහැ. දුෂ්ටයාගේ චරිතය ගත්තොත් ඒ චරිතය කරන්නත් ඕනේ. ප්‍රේක්ෂකයන්ගේ හිත දිනාගන්නත් ඕනේ. දුෂ්ටයාගේ චරිතය කියන්නේ රංගනයේදී ඒකාකාරී නැති නව රසයම පෙන්වන්න පුළුවන් චරිතයක්. මම හරිම ආසයි දුෂ්ටයාගේ චරිතය මට ලැබෙනවා නම්. කාලෙකට පස්සේ "කබඩි" චිත්‍රපටයේ "ධර්මරාජ්" කියන දුෂ්ටයාගේ චරිතය මම නිරූපණය කරන්නේ. කබඩි කියන්නේ "ගිල්ලි" කියන දෙමල චිත්‍රපටය අනුසාරයෙන් කරපු සිංහල චිත්‍රපටයක්. "ගිල්ලි" චිත්‍රපටයේදී රංගනයෙන් වැඩියෙන්ම ඉස්මතු වුණේ දුෂ්ටයාගේ චරිතය. ඒක කළේ මගේ ප්‍රියතම නළුවෙක් වෙන ප්‍රකාශ් රාජ් කියන දකුණු ඉන්දියානු නළුවා. ඔහුගේ ඒ චරිතය නිරූපණය කරපු විදිහ වගේම මගේ ඇතුළාන්තයෙන් එන රංගනය ඔක්කොම එකතු කරලා තමයි මේ ධර්මරාජ්ගේ චරිතය මම ගොඩනැඟුවේ.

 

කබඩි චිත්‍රපටයේ ධර්මරාජ්ගේ චරිතය ගැන කොව්වොත්?

ධර්මරාජ් කියන්නේ පාතාල නායකයෙක්. එයා ඇමතිවරයෙක්ගේ සහෝදරයෙක්. ඒ බලතල අරගෙන තමයි එයාගේ හැම මැර වැඩක්ම කරන්නේ. එයා මලිති කියන ගමේ ලස්සන ගෑනු ළමයෙක්ට ආදරය කරලා එයාගේ අකමැත්තෙන් එයාව බලෙන් විවාහ කරගන්න හදනවා. ධර්මරාජ්ට ඕනේ තමන් ආදරේ කරන මලිතිව එයාගේ ළඟින්ම තියාගන්න. එයා දිහා කවුරුත් බලනවාටවත් ධර්මරාජ් කැමති නැහැ. දුෂ්ටයා වුණාට ධර්මරාජ් ඇතුළේ තියෙන ආදරේ චිත්‍රපටයෙන් ප්‍රේක්ෂකයාට පෙනේවි කියලා මම හිතනවා.

 

"කබඩි" චිත්‍රපට අධ්‍යක්ෂවරයා හර්ෂ උඩකන්දගෙන් ලැබුණේ කොයිවගේ සහයෝගයක්ද?

හර්ෂ තමයි මේ චරිතය ගොඩනඟන්න වැඩියෙන්ම මහන්සි වුණේ. සමහර අධ්‍යක්ෂවරුන් රංගනයේදී ඔවුන්ගේ රාමුව තුළ අපිව කොටු කරන්න හදනවා. සමහර අධ්‍යක්ෂවරුන් යටතේ අපි හරි නිදහසේ රඟපානවා. හර්ෂගෙන් ඒ නිදහස උපරිමයෙන් මට ලැබුණා. ඒ නිසා මේ චරිතය ලස්සනට ගොඩනඟන්න මට ලැබුණා කියලා මම විශ්වාස කරනවා. මේ වගේ චරිතයක් මට නැවත ලැබෙන එකක් නැහැ.

 

ධර්මරාජ්ගේ චරිතයට චිත්‍රපට නැරඹූ ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ගැන කිව්වොත්?

කබඩි නිසා මට ආදරේ කරන සිංහල ප්‍රේක්ෂකයන් තවත් වැඩි වුණා. හැමෝම මේ චරිතයට ගොඩක් කැමතියි. චිත්‍රපටය බලපු හැමෝම කියන්නේ "ඔයා හොඳට මේ චරිතය ඇතුළේ සෙල්ලම් කරලා තියෙනවා" කියලා. කොහොමත් ලංකාවේ ගොඩක් සිනමා ප්‍රේක්ෂකයන් දකුණු ඉන්දියානු ශෛලියට වැඩි කැමැත්තක් දක්වන නිසාත්, දකුණු ඉන්දියානු සිනමාපටවල දුෂ්ටයාට ආදරේ කරන නිසාත් මේ චරිතය නිසා මට ආදරය කරන ප්‍රේක්ෂකයන් ගණන වැඩි වුණා.

 

මෙහෙම ගිහින් දර්ශන් දුෂ්ටයාගේ චරිතවලම කොටුවෙයිද?

නැහැ. මුල ඉඳන්ම මගේ චරිත එහෙම දුෂ්ටයාට කොටු වෙන්න හදනකොට ඒක සුනෙත් මාලිංග "සිංහාවලෝකනය" චිත්‍රපටයෙන් වෙනස් කළා. ඒකේ මම කළේ ගමක සිංහල ගැමි තරුණයෙක්ගේ චරිතයක්. ඒ වගේම "මාතා" චිත්‍රපටයේ වෙනස් චරිතයක් මම නිරූපණය කළා. ත්‍රස්තවාදී චරිතයක් වුණාට ඒක ප්‍රතිවීර චරිතයක් නෙමෙයි. ඒ වගේම සෝමරත්න දිසානායක මාව දුෂ්ටයෙක් විදිහට දැක්කෙ නැහැ. සුනාමි චිත්‍රපටයෙන් එයා මාව වෙනස්ම සංවේදී චරිතයක් කළා. මාව දුෂ්ටයා විදිහට දකින්න අකමැති අධ්‍යක්ෂවරුත් ඉන්නවා. ඉදිරියේදී තිරගත වෙන්න තියෙන "මාරියා" චිත්‍රපටයේ මම, මහේන්ද්‍ර පෙරේරා, හේමාල් රණසිංහ දසුන් පතිරණ අපි ඔක්කොම ප්‍රධාන චරිත නිරූපණය කරනවා. අනාගතයේදී මාව දුෂ්ටයාට වඩා වෙනස් විදිහට ප්‍රේක්ෂකයාට දකින්න පුළුවන් වෙයි.

 

ක්ෂේත්‍රයට ඇවිත් දැන් වසර කීයක්ද?

මම රඟපාන්න කොළඹට ආවේ 2000දී. ඒ කියන්නේ දැන් අවුරුදු 21ක්.

 

ආපු ගමන ගැන නැවත හැරිලා බැලුවොත් මොකද හිතෙන්නේ?

මම හරිම හෙමින් ගමනක් ආපු එක්කෙනෙක්. යුද්ධය ජාතිවාදී ප්‍රශ්න තියෙන කාලේ සෑහෙන්න පීඩා විඳීමින් මේ ගමන ආවේ. ඒත් ඒ ගත වුණු හැම මොහොතක්ම මට අලුත් අත්දැකීමක් වුණා. ඒ වසර 21 ඇතුළත සිදුවුණ හැම සිදුවීමකින්ම මම අලුත් දෙයක් ඉගෙන ගත්තා. රංගනය කියන්නේ අපි අපි විසින්ම ඉගෙනගන්න ඕනේ විෂයක්. මම තවමත් ගොඩක් දේවල් ඉගෙන ගනිමින් ඉස්සරහට යන්නේ. ආපු ගමන ගැන සතුටුයි. යන්න තියෙන ගමන ගැන බලාපොරොත්තු ගොඩක් තියාගෙන ඉන්නේ.

යුද්ධය අවසන් වෙලා වසර දොළහක් වෙනවා. ඒත් තවමත් මේ ජාතිවාදි ප්‍රශ්නය තියෙනවා?

ඒක තනි පුදගලයන් වශයෙන් හිතලා හිතින් හදාගන්න ඕනේ දෙයක්. රැස්වීම් පවත්වලා, පත්තරවල පිටු ගණන් ලියලා, ටීවී එකේ පරවියෝ නිදහස් කරලා සහජීවනය හදන්න බැහැ. සහජීවනය හදන්න නම් අනෙකාට ආදරේ කරන්න පුරුදු වෙන්න ඕනේ. මනුෂ්‍යත්වයට ජාතිභේද නැති බව අවබෝධ කරගන්න ඕනේ. හෙට ඉපදෙන පොඩි දරුවාට පවා මනුස්සකම කියලා දෙන්න ඕනේ. මම මගේ ගෙදර ඉස්සරහා පාර අතුගානකොට එහා ගෙදරට මායිම් වෙන පාරත් අතුගානවා. ඒ මම අතුගාන්නේ "මගේ මවුබිම" කියන හැඟීමෙන්. හෙට මම නැති වුණොත් මේ බිම වෙන කෙනෙක්ට අයිති වෙනවා. එහෙත් ජීවත් වෙලා ඉන්න කාලේ අපේ මහපොළොවට අපි ආදරේ කරන්න ඕනේ. පරිසරයට ආදරේ කරන්න පුරුදු වුණ කෙනා අනිවාර්යයෙන්ම මිනිස්සුන්ටත් ආදරේ කරන්න පුරුදු වෙනවා.

කලාකරුවෙක් විදිහට මේ ජාතිවාදී ප්‍රශ්නවලට කලාවෙන් උත්තර හොයන්නේ කොහොමද?

ආර්ට්වලින් දෙන්නෙම ජීවිතයට උත්තර තමයි. ඒක ජාතිවාදී ප්‍රශ්නවලදි විතරක් නෙමෙයි. මිනිස්සු පැටලිලා ඉන්න ගොඩක් තැන් ලිහිල් කරගන්න කලාව උත්තර දෙනවා. චිත්‍රපටි බලන්න ඕනේ නම් අපිට සිනමාශාලාවලටම ගිහින් චිත්‍රපට බලන්න වුණ කාලයක් තිබුණා. ඊටපස්සේ ටෙලිවිෂන් එක ආවා. ඒකෙන් චිත්‍රපට බලන්න පුරුදු වුණා. ඊටපස්සේ සීඩී, ඩීවීඩීවලින් චිත්‍රපට බැලුවා. දැන් නෙට්ෆ්ලික්ස් එකෙන් චිත්‍රපට බලනවා. මිනිස්සු කොච්චර නම් චිත්‍රපට බලනවාද? ඒවායෙන් ජීවිතයට කොයිතරම් පණිවිඩ දෙනවාද? ඒත් ඒවා මිනිස්සු එයාලගේ ජීවිතවලට අදාළ කරගන්නවාද? නැහැ. ඒ දේවල් ඇත්ත ජීවිතයට ගන්නේ නැහැ. අපිට රිදවාගන්නෙත් අපිමයි. අපිට ආදරේ කරන්නෙත් අපිමයි. අපි කල්ප ගාණක් ජීවත්වෙන්න ඇවිත් නැහැ. ඉන්නේ හරිම පොඩි කාලයයිනේ. අපි මේ ජීවත් වෙන පොඩි කාලේ හරිම පුංචි දේවල්වලට රණ්ඩු වුණා කියලා අපිට මොනවද ලැබෙන්නෙ? එහෙනම් ඇයි මෙච්චර රණ්ඩු වෙන්නේ? දෙමළ සිංහල කියලා බෙදනවාට වඩා අපි ලාංකිකයෝ කියලා හිතනවා නම් මම හිතනවා රටක් විදිහට ලොකු දුර ගමනක් යන්න පුළුවන් වෙයි කියලා.

 

සිනමාවේ සහ කලාවේ තවමත් දෙමල නියෝජනය අවමයි.

ඒකට ලොකුම හේතුව ඉන්දියානු සිනමාව. දැන් ලංකාවේ නිර්මාණකරුවෝ හැමෝම වගේ අනුගමනය කරන්නේ ඉන්දියානු සිනමාව. අපි ඉස්සර "දූදරුවෝ" ටෙලිනාට්‍ය බලද්දි අපිට ඒ විදේශීය නැඹුරුව දකින්න ලැබුණේ නැහැ. අපේ පවුලේ අයගේ කතාවක් විදිහට අපිත් ඒ ටෙලිනාට්‍ය රසවින්දා. ලංකාවේ රසය ටිකෙන් ටික සිනමාවෙන් ටෙලිනාට්‍යවලින් ඈත් වෙන්න ගත්තා. සමහර සිනමාපට පිටරටවල ගිහින් රූගත කළා. මොකද ඒ තරමට විදේශීය ආභාඪය ලංකාවේ සිනමාවට ඈදගත්තා. අනිවාර්යයෙන් සටන් ජවනිකා පහයි සින්දු පහයි තියෙන්න ඕනේ වගේ රීතියක් සිනමාවට ගෙනාවා. එහෙත් අපේ ලංකාවේ දේවල් ඒවායේ නැහැ. මෑතකදී අපි "කෝමාලි කිංග්ස්" දෙමල චිත්‍රපටය හැදුවා. ඒක දෙමළ ජනතාව අතර ටිකක් ජනප්‍රිය වුණා. මම හිතන්නේ ඉන්දියානු සිනමාව ලංකාවේ සිනමාවට ආදේශ කරන තාක් කල් සිනමාවට දෙමළ නියෝජනය අවම වේවි. මොකද අපිට ඕනේ අපේ දේ. දෙමළ මිනිස්සු ඉපදුණ කාලේ ඉඳලා බැලුවේ ඉන්දියානු නිර්මාණ. එයාලා ඉන්නේ ඉන්දියාවේ නෙමෙයි ලංකාවේ. එයාලට රඟපාන්න පුළුවන් ලංකාවේ විදියට. එයාලා දකින්නේ ලංකාවේ දේවල්. ඔක්කොටම කලින් සිනමාකරුවෝ ලාංකේය වෙන්න ඕනේ. දෙමළ තරුණ තරුණියන් හරිම දක්ෂයි. ඒ අය හැරෙද්දි කියන්න පුළුවන් ඇඟේ "ඇක්ටිං" කියනවා කියලා. එහෙත් එයාලට ඉස්සරහට එන්න කියලා කියන්න කවුරුත් නැහැ.

 

මෑතකාලයේදී නළුවෙක්ට ආදරේ කරන්න ජාති භේද අදාළ නොවන බව ඔබ ඔප්පු කරලා පෙන්නුවා. කොහොමද මේ තරම් ප්‍රේක්ෂක ආදරේ දිනාගත්තේ?

ඇත්තටම මම හරිම වාසනාවන්තයි. සමහර වෙලාවට මම නුවරඑළියේ, බඳුලු, බණ්ඩාරවෙල යනකොට සිංහල අය ඇවිත් මං එක්ක ෆොටෝ ගන්නවා. එතකොට දෙමළ අයත් මාව හඳුනගන්නවා. දෙමල ප්‍රේක්ෂකයන්ට වඩා මට වැඩියෙන් ආදරේ සිංහල ප්‍රේක්ෂකයන්. වතුකරයේ දෙමළ ජනතාව බහුතරයක් බලන්නෙ සිංහල ටෙලිනාට්‍ය. රූගත කිරීම්වලදී එයාලා ඇවිත් කතා කරනකොට මම ගොඩක් සතුටු වෙනවා දෙමළ සිංහල ටෙලිනාට්‍ය බලනව නේද කියලා. මම හැමෝටම කියන්නේ අපේ දෙය මුලින්ම අගය කරන්න ඕනේ කියලා. අපේ දේවල් අගය කළොත් අපේ දේවල්වල වටිනාකම තේරුණොත් අපිට ප්‍රේක්ෂකයන් ආදරේ කරන්න පටන්ගන්නවා.

 

දැන් වසර කිහිපයක ඉඳන් ලංකාවේ සියලුම ප්‍රේක්ෂකයන් දකුණු ඉන්දියානු සිනමාපටවලට නැඹුරුවක් දක්වනවා.

දකුණු ඉන්දියානු සිනමාව දැන් හිතාගන්න බැරිතරම් දියුණුයි. හොඳ අධ්‍යක්ෂවරු හොඳ නිෂ්පාදකවරු හොඳ නළු නිළි කණ්ඩායමක් ඔවුන්ට ඉන්නවා. අර ඇඟ හදාගෙන ලස්සනට සුදුවට ඉන්න කෙනා වීරයා විදිහට පිළිගන්න සිනමා ප්‍රේක්ෂකයන් පිරිසක් තවදුරටත් නැහැ. ඒක දනුෂ්, විජය, සූර්යා ඇවිත් වෙනස් කළා. ප්‍රේක්ෂකයන් කැමති විදිහට එයාලට සමීප විදිහට චිත්‍රපට නිර්මාණය කරන්න දකුණු ඉන්දියානු සිනමාව දැන් පෙළඹිලා තියෙනවා. ඒ අයගේ සිනමාවට වාරණ නැහැ. සිනමාව හරහා සමාජයට පණිවිඩයක් දෙන්න නම් සිනමාපට හරහා සමාජය ඇතුළේ තියෙන ජරාජීර්ණකම පෙන්වන්න ඕනේ. ඒක දකුණු ඉන්දියානු සිනමාව ලස්සනට කරනවා. ලංකාවේ වගේ සිගරට් එකක් බිව්වොත් ඒ දර්ශනය කපන සිනමාවක් නෙමෙයි ඒ අයට තියෙන්නේ. දනුෂ් හාල්මැස්සෙක් වගේ ඉඳලා මේ තරම් පිරිසකට ගහන්නේ කොහොමද කියලා චිත්‍රපටය බලන ප්‍රේක්ෂකයන් හිතන්නේ නැහැ. එයාලා බලන්නේ චිත්‍රපටය ඇතුළේ තියෙන මැජික් එක. අපිට අල්ලගන්න බැරි වුණේ අන්න ඒ මැජික් එක තමයි. ඒත් අපි තවමත් 1965 තිබුණු සිනමාව තමයි අනුගමනය කරන්නේ.

අපේ සිනමාව එතැනට රැගෙන යන්න නම්?

ලංකාවේ චිත්‍රපට දකුණු ඉන්දියානු මට්ටමට ගෙන යන්න මීට වසර විස්සකට එහා සිනමාව තියෙන්න ඕනේ කොහොමද කියලා හිතන්න ඕනේ. කලාකරුවා කියන්නෙ සාමාන්‍ය පුද්ගලයාට වඩා ටිකක් එහාට හිතන්න පුළුවන් කෙනෙක්නේ. එයාට පුළුවන් වෙන්න ඕනේ දැන් තියෙන දේවලට වඩා අවුරුදු ගණනක් එහායින් හිතන්න. තවමත් ලංකාවේ නිර්මාණකරුවන් මට්ටමට ගිහින් හිතන්නේ නැහැ.

 

ඉන්දියානු සිනමාවේ වගේම දැන් මෙරට සිනමාවේත් හැඩරුවට වඩා රඟපාන්න පුළුවන් නළු නිළියන්ට තැනක් තියෙනවා නේද?

සිනමා ප්‍රේක්ෂකයන් හරි ඉක්මනට නළු නිළියන්ව කියවනවා. දැන් ප්‍රේක්ෂකයෝ අපිව කියවලා ඉවරයි. අපිට සිනමාව ඇතුළේ යන්න පුළුවන් පරාසය තේරුම් අරගෙන ඉවරයි. ඒ නිසා දැන් ප්‍රේක්ෂකයන්ට බොරු කරන්න බැහැ. ප්‍රේක්ෂකයෝ කැමතියි තමන්ගේ ජීවිතේ කොයි මොහොතක හෝ මුණ ගැහුණු චරිත චිත්‍රපටවලින් දකින්න. ඒ අය කැමරාවට එතරම් ඒ තරම් ලස්සන නොවෙන්න පුළුවන්. ඒත් ඒ තමයි ඇත්ත චරිත. ලංකාවෙත් ඒ ඇත්ත චරිතවලට ප්‍රේක්ෂකයෝ ආදරේ කරනවා.

 

අලුත් පරපුර ගැන මොකද හිතන්නේ?

අලුත් පරපුරු ඉතාම දක්ෂයි. අපිටත් වඩා දක්ෂ ගොඩක් ළමයි දැන් අලුතෙන් ක්ෂේත්‍රයට එනවා. ඒත් එයාලට රංගනයට එන්න ක්ෂේත්‍රයේ අවස්ථා තියෙන්නේ හරිම අඩුවෙන්. මම ඒ ගැන ගොඩක් කනගාටු වෙනවා. එයාලා කොච්චර දක්ෂ වුණත් ඒ දක්ෂතාව පෙන්ව ගන්න හරි වේදිකාවක් නැත්නම් වැඩක් නැහැ. අධ්‍යක්ෂවරුන් වුණත් අලුත් අයව වැඩවලට ගන්න මැළිකමක් දක්වනවා. මම හිතනවා ඒ පරම්පරාවට තව වැඩියෙන් අවස්ථාව දෙන්න ඕනේ කියලා. අපි අවුරුදු විස්සකට කලින් බලපු සිනමාව නෙමෙයි දැන් තියෙන්නේ. කලාව කියන්නේ දවසින් දවස අලුත් වෙන දෙයක්. එහෙම අලුත් වෙන්න නම් අලුත් පිරිසක් දවසින් දවස කලාවට එන්න ඕනේ. ඒ අයට අවස්ථා දෙන ඕනේ. ඒ වගේම රංගනයට අලුතෙන් එන අයට ඒ ගැන හරියට ඉගෙනගන්න තැනක් නැහැ.

 

රංගනය ගැන තමන් දන්න දේවල් අලුත් පරම්පරාවට උගන්වන්න බලාපොරොත්තුවක් නැද්ද?

තියෙනවා. මම ඒක ළඟදීම කරන්න බලාපොරොත්තු වෙනවා. කොරෝනා වසංගතය එන්න කලින් ඉඳලා ඒ වගේ රංගන පාසලක් ආරම්භ කරන්න මම බලාගෙන හිටිය කොරෝනා වසංගතයත් එක්ක ඒ වැඩේ ටිකක් පහු වුණා. රංගනය ගැන වගේම ඊට අදාළ අනෙක් දේවල්, උදාහරණයක් විදිහට අශ්වයන් පිට යෑම, පිහිනුම්, කරාතේ, සටන් කලාව මේ හැම දෙයක්ම පුහුණු කරවනවා. නොවැම්බර් මාසයේ වගේ මම රංගන පාසලක් ආරම්භ කරනවා. සිංහල දෙමළ කිසිම බේදයක් නැතුව හැමෝටම ඒකට සහභාගි වෙන්න පුළුවන්. මම හැමදාම කියනවා වගේ කලාකරුවන්ට ජාති භේදයක් නැහැ. රංගනය කියන්නේ පොත්වල සටහන් ලියාගෙන පාඩම් කරන්න පුළුවන් විෂයක් නෙමෙයි. රංගනය කියන්නේ මිනිස්සුන්ට දැනෙන්න ඕනේ දෙයක්. ඒයට පුහුණුවක් තියෙන්න ඕනේ. බය නැතිවෙන්න ඕනේ. හැකියාව වගේම දක්ෂතාවත් තියෙන්න ඕනේ. හැමෝටම රැජිනි කාන්ත් වෙන්න බැහැ. හැමෝටම කමල් අද්දරාරච්චි වෙන්න බැහැ, ශ්‍රියන්ත මෙන්ඩිස් වෙන්න බැහැ. තමන් කවුද? රංගනය සුදුසුද කියලා හිතලා ආවා නම් ගොඩාක් වටිනවා. මම විශ්වාස කරනවා මේ රංගන පාසලෙන් ලොකු වෙනසක් සමාජයට සහ කලාවට කරන්න පුළුවන් වෙයි කියලා. ඇක්ටිං ඉගෙන ගන්න කැමති හැමෝටම මම "වාංග මචා වාංග" කියලා කියනවා.

 

ලංකේය සිනමාවේ සමාරම්භකයෝ වුණේ දකුණු ඉන්දියානු චිත්‍රපට අධක්ෂවරුන් සහ කාර්මික ශිල්පීන්. වර්තමාන සිනමාවෙ දෙමළ අධ්‍යක්ෂවරුන් සහ නිෂ්පාදකයින් අතළොස්සයි ඉන්නේ. ඔබට අදහසක් නැද්ද කලානිර්මාණයක් කරන්න?

හොඳ නිර්මාණයක් කරන්න අදහසක් තියෙනවා. ඔක්කොටම කලින් මම දකුණු ඉන්දියාවට යන්න ඕනේ. ඒකට මට අවස්ථා ලැබිලා තියෙනවා. නළුවෙක් විදිහට මගේ එක පැත්තක් අසමත්. ඒ මොකක්ද කියලා මම කියන්නේ නැහැ. ඒත් මම ඒ පැත්ත හරියට හදාගන්න ඕනේ. කැමරාව ඉස්සරහට ඇවිත් "ඇක්ෂන්" කියන්න කලින් ඒ ගැන ඉගෙන ගන්න ඕනේ. ඒ නිසා දකුණු ඉන්දියාවට ගිහින් අවුරුදු විස්සක් තිස්සේ රංගනය තුළ මම ඉගෙනගත්ත දේවල් එහිදී ඔප්පු කරන්න ඕනේ. එතන තැන හදාගෙන ඒ ලැබෙන දේවල්වලින් ලංකාවේ හොඳ නිර්මාණයක් කරනවා.

 

ඒ කියන්නේ දර්ශන් දකුණු ඉන්දියානු සිනමාවට යනවා?

ඔව්. විජය සේතුපතිගේ සිනමාපට තුනකට ආරාධනා ලැබිලා තියෙනවා මට. තවම ඒ ගැන කතාබහ කරමින් ඉන්නේ. වැඩි විස්තර පසුව කියන්නම්.

 

ක්ෂේත්‍රයට එන්න බලාගෙන ඉන්න දර්ශන් වගේ වෙන්න හීන දකින තරුණ පරම්පරාවට මොකක්ද කියන්න තියෙන්නේ?

මුලින්ම බලන්න ඕනේ තමන් මේකට සුදුසුද කියලා. මුළු ජීවිතයම රංගනයට කැප කරන්න පුළුවන්ද කියන කල්පනා කරන්න ඕනේ. නළුවෙක් වෙනවා නම් අනිවාර්යෙන් තමන්ගේ ජීවිතේම ඇක්ටිං තමයි. ඒකට ලෑස්ති වෙන්න ඕනේ. පුහුණුවීම් කරන්න ඕනේ. තමන්ගේ ඉලක්කයට යනකන් උත්සාහය අත් හරින්න එපා. අලුත් විදිහට හිතන්න. මේ ලෝකේ මොන තාක්ෂණය ආවත් තාක්ෂණයට ඔයාලාගේ මනස අතික්‍රමණය කරන්න බැහැ. මනුස්සයෙක් දෙයක් හිතුවොත් ඒ දෙය අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. හීන දකින එක අත්හරින්න එපා. ඒ හීන හැබෑ කරගන්න වැඩ කරන්න. අවස්ථාවක් ආ සැණින් ඒ අවස්ථාව ලබාගෙන දක්ෂතා පෙන්වන්න කියලා මම හැමෝටම කියනවා.

 

ඉදිරි වැඩකටයුතු ගැන නොකිව්වොත් එය මේ සංවාදයට අඩුවක් වේවි.

මේ දවස්වල චාමර ජයවීරගේ ටෙලිනාට්‍යයක රඟපානවා. හිරු නාළිකාවෙන් විකාශය වෙන "දිවිතුරා" ටෙලිනාට්‍ය. ඒකෙ මම රඟපාන්නේ වතුකරය නියෝජනය කරන මන්ත්‍රී කෙනෙක්ගේ චරිතයක්. දුෂ්ටයාගේ චරිතය අතරින් එන හාස්‍යය නළුවන් නිරූපණය කරන්නේ අඩුවෙන්. මේ චරි‍තයේදී දුෂ්ටකම වගේම හාස්‍යයත් නිරූපණය කරන්න වෙනවා. ඒක මම හරිම ආසාවෙන් භාරගත්ත වැඩක්. අර දකුණු ඉන්දියානු චිත්‍රපට තුන තමයි ඉදිරියේදි තියෙන ලොකුම වැඩේ. ඒ වගේම මගේ රංගන පාසලේ වැඩ පටන්ගන්නවා ළඟදීම. ඒ වගේම හිරු නාළිකාවෙන් අලුත් ටෙලිනාට්‍යයක රූගත කිරීම් පටන්ගන්නවා

ඒකේ නම "වැල්ල වෙරළට ආදරෙයි". මම, මහේන්ද්‍ර පෙරේරා, බිමල් ජයකොඩි ඒකේ රඟපාන්නේ. මම හිතනවා ටෙලිනාට්‍ය කලාවට ඒක වෙනසක් වෙයි කියලා.